2022 පෙබරවාරි 05 වන සෙනසුරාදා

වෙළෙඳ ඇමැතිගේ සහල් මිල සහ මාකට් එකේ මිල

 2022 පෙබරවාරි 05 වන සෙනසුරාදා, පෙ.ව. 10:00 68

සහල් මිල පිළිබඳ අද රටේ පවතින්නේ විවාදාත්මක තත්ත්වයකි. එයට හේතුව රජය ප්‍රකාශ කරන මිලට සහල් ගන්නට නොමැති වීමය. රජය ප්‍රකාශ කරන මිලට සහල් ලක් සතොස වෙළෙඳ සල්වලින් මිලට ගන්නට හැකි බව වෙළෙඳ ඇමැති බන්දුල ගුණවර්ධන ප්‍රකාශ කළද ඒ කියන තරමට රජයේ සහන මිලට සහල් ස.තො.ස. වෙළෙඳ සල්වල නොමැත. තිබුණද අවශ්‍ය තරමට මිලට ගත නොහැක. බොහෝ ස.තො.ස. වෙළෙඳසල්වලට අවශ්‍ය තරම් සහල් තොග නොලැබෙන බව ඒවායේ කළමනාකරුවෝ කියති. ඒ නිසා අකැමැත්තෙන් වුවද ඔවුන්ට යම් යම් සීමා කිරීම් කරන්නට සිදුව තිබේ. මේ වනවිට බොහෝ වෙළෙඳසල්වල නිකුත් කරන සහල් ප්‍රමාණය කිලෝ පහකට සීමාකර ඇත. ඇතැම් ඒවායේ සහල් සමඟ යෝගට් හෝ වෙනත් අතිරේක ආහාර යම් පමණකට මිලට ගත යුතු යැයි සීමා පනවා තිබේ. ඒ නිසා පාරිභෝගිකයන්ට සහල් සමඟ තමාට අනවශ්‍ය ද්‍රව්‍ය මිලට ගන්නට සිදුව තිබේ. ඒ තත්ත්වය මත ඔවුන් සහල් මිලට ගැනීමට සතොස වෙළෙඳසල්වලට පැමිණීම දුර්වල වී තිබේ.

අනෙක් කරුණ වන්නේ බොහෝ ස.තො.ස. ආයතනවල ඇත්තේ ආනයනික සම්බා සහල් පමණක් වීමය. ඒවායේ මිල කිලෝව රුපියල් 128කි. නාඩු සහ කැකුළු සහල් බොහෝ විට ස.තො.ස.වල දක්නට නැත. මේ නිසා අකමැත්තෙන් වුවද වැඩි මිලට සම්බා සහල් මිලට ගැනීමට ජනතාවට සිදුව ඇත. ස.තො.ස. සඳහා චීනයෙන් සහ වෙනත් රටවලින් ගෙන්වන සම්බා සහල්වල ගුණාත්මක තත්ත්වය පහළය. අපේ රටේ සම්බා සහල් සමඟ සංසන්දනය කිරීමේදී ඒවායේ රසය අඩුය. මේ නිසා බොහෝ දෙනා ආනයනික සම්බා සහල් පාරිභෝජනයට මැලිවෙති. 

අනිත් අතට තවත් දුෂ්කරතාවක් වන්නේ සහල් මිලට ගැනීම සඳහා ලක් සතොස වෙළෙඳ සල් සොයා යාමය. මුළු රටේම ඇත්තේ ස.තො.ස. වෙළෙඳ හල් 500ට අඩු සංඛ්‍යාවකි. ඒවා පිහිටා ඇත්තේ නගර සහ සුළු නගරවලය. ගමේ පිටිසර පාරිභෝගිකයා සැතපුම් 10-15 දුර ගෙවා ස.තො.ස. වෙළෙඳසල් සොයා නගරයට යා යුතුව ඇත. ඒ සඳහා ත්‍රිරෝද රියක් පාවිච්චි කරන විට එයට ගෙවන්නට වන ගාස්තුව සැලකීමේදී සහල් කිලෝ පහක් මිලට ගැනීමට නගරයට යනවිට වැයවන මුදල අනුව ඔවුන්ට ගම්බදව සිල්ලර කඩයකින් වැඩි මිලට වුවද සහල් මිලට ගැනීම වාසිදායකය. අනිත් ගැටලුව වන්නේ ස.තො.ස.ට එන සහල් ඉක්මණින් අලෙවි වී අවසන් වීමය. පැමිණීමේ ප්‍රමුඛතාව මත සහල් අලෙවි කරන නිසා ප්‍රමාද වී යන අයට හිස් අතින් ආපසු පැමිණීමට සිදුවේ. මේ තත්ත්වය මත සහල් මිලට ගැනීමට ස.තො.ස. වෙත යාමට පාරිභෝගිකයෝ රුචි නොකරති.

අනෙක් ගැටලුව වන්නේ සහල්වල මිලය. සහල්වලට තිබුණු පාලන මිල ඉවත් කිරීමෙන් පසුව සහල් මිල තීරණය කිරීමේ අයිතිය මහා පරිමාණ සහල් මෝල් හිමියන් අතට පත්විය. එයට පසු නූල කඩාගත් සරුංගලයක් සේ සහල් මිල දිගටම වැඩිවිය. එකම මිල පැවතියේ ඉතා කෙටි කාලයකි. සතියක් හෝ දෙකකි. කිසිවකුටවත් නොදන්වා ඔවුන්ම සහල් මිල ඉහළ දැමූහ. එලෙස මිල ඉහළ දැමීම ගැන රජය වගේ වගක් නැතිව සිටින නිසා කිසි බිය සැකක් නැතිව ඉහළ මිලට සහල් අලෙවි කිරීමට වෙළෙන්දෝ පියවර ගත්හ. අද සහල් මිල දවසින් දවස වැඩිවෙයි. මාධ්‍යවල පළවන පුවත් පරිදි සමහර ප්‍රදේශවල උදේ තිබූ සහල් මිල සවස් වනවිට කිලෝව රුපියල් 20කින් ඉහළ නංවා ඇත. මෙලෙස දවසට දෙපාරක් සහල් මිල වැඩිවන්නේ නම් එය හුදෙක් වෙළෙඳ මාෆියාව මගින් කෙරෙන්නක් බවට කිසිදු සැකයක් නැත. පාරිභෝගිකයාට සහල් මිල ගැන දැනගන්නට ලැබෙන්නේ වෙළෙඳ පොළට ගිය පසුවය. කිලෝ දෙකක් මිලට ගන්නට ගිය අයට සිදුවන්නේ එම මුදලින් කිලෝ එකක් මිලට ගැනීමටය. සහල් මිල ඉහළ යාමට හේතු කිසිවක් ප්‍රකාශ කරන්නේ නැත. වෙළෙඳුන් පවසන්නේ අපට ලැබෙන මිලේ හැටියට මෙයිට අඩුවෙන් දෙන්න බැහැ කියලාය. එහෙත් තොග වෙළෙඳුන් හෝ ආණ්ඩු පාර්ශ්වය සහල් මිල ඉහළ යාමට හේතු පවසන්නේ නැත. අද විවෘත වෙළෙඳ පොළේ පවතින සහල් මිල මෙසේය. සුදු කැකුළු කිලෝව රුපියල් 160කි. රතු කැකුළු රුපියල් 175කි. නාඩු කිලෝව රුපියල් 165කට අලෙවි වන අතර සම්බා කිලෝව රුපියල් 180 පමණය. කීරි සම්බා කිලෝව රුපියල් 225 දක්වා ඉහළ ගොස් තිබේ. මේ මිලට සහල් ලබාගෙන දිනකට එක වේලක් හෝ බත් කන්නට සාමාන්‍ය ජනතාවට නුපුළුවන් බව පෙනෙන්නට තිබේ.
එසේ වුවද වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධනයන්ගේ සහල් මිල මෙයට වඩා බොහෝ සේ පහළය. ඔහු පවසන්නේ නාඩු සහල්වල මිල රු.105ට වැඩිවන්නට නොදෙන අතර සම්බා මිල කිලෝව රුපියල් 128 මට්ටමේ තබාගන්නා බවකි.

මෙයට පෙර ඔහු පැවසුවේ සහල් කිලෝව රුපියල් 98 බැගින් 100ට අඩුවෙන් අලෙවි කරන බවය. එහෙත් මේ වනවිට එම කතාව පුස්සක් වී තිබේ. ඔහු දැන් පවසන සහල් මිලද ඉදිරියේදී එම මට්ටමෙන් පවත්වා ගැනීමට හැකිවේද යන්න අවිනිශ්චිතය. ස.තො.ස. මගින් අද අලෙවි කරන මිල ඉදිරියට පවත්වාගෙන යාමට හැකිවේද යන්න සැකසහිත වන්නේ ජාත්‍යන්තර වෙළෙඳ පොළේ සහල් මිල ක්‍රමයෙන් ඉහළ යාමය. චීනය වැනි අපේ මිත්‍ර රටවලට පවා දිගටම අද දෙන මිලට සහල් දෙන්නට හැකිවේදැයි සැකසහිතය. එසේ වුවහොත් වෙළෙඳ ඇමැතිවරයාටද දැන් පවසන මිල ඉහළ දමන්නට සිදුවේ. වෙනත් විකල්පයක් ඔහුට නැත.
පසුගිය සැප්තැම්බර් මාසයේ රජය සහල්වල සහතික මිල ඉවත් කළ පසු මහා පරිමාණ සහල් මෝල් හිමියන් පැවසුවේ රුපියල් 115ට සහල් අලෙවි කරන බවයි. ඔවුන් වී කිලෝව රුපියල් 62.50ට මිලදී ගන්නා බවද පැවසූ බව අපට මතකය. එහෙත් ඒ දෙකම සිදුවූයේ නැත. දෙසැම්බර් මාසය වීමට ප්‍රථම සහල් කිලෝව රුපියල් 150ක් විය. මෙය වුවමනාවෙන්ම කළ මිල ඉහළ නැංවීමකි. එයට හේතුව සැප්තැම්බර් වනවිට යල කන්නයේ ගොයම් කපා අවසන් වන නිසා පොරොන්දු වූ පරිදි රුපියල් 115ට සහල් සපයන්නට කිසිවකුටවත් අපහසුවක් නොවීය.

මේ පිළිබඳව කුඩා සහ මධ්‍ය පරිමාණ සහල් මෝල් හිමියන් පවසන්නේ මෙය මුළුමනින්ම මහා පරිමාණ මෝල් හිමියන් සහ ආණ්ඩුව එකතු වී නිර්මාණය කළ මිලක් බවයි. මේ පිළිබඳ ආණ්ඩුවද දැනුවත් වී සිටින නමුත් එය නොදන්නා ගාණට බලධරයන් සිටින බව ඔවුහු කියති.
කුඩා සහල් මෝල් හිමියකු වන ආනමඩුවේ කේ.ඒ.ඩී. අභයසිරි මෙසේ කියයි.

මෙලෙස සහල් මිල ඉහළ යාම මාෆියාවක්. රුපියල් 62.50ට වී මිලට අරගෙන 115ට හාල් දෙන්න පුළුවන් නම් ඇයි එකවරටම මේ විදියට සහල් මිල ඉහළ දැම්මේ? මහා පරිමාණ මෝල් හිමියන් රුපියල් 40ට 50ට ගත්ත වී තමයි ඔවුන්ගේ ගබඩාවල තිබෙන්නේ. එහෙම තිබියදී  වී කිලෝව 62.50ට මිල ඉහළ දැමීම මහ මෝල් හිමියන් සමඟ එළඹ තිබූ ගිවිසුමක් අනුව සිදුවූ දෙයක්. දැන් වී කිලෝවක මිල රුපියල් 90ට ආණ්ඩුව ඉහළ දාලා තියෙනවා. එයින්ද විශාල වාසියක් ලැබෙන්නේ මෝල් හිමියන්ට. ඒ මොකද දැන් ඔවුන් සහල් මිල නියම කරන්නේ වී කිලෝව රු. 90 පදනම මත පිහිටලයි. මෙයින් පාරිභෝගිකයා අසරණ වන අතර ව්‍යාපාරිකයා අධික ලාභයක් ලබනවා.

මේ පිළිබඳ අදහස් පළකරන සමස්ත ලංකා සහල් මෝල් හිමියන්ගේ සංගමයේ සභාපති ඩී.කේ. රංජිත්: 

සහල් මිල මෙච්චර ඉහළ යන්නේ නැහැ මෙයට පෙර සහල් ආනයනය කිරීමට තීරණය කළා නම්. ඒත් එය කරන්න ප්‍රමාද වුණා. ඒ නිසා ඇතැම් ව්‍යාපාරිකයන්ට හිතූ හැටියේ මිල වැඩිකරන්න අවකාශ ලැබුණා. කෙසේ වුණත් ප්‍රමාදවෙලා හෝ සහල් ගෙන්වන නිසා මේ වනවිට මිල අඩුවෙන්න ඕනෑ, එහෙත් එය ප්‍රමාද වෙන්නේ වෙළෙඳුන්ගේ ඒකාධිකාරය නිසයි. රජය සතු වී සංචිත නැහැ. රජයට ගොවීන්ගෙන් වී මිලට ගැනීමට කිසිදු වැඩපිළිවෙළක් නැහැ. මුදල් ප්‍රමාණවත් ලෙස වෙන් කරන්නේ නැහැ. මේ තත්ත්වය දන්නා මහා පරිමාණ ව්‍යාපාරිකයන් මිල තීරණය කිරීම තමන් අතට ගෙන තිබෙනවා

සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ ජාතික සංවිධායක නාමල් කරුණාරත්න:

ආණ්ඩුව සහල්වලට තිබුණු මිල සීමා ඉවත් කරලා සහල්වල මිල තීරණය කිරීමේ බලය සම්පූර්ණයෙන්ම මෝල් හිමියන්ට පැවරුවා. එදා ඉඳලා ඒ අය තමයි රටේ සහල් මිල තීරණය කිරීමේ බලධරයන් වන්නේ. රජයේ කෘෂිකර්ම ඇමැතිලා සහ ආයතනවල ප්‍රධානීන් නිකම්ම නිකම් පඹයන් බවට පත්වෙලයි තියෙන්නේ. එහෙම තිබියදී ආණ්ඩුව වී මිල තීරණය කරනවා. මේ පාර වී කිලෝව රු.95ක් කියලා ප්‍රචාරය කළා. ඒත් ගොවීන්ගෙන් වී මිලට ගන්න ආණ්ඩුවට වැඩපිළිවෙළක් තියෙනවාද? වී අලෙවි මණ්ඩලය මේ වනවිට පණ අදින ස්වභාවයෙන් තියෙන්නේ. මිල නියම කළාට ඒ මිලට ගන්න බැරිනම් මොකටද තීරණය කරන්නේ. එයින් වෙන්නේ අහක සිටින මුදලාලිලාට නොසිතූ තරමට විශාල වාසියක් ලැබීමයි. වී අලෙවි මණ්ඩලයට අවශ්‍ය නිලධාරීන් නැහැ. වාහන පහසුකම් නැහැ. මිලදී ගැනීමේ වැඩපිළිවෙළක් නැහැ. එහෙම තිබියදී වී මිල නියම කරන්නේ මොකටද?

මුදලාලිලා ඊළඟට සහල් මිල තීරණය කරන්නේ වී කිලෝව රුපියල් 95 මත පිහිටලයි. ඔවුන් ළඟ තියෙන්නේ කිලෝව රුපියල් 35ට හතළිහට ගත් වී. මේ දිනවල හාල් කරන්නේ මෙයට වසර දෙකකට පෙර ගත් වීයි. අද ප්‍රකාශ කළ වී මිල අනුවයි සහල් මිල කරන්නේ. එයින් ඔවුන්ට ගජ ලාභයක් ලැබෙනවා. අපට පෙනෙන්නේ මෙය හිතාමතාම මෝල් කාරයන් සමඟ එකතුවෙලා ආණ්ඩුව කරන සෙල්ලමක් කියලයි.

හාල් ගණන් ගිය විට එය පහළ හෙලන්න යැයි වෙළෙඳ ඇමැතිවරයා සහල් ආනයනය කරනවා. අපේ විදේශ විනිමය අර්බුදය උග්‍රවෙලා තියෙන කාලයේ විශාල වශයෙන් සහල් ගෙනඒමට විනිමය වැය කරනවා. සහල් නිෂ්පාදනය අඩුවූයේ රසායනික පොහොර තහනම් කළ නිසයි. අපේ සහල්වලින් වකුගඩු රෝග හැදෙන බවයි ආණ්ඩුව කිව්වේ. දැන් පිටරටින් ගෙන්වන සහල් වලින් ඔය කියන වකුගඩු රෝග හැදෙන්නේ නැතිද කියලා ඇසිය යුතුයි. රටේ දේශීය සහල් නිෂ්පාදනයට උරදිය යුතුව තිබියදී ආණ්ඩුව කළේ වී ගොවිතැන කඩා වට්ටලා පිටරටින් සහල් ගෙන්වීමයි. අපේ රටේ සහල් වගේ ගුණාත්මක රසවත් සහල් ආනයනයෙන් ලැබෙන්නේ නැහැ. ජනතාව කුසගින්නේ සිටින්න බැරිකමට කනවා මිසක් සතුටෙන් ආහාරයට ගන්නේ නැහැ. බන්දුල ඇමැති පිටරටින් සහල් ගෙනැල්ලා කීයක් හරි අඩු මිලට දුන්නත් ඒ සහල් නිසා ජනතාවට සිදුවන අයහපත විශාලයි. එය ගැන සැලකීමයි වැදගත්.

 යසවර්ධන රුද්රිගු