2022 ජනවාරි 29 වන සෙනසුරාදා

විදුලි අර්බුදයට සැබෑ හේතු

 2022 ජනවාරි 29 වන සෙනසුරාදා, පෙ.ව. 10:00 1447

විදුලි අර්බුදයේ දිග පළල උස ගැඹුර පිළිබඳව යථා තතු අවබෝධ කර ගැනීමට විශේෂඥයකු ඔබ හමුවට කැඳවාගෙන ඒමට අපි තීරණය කළෙමු. බලශක්ති ක්ෂේත්‍රයේ විශේෂඥයකු වන ඔහු නමින් ආචාර්ය තිලක් සියඹලාපිටියයි. විදුලි අර්බුදයට සැබෑ හේතුව සේම ඊට ඇති පිළියම් පිළිබඳව අපි ඔහු හා සාකච්ඡා කළෙමු. එම සංවාදය සංක්ෂිප්ත කොට මෙම සටහන පිළියෙළ වේ. 

විදුලියේ පවතින මූලික ගුණාංගයක් වන්නේ සැපයුම් ධාරිතාවයි. එය බලාගාරයකදී  මනිනු ලබන්නේ මෙගා වොට්වලිනි. පාරිභෝගිකයා වොට්වලින් සහ කිලෝ වොට්වලින් විදුලිය පරිභෝජනය කොට පද්ධතිය මත ඉල්ලුමක් ඇති කරයි. මෙම වසරේදී එම ඉල්ලුමේ උපරිමය මෙගා වොට් 2900ක් වෙතැයි අපේක්ෂා කෙරේ. පවතින කාලගුණික තත්ත්වය සහ විදුලි ඉල්ලුම සැලකූ විට මෙම වසරේ මාර්තු මාසයේ එක්තරා දිනක රාත්‍රී හතට පමණ මෙකී වූ උපරිම අගය සටහන් වෙතැයි ආචාර්ය තිලක් සියඹලාපිටිය පැහැදිලි කරයි. මීට ඉහතදී පද්ධතිය මත වූ උපරිම ඉල්ලුම 2020 වසරේ පෙබරවාරි මාසයේදී සටහන් වූ අතර එය මෙගා වොට් 2717 කි.

පද්ධතිය මත ඇතිවන මෙම ඉල්ලුම සැපයීම සඳහා සමාන බලාගාර ධාරිතාවක් රට සතු විය යුතුය. ඒ අනුව මෙගා වොට් 2900ක ධාරිතාවෙන් යුතු බලාගාරද අප සතුවීම අවශ්‍ය වේ. බලාගාරයට සේම ඒවා ක්‍රියාත්මක කිරීමට ජලය, තෙල්, ගල්අඟුරු සහ පුනර්ජනනීය බලශක්තිය ලෙස සූර්ය තාපය හෝ සුළං අත්‍යවශ්‍ය වේ. මෙහිදී සුවිශේෂී කරුණ නම් ශ්‍රී ලංකාව සතු පද්ධතිය මෙගා වොට් 4700 කි. මේ අනුව ඔබට නිසැක ප්‍රශ්නයක් පැන නගිනු ඇත. මෙගා වොට් 4700ක ධාරිතාවයක් තිබේ නම් මෙගා වොට් 2900ක උපරිමය සපුරාලීමට නොහැකි ඇයි? ඊට තාක්ෂණික සහ විද්වත් පිළිතුරක් තිලක් සියඹලාපිටිය මහතා අප වෙත ලබා දෙයි.

විදුලිය පිළිබඳ උපරිම ඉල්ලුම සනිටුහන් වන්නේ රාත්‍රී කාලයේදීය. ඊට හේතුව ඔබට පහසුවෙන් අවබෝධ කොටගත හැකිය. එවන් මොහොතක දී සමස්ත පද්ධතියේ ඇති මෙගා වොට් 4700න් අදා ඉල්ලුමට අවශ්‍ය පරිමාව ජනනය කිරීමට ප්‍රභවයන් රට සතු විය යුතු වේ. සමස්ත පද්ධතිය දෙස අවධානය යොමු කළ විට එය මෙසේ කොටස් කළ හැකිය.

තෙල් භාවිත කරන තාප විදුලි බලාගාර - මෙගා වොට් 1200 

ගල්අඟුරු භාවිත කරන තාප විදුලි බලාගාර - මෙගා වොට් 900

විශාල ජල විදුලි බලාගාර - මෙගා වොට් 1400

පෞද්ගලික අංශයෙන් ක්‍රියාත්මක කරන දැව සූර්ය සහ සුළං බලාගාර - මෙගා වොට් 800

වහළ මත ඇති සූර්ය කෝෂ - මෙගා වොට් 400 

එකතුව - මෙගා වොට් 4700 

ඉහත දත්ත අනුව ජාතික විදුලිය පද්ධතියට මෙගා වොට් 1200ක් එකතු වන්නේ වහළ මත ඇති සූර්ය කෝෂ සහ කුඩා පරිමාණ සූර්ය, සුළං, දැව ප්‍රභවයන් ලෙස භාවිත කරනු ලබන කුඩා පරිමාණ බලාගාරවලිනි.

එසේ නමුත් රාත්‍රී කාලයේ දී සූර්ය බලාගාර හරහා විදුලි ධාරිතාවක් ජාතික  විදුලියට එකතු නොවේ. එසේම පවත්නා වියළි කාලගුණික තත්ත්වය මත කුඩා ජල විදුලි බලාගාර ක්‍රියාත්මක වීමට අවශ්‍ය වැසි ජලය ද මේ දිනවල නොමැත. එසේම ඊසාන දිග මෝසම හේතුවෙන් සුළං බලාගාර ක්‍රියාත්මක වීමට අවශ්‍ය සුළඟද මෙම වකවානුවේදී ප්‍රමාණවත් පරිදි නොලැබේ. දැව ඉන්ධන ලෙස භාවිත කරන බලාගාර සීමිත ප්‍රමාණයකින් සහ කුඩා ජල විදුලි බලාගාරවලින් ලැබෙන්නේ සීමිත මෙගා වොට් ප්‍රමාණයකි. ඒ අනුව ඉහත මෙගා වොට් 1200න් මේ වන විට රාත්‍රී කාලයේ ජාතික පද්ධතියට එකතු කළ හැකි වන්නේ උපරිම මෙගා වොට් 100ක් පමණි.
විශාල ජල විදුලි බලාගාරවලින් මෙගා වොට් 1400ක් ජාතික පද්ධතියට එකතු වන බව අපි ඉහත දී සඳහන් කළෙමු. ලක්ෂපාන මහවැලි බලාගාර ප්‍රමුඛව මෙම මහා පරිමාණ ජල විදුලි බලාගාරවලින් ජලය නිකුත් කරනු ලබන්නේ වාරිමාර්ග සඳහා ජල අවශ්‍යතාවයක් පවතින්නේ නම් පමණි. කෙසේ වෙතත් මෙම වකවානුවේදී වාරිමාර්ග සඳහා ජලය අවැසි නොවේ. එම නිසාම මහවැලි බලාගාර ප්‍රමුඛව දිවයිනේ බොහෝ ජල විදුලි බලාගාරවලින් ඉදිරි යල කන්නයේදී මෙන්ම පානීය ජල අවශ්‍යතාවය සැපිරීම කෙරෙහි ද මෙම ජලාශවල ජලය මෙම කාල වකවානුවේ දී රඳවා තබා ගැනීම අතිශය වැදගත් වේ. 

ඒ අනුව එම ජලාශවල ජලය ආරක්ෂා කර ගැනීමට වාරිමාර්ග දෙපාර්තමේන්තුව, ජල සම්පාදන මණ්ඩලය, මහවැලි අධිකාරිය, කෘෂිකර්ම අමාත්‍යාංශය ඇතුළු ආයතන උත්සාහ දරයි. විදුලි අවශ්‍යතාවය සැපයීම සඳහා ජලය මුදාහැරීම අවශ්‍ය වුවද මේ මොහොතේ එම ඉල්ලුම සිදු කළ නොහැක්කක් බව පැහැදිලිය. ඒ අනුව මෙම වකවානුවේ මහා පරිමාණ ජල විදුලි බලාගාරවලින් ජාතික පද්ධතියට එකතු වන්නේ මෙගා වොට් 500ක පමණ ප්‍රමාණයක් බව කියැවේ. 

ඉදිරි මාස කිහිපය තුළ පාරිභෝගිකයන් ජාතික පද්ධතිය මත ඇතිකරන උපරිම ඉල්ලුම මෙගා වොට් 2900ක් වෙතැයි අපි ආරම්භයේදී පැවසුවෙමු. තෙල් භාවිත කරන තාප විදුලි බලාගාරවලින් ලැබෙන මෙගා වොට් 1200 සහ ගල්අඟුරු භාවිත කරන තාප විදුලි බලාගාරවලින් මෙගා වොට් 900ක් කිසිදු ගැටලුවකින් තොරව ලැබුණහොත් තත්ත්වය කෙසේ වේද? අපි මොහොතකට සිතා බලමු. මහා පරිමාණ ජල විදුලි බලාගාරවලින් ලැබෙන මෙගා වොට් 500 සහ කුඩා පරිමාණ විදුලි බලාගාරවලින් ලැබෙන මෙගා වොට් 100 සැලකූ විට සමස්තයක් ලෙස ජාතික පද්ධතියට එකතු කළ හැකි උපරිම විදුලි ධාරිතාව මෙගා වොට් 2700කි. ඒ අනුව පැහැදිලිව පෙනී යන කරුණක් වන්නේ වර්තමාන ඩොලර් අර්බුදය මුළුමනින්ම විසඳුන ද ඉදිරි මාර්තු මාසය වන විට ජාතික අවශ්‍යතාවය සඳහා විදුලිය සැපයීම අතිශය අර්බුදකාරී තත්ත්වයක් වනු ඇති බවයි.

තෙල් සහ ගල්අඟුරු බලාගාරවලින් මෙගා වොට් 2100ක අතිරික්තයක් පද්ධතියට එකතු කළ හැකි යැයි අප පෙර කී නමුත් එය එතරම් ප්‍රායෝගික යථාර්ථයක් නොවේ. එය එසේ සිදු කළ හැක්කේ සියලු බලාගාර ඉතා හොඳ තත්ත්වයෙන් එක විට ක්‍රියාත්මක වන විටක දී පමණි. සුළු අලුත්වැඩියාවකට පවා බලාගාරයක කුඩා හෝ කොටසක් නවතාලීමට එවන් විටක දී නොහැකිය. ආචාර්ය තිලක් සියඹලාපිටිය මහතා පෙන්වා දෙන්නේ විදුලි බලාගාරයක බිඳවැටීම්, අලුත්වැඩියා ඉතා සාමාන්‍ය තත්ත්වයක් බවයි. නොරොච්චෝලේ බලාගාරයේ නඩත්තුවක් සිදුවීම රටට පුවතක් වුවද තමන්ට එය පුවතක් නොවන බව ඔහු පවසයි. එහෙත් නොරොච්චෝලේ බලාගාරය වසරකට දින 35කට වඩා නඩත්තුව වෙනුවෙන් නතර කළහොත් එය සැලකිය යුතු තත්ත්වයක් බව ඔහු කියා සිටියි.

මෑතකාලීනව නිරන්තරයෙන් හටගන්නා ශ්‍රී ලාංකීය විදුලි අර්බුදයට සැබෑ හේතුව පාරිභෝගික අවශ්‍යතාවය සපුරාලීමට පද්ධතියේ ධාරිතාවක් නොවීම බව මේ අනුව ඉතා පැහැදිලිය. ඉන්ධන ලබාගැනීමට ඩොලර් ලැබුණද නිශ්චිත වශයෙන්ම මෙම වසර තුළ විදුලි කප්පාදු කිරීම් සිදු කිරීමට බලධාරීන්ට සිදුවනු ඇත. ඩොලර් හිඟය සහ ඉන්ධන ලබාගැනීමේ ගැටලුව යන අර්බුද නවමු වුවද වුවද ශ්‍රී ලාංකික විදුලි අර්බුදය කලක සිට ඉදිරියට ඇදෙමින් තිබෙන අර්බුදයකි. මේ වන විට සිදුව ඇත්තේ ඩොලර් හිඟය නම් අර්බුදය, විදුලි අර්බුද මතට කඩා වැටීමය.

විදුලි අර්බුදයට සැබෑ විසඳුම කුමක්ද යන්න අප මීළඟට සංවාදයට ගත යුතු තේමාවයි. එහිදී පෙරට පැමිණෙන කරුණක් වන්නේ වසර 2කට වරක් යාවත්කාලීන වන වසර 20ක ඉදිරිය සලකා විදුලිබල මණ්ඩලය විසින් සකසා ඇති ජනන සැලසුමයි. විදුලිය අවශ්‍යතාවය සම්බන්ධ සියලු දත්ත තොරතුරු මෙම සැලසුමේ අන්තර්ගත කොට තිබේ. අනාගත විදුලි පාරිභෝගික අවශ්‍යතාවය සම්බන්ධයෙන් පූර්ව අවබෝධයක් සහිතව මෙම සැලසුම තුළින් ඉදිරි වසරවලදී ජාතික පද්ධතියට අවශ්‍ය විදුලිය ජනනය කිරීම සඳහා ඉදිවිය යුතු බලාගාර කවරේද යන්න දක්වා තිබේ. එය  ඉතා සවිස්තරාත්මකව තාක්ෂණිකව සකස් කරන ලද ලියවිල්ලකි.

මෙම සැලසුම තුළින් පසුගිය කාල වකවානුවේ මෙරට ඉදිකිරීමට නියමිතව තිබූ බලාගාර කිහිපයක් මේ වන තුරුත් ඉදිකොට නොමැත. පාරිභෝගික අවශ්‍යතාවය සැපිරීම සඳහා ජාතික පද්ධතියට ධාරිතාවයක් නොමැති බව අපි ඉහත සඳහන් කළෙමු. එසේ නම් ජාතික පද්ධතියේ ධාරිතාව අවම වීමට හේතුව පසුගිය කාලයේ එම බලාගාර ඉදි නොකිරීම බව ඔබට පැහැදිලි වනු ඇත. ජනවාරි මස සිට අප්‍රේල් මාසය දක්වා පවතින වියළි කාලගුණය සහ එම වකවානුවේ විදුලි ධාරිතාවය අවම වීම මෙම වසරේ පමණක් සිදුවන්නක් නොවේ. මේ සම්බන්ධව සියලු බලධාරීන් කල් ඇතුව දැනුවත්ය. මේ මොහොතේ පවතින අවශ්‍යතාවය සැපිරීම සඳහා කල් ඇතිවම සැලසුම් සකසා ඇත්තේ එබැවිනි.

2015 සැලසුම තුළින් 2022 සම්බන්ධව පවසා ඇත්තේ කුමක්ද යන්න අප සොයා බැලිය යුතු බව හා ආචාර්ය තිලක් සියඹලාපිටිය මහතා පෙන්වා දෙයි. එම සැලැස්මට අනුව 2022 වන විට ත්‍රිකුණාමලයේ මෙගා වොට් 500ක බලාගාරයක් ඉදි වී තිබිය යුතුය. කෙරවලපිටිය මෙගා වොට් 300ක බලාගාරයක් ඉදිකර තිබිය යුතුය. ද්‍රව කළ ස්වභාවික වායු ද කෙරවලපිටියෙන් ගොඩබිම සතු විය යුතුය. එහෙත් දේශපාලන පන්දු කෙළිය හේතුවෙන් කිසිදු බලාගාරයක් මෙරට තුළ ඉදි නොවුණි. වර්තමාන විදුලි අර්බුදය කෙරෙහි බලපා ඇති ප්‍රධානතම හේතු සාධකය එයයි. ඩොලර් සම්බන්ධ අර්බුදයක් පවතින බව සැබෑය. එය ද විදුලිබල අර්බුදයට ආසන්නතම හේතුවක් වී ඇති බව සත්‍යයකි. එහෙත් ශ්‍රී ලාංකීය විදුලි අර්බුදය යනු ඊට එහා ගිය ගැඹුරක් සහිතව සංවාදයට ගත යුතු මාතෘකාවකි. අනාගතය නම් බොහෝ බොහෝ සෙයින් අඳුරුය.

විදුලි බලාගාර සම්බන්ධ දේශපාලන පන්දු කෙළිය සහ අර්බුදයට සැබෑ විසඳුම ද සමඟින් ලබන සතියේදී හමුවෙමු.

 සංවාද සටහන
චමිඳු නිසල් ද සිල්වා