ප්‍රතිභාපූර්ණ චරිතාංග නළුවකු වූ සිරිල් වික්‍රමගේ සිය 90 වැනි ජන්ම දිනය ජනවාරි මස 26 වැනිදා තම ආදරණීය සහෝදර නළු නිළියන් කැළක් සමඟ තම නිවහනේ සැමරීය. වසර ගණනාවක් ඕස්ට්‍රේලියාවේ ජීවත්වුණ සිරිල්ගේ වැඩිමහල් පුතණුවන්ද තම පියාට නොදන්වා එදිනම තම නිවෙසට පැමිණි අතර එය සිරිල්ගේ ජීවිතයේ නොමැකෙන උපන්දින තෑග්ගක් විය.
1932 වසරේ ජනවාරි මස 26 වැනිදා උපත ලද සිරිල් වික්‍රමගේ කුරුණෑගල සිට සැතපුම් හතකට පමණ ඈතින් පිහිටා ඇති කොහිලගෙදර ග්‍රාමයේ ජීවත් විය. සහෝදරයන් හතරක් සහ සහෝදරියන් හතරක් සිටි පවුලේ පස්වැනියා වූයේ සිරිල් වික්‍රමගේය. ඔහුගේ පියා ගොවි මහතෙකි. නමින් චාල්ස් වික්‍රමගේය. මව ලිසියාය. එකල සිරිල්ගේ ගම්මානයට ගමන් පහසුකම් තිබුණේ නැත. ඔහු සැතපුම් නවයක් පමණ දුර ගෙවා සැමදාම පාසලට ගියේ පයින්ය. එකල ගමේ තම වයසේ මිතුරන් සමඟ පා ගමනින් ගිය සිරිල්ට වෙහෙස මහන්සියක් තිබුණේ නැත. ඔහු තම පියාගේ ගොවිතැන් කටයුතුවලට පවා උදව් කළේය. ලෝක යුද්ධය පැවැති එකල කුරුණෑගල කාපිරි සොල්දාදුවන් එහා මෙහා ගිය හැටි අදටත් සිරිල්ට මතකය.
ඔහු ගැලවීමේ හමුදාව මගින් පවත්වාගෙන ගිය ගමේ පාසලකින් මූලික අධ්‍යාපනය ලැබුවේය. ගමේ පාසලේ පහසුකම් තිබුණේ නැත. පාසලේ අධ්‍යාපනය ලැබුවේ ශිෂ්‍ය ශිෂ්‍යාවන් දෙසීය ගණනකි. දරුවන්ට ඉගැන්වීමට ගුරුවරුන් දස දෙනෙක් සිටියහ. නොදියුණු ගම්මානයක, නොදියුණු පාසලක සිරිල් වික්‍රමගේ තම අධ්‍යාපනය හැදෑරුවේය. පාසල් අධ්‍යාපනයෙන් පසුව සිරිල් පේරාදෙණිය ගුරු අභ්‍යාස විද්‍යාලයට ඇතුළත් වී අභ්‍යාස විද්‍යාලයේ වසර දෙකක ගුරු පුහුණුවක් ලැබුවේය.
වසර දෙකකට පසුව ගුරු අභ්‍යාස විද්‍යාලය අනුබද්ධිත පාසලකට ඔහුට මුල්ම පත්වීම ලැබුණි. ඒ පේරාදෙණියේය. සිරිල් වික්‍රමගේ සංගීතයට දැඩිව ඇළුම් කළේය. සිරිල්ගේ පියා දක්ෂ නැට්ටුවෙකි. එමෙන්ම බෙර වාදනයටද අපූරු හැකියාවක් ඔහුට තිබුණි. තම කුඩා කාලයේදී ගමේ නාඩගම් නාට්‍යවල පියා රඟපෑ අයුරු සිරිල්ට මතකය. ගීතයට, රංගනයට සිරිල්ට කැමැත්ත ඇතිවීමට මූලික හේතුව වූයේ තම මව්පියන් බව සිරිල් කියන්නේය. කුඩා කාලයේදීත් ඔහු චිත්‍රපට බැලුවේය. කුරුණෑගල රොක්සි සිනමාහලේදී ඔහු කඩවුණු පොරොන්දුව නැරඹුවේය.
මහනුවර සිරිල් පෙරේරා සංගීත ගුරුතුමන් යටතේ සිරිල් සංගීතය ඉගෙන ගත්තේය. ඔහු වයලීනය වාදනයට සැබෑ දක්ෂයෙකි. පේරාදෙණිය ගුරුවරයකු ලෙසින් සේවය කළ සිරිල් වික්‍රමගේට රත්මලාන බිහිරි පාසලෙන් ගුරුවරයකු ලෙස ගුරු පත්වීමක් ලැබුණි. සිරිල් කොළඹට පැමිණියේය. වසර දෙකක් ඔහු එම පාසලේ ගුරුවරයකු ලෙස සේවය කළේය. එම පාසලේ දරුවන්ට නර්තනය ඉගැන්වීමට දෙහිවල සිට ග්‍රේෂන් මාස්ටර් පැමිණියේය. සංගීතයට ඇළුම් කළ සිරිල් ග්‍රේෂන් මාස්ටර්ගෙන් නැටුම් ඉගෙන ගත්තේය.
ඒ අතර ඔහු විද්‍යෝදය විශ්ව විද්‍යාලයෙන් උපාධිය ලැබුවේය. වයලින් වාදනයට මනා කැමැත්තක් දැක්වූ සිරිල් ප්‍රවීණ සංගීතඥ සෝමවංශ පට්ටිආරච්චිගෙන් වැඩිදුර වයලීන් වාදනය ඉගෙන ගත්තේය.
ඒ සමයේදී කොළඹ වෙස්ලි විද්‍යාලයට සිරිල්ට ගුරු පත්වීමක් ලැබුණි. එකල වෙස්ලි විදුහලේ නර්තන භාරව සිටියේ ශ්‍රී ජයනා නම් ගුරුවරයාය. ශ්‍රී ජයනා සිරිල් මෙන්ම තවත් කිහිප දෙනකු එක්ව රණතිසර නම් මුද්‍රා නාට්‍යයක් එළිදැක්වීය. රණතිසර මුද්‍රා නාට්‍යයේ ගීතයක් වෙනුවෙන් ඔවුන් මුණගැසීමට වරක් ආනන්ද සමරකෝන්ද පැමිණියේය. සංගීත අධ්‍යක්ෂණය කරන ලද්දේ ඩන්ස්ටන් ද සිල්වාය. ආනන්ද සමරකෝන් සිරිල් වික්‍රමගේ සමඟ බොහෝ හොඳ මිතුරු සමාගමක් ඇතිකර ගත්තේය.
වෙස්ලි විද්‍යාලයේ සිටි ෆීලික්ස් ප්‍රේමවර්ධන නම් නාට්‍යකරුවා මිනිස් ගතිය නම් වේදිකා නාට්‍ය නිෂ්පාදනය කළේය. එම වේදිකා නාට්‍යයේද අනු චරිතයක් රඟපෑමට සිරිල්ට අවස්ථාව ලැබුණි.
එකල සිරිල් හැඩිදැඩි තරුණයෙකි. බොරුල්ලේ ඩිරොයි හෝටලයේ කාමරයක නැවතී සිටි සිරිල් කාමර කුලිය ලෙස මසකට ගෙවූ මුදල රුපියල් විසිපහකි. ආනන්ද සමරකෝන්, ධම්ම ජාගොඩ, ෂෙල්ටන් සිල්වා නිතර සිරිල්ගේ කාමරයට පැමිණියහ. ඔවුහු එකල කායවර්ධන ව්‍යායාම් කළෝය.
මිනිස් ගතිය වේදිකා නාට්‍යයේ රංගනය වෙනුවෙන් සිරිල් වික්‍රමගේට හරි අපූරු අවස්ථාවක් ලැබුණි. ඒ ගුණසේන ගලප්පත්ති විසින් මූදු පුත්තු නාට්‍යයට සිරිල්ව සම්බන්ධ කර ගනිමිනි. මූදු පුත්තු නාට්‍යයේ තේගිරිස් නම් චරිතයෙන් සිරිල් ඉතා ජනප්‍රිය විය.
මූදු පුත්තු වේදිකා නාට්‍ය හරි ජනප්‍රිය වුණා. මේ කාලේ මේ නාට්‍ය බලන්න ආපු සිසිර සේනාරත්න, හර්බට් එම්. සෙනවිරත්න මාව මුණගැහුණා. ඒ ඔවුන්ගේ චිත්‍රපටය වෙනුවෙන්. ඒ හඳපාන චිත්‍රපටයටයි. ඒ චිත්‍රපටයේ අනු චරිතයකට මාව තෝරාගෙන තිබුණා. ඒක තමයි මගේ පළවෙනි චිත්‍රපටය. එකත් බොහෝ ජනප්‍රිය වුණා. යැයි සිරිල් වික්‍රමගේ නම් ඒ ප්‍රතිභා පූර්ණ චරිතාංග කලාකරුවා තම අතීතය දේශය පිටු අතරට එක්කරමින් පැවසීය.
එතැන් සිට සිරිල් වික්‍රමගේ විවිධ චරිත, විවිධ චිත්‍රපටවලින් ආරාධනා ලැබුණි. සත් සමුදුර චිත්‍රපටයේ රංගනයෙන් සිරිල් අතිශය ජනප්‍රිය විය. ඔහු රඟපෑ වේදිකා නාට්‍ය අතරින් දේවතා එළි, කුවේණි, තවත් උදෑසනක්, දවසක වෙනස, එලොව ගිහින් මෙලොව ආවා, පබාවතී, ලියතඹරා, නැට්ටුක්කාරි වැනි නාට්‍ය හැඳින්විය හැකිය.
සත්සමුදුර චිත්‍රපටයේ ගුණදාස ලෙසින් බොහෝ දෙනා අතරට ආ සිරිල් බිනරමලී, පාරාවළලු, වල්මත් වූවෝ, එයා දැන් ලොකු ළමයෙක්, සිරිමැදුර, සෙයිලම, මාරුතය, පාලම යට, කුලගෙය, සුද්දිලාගේ කතාව, මංගල තෑග්ග, මී හරකා, අඹු සැමියෝ, අහස් ගව්ව ආදී බොහෝ චිත්‍රපටවලට රංගනයෙන් දායක විය.
සිරිල් වික්‍රමගේ වේදිකා නාට්‍ය, සිනමා නිර්මාණ පමණක් නොව පුංචි තිරයද ජයගත් කලාකරුවෙකි. ගව්වෙන් ගව්ව, ඇල්ල ළඟ වලව්ව, මිහිකතගේ දරුවෝ, කරදිය වළල්ල, පළිඟු මැණිකේ, සෙනෙහෙලතා, නුඹ නාඬන් එවැනි නිර්මාණයන් කිහිපයකි.
ඔහු අධ්‍යක්ෂණයෙන් නිර්මාණ දෙකකට දායක විය. ඒ සිහින ලොවක් සහ කරදිය වළල්ලය. බොහෝ නිර්මාණවලට සිරිල් වික්‍රමගේ දායක වූයේ ගුරු වෘත්තියේ නියැලෙමින් සිටියදීමය. ඔහු උපාධිධාරී කලාකරුවෙකි. කලක් ටවර්හෝල් පදනමේ අධ්‍යක්ෂක තනතුරක්ද දැරුවෝය.
සිරිල් වික්‍රමගේ දරුවන් හතර දෙනකුගේ ආදරණීය පියෙකි. පිරිමි දරුවන් දෙදෙනා මේ වනවිට විදෙස්ගතව සිටින අතර දියණියන් දෙදෙනාගේ ආදරය රුකවරණය නිරන්තරයෙන් සිරිල්ට ලැබේ. ආදරණීය බිරිඳගේ රුකවරණයත් සමඟ ජීවිතයේ සැඳෑ සමය ගෙවන සිරිල් වික්‍රමගේ දරු මුහුණුපුරන්ගේ ආදරය ලබන දයාබර සීයා කෙනෙකි.
දිශානි ජයමාලි කරුණාරත්න
සේයාරූ - සුමුදු හේවාපතිරණ