2022 පෙබරවාරි 05 වන සෙනසුරාදා

ඒ වූ නිදහසේ ස්වර්ග රාජ්‍යයට මාගේ දේශය අවදි කරනු මැන....

 2022 පෙබරවාරි 05 වන සෙනසුරාදා, පෙ.ව. 10:00 327

අධිරාජ්‍යවාදී පතාක යෝධ පාලනයේ යකඩ සපත්තුවට තැලී පොඩිවී සිටි ශ්‍රී ලංකා මාතාවට නිදහස් හුස්මක් ලැබුණේ 1948 පෙබරවාරි 4 වැනිදාය. මේ අප සිටින්නේ එකී අභිමානවත් 74 වැනි නිදහසේ කාහල නාදය අභියසය. වසර ගණනක කළු දුමාරය පහව ගොස් රම්‍ය උදෑසනක් උදා වී තිබේ.

ශ්‍රී ලංකා මාතාව 74 වැනි නිදහස් දිනය සමරනු ලබන්නේ නිදහසේ සුවය භුක්ති විඳිය හැකි සැබෑ වාතාවරණයකය. අභියෝග ජයගත් ඉසුරුමත් හෙට දිනක් - සෞභාග්‍යවත් මවුබිමක් යන තේමාව පෙරදැරි කරගෙන 74 වැනි නිදහස් සැමරුම් උළෙල චාම් අභිමානවත් අයුරින් පෙරේදා (4) නිදහස් චතුරස්‍රයේදී සිදුකෙරිණ.

බ්‍රිතාන්‍යයන්ගේ තාඩන පීඩනවලට ලක් වූ අප පෙබරවාරි 4 වැනිදා නිදහස ලබා ගත්තද නිවහල් ජාතියක් බවට පත් වූයේ 1972 මැයි 22 ලංකාව ජනරජයක් බවට පත් වූ පසුවය.  රට පුරා වරින්වර පැතිර ගිය කැරළි කෝලාහල සහ ත්‍රස්තවාදයේ අඳුරු සෙවණැලි හේතුවෙන් නිදහස යන්න සිහිනයක්ම දැයි තැතිගැන්මෙන් සිටි අපට යුධ බිය, මරණ බිය තුරන් වූ නිදහස් නිවහල් දේශයක නිදහස සැමරීමේ නිදහස උදා වී තිබේ. මෙවන් වූ නිදහස් යුගයක නිදහසේ යටගියාව කෙටියෙන් හෝ සිහිපත් කිරීම වැදගත් යැයි සිතමු. 

උඩරට සිංහල රදල නායකයන් අතර විරසකයක් අවුළුවා කළ උපක්‍රමයේ ඵලයක් හැටියට 1815 මාර්තු 2 වැනිදා උඩරට ප්‍රධානීහු මහනුවර මඟුල් මඩුවේදී බන්දේසියක තබා මේ උදාර මාතෘ භූමිය ඉංග්‍රීසින්ට පවරා දුන්හ. මෙකී තනතුරුවලට ලොල් වී තමන්ගේම සිංහල උන් පාවාදීමෙන් සහ දේශපාලන සවි ශක්තියේ අඩුලුහුඬුකම්වලින් අධිරාජ්‍යවාදීන්ට එරෙහිව 1818 දී ඇරඹුණු ප්‍රථම නිදහස් සටන උපන්ගෙයිම කිළිටි වූයේය. තාන්න මාන්න වරදාන බලාපොරොත්තුවෙන් සිටි ඇතැමුන් නිසා බොහෝ ශ්‍රේෂ්ඨ නායකයන් පිරිසක් අපට අහිමි විය. ඉංග්‍රීසි ආණ්ඩුවේ හතර කෝරළය භාරව සිටි පිළිමතලාවේත්, මාතලේ දිසාව භාරව සිටි මඩුගල්ලේත් ඉංග්‍රීසින්ට විරුද්ධව සටන් බිමට අවතීර්ණ වීම සිංහලයන්ගේ සටන වේගවත් කළේය. ඇල්ලේපොළ මහා නිලමේත් සිංහලේ සටනට එක්වීම ඉංග්‍රීසීන්ට ඉවසුම් නොදෙන්නක් විය. බදු බරින් පීඩිතව ඉංග්‍රීසීන්ගේ තාඩන පීඩනවලින් මිරිකෙමින් සිටි ජනයාගේ විමුක්තිය සඳහා 1848 ජූලි මස 26 දින පුරන් අප්පුගේ නායකත්වය යටතේ ඇති වූ මාතලේ කැරුල්ල සුළුපටු එකක් නොවීය. මහනුවර ඉංගී‍්‍රසි හමුදාවේ ඝාතක සේනාංකය විසින් නම් කළ පුරන් අප්පු ඉංග්‍රීසීන්ගේ වෙඩි උණ්ඩයට අභීතව මුහුණ දෙමින් පැවසූ අවසන් වදන් පෙළෙහි සඳහන් වූයේ මගේ අම්මා මා වැනි පුතුන් දස දෙනකු වැදුවා නම් ඉංග්‍රීසීන්ගෙන් ශ්‍රී ලංකාව ගලවා ගැනීම එතරම් කාරියක් නොවේය යන්නයි.

සිංහලේ නිදහස් සටනේ පුරෝගාමියා වූ ඉහගම හිමි, අඹගොල්ලේ හිමි, ඕලුලියාවේ හිමි, හැපලෝගම මොහොට්ටාල, කිවුලේගෙදර මොහොට්ටාල, කුරුඳුකුඹුරේ මොහොට්ටාල, වෑඋඩ නිලමේ, ඊරියගම කළුබණ්ඩා, බූටෑවේ රටේ රාළ, හන්නස්ගෙදර රටේ රාළ, අරම්පොල ලොකු මොහොට්ටාල, කැප්පෙටිපොළ නිලමේ, මඩුගල්ලේ නිලමේ, පිළිමතලාවේ නිලමේ ආදීන් විශාල පිරිසක් මේ මිහිතලයට රුකගැනීමේ සටනේ පෙරමුණ ගත්හ. ජාතිකාභිමානයෙන් සහ ස්වදේශානුරාගයෙන් ඔදවැටී සිය රටේත් ජාතියේත් ආගමේත් නිදහස පතා සටන් කළ වීරෝදාර අභීත රණකාමී යෝධයන් පිරිසක් අපට අහිමිවුණේ අපේම බඩගෝස්තරවාදීන්ගේ පාවාදීම නිසා යැයි කීම මුසාවක් නොවේ. මෙසේ ඉදිරියට ගිය නිදහස් සටන 1915න් පසු දේශපාලන සටනක් බවට පත් විය. ඩී.එස්. සේනානායක, එෆ්.ආර්. සේනානායක, ඩී.ආර්. විජයවර්ධන, සර්. ඩී.බී. ජයතිලක, සර් පොන්නම්බලම් රාමනාදන්, සර් පොන්නම්බලම් අරුණාචලම්, රාජ නීතිඥ ඊ.ඩබ්ලිව්. පෙරේරා වැනි දේශපාලනඥයෝ මෙම දේශපාලන සටනට ක්‍රියාකාරීව නායකත්වය දුන්හ. අධිරාජ්‍යවාදීන්ගෙන් මේ රට ගලවා ගැනීමට දිවි හිමියෙන් කැප වූ අපේ රටේ ලෙයින් උපන් වීරවරු රුසක් සිටිති. නිදහස ලබා 74 වසක් සපිරෙන මේ මොහොතේ වීරෝදාර සත්පුරුෂයන්ට උපහාර පිණිස ඔවුන්ගේ දහදිය මහන්සියට ගෞරවයක් එක් කිරීමට කෙටියෙන් හෝ මතක් කිරීම යුතුකමක් වන්නේ යැයි සිතමු. 

1848 නිදහස් සටනේදී ඉංග්‍රීසි හමුදාව ගොංගාලේගොඩ බණ්ඩා සැඟවී සිටි තැන සෙවීමට යෑමේදී ද අත්අඩංගුවට පත් කඩහපොල හිමි හෙවත් කුඩාපොළ හාමුදුරුවන් කුරිරු වෙඩි පහරට බිලිවෙමින් මහ පොළොවේ අරගලය වෙනුවෙන් ජීවිතය පූජා කළහ. 

උඩරට ගිවිසුමට පෙර ලක්දිව අහසේ ලෙළදුන් ඉංග්‍රීසි කොඩියට විරෝධය පාමින් අභීත නද පෑ වාරියපොළ ශ්‍රී සුමංගල හිමියන් ඉංග්‍රීසි කොඩිය බිම දමා පාගා මද වේලාවකට හෝ සිංහ කොඩිය අහසේ ලෙළවූ ඒ අභීත අවස්ථාව අදටත් චිත්තරෑප නංවන සුළුය. එදා ජනතාවට නිදහසේ වටිනාකම වටහා දීමට පැළෑනේ වජිරඥාන මාහිමි, කළුකොඳයාවේ පඤ්ඤාසේකර මාහිමි, උඩකැන්දවල සිරි සරණංකර හිමි ඇතුළු මහා සංඝරත්නය මුල් වූහ. කොළඹ පළාතේ පන්සලක් නොතිබුණු කාලයක කොටහේන දීපදුත්තාරාමය පිහිටුවමින් ක්‍රිස්තියානි පල්ලිවලට එදිරිව මොහොට්ටිවත්තේ ගුණානන්ද හිමියෝ නොබියව නැගී සිටියහ. හෙන්රි ස්ටීල් ඕල්කට් වැනි දැවැන්ත චරිත ලංකාව සොයා ආවේ උන්වහන්සේ කළ පංචමහා වාදයේ පැහැදීමෙනි. විදෙස් හිමිනමක වන ටිබෙට් ජාතික ඇස්. මහින්ද හිමියන් ලංකාවේ නිදහස වෙනුවෙන් කළ අභීත නැගීසිටීම ගැන කතා නොකර බැරිය. වෙන රටවල මිනිසුන්ගේ කෙස් ගහ පවා උස් නිදහසේ සටනට සැරසෙද්දී ඉස්මොළ තියෙන සිහලුන් මේ ගැන නොතකන්නේ ඇස් ගෙඩිවලට හෙන ගහලාදැයි උන්වහන්සේ අරගල කළහ. උන්වහන්සේ කළ අරගලය වැඩිහිටියන්ට මෙන්ම කිරි බොන බිලිඳාගේත් මනසට කා වද්දන්නට තරම් ශක්තියක් උන්වහන්සේට තිබිණ. 

එකම පවුලක සොහොයුරන් විලස උපන් එෆ්.ආර්. සේනානායකයන් සහ ඩී.එස්. සේනානායකයන් යන යුග පුරුෂයන් විසින් රටට සහ ජාතියට කරනු ලැබූ දායාද අමිලය. නිදහස සදහා මහා සටනක් ලෙයින් තොරව බුද්ධිමත් ලෙස දියත් කිරීමට අවශ්‍ය නායකයන් සියල්ලම පාහේ නිර්මාණය කරන ලද්දේ එෆ්.ආර්. විසිනි. ඔහුගේ සොහොයුරා වූ ඩී.එස්. ද එයින් ප්‍රමුඛයා විය.

එෆ්.ආර්. පවසා ඇත්තේ තම අන්තිම කබාය හෝ දක්වා විකුණා මේ රට  යටත්විජිත්වාදීන්ගෙන් නිදහස් කර ගන්නා බවයි. හෙතෙම ජාතික සහ ආගමික පුනර්ජීවය උදෙසා ඉතා නිර්ලෝභීව තම ධනය පූජා කළ අයෙකි. බොරුල්ල තරුණ බෞද්ධ සංගමය, ශ්‍රී ලංකා බෞද්ධ මහා සම්මේලනය, පරම විඥාර්ථ සමාගම, අමද්‍යප ව්‍යාපාරය වැනි ආයතන අදටත් එම ජීවමාන සාක්ෂි ඉතිරි කොට ඇත්තේය. එෆ්.ආර්. විසින් නිදහස් සටනේ අවසන් අදියර සඳහා උපරිම ශක්තිය සහ ධන පරිත්‍යාගය ලබා දුන්නේ කිසිදු වරදාන සහ වරප්‍රසාද පිළිබඳ බලාපොරොත්තුවෙන් තොරවය. මෙම දෙසොහොයුරන්ගේ මූලිකත්වයෙන් බිහිවූ අමද්‍යප ව්‍යාපාරය එවක පැවති රටේ ඉරණම උඩු යටිකුරු කළේය. යටත්විජිතවල ආදායම් වැඩිකර ගැනීමේ අරමුණින්  සුරාව ප්‍රචලිත කිරීමේ තැත වැරදුණේ මෙරට බිහිවූ අමද්‍යප ව්‍යාපාරයෙනි. 25000කට අධික සෙනග ප්‍රමාණයකින් පිරී ගිය එම හාපිටිගම් කෝරලේ අමද්‍යප රුස්වීම මෙරට තැබෑරුම් 2009 ක් වසා දැමීමට තරම් ප්‍රබල බලවේගයක් විය.  

මිෂනාරීන්ගෙන් අපට අහිමි වූ අපේකම හා බෞද්ධකම රැකගැනීමට හෙන්රි ස්ටීල් ඕල්කට්තුමා, අනගාරික ධර්මපාලතුමා ආදීහු ද මෙහි දී විශාල මෙහෙයක් ඉටු කළහ. පියදාස සිරිසේන, කුමාරතුංග මුනිදාස ආදී ලේඛකයෝ ලේඛන කලාව ඔස්සේ නිදහස දිනාගැනීමට ධෛර්යය දුන්හ. අපේ රටට නිදහස ලබාගැනීමේ සටනේදී ලේක්හවුස් පත්‍ර සමාගම හරහා අති විශිෂ්ට සහායක් ලබා දුන් දෙස බස රුස නැංවූ ඩී.ආර්. විජයවර්ධනයන්ගේ නාමය සිංහල ඉතිහාස පොතේ වෙසෙසින් සඳහන් වෙයි. නගරයට සීමා වූ ඉංග්‍රීසි පුවත්පත් අධිරාජ්‍යය හමුවේ සිංහල ජනතාවට කියවිය හැකි දැනුම වින්දනය සමඟ නිදහස් අරගලයට පණ පෙවීමට පොළඹවන රටටම බෙදාහරින පුවත්පතක අඩුව තදින්ම දැනිණ. එකී අඩුව සපුරාලමින් 1909 දී ආරම්භ කර තිබූ දිනමිණ පුවත්පත ‍සර් ඩී.බී. ජයතිලකයන්ගේ උපදෙස් මත එච්.‍එස්. පෙරේරාගෙන් 1914 දී ඩී.ආර්. විජයවර්ධනයන් මිලදී ගත්තේය. එය සාර්ථක ලෙස පවත්වාගෙන ගිය ඔහු මෙරට ප්‍රථම වරට පුවත්පතක පළවූ වර්ණ ඡායාරෑපයක් ලෙස 1915 පෙබරවාරි 2 වැනිදා සිංහ කොඩියක වර්ණ ඡායාරෑපයක් දිනමිණ මුල් පිටුවේ පළ කළේය. එලෙසම 1918 දී එතෙක් ‘සිලනීස් නමින් පළවූ ඉංග්‍රීසි පුවත්පත මිලදී ගෙන එය ඩේලිනිවුස් ලෙස ප්‍රකාශයට පත් කළේ එකල මෙරට ජීවත් වූ ඉංග්‍රීසි කියවන දේශප්‍රේමී ජාතිය සඳහාය. ඩී.ආර්. විජයවර්ධනයන් සමඟ සර් ඩී.බී. ජයතිලක, ඒ.ඊ. ගුණසිංහ, පොන්නම්බලම් අරුණාචලම්, පොන්නම්බලම් රාමනාදන්, එෆ්.ආර්. සේනානායක, ඩී.එස්. සේනානායක, සිද්ධි ලෙබ්බේ වැනි ජාතික නායකයන් එක් වී පිහිටුවා ගත් ලංකා ජාතික සමිතිය පසුව ලංකා ජාතික සංගමය බවට පත්වෙමින් අපේ රටට නිදහස ලබාගැනීමට අමිල මෙහෙවරක් කළේය.  

අදිරදවාදීන්ගෙන් හා ඔවුන්ගේ ගැති දේශපාලනඥයන්ගෙන් බැට කෑ ජනතාව එදා කැරලි ගැසූහ. සිරබත් කෑහ. විරෝධාකල්ප රණ ගී ගැයූහ. වචනයෙන් පවා නිදහස වෙනුවෙන් සටන් කළ ශ්‍රේෂ්ඨ ජාතියක් අප සතුය. රාජ ප්‍රශස්ති අභිබවා අසාධාරණ රාජ්‍ය බලයට එරෙහිව විමුක්ති ගී බිහිවිය. එදා කුරාකුහුඹු රුලක් දැක කුංකුණාවේ හාමුදුරුවන් පැවසූයේ අනේ කුහුඹුවනේ තොපටත් රජෙක් ඉන්නේ රජෙක් ලැබුණොතින් එදා කිරිබත් කන්නේ පෙරහර කරන්නේ සාදු නාදෙන් ගිගුම් දෙන්නේ යනුවෙනි.

කව් ගී ගැයීම පාර්ලිමේන්තුව තුළද තහනම් වූ යුගවල සෝමවීර චන්ද්‍රසිරි, ටී.බී. තෙන්නකෝන් වැනි දේශපාලන කවීන් සභා ගැබ විරෝධකල්ප කවියෙන් ඔකඳ කළ අයුරු අපට මතකය. 

වසර 30ක් තිස්සේ බැට කෑ යුද්ධයේ අඳුරු මතක ගොන්නට තිත තබා 2009 මැයි 19 වැනිදා එල්ටීටීඊ ත්‍රස්ත්‍රවාදය මුළුමනින්ම තුරන් කරමින් නිදහසින් පසු ජාතියේ දෙවැනි නිදහස සමරනු ලැබීම අප ලැබූ තවත් ඓතිහාසික ජයග්‍රහණයකි. 

එවක ජනපති වත්මන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාත් එවක ආරක්ෂක ලේකම් වූ වත්මන් ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතාත් ආරක්ෂක අංශවලට නායකත්වය දෙමින් වීරෝදාර රණවිරුවන් විශාල පිරිසක් රට වෙනුවෙන් දිවි පූජා කරමින් ඒ කළ මහා සංග්‍රාමය හමුවේ අපි අද නිදහසේ නිදහස භුක්ති විඳිමු. මේ ආකාරයට දිනූ ශ්‍රී ලංකාවේ දිනූ නිදහස බාධක මැද ආරක්ෂා කර ගන්නේ කෙසේදැයි අප හමුවේ ඇති ප්‍රධානම අභියෝගයකි.  

බිම්බරක් සෙනග ගැවසුණු චන්ද්‍ර සූර්යයා ඉපදුණු වෙල්ලස්සේ සටනට පණදුන් විරුවෝ පිරිසක් ඉංග්‍රීසී පාලකයන් විසින් රාජද්‍රෝහීන් ලෙස නම් කරනු ලැබූහ. ඓතිහාසික උඩරට ගිවිසුම අත්සන් කළ මහනුවර ශ්‍රී දළදා මාලිගා පරිශ්‍රයේ මඟුල් මඩුවේදී 2017 මාර්තු මස 01 වැනිදා  එම ඓතිහාසික  වරද නිවැරුදි කරමින් එවක ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා රණවිරුවන් පිරිසක් දේශප්‍රේමීන් ලෙස නම් කිරීමේ ගැසට් පත්‍රයට අත්සන් තැබීම එම විරුවන්ට කළ ජාතික උපහාරයකි. 

රට 74 වැනි නිදහස් දිනය සමරන විට රටේ ආර්ථික වර්ධන වේගය පහළ වැටී තිබෙන අතර රට විදේශ ණය අර්බුදයක පැටලී තිබේ. ආර්ථික වර්ධනයට එල්ල වන බාධා මඟහරවමින් දේශපාලන එක්සේසත්කමින් යුතුව සංවර්ධනය කරා ගමන් කිරීම සඳහා දැඩි අධිෂ්ඨානයක් අත්‍යවශ්‍යය. 

ඕනෑම අයකුට සැරයටියක් වනමින් පාරේ ගමන් කළ හැකිය; එහෙත් ඒ නිදහස අනෙකාගේ නාසය ඇති තැනින් කෙළවර විය යුතුය කියා හැරල්ඩ්ලැස්කි කියූ වදන ලෝ ප්‍රකටය. අනෙකාට ගරු කිරීමේ චින්තනමය පුළුල් බව ලැබෙනතාක් අප තවමත් මානසිකව යටත් වැසියන්ය. 74 වැනි නිදහස සමරන මේ මොහොතේ පුළුල් චින්තනමය නිදහසක් අප ප්‍රාර්ථනා කරන්නේ ඒ නිසාය. දේශයේ දිනූ නිදහස රුකගනිමින් අනාගතයට පියමං කිරීම අප සැමගේ වගකීමකි. 

 සසංක චලන ගිම්හාන