2022 ජනවාරි 29 වන සෙනසුරාදා

ගෞරවය රැඳුණ තැන වේදනාවට කලකිරීමට ඉඩක් නැත

 2022 ජනවාරි 29 වන සෙනසුරාදා, පෙ.ව. 10:00 224

ගෞරවය කියලා කියන්නෙ පුද්ගලයෙකු හෝ ආයතනයක් කෙරෙහි ගෞරවය, සැලකිල්ල සහ වෙනත් එවැනි ධනාත්මක ගුණාංග පෙන්නුම් කරන ආකල්පයක් හෝ හැසිරීමක්. අන්තර්පුද්ගල සම්බන්ධතා සහ බැඳීම් තුළ අපි දකින උතුම් ගුණාංගයක් තමයි ගෞරවය.  ගෞරවපූර්වක ආකල්ප සහ හැසිරීම් මගින් අන්තර්පුද්ගල සම්බන්ධතා සහ බැඳීම් ශක්තිමත් කරනවා. මම විශ්වාස කරනවා ආදරය කියන හැඟීම උත්තරීතරත්වයට පත් කරන එක ගුණාංගයක් තමයි ගෞරවය කියන්නෙ කියලා. 

මට මතක් වෙනවා එක කතාවක්... විවාහවෙලා කවදාවත් අනෙකාට අගෞරව නොකරමින් හැසිරුණු ආදරණීය යුවළක් හිටියා... මේ  සැමියා  විවාහයට පෙර සිටම කොයිතරම් ගෞරවයෙන් ආදරයෙන් පිරුණු ජීවිතයක් ගත කරන්න ප්‍රාර්ථනා කළාද කීවොත් තමන්ගේ විවාහයේ සාක්ෂියට අත්සන් කරන්න තෝරා ගත්තෙත් එවන් යුග දිවියක් ගත කරපු කෙනෙක්. 

එක දවසක්  නිවාඩු දවසක බිරිඳ ගෙවත්තෙන් ෆැෂන් ගෙඩි කිහිපයක් කඩාගෙන ඇවිත් මේ දෙන්නට බොන්න රසවත් ෆැෂන් පානයක් හදලා ඇයට තෑගි ලෙස කෙනෙක්ගෙන් ලැබුණු ලස්සන වීදුරු ඇසුරුමකින් වීදුරුවකට ෆැෂන් පුරවලා තමන්ගේ සැමියාට පිරිනමනවා.

ෆැෂන් බීපු වීදුරුව පුංචි අත්වැරදීමකින් සැමියා අතින් බිඳෙනවා... ලස්සන වීදුරු ඇසුරුමක එක වීදුරුවක් අඩුවෙද්දී බිරිඳගේ ප්‍රතිචාරය මොකක් වෙයිද කියලා ඔහු ඇගේ මුහුණ දිහා බලනවා. 

ඔයා ඒ බිඳුණු වීදුරුව ගැන වද වෙන්න එපා... ඒ තමයි භෞතික දේවල්වල ස්වභාවය... කැඩෙනවා බිඳෙනවා නැති වෙනවා.. අනික් එක භෞතික දේවල් අපිට මිලට ගන්න පුළුවන්.. ඒවාට නිශ්චිත වටිනාකමක් තියෙනවා. ඒත් බැඳීමවලට, ඒ බැඳීම් ලස්සනට පාට කරන ආදරයට, ගෞරවයට තියෙන්නේ මනින්න බැරි වටිනාකමක්. ඔය වීදුරුවක් නිසා ඔයා දිහා තරහින් බලන්නවත් මම කැමති නෑ කියලා ඇය කියනවා. 

ඇය කියූ දේ ඇත්තටම ගැඹුරුයි... භාණ්ඩයක් වෙනුවට භාණ්ඩයක් මිලට ගන්න පුළුවන්... ඒත් හිතක ඇතිවෙන රිදීම්, සීරිම් තුවාල සමහරවිට ජීවිත කාලයම මතක හිටින වේදනාවක් වෙන්න පුළුවන්. භාණ්ඩ මිලදී ගත්තට ආදරය, ගෞරවය මිලට ගන්න බැහැ... ඒ දේවල් බිඳෙන තැනක ඇති වෙන කඩතොලු සමහර විට දවසකින් දෙකකින් මැකී නොයන්න පුළුවන්.  

දිනක් බුදුන් වහන්සේ අභිමුවට පැමිණෙන නකුල මාතා නකුල පිතා යුවළ කියනවා &ස්වාමිනී භාග්‍යවතුන් වහන්ස අප දෙදෙනා කවදාවත් අපි දෙන්නා දිහා රවලා බලලා නෑ, හිතුවිල්ලකින්වත් ද්‍රෝහි කමක් කරලා නෑ.. අපි ජීවත් වුණේ නොවෙනස් ආදරයකින් හා ගෞරවයකින්.. සංසාරය පුරාම මෙලෙස හමුවීම අපේ පැතුමයි කියලා..* ඒ වෙලාවේ බුදුන් වහන්සේ ඔවුන්ට දේශනා කරනවා &ඔබ දෙදෙන සම සීල, සම සද්ධා, සම  චාග, සම පඤ්ඤා, ආදී ගුණ ධර්ම වඩමින් තවදුරටත් ජීවත් වෙන්න කියලා..*  බුදුන් වහන්සේ වදාළ ඒ ගුණ දම් ඇතුළේ ගෞරවය කියන හැඟීම මැනවින් සම්මිශ්‍රණය වී තියෙනවා.  

ඒ වගේම සිඟාලෝවාද සූත්‍රයේදී දේශනා කළ සමාජ සංස්ථා අතර පැවතිය යුතු යුතුකම්වල ගැඹුරෙත් ගෞරවය තියෙනවා. ගෞරවපූර්ව යුතුකම් වගකීම් එකිනෙකා වෙනුවෙන් ඉටුකරන සමාජයක අත්තිවාරම නිර්මාණය කරන්න අවශ්‍ය සියලු ගුණධර්ම සිඟාලෝවාද සූත්‍රය තුළ අන්තර්ගතව තියෙනවා. ජාති, ආගම්, පාට, කුල පංති විදිහට සමාජය බෙදුනත් ඒ හැම පුද්ගලයන්ටම ආත්ම ගෞරවයක් තියෙනවා. ඒ වගේම විවිධත්වයට ගෞරව කිරීමේ වගකීම සියලු පුරවැසියන් සතු වගකීමක්. ගෞරවය ඇති තැන නින්දා, ගැරහුම්, අවමන්, අවතක්සේරු කිරීම්වලට ඉඩක් නැහැ. 

ගෞරවය පිළිබඳ මනෝවිද්‍යාත්මක ඉගැන්වීම් පිළිබඳවත් විමසා බැලීම වැදගත්. ඒවා දැනගත්තම කෙනෙකුට ගෞරවය ලබන්නට නම් කෙසේ ජීවත් විය යුතුද කියා ඉගෙනගන්න පුළුවන්. ඔබ තවත් කෙනෙකුගේ ගෞරවය ලබා ගැනීමට අපේක්ෂා කරන්නේ නම් පළමුව ඉගෙනගත යුතු දෙයක් තියෙනවා. එනම් අනෙකාට ගරු කිරීම.  
අන් අය ඔබට ගරු නොකරන විට එය ඉතා කලකිරීමට හා වේදනාකාරී වෙන්න පුළුවන්.  ඒ නිසා අපි හැමවිටම අනෙකාට ගරු කිරීම වැදගත් වෙනවා. සෑම විටම ඔබට ලැබෙන ප්‍රමාණයට වඩා වැඩි යමක් දෙන්නට උත්සාහ කිරීම වැදගත්. ආදරය වුවත් එහෙමයි. ආදරය ලබන්නට නම් ආදරය කිරීම අවශ්‍ය වෙනවා. එසේම ගෞරවය ලබා ගැනීමට ගෞරවය දිය යුතුයි. 

පළමුව ඔබ ඔබට ගරු කරන්න. ගෞරවය මුලින්ම එන්නේ පුද්ගලයකුගේ ඇතුළාන්තයෙන්. තමාට ගරු නොකරන කෙනෙක් කිසිසේත්ම අනෙක් අයට ගරු කරයි කියලා හිතන්න අමාරුයි. ඒ නිසා හැමවිටම ඔබ වටා සිටින අයට ගරු කරන්න පුරුදු වීම වැදගත්. සෑමවිටම අනෙක් පුද්ගලයින්ව අගය  කරන්න. ඔබ අන් අයට වටිනාකමක්, ගෞරවයක් අගය කිරීමක්  එකතු කිරීමට වැඩි අවධානයක් යොමු කරන තරමට තමා  ඔබට වැඩි ගෞරවයක් ලැබෙන්නෙ. 

ඔබේ සිතේ ඇති සියල්ල අනෙක් අය විශ්වාස කොට පැවසීමෙන් වළකින්න. ඔබ සිතන සෑම දෙයක්ම හැමෝම දැනගත යුතු නැහැ. තමාගේ අතිශය පෞද්ගලික ගැටලු තියෙන්න පුළුවන්. ඒව වෙනත් අය දැනගත්තම තමාගේ ගෞරවයට එමගින් හානියක් වෙන්න පුළුවන්. ගෞරවය ලබා ගන්නට නම් ඔබ සැමවිටම  අන් අයගේ හැඟීම්වලට ගරු කිරීම වැදගත්.  

ගෞරවය ලබන්නට නම් සෑමවිටම අව්‍යාජ වන්න. ධනාත්මකව සිටින්න. මිනිසුන් ධනාත්මක පුද්ගලයින්ට සෑමවිටම  ගරු කරනවා. වඩාත්ම ගෞරවණීය පුද්ගලයින් ධනාත්මක වචන වලින් අවංකවම අගය ප්‍රකාශ කරනවා. අවංක නමුත් උපායශීලී වන්න. ආකර්ෂණීය වීමට වඩා අවංක වීම හොඳයි.
යම් කටයුත්තකට සහභාගී වීමේදී සෑමවිටම නියමිත වේලාවට සිටින්න. කිසිවිටෙක නියමිත කාල සීමාවක් අතපසු නොකරන්න. ගෞරවයේ හොඳම ආකාරය වන්නේ දේවල් හොඳින් හා නියමිත වේලාවට සිදු කිරීමයි. එය අන් අයට ගරු කිරීම පෙන්නුම් කරනවා. අන් අය ගැන සැලකිලිමත් වන්න. ඔවුන්ට ගැටලුවක් පවතිනවිට එම ගැටලුව විසඳගන්නට තමාට හැකි අයුරින් උදවු කරන්න.  

අව්‍යාජ සවන්දීම පුරුදු කරන්න.  සෑම විටම විවෘත ප්‍රශ්න අසන්න. එසේම අනෙකාට  සවන් දෙන්න. අන් අයගේ අදහස් ගැන සැලකිලිමත් ෙවන්න.  සෑම මතයක්ම වටිනා බව හඳුනා ගන්න. මිනිසුන්ට කතා කිරීමට අවස්ථාවක් දෙන්න. අනෙකා අභිබවා තම අදහස් ප්‍රකාශ කරන්නෙක් නොව, සියල්ලට සවන් දෙන්නෙකු වන්න. සමාජයේ බොහෝ දෙනෙක් පුරුදු වෙලා සිටින්නෙ ඇහුම්කන් දීමට වඩා තමාගේ අදහස් කියන්න. ඔබ තවත් පුද්ගලයෙක්ට  සවන් දෙන විට ඔබ ඔහු හෝ ඇය කෙරෙහි සැලකිලිමත් බව පෙන්වනවා.

කිසිවිටෙක කිසිවෙකුගේ කාලය නාස්ති නොකරන්න. අන් අයගේ කාලයෙහි වටිනාකමට ගරුකරන්න. කාලය ගන්න. කාර්යබහුල කාලසටහන අතර අනෙක් පුද්ගලයින් සම්බන්ධයෙන්ද  සැලකිල්ල දක්වන බව ඒත්තු ගැන්විම වැදගත් වෙනවා. හැමෝගෙම හැඟීම් වැදගත් බව මතක තබා ගන්න. අන් අයගේ හැඟීම් ගැන සැලකිලිමත් ෙවන්න.

අන් අයගෙන් ඉගෙන ගන්න. ඔබ නොදන්නා දේ පිළිගන්න. සෑම දිනකම කියවීම සඳහා කාලය කැප කරන්න. ඔබ දන්නා තරමට, ඔබට කළ හැකි දේ වැඩි වෙනවා. ඔබ සතු දෑ අන් අය සමඟ නොමසුරුව බෙදා ගන්න. එවිට එහි ප්‍රතිලාභය විශාල වශයෙන් ඔබ වෙත  ආපසු පැමිණෙනවා. කිසිවිටෙක ඕපාදූප නොකියන්න. අන් අයව දැන හඳුනා ගන්න. සමීප සබඳතා වර්ධනය කිරීම, අන් අය ගැන වැඩි විස්තර දැන ගැනීමට වැඩ කිරීම, ඔබ ගෞරවයට සුදුසු බව පෙන්වනවා. මිනිසුන්ගේ නම් මතක තබා ගන්න. ඔබට අනෙකාගේ නම මතක තිබෙන බව ඔහු හෝ ඇය දැනගත්විට ඔවුන්ට එය ලොකු සතුටක්. එවිට ඔබ නිරායාසයෙන්ම ඔවුන්ගේ ගෞරවයට පාත්‍ර වෙනවා. 

සෑම විටම අන් අයගේ ගෞරවය පිළිගන්න. තමාගෙන් වරදක් සිදු වුවහොත් සමාව ඉල්ලන්න පසුබට නොවන්න. එවිට අනෙකාගේ ගෞරවයට පාත්‍ර වෙනවා. ඔබ වැරදි වූ විට, ඔබ කණගාටු වන බව සරලව කියන්න. එමගින් ඔබගේ නිහතමානීත්වය ප්‍රදර්ශනය කෙරෙනවා. සෑම විටම නිහතමානීකමට ගරු කරන්න. සැබෑ ගෞරවය ලැබෙන්නේ ඔබ මුණගැසෙන සෑම පුද්ගලයෙකුටම නිහතමානීත්වය ප්‍රදර්ශනය කිරීමෙන්.