
වසංගතයක් හමුවේ ජීවිතය කෙබඳු යන්න ගතවූ දෙවසර තුළ අපි සැම උගත්තෙමු. වසංගතය හේතුවෙන් පීඩාකාරී නවමු අත්දැකීම් රුසක් ගෙවුණු කාලය පුරා අත්වින්දෙමු. එම අත්දැකීම් අතර බලාපොරොත්තු සහගතව ලෝකයම විඳගත් එකම අත්දැකීමක් විය. ඒ නම් එන්නත්කරණය සම්බන්ධ අත්දැකීමයි. පසුගිය සතියට ශ්‍රී ලාංකිකයන් ලෙස අප එම අත්දැකීම ලබා වසරක කාලයක් සම්පූර්ණ වූයේය.
2019 වසරේ දෙසැම්බර් මාසයේදී චීනයේ වූහාන් නගරය නගරයේ ඇරඹි කොවිඩ් වසංගත වසර දෙකක් පුරා සමස්ත ලෝකවාසී ජනතාව පීඩාවට පත් කළේය. ආරම්භයේ දී වූයේ තැතිගැන්මක් පමණි. වසංගතට ප්‍රතිකාරයක් ලෙස භාවිත කළහැකි කිසිදු ඔසුවක් මනුෂ්‍ය වර්ගයා සන්තක නොවූයේය. ලොව දියුණු රටවල් රුසක ඖෂධ සමාගම් වසංගතය මර්දනය කළ හැකි ඔසුවක් සොයා පර් යේෂණ කළ අතර බලාපොරොත්තු සහගතව ලෝකයම ඒ දෙස බලා සිටියහ. එම පරීක්ෂණවල ප්‍රතිඵල ලෙස කොවිඩ් මර්දන එන්නත් කිහිපයක් සාර්ථකව අත්හදා බැලුණි. අනතුරුව එම එන්නත් ලෝක සෞඛ්‍ය සංවිධානය වසංගතය මර්දනය සඳහා නිර්දේශ කළේය.
ලොවපුරා එන්නත් මිලදී ගැනීම සඳහා ඇතිවූයේ අධික ඉල්ලුමකි. බලවත් රාජ්‍ය සිය පුරවැසියන් සඳහා එන්නත් ලබා ගැනීමට උපායශීලීව කටයුතු කළේය. එහෙත් ලොව පුරා දිළිඳු රාජ්‍යය සහ මැදි ආදායම් ලබන රටවලට එන්නත් මිලදී ගැනීම අතිදුෂ්කර කාර්යයක් විය. ඒ සඳහා මුදල් සොයාගත හැකි වුවත් ඉල්ලුමට සැපයුම ලබාදීමට ලොව තුළ ප්‍රමාණවත් නිෂ්පාදනයක් නොවීම හේතුවෙන් එන්නත්කරණ වැඩසටහන ආරම්භයේදී අතිශය ගැටලු සහගත විය. සම්පත් බෙදීයාමේ විෂමතාවය පිළිබඳ ලෝක සෞඛ්‍ය සංවිධානය පවා කනස්සලට පත්වූයේය.
ශ්‍රී ලංකාව ලොව කුඩා රාජ්‍යයක් ලෙස එන්නත් සපයා ගැනීමට දුෂ්කර සටනක නිරත විය. අසල්වැසි ඉන්දියාව පළමුව අප වෙත පිහිටට පැමිණියේය. ඒ වනවිටත් ලෝක සෞඛ්‍ය සංවිධානය අනුමත කර තිබූ ඇස්ට්‍රා සෙනෙකා එන්නත් තොගයක් ශ්‍රී ලංකාවට ලබාදීමට ඉන්දියාව කටයුතු කළේය. එහෙත් ආසන්න කාලයේදී ඉන්දියාව වසංගතය ප්‍රබල ගොදුරක් බවට පත්වීම හේතුකොටගෙන එන්නතේ දෙවැනි මාත්‍රාව සපයා ගැනීම පවා ශ්‍රී ලංකාවට අභියෝගයක් විය.
තත්ත්වය එසේ වුවත් 2021 වසරේ ජනවාරි 29 දින මෙරට එන්නත්කරණ වැඩපිළිවෙළ නිල වශයෙන් ආරම්භ විය. පළමුවරට එන්නත ලබා ගත්තේ මෙරට වසංගත රෝග විද්‍යා අංශයේ විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහතායි. ලොවපුරා විවිධ මතවාද පැතිරෙමින් තිබූ පසුබිමක ඒ මහතා ස්වේච්ඡාවෙන් එන්නත ලබා ගැනීමට ඉදිරිපත් විය. අනතුරුව ප්‍රමුඛතා හඳුනාගනිමින් ශ්‍රී ලංකාවේ එන්නත්කරණ වැඩපිළිවෙළ ක්‍රියාවට නැංවුණි. සෞඛ්‍ය සේවකයන් සහ වැඩිහිටි ප්‍රජාව ප්‍රමුඛත්වයේ ලා සලකා වැඩසටහන ක්‍රියාත්මක විය.
එන්නත් සපයා ගැනීම ලොව දුෂ්කරම කාර්යයක් වුවත් සාර්ථකව ඉටු කිරීමට ශ්‍රී ලංකා රජය සමත් වූයේය. ඊට චීනය ලද සහයෝගය සුවිශේෂී වූ බව සිහිපත් කළ යුතුය. සිනෝෆාම් එන්නත් තොග ලැබීම ආරම්භ වීමත් සමඟ මෙරට එන්නත්කරණ වැඩසටහන වේගයෙන් ඉදිරියට ඇදුණි. ලොව බලවත් රාජ්‍යයන්ට දෙවැනි නොවෙමින් එන්නත්කරණ දර්ශකවල ඉහළින්ම රුඳීමට ශ්‍රී ලංකාව සමත් විය. තවත් එන්නත් වර්ග රුසක් ශ්‍රී ලංකාවට ලැබුණි. සියලුම වයස් කාණ්ඩවලට බෙදා දක්වමින් එන්නත්කරණ වැඩසටහන ක්‍රියාත්මක විය.
ජනවාරි 29 වැනිදා එන්නත්කරණය වර්ෂ පූර්ණය ජාතික වශයෙන් සැමරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය කටයුතු කළේය. එහිදී හෙළිදරව් වූ පරිදි මේ වනවිට මෙරටට මිලියන 51කට අධික එන්නත් තොගයක් ගෙනැවිත් තිබේ. මේ අතර මෙම කාලසීමාව තුළ මෙරට සාර්ථක එන්නත්කරණ වැඩපිළිවෙළ හේතුවෙන් එන්නත්කරණය අතින් ලොව පළමු රටවල් 05 අතරට ශ්‍රී ලංකාව එක්ව ඇති බවද අමාත්‍ය රඹුක්වැල්ල මහතා පැවසීය.
එන්නත්කරණ ජාතික වැඩසටහනට වසරක් සම්පූර්ණ වනවිට වර්ග පහක් යටතේ එන්නත් මාත්‍රා තුන්කෝටි පනස් හයලක්ෂ තිස්හතරදහස් හාරසීය අනූ හතක් (35,634,497) ජනතාව වෙත ලබා දී තිබේ. සිනෝෆාම් එන්නත් මාත්‍රා දෙකෝටි තිස් ලක්ෂ විසි නම දහස් තුන්සීය පනස් තුනක් (23,029,353), ෆයිසර් එන්නතේ මාත්‍රා හැත්තෑ හත් ලක්ෂ අනූ අටදහස් පන්සීය අනූඅටක් (7,798,593), ඇස්ට්‍රාසෙනිකා එන්නතේ මාත්‍රා විසි අට ලක්ෂ අනූ නමදහස් හාරසීය හැටක් (2,899,460), මොඩර්නා එන්නත් මාත්‍රා පන්ලක්ෂ අනූ දෙදෙහස් එකසීය හැට දෙකක් (592,162), ස්පුට්නික් එන්නතේ මාත්‍රා තුන්ලක්ෂ දාහතර දහස් විසි හතරක් (314, 024) ලබාදී තිබේ.
මේ වනවිට ක්‍රියාත්මක වෙමින් ඇත්තේ දෙවැනි මාත්‍රාව ලබාගත් අයට තෙවැනි මාත්‍රාව (බූස්ටර්) ලබාදීමේ වැඩසටහනයි. ඒ සඳහා ජනතාව යම් මැලිකමක් දක්වන බව පෙනී යයි. ඒ නිසාම පසුගිය සතිය තෙවැනි මාත්‍රාව ලබාදීම සඳහා සුවිශේෂී සතියක් කොට නම් කිරීමට රජය තීරණය කොට ඇත. මේ මොහොතේ අපගේ වගකීම වන්නේද එන්නත්කරණයට උපරිම සහයෝගය ලබාදීමයි.
එන්නත්කරණයෙන් ලොව පළමු රටවල් පහ අතරේ ශ්‍රී ලංකාවත්
- සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල
(එන්නත්කරණ වැඩපිළිවෙළ ආරම්භ කර අදට වසරක් සපිරීම නිමිත්තෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයේ පැවැති ජාතික වැඩසටහනේදී කළ කතාව)
සෞඛ්‍ය අමාත්‍යවරයා ලෙස මා පත්වීමට පෙර ජනමාධ්‍ය අමාත්‍යවරයාව සිටි සමයේ පටන් ජනාධිපතිතුමන්ගේ ප්‍රධානත්වයෙන් පැවැති සාකච්ඡා සඳහා නිරන්තරයෙන් සම්බන්ධ වුණා. ඒ තුළ ව්‍යසනය පරාජයටත්, එන්නත්කරණය පිළිබඳවත් ජනාධිපතිතුමා තුළ තිබූ උනන්දුව සහ දැඩි ආත්ම විශ්වාසය හොඳාකාරවම දුටුවා. විශේෂයෙන් උනන්දුව හා ආත්ම විශ්වාසය මෙවැනි ව්‍යසන පරාජයට ප්‍රමුඛ සාධකයකි. එදා ඇතැම් දේශපාලන කණ්ඩායම් පාර්ලිමේන්තුවේ පළමු පැය මෙයට චෝදනා එල්ල කරමින් අඳෝනා නගන්නට වුණා. නමුත් අද වනවිට සාර්ථක එන්නත්කරණය සහ කොවිඩ් වෛරසය පාලනය තුළ ජනතා ජීවිත සුරක්ෂිත කොට තිබෙනවා.
රටවල් ගාණේ එන්නත් සිඟමනේ යනවා, එන්නත් ලක්ෂ හයක් වසංගතය පාලනයට මදි, කොරෝනා මර්දන දිනය හරියට කියන්න බැරි නම් අස්වෙලා ගෙදර යන්න. එන්නත්කරණය අයාලයේ යනවා. මෙවැනි ප්‍රකාශ කරමින් එන්නත්කරණ වැඩපිළිවෙළ අධෛර්යමත් කිරීමට විවිධ උපක්‍රම යෙදුවා. නමුත් ජනාධිපතිතුමාගේ දැඩි විශ්වාසය තුළ ගොඩනැගුණ වැඩපිළිවෙළට සෞඛ්‍ය සේවාවේ ඉහළ නිලධාරීන්ගේ සිට සුළු සේවකයා දක්වා භාරගත් අභියෝගය හේතුවෙන් මේ වැඩපිළිවෙළ ජයග්‍රහණය කළා. ව්‍යසනය ආරම්භ වනවිට මෙරට පර් යේණාගාර 04 යි තිබුණේ. ඒ වෙනුවෙන් ඇඳන් 05ක් වෙන්කර තිබුණා. නමුත් ඉතා කෙටි කාලයක් තුළ එම ප්‍රමාණය ඉහළට ගෙන ඒමට අපට හැකි වුණා. ව්‍යසනය තුළ ඇතැම් රටවල වෛද්‍යවරුන්, හෙදියන් සේවයට වාර්තා කළේ නැහැ. ඔවුන් පැත්තකට වී සිටියා. නමුත් අපේ රටේ විශේෂඥ වෛද්‍යවරයාගේ සිට සෑම තරාතිරකම පිරිස් ගෞරවනීය කැපකිරීමක් මෙන්ම ඉහළ සේවාවක් ඒ වෙනුවෙන් ඉටු කළා. අවදානම පැත්තක දමා ඔවුන් රාජකාරී කළා. ඔවුන් වගකීම අතහැර ගියේ නැහැ. එහි ප්‍රතිඵලයක් ලෙස කොවිඩ් පාලනය කළ හැකි වුණා.
මේ වනවිට ඉලක්කගත ජනගහනයෙන් සියයට සියයකට පළමු එන්නත ලබාදී ඇති අතර 94%කට දෙවැනි එන්නත ලබාදීමටත්, වයස 12-15 අතර 92% කට දෙවැනි එන්නත ලබාදීමට හැකියාව ලැබී තිබෙනවා. ව්‍යසනයෙන් ජනතාව බේරාගැනීමේ වැඩපිළිවෙළේදී ජනාධිපතිතුමා විශ්වාස කළ ප්‍රබලම සාධකය එන්නතයි. මරණ අඩුවීම, ව්‍යාප්තිය අඩුවීම පිළිබඳව ජනාධිපතිතුමන් දැඩි විශ්වාසයෙන් පසුවූවා. ඒ වෙනුවෙන් එතුමා කිසිදු පැකිළීමකින් තොරව ක්‍රියාත්මක වුණා. එන්නත්කරණය ආරම්භ කර වසරක් තුළ ලොව පළමු රටවල් 05 අතරට එක්වෙමින් රටේ ජනතාවට ඉහළ ආරක්ෂාවක් ලබාදීමට අපට හැකියාව ලැබී තිබෙනවා. එන්නත්කරණයට වසරක් සපිරෙන මේ මොහොතේ ඒ වෙනුවෙන් කැපකිරීම් කළ සියලුදෙනා අපේ පමණක් නොව ජාතියේම ඇගයීමට ලක්විය යුතුයි.
මේ වනවිට තුන්වැනි එන්නත හෙවත් බූස්ටර් එන්නත ලබාදීම ආරම්භ කර තිබෙනවා. එම වැඩපිළිවෙළ කඩිනම් කර ව්‍යසනය පාලනය කිරීම මෙන්ම තමන් හා අනෙකුත් පිරිස් ඉන් මුදවා ගැනීමේ වගකීම සෑම පුරවැසියෙකුගේම යුතුකමකි. මේ රටේ ජනතාව ඒ වෙනුවෙන් එදා මෙන් අදත්, අද මෙන් හෙටත් එම වගකීම ඉෂ්ඨ කරනු ඇති බව අප බලාපොරොත්තු වෙමු.
චමිඳු නිසල් ද සිල්වා