2022 පෙබරවාරි 05 වන සෙනසුරාදා

විදුලිය නොකපා ඉදිරියට යන්න නම් කළ යුතු දේ

 2022 පෙබරවාරි 05 වන සෙනසුරාදා, පෙ.ව. 10:00 228

වර්තමාන විදුලි අර්බුදයේ දිග පළල සහ ගැඹුර පුළුල්ව විමසා බැලීමට බලශක්ති ක්ෂේත්‍රයේ විශේෂඥයකු වන ආචාර්ය තිලක් සියඹලාපිටිය මහතාව සංවාදයකට කැඳවා ගතිමු. පසුගිය සතියේ එම සංවාද ඇසුරෙන් වර්තමාන විදුලි අර්බුද සැබෑ හේතු අප විමසා සිටියෙමු. මේ මොහොතේ සියල්ලන්ගේම අවධානය යොමුවී ඇති ඩොලර් හිඟය සහ ඉන්ධන අර්බුදය පමණක් හුදෙක් වර්තමාන විදුලි අර්බුදයට හේතුව නොවන බව සියඹලාපිටිය මහතා පැහැදිලි කළේය. 2015 ජනන සැලැස්මට අනුව 2022 වසර වනවිට සාදා නිමකළ යුතුව තිබූ බලාගාර දේශපාලන පන්දු කෙළිය හේතුවෙන් ඉදි නොවීම දීර්ඝකාලීන විදුලි අර්බුදයට හේතුව බව හෙතෙම පැවසීය. විදුලි බලාගාර සම්බන්ධ දේශපාලන පන්දු කෙළිය සහ අර්බුදට සැබෑ විසඳුම බලමු.

2015 සැලසුමට අනුව 2022 වනවිට ත්‍රිකුණාමලයේ සාම්පූර්හි මෙගාවොට් 500ක බලාගාරයක් ඉදිවී තිබිය යුතුව තිබුණි. කෙරවළපිටියේ මෙගාවොට් 300ක බලාගාරයක් ඉදිකර තිබිය යුතු විය. එසේම ද්‍රව කළ ස්වභාවික වායුද කෙරවළපිටියෙන් ගොඩබෑමද ආරම්භ කොට තිබිය යුතු විය. මෙම සැලසුම් කල් ඇතිව මහජන උපයෝගීතා කොමිසමද අනුමත කොට තිබුණි. කෙසේ වෙතත් 2015 ආණ්ඩු මාරුවෙන් පසු සාම්පූර් බලාගාර සැලසුම අහෝසි කිරීමට මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා කටයුතු කළේය. රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යවරයාද ඊට සහයෝගය පළකළ බව සියඹලාපිටිය මහතා සිහිපත් කරයි. සාම්පූර් බලාගාරයේ පරිසර අනුමැතියේ අඩුපාඩුවක් සම්බන්ධයෙන් රාජ්‍ය නොවන සංවිධානයක් නඩුවක් ගොනුකොට තිබුණි. අහෝසි කිරීමට හේතු වූයේ එයයි.

ඕනෑම බලාගාරයකට එරෙහිව මෙවන් නඩු වැටීම සාමාන්‍ය තත්ත්වයකි. එවන් විටෙක රජයන් ඒ හා සම්බන්ධව අඩුපාඩු ඇත්නම් නිවැරුදි කොටගෙන ව්‍යාපෘතිය ඉදිරියට රුගෙන යයි. එහෙත් තිලක් සියඹලාපිටිය මහතා පවසන පරිදි මෙහිදී සිදුවූයේ රජය පාර්ශ්වය අධිකරණය ඉදිරියේ බලාගාර ඉදි නොකරන බව කියා සිටීමයි. ඒ අනුව එකල විදුලිබල ලේකම්වරයා බලාගාර ඉදි නොකරන බව අධිකරණයට දැනුම් දී ඇත. වසර පහක සිට සැලසුම් කළ මෙගාවොට් 500ක සාම්පූර් බලාගාර සැලසුම එලෙස බිඳ වැටුණි. ශ්‍රී ලංකා ඉංජිනේරු ආයතනය ඇතුළු විද්වත්හු ‍මෙම තීරණය පිළිබඳ අදාළ අවස්ථාවන්හී දීම අනතුරු හැඟවූහ. සම්මේලනය පවත්වමින් ගණනය කිරීම් සිදුකරමින් ක්ෂේත්‍රයේ විද්වතුන් කියා සිටියේ සැලසුමක් වෙනස් කරන්නේ නම් ඉතා ආසන්න වශයෙන් ඇති දෑ වෙනස් නොකරන ලෙසය. මේ සම්බන්ධ සියලු ඇමැතිවරුන් දැනුවත් කරමින් ලිපි පවා යොමුකළ බව ශ්‍රී ලංකා ඉංජිනේරු ආයතනයේ සාමාජික වන ආචාර්ය තිලක් සියඹලාපිටිය මහතා පෙන්වා දෙයි.

කෙරවළපිටිය ද්‍රවකළ ස්භාවික වායූ පර්යන්තය දෙසට මීළඟට අප අවධානය යොමුවේ. තිලක් සියඹලාපිටිය මහතා පෙන්වා දෙන පරිදි 2016 දී සාම්පූර් අහෝසි කළ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කොරියාවට ගිය පසු ඔහුට කොරියානු ජාතිකයකු මුණගැසී තිබේ. එම පුද්ගලයා එම ඉදිකිරීම සිදුකළ හැකි බව පවසා ඇත. ඒ අනුව එම කොරියානු පාර්ශ්ව අදාළ කටයුත්තට මුලපුරත්ම ඉන්දියාව බලා පිටත්වුණු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඉන්දියානු සමාගමක් සමඟ මේ සම්බන්ධ එකඟතාවක් ඇතිකරගත් බව සියඹලාපිටිය මහතා සඳහන් කරයි.

ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍ය කවර එකඟතාවන් ඇතිකර ගත්තද විදුලිබල පනතට අනුව මෙවැනි කටයුත්තකට තරගකාරී මිල කැඳවීමක් සිදුකළ යුතුය. ඇතිවූයේ දේශපාලන කලබගෑනියක් පමණි. අවසානයේ 2017 ඉදිකිරීමට තිබුණු ද්‍රවකළ ස්වභාවික වායු පර්යන්තය හෝ සාම්පූර් බලාගාර ඉදි නොවුණි. විදුලිබල මණ්ඩය 2019 වසර වනතෙක් බලා සිටියේය. අවසානයේ තමන්ට මෙම කටයුත්ත සිදුකිරීමට ඉඩකඩ ලබාදෙන ලෙස ඉල්ලා ඔවුහු කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කළහ. ඊට වත්මන් රජය යටතේ අනුමැතියද ලැබුණි. ඒ අනුව මිල ගණන් කැඳවීමට කටයුතු කෙරිණි. මිල ගණන් කැඳවීම අරඹා මාසයක් පමණ ගිය තැන තවත් සිදුවීමක් සිදුවිය.

සියඹලාපිටිය මහතා පෙන්වා දෙන්නේ ටෙන්ඩර් දැන්වීම පළවී මාසයක් පමණ ගිය තැන ඇමරිකානු තානාපතිනිය විදුලිබල අමාත්‍ය හමුවී නිව් ෆෝට්‍රස් නම් සමාගකින් යෝජනාවක් ලබාදෙනු දැකගත හැකිවූ බවයි. ආචාර්ය සියඹලාපිටිය මහතා පෙන්වා දෙන්නේ එවන් අවස්ථාවක් විදුලි අමාත්‍යවරයා තානාපතිවරියට තත්ත්වය පැහැදිලි කළ යුතුව තිබූ බවය. ඇයට ස්තූතිවන්ත වෙමින් අප මිල ගණන් කැඳවා ඇති බව දන්වා ඒ සඳහා ඉතා හොඳ මිලක් ඉදිරිපත් කරන ලෙස එම සමගමට දන්වන ලෙස ඇගෙන් ඉල්ලා සිටීමට තිබුණි. එහෙත් සිදුවූයේ එය නොවේ. රාත්‍රියේදී ගිවිසුමක් අත්සන් කෙරුණි. මේ වනවිට ඒ සම්බන්ධ නඩු විභාගයක්ද විභාග වෙමින් පවතියි.

පවතිත තත්ත්වය මත 2025, 2026 වසර වනතුරු මෙම ගැටලු දික්ඇදෙනු ඇති බව ආචාර්ය තිලක් සියඹලාපිටිය මහතා පවසා සිටියි. පාරිභෝගිකයන් පද්ධතිය මත ඇතිකරන ඉල්ලුමට සැපයුම ලබාදීමට පද්ධතිය සතුව අවශ්‍ය ධාරිතාවය නොමැති නම් කළ හැකි කිසිවක් නොමැත. මේ මොහොතේ සිදුකළ යුතු ප්‍රධානතම දෙය නම් අතරමඟ නවතා දමා ඇති ජනන සැලසුම් දක්වා තිබෙන බලාගාර ත්‍රිත්වය ක්‍රියාත්මක කිරීමට හදිසි අනුමැතියක් ලබාදීමයි. 2015දී අහෝසි කළ සාම්පූර් බලාගාර, මාස කිහිපයකට පෙර අහෝසි කළ නොරොච්චෝල අංක 4 බලාගාරය සහ අර්බුදයට තුඩු දී තිබෙන ද්‍රවකළ ස්වභාවික වායු පර්යන්තය සහ බලාගාර රාජ්‍ය බන්ධනයෙන් මුදවා ක්‍රියාත්මක කිරීමට විදුලිබල මණ්ඩලයට විශේෂ ඉලක්කයක් ලබා දිය යුතුය. වසර හතරක් මෙම ඉදිකිරීම් සඳහා ගතවන නිසාවෙන් 2025 වනවිට මෙම බලාගාර ත්‍රිත්වයේ කටයුතු නිමා කිරීමට ඔවුන් ඉලක්ක ගත කළ යුතුය.

දැන් සිදුකළයුතු පළමු කටයුත්ත  දීර්ඝකාලීන ගැටලුව විසඳීමට ඇවැසි මෙම තීරණයට එළඹීමයි. විදුලි විසන්ධි කිරීම් ඇත්තේ ඊට දෙවැනුවය. ටෙන්ඩර් ක්‍රියාවලිය සහ අනෙකුත් ඉදිකිරීම් වේගවත් කිරීමට අවශ්‍ය නියෝග සහ පහසුකම් සැපයීම රජයට සිදුකළ හැකිය. ජනාධිපතිවරයාගේ බලය භාවිත කරමින් මෙය හදිසි කටයුත්තක් ලෙස නිලධාරීන්ට කඩිනමින් කටයුතු කිරීම් අවශ්‍ය පහසුකම් සලසාදීමට ආණ්ඩුවට හැකියාවක් තිබේ. කෙසේවෙතත් සියඹලාපිටිය මහතා පවසන පරිදි ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිවරයාගෙන් පසු සියලුම ජනාධිපතිවරු බලාගාර සම්බන්ධව ඇතිවන ගැටලුවලදී බයකින් පසු වෙති. ඔවුහු සිය තීරණය නැවත හරවා ගනිති.

තමා දන්නා තරමින් විශාල පුනර්ජනනීය බලාගාර තුනක කටයුතුද මේ වනවිට සැලසුම් තත්ත්වයෙන් ඉදිරියට නොගොස් පවතින බව ආචාර්ය තිලක් සියඹලාපිටිය මහතා කියා සිටියි. ඒ අනුව සියඹලාණ්ඩුව සූර්ය බලාගාරය, පුනරීන් සූර්ය සහ සුළං බලාගාරය, මන්නාරම සුළං බලාගාර දෙවැනි අදියර වසර තුනක සිට එකතැන පල්වෙමින් තිබේ. වසරකින් ඉඩම් ගැටලු නිරාකරණය කරගත හැකිනම් මෙම බලාගාර වසර දෙකක් වැනි කාලයක් තුළ ඉදිකළ හැකිය. රාත්‍රී කාලයේදී මෙම බලාගාර හරහා විදුලි නොලැබුණද දිවා කාලයේදී පද්ධතියට විදුලිය එකතු කිරීම හරහා ගල් අඟුරු, ගෑස්, තෙල් භාවිත කරන බලාගාරවල ඉන්ධන ඉතිරි කර ගැනීමට අවකාශ සැලසෙයි. ඒ හරහා විදේශ විනිමයද ඉතිරි වේ.

කෙසේ නමුත් මෙහිදී පැහැදිලි කළයුතු කරුණ නම් ගල් අඟුරු සහ තෙල් භාවිත කරන බලාගාර සහ පුනර්ජනනීය බලාගාරවල සංකලනයක් පැවතිය යුතු බවයි. මේ වනවිට සූර්ය බලාගාර සඳහා වැයවන වියදමද අතීතයට සාපේක්ෂව යම් ප්‍රමාණයකින් අවම වී තිබේ. නිර්මාණය සහ එහි වාසියද අත්පත් කර ගැනීමට මෙය අවස්ථාවකි. කෙසේ නමුත් බලාගාර ඉදි වනතුරු විදුලිය විසන්ධි කිරීම රජය සතු විකල්පයි.

විදුලිය විසන්ධි නොකොට පවත්වා ගෙන යාමට නම් විදේශ රටවලින් ඩීසල් බලාගාර ගෙන්වා ඒවායින් විදුලිය ජනනය කොට ජාතික පද්ධතියට එකතු කළ යුතුය. නැතිනම් දිවයින පුරා ඇති ජෙනරේටර එකතු කර ඒවායින් විදුලිය ජනනය කොට ජාතික පද්ධතියට විදුලිය එකතු කළ යුතුය. කෙසේ වෙතත් එය සිදු කිරීමට ඩීසල් අවශ්‍ය වෙයි. එහෙත් එය මේ මොහොතේ ප්‍රායෝගික කටයුත්තක් නොවේ. බලාගාර ප්‍රමාද කිරීම හේතුවෙන් පෙරදීද මෙවන් ක්‍රමවේද අනුගමනය කර ඇත. ඒ හරහා ජාතික ආර්ථිකයට සිදු වූ හානිය විශාලය. මහජනතාව නොදැනුවත්ව නමුත් නොරොච්චෝලේ වැනි බලාගාර ව්‍යාපෘති පමා වූ කාල වකවානුවලදී සිදුවූයේ මෙයයි.

 සංවාද සටහන : චමිඳු නිසල් ද සිල්වා