
ඕනෑම දෙපාර්ශ්වයක් අතර වේවා, කණ්ඩායමක්, සමාජයක් හෝ ජාත්‍යන්තර වශයෙන් රටවල් අතර වේවා යහපත් සන්නිවේදනයක් ඔස්සේ, ගෞරව පූර්ව ගනුදෙනු ඔස්සේ, අන්‍යෝන්‍ය අවශ්‍යතාව ඔස්සේ ගොඩනැගෙන ප්‍රසංශනීය මනෝභාවයක් ලෙස විශ්වාසය අර්ථ දක්වන්න පුළුවන්. ඒ සියලු පාර්ශ්ව කෙරෙහි අප තුළ ගොඩනැගෙන ප්‍රතිරෑපය බිඳ නොවැටෙන තැන විශ්වාසය රැඳී පවතිනවා.
විශ්වාසවන්ත පුද්ගලයෙක් කියන්නෙ ඔබට විශ්වාසය තැබිය හැකි සහ විශ්වාසය පාවා නොදෙන බවට සහතික විය හැකි අයෙක්. පවරන ලද වගකීමක් ඉටුකිරීමෙන් පුද්ගලයකුට තම විශ්වාසවන්තභාවය ඔප්පු කරන්නට පුළුවන්. තවදුරටත් පැහැදිලි කළහොත් අපේක්ෂාවන් අත්නොහැරීම, වගකීම නියමිත වේලාවට ඉටුකිරීම, වැදගත් රහසක් තබාගැනීම යනාදියත් විශ්වාසය තුළට ඇතුළත් කරන්නට පුළුවන්. විශ්වාසවන්ත පුද්ගලයෙක් කියන්නෙ ඔබට ඔබේ කනස්සල්ල සහ රහස් පැවසිය හැකි, ඔබේ අවසරයකින් තොරව ඔවුන් ඒවා නැවත නොකියන බව දන්නා අයෙක්.
බුදුන් වහන්සේ විසින ධම්මපදයේ සුඛ වග්ගය තුළ විශ්වාසය පිළිබඳ විග්‍රහයක් කරලා තියෙනවා.
“ආරෝග්‍ය පරමා ලාභා - සන්තුට්ඨි පරමං ධනං
විස්සාස පරමා ඥාතී - නිබ්බාණ පරමං සුඛං.”
සියලු ලාභයෝ නීරෝගී බව පරම කොටැත්තාහ. ධනය සතුට පරම කොටැත්තාහ. නෑයෝ නම් විශ්වාසය පරම කොටැත්තාහ. (මාපියෝ ද යමකු හා විශ්වාසය නැත්නම් හෙතෙම නොනෑමය. යමෙක් වනාහි නොනෑ වුවද විශ්වාස වී නම් හේ උතුම් නෑයෙකි.) සුවය නිවන පරම කොටැත්තාහ. නිවන් හා සම සුවයෙක් නැත. එබැවින් නිවන උතුම්ම සුවයයි යනුවෙන් ඒ විග්‍රහය පෙන්වා දෙන්නට පුළුවන්. මෙහි “විස්සාස පරමා ඥාතී” යන කොටස අපට ඉතා වැදගත්ය. ඉන් තහවුරු කරන්නෙ විශ්වාස පුද්ගලයා උතුම්ම නෑයා බවය.
බටහිර මනෝවිද්‍යාව අනුව විමසා බැලුවොත්, මනෝ විශ්ලේෂක එරික් එරික්සන් (Erik Erikson) ට අනුව, මූලික විශ්වාසය වර්ධනය කිරීම යනු ජීවිතයේ පළමු වසර දෙක තුළ සාර්ථක වන හෝ අසාර්ථක වන මනෝ සමාජීය සංවර්ධනයේ පළමු අවස්ථාවයි. සාර්ථකත්වයේ ප්‍රතිඵලයක් වශයෙන් කුඩා කල සිට ළමයකුගේ ආරක්ෂාව සහ සුබවාදී හැඟීම් ඇතිවන අතර, අසාර්ථකත්වය, අනාරක්ෂිතභාවය, අවිශ්වාසය පිළිබඳ දිශානතියකට පුද්ගලයාව යොමු කරනවා.
අන්‍යයන් කෙරෙහි විශ්වාසය තැබීමට පුද්ගලයකු තුළ පවතින ආකල්පමය ප්‍රවණතාව විශ්වාසය වැඩි කරනවා. විශ්වාසය මගින් කෙනකුගේ අන්තර් පුද්ගල සබඳතාවල ගුණාත්මකභාවය වැඩි කරනවා. සමාජ බලපෑම පිළිබඳ අදහසට විශ්වාසය අත්‍යවශ්‍ය වෙනවා. විශ්වාස කරන කෙනකුට බලපෑම් කිරීම හෝ ඒත්තු ගැන්වීම පහසුයි. මිනිසුන්ට පුළුවන් කෘත්‍රිම ලෙස ගොඩනගා ගත් ප්‍රතිරෑප ප්‍රදර්ශනය කරමින් හැසිරෙන්න. එහෙත් වැදගත් වෙන්නෙ පෞද්ගලික වේවා, වෘත්තීමය වශයෙන් වේවා, සමාජීය වශයෙන් වේවා කියන දේ කරන, කරන දේ කියන අවංක පුද්ගලයන් ලෙස ඒ සියලු බැඳීම් අවංකව කළමනාකරණය කරමින් සෑම තැනකදීම විශ්වාසවන්ත පුද්ගලයකු බවට පත්වීමයි. බොරුව, වංචාව, මඟහැරීම, නොසැලකිල්ල වගේම කාල කළමනාකරණයෙන් තොර අපිළිවෙළ හා කුසීත බව තුළත් විශ්වාසය බිඳී යන සාධක නිරන්තරයෙන්ම ගොඩනැගෙනවා.
මෑත කාලයේ වැඩි වැඩියෙන්, විශ්වාසය පිළිබඳ සංකල්පය සම්බන්ධයෙන් පර්ෙය්ෂණ සිදු කරලා තියෙනවා. බාබරා මිස්ට්ටල් (Barbara Misztal) විසින් රචනා කරන ලද නූතන සමාජවල විශ්වාසය (Trust in Modern Societies) නම් පොතේ විශ්වාසය පිළිබඳ සියලු සංකල්ප එකට එකතු කිරීමට උත්සාහ කරනවා. විශ්වාසය මිනිසුන්ගේ ජීවිත තුළ කරන මූලික කරුණු තුනක් ඇය විස්තර කරනවා.
විශ්වාසය මගින් සමාජ ජීවිතය පුරෝකථනය කළ හැකි කරනවා.
එය ප්‍රජාව පිළිබඳ හැඟීමක් ඇති කරනවා.
විශ්වාසය මගින් මිනිසුන්ට එකට වැඩ කිරීම පහසු කරනවා.
මිනිසුන් අතර විශ්වාසය වැඩි කරන එක් සාධකයක් ලෙස මුහුණේ සමානකම පෙන්වා දෙන්නට පුළුවන්. මුහුණේ සමානකම් තිබීම සහකරු හෝ සහකාරිය කෙරෙහි විශ්වාසය වැඩි කරන බව පැවසෙනවා. විශ්වාසය මත රඳා පවතින දිගුකාලීන සබඳතාවක සන්දර්භය තුළ, සමාන මුහුණේ ලක්ෂණ පුද්ගලයකුගේ ආකර්ෂණීය බව වැඩි කරනවා. මුහුණේ සමානකම සහ විශ්වාසය සබඳතා කෙරෙහි විශාල බලපෑමක් ඇති කරන බව ඇතැම් මනෝවිද්‍යාඥයන් විශ්වාස කරනවා. බලන්න බොහෝ පෙම්වතුන්, පෙම්වතියන්, විවාහක පාර්ශ්ව දිහා බැලුවම දෙදෙනාගේ මුහුණෙහි සමානකමක් පෙන්නුම් කරනවා. මුහුණේ සමානකමට සාපේක්ෂව අභ්‍යන්තර ගති ලක්ෂණද විශ්වාසය වැඩි කරනවා.
විශ්වාසය ඇති තැන බැඳීම් හරි සුන්දරයි. වේදනාවන්ගෙන් තොරයි. ඒ වගේම ශක්තිමත්, සැනසිලිදායකයි. දෙදෙනකු ප්‍රේම සම්බන්ධයක් වුණත් ආරම්භ කරන්නෙ විශ්වාසය තහවුරු වූ තැනයි. විශ්වාසය නොමැති තැන තමා සැකය ඇතිවෙන්නෙ. ලිංගික විශ්වාසය පිළිබඳ සන්දර්භය තුළ, රිකී රොබින්ස් (Riki Robbins) අදියර හතරක් විස්තර කරනවා. එම අදියර,
පරිපූර්ණ විශ්වාසය (perfect trust)
පළුදු වූ විශ්වාසය (damaged trust)
විනාශ වූ විශ්වාසය (devastated trust)
ප්‍රතිෂ්ඨාපනය කළ විශ්වාසයෙන් (restored trust) සමන්විත වෙනවා.
අඩු විශ්වාස සබඳතා ඇතිවන්නේ පුද්ගලයන්ට තම සහකරු හෝ සම්බන්ධය ගැන සැබවින්ම සැලකිල්ලක් දක්වන බවට අඩු විශ්වාසයක් ඇති තැනයි.
විශ්වාසය ගොඩනැගීම එක මොහොතකින් සිදු නොවුණත් එක මොහොතකින් විශ්වාසය බිඳවැටෙන්න පුළුවන්. විශ්වාසය බිඳවැටුණම එය පිළිසකර කිරීමත් බිඳුණු කළයක් පිළිසකර කිරීමක් වැනි දෙයක්. ඇතැම් අයගේ විශ්වාසය කඩවීම කෙළවර වන්නෙ ජීවිතවලින් වන්දි ගෙවීමෙන්, සියදිවි අහිමිකර ගැනීමෙන්. පසුගිය දිනෙක එවැනි පුවතක් සමාජ මාධ්‍ය ජාලාවල සංසරණය වුණා. ඇය ගුරුවරියක්. විවාහවෙලා තිබුණෙ වෛද්‍යවරයකු සමඟයි. ඇය වෛද්‍යවරයකු වන සිය සැමියා සම්බන්ධයෙන් අතිශය විශ්වාසය තබලා තිබුණා. වෛද්‍යවරයාගේ අනියම් සම්බන්ධතාවක් හේතුවෙන් ඇය ඉච්ඡාභංගත්වයට පත්වුණා. අවසන් ප්‍රතිඵලය වුණේ ඇය සියදිවි අහිමිකර ගැනීමෙන් ජීවිතයෙන් වන්දි ගෙවීමයි.
තමා ගැන, අනෙකා ගැන විශ්වාසය බිඳවැටුණු විට ඇතිවෙන මානසික තත්ත්ව මනෝවිද්‍යාව මගින් පැහැදිලි කරලා තියෙනවා. විශ්වාසයක් බිඳවැටුණු තැනක ඇතිවෙන ජීවන කඩතොලු, රිදවීම් කාලය විසින් පවා සුවපත් නොකරන ආත්මීය වේදනාවක් බවට පත්වෙන්න පුළුවන්. විශ්වාසය කඩවීම හමුවේ ඇතිවන ඉච්ඡාභංගත්වයෙහි ප්‍රතිඵලයක් වශයෙන් පුද්ගලයෙක් කාංසාව, විශාදය වැනි මානසික අක්‍රමතාවන්ට ගොදුරු වෙන්න පුළුවන්. මෙවැනි මානසික අක්‍රමතාවලට කියන්නෙ මනෝභාව අක්‍රමතා (Mood Disorders) කියලා. විශ්වාසය කඩවූ කල ඇතිවන මානසික වේදනාවන් තමාටම විඳදරා ගැනීමේ හැකියාව ඇතිකර ගැනීමට නම් ආත්ම විශ්වාසය සහ ආත්ම අභිමානය වැඩිකර ගැනීම අවශ්‍ය වෙනවා.
ආත්ම විශ්වාසය කියන්නෙ මොකක්ද? ආත්ම විශ්වාසය කියන්නෙ පුද්ගලයකුගේ හැකියාවන් සහ විනිශ්චයන් කෙරෙහි ඇති විශ්වාසයයි. ඔහුට හෝ ඇයට දිනෙන් දින අභියෝග සහ ඉල්ලීම්වලට සාර්ථකව මුහුණ දිය හැකි බවට විශ්වාසය ලෙස ආත්ම විශ්වාසය අර්ථ දක්වන්න පුළුවන්. ආත්ම විශ්වාසය පුද්ගලයාට වැඩි සතුටක් ගෙන දෙනවා. වෙනත් පුද්ගලයකු මත තබා ඇති විශ්වාසය එම පුද්ගලයා කඩා බිඳ දැම්මොත් කරන්න තියෙන හොඳම දේ තමා තම ආත්ම විශ්වාසය වැඩිකර ගැනීම.
ආත්ම අභිමානය කියන්නෙ මොකක්ද? මනෝවිද්‍යාවේදී, පුද්ගලයකුගේ පෞද්ගලික වටිනාකම හෝ වටිනාකම පිළිබඳ සමස්ත ආත්මීය හැඟීම විස්තර කිරීමට ආත්ම අභිමානය යන පදය භාවිත කරනවා. වෙනත් වචනවලින් කිවහොත්, ආත්ම අභිමානය කියන්නෙ ඔබ විසින් ඔබව අගය කරන අභිමානය මුසු හැඟීමයි. ඔබ කැමති ආකාරයට නිදහසේ අභිමානයෙන් යුක්තව ජීවත් වීමයි. වෙනත් කෙනකුගේ විශ්වාසය බිඳවැටුණාම තමා ආත්ම විශ්වාසයකින් සහ ආත්ම අභිමානයකින් යුක්තව ජීවත් වන්නේ නම් බොහොම සතුටින් ජීවත් වෙන්නට පුළුවන්.