
පසුගිය සතියේ මැද භාගයේදී ශ්‍රී ලංකාව තවත් ඇමෙරිකානු ඩොලර් මිලියන 500ක විදේශ ණයක් ගෙවා දැමීය. එම මුදල එකතු කර ගැනීම සඳහා ශ්‍රී ලංකා මහ බැංකුවට විශාල ආයාසයක් ගැනීමට සිදුවිය. රටට ගෙනා අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය නැව්වල භාණ්ඩ පවා රටට ගොඩබෑමට නොහැකි විය. එයට හේතුව ඒ සඳහා ගෙවීමට අවශ්‍ය ඩොලර් නිකුත් කිරීමට මහ බැංකුවට නොහැකි වීමය. මහ බැංකුව ප්‍රමුඛත්වය දුන්නේ විදේශ ණය ගෙවීමට මිස රටට අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ලබාදීමට නොවේ. ඒ නිසා රට තුළ අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය, ගෑස්, සිමෙන්ති හා ඖෂධවල හිඟයක් ඇතිවූ අතර මිලද ඉහළ ගොස් ජනතාවට යළි පෝලිම් යුගයකට යාම සිදුවිය.
ශ්‍රී ලංකා මහ බැංකුව ඩොලර් මිලියන 500ක විදේශ ණය ගෙවූ දිනයේම ඉන්ධනවලට ගෙවීම සඳහා අමෙරිකානු ඩොලර් මිලියන 500ක ණයක් ඉන්දියාවෙන් ලබා ගැනීමට අපට සිදුවිය. අපේ ඩොලර් එකතු කර පිටරටවලට ගෙවන විට ඒ හා සමාන මුදලක් විදේශයකින් ලබා ගැනීමට එදිනම අපට සිදුවීම දෛවයේ සරදමක් වැනි විය. කෙසේ වුවද මේ වසරේ ජූලි මස 25දා වනවිට අමෙරිකානු ඩොලර් බිලියනයක ණයක් ගෙවීමට සිදුව ඇති අතර ඉදිරියේදී දිගටම ගෙවන්නට ඇති ණය ගෙවීම පිළිබඳ ගැටලුවක් ඇතිවීම නොවැළැක්විය හැකි බව ආර්ථික විශ්ලේෂකයෝ පවසති.
දැනටමත් ජාත්‍යන්තර ශ්‍රේණිගත කිරීම් අනුව ශ්‍රී ලංකාව ණය අවදානමක් ඇති රටක් බවට ප්‍රකාශ කර තිබේ. සංවිධාන තුනක් එවැනි නිවේදන නිකුත් කර ඇත. පසුගිය සතියේ අමෙරිකා එක්සත් ජනපදයේ ණය ශ්‍රේණිගත කිරීමේ සමාගමක් වන SCP ග්ලෝබල් රේටින්ස් ආයතනය ණය බර අනුව ශ්‍රී ලංකාව CCC+ තත්ත්වයේ සිට CCC දක්වා පහළ දමා තිබුණි. මෙය ලොව ප්‍රධාන පෙළේ ණය ශ්‍රේණිගත කිරීම් ආයතනවලින් එකකි. රටේ ආර්ථිකයේ ඉදිරි දැක්ම ඍණාත්මක තත්ත්වයකට පත්ව ඇති බව ඔවුහු නිවේදනය කළහ. ශ්‍රී ලංකාවේ මූල්‍ය තත්ත්වය ඉදිරියේදී තවත් පිරිහීමට ලක්වීමට ඉඩ ඇති බව ඔවුහු කියති. එහෙත් ශ්‍රී ලංකා මහ බැංකුව පවසන්නේ මෙම නිර්නායකවල ප්‍රායෝගික තත්ත්වයක් නොමැති බවය. ශ්‍රී ලංකාව ගෙවීමට ඇති සියලුම ණයවාරික ප්‍රමාද නොකර මේ දක්වා ගෙවාගෙන එන නිසා මෙලෙස ශ්‍රේණිගත කිරීම්වලින් පහළ දැමීම අසාධාරණ බව කියයි. එහෙත් ජාත්‍යන්තර ආයතනවල වාර්තා අභිබවා යාමට මහ බැංකුවට පුළුවන්කමක් නැත.
කෙසේ වුවද බොහෝ ආර්ථික විශ්ලේෂකයන්ගේ මතය වී ඇත්තේ මේ අවස්ථාවේ රටට මුහුණ පාන්නට සිදුව ඇති අර්බුදයෙන් ගොඩඒම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහය පැතිය යුතු බවය. ජාත්‍යන්තරව ගෙවීමට ඇති ණය ගෙවීම යම් පමණකට හෝ ප්‍රමාද කළයුතු වන්නේ තවදුරටත් ණය ගෙවන්නට සිදු වුවහොත් රටේ ජනතාවට ජීවත්වීමේ ගැටලුවක් පැන නැගීමට ඉඩ ඇති බැවින්ය. මෙවැනි අර්බුදයකට මෙයට පෙර ලක්ව තිබූ ඉක්වදෝරය, ආර්ජන්ටිනාව, ලෙබනනය, සූරිනාමි, සැම්බියා යන රටවල් මුලින්ම කර ඇත්තේ ණය ගෙවීම නැවැත්වීමය. ඊළඟට ඔවුන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ සාකච්ඡා ආරම්භ කර තිබේ. එහි ප්‍රතිඵලයක් ආර්ජන්ටිනාව මාස 4කින්ද, ඉක්වදෝරය මාස 6කින්ද ණය ශ්‍රේණිගත කිරීම්වලින් උඩට පැමිණ ඇත. බොහෝ අය පවසන්නේ අපද ණය ගෙවීම නැවැත්වුවහොත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අපට ණයදීමට ඉදිරිපත් වීමට ඉඩ ඇති බවය.
අද අපට ගෙවන්නට ඇති ණයවලින් සියයට 47ක් සියයට 6 වැඩි පොලියට ගත් සංවර්ධන බැඳුම්කර ණය වේ. ලෝක බැංකුව, ආසියානු සංවර්ධන බැංකුව සෙසු ආයතනවල ණය ප්‍රමාණය සියයට 22ක් පමණය. ජපානයෙන් අප ලබාගෙන ඇති ණය සියයට 10ක් වන අතර චීනයෙන්ද සියයට 10කි. ඉන්දියාවෙන් අප ලබාගෙන ඇති ණය ප්‍රමාණය සියයට 2ක් වැනි සුළු කොටසකි.
මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් පවසන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මැජික් පෙට්ටියක් නොවන බවය. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ණය ගැනීම බරපතළ තීන්දුවක් වන අතර එය එකම විකල්පය නොවේ යැයි ඔහු කියයි.
&ණය ගැනීමට හොඳ විකල්ප තිබෙනවා නම් එම විකල්ප තෝරා ගැනීම වඩාත් හොඳයි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල එක විකල්පයක් පමණයි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ණය ගත්තාය කියලා ආයෝජන වැඩිවෙන්නේ නැහැ. සංචාරක පැමිණීම වැඩි වෙන්නෙත් නැහැ. ඇතැම් විට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලින් ණය ලබාගතහොත් ප්‍රශ්නය තවත් උග්‍ර වෙනවා ඇති. මෙහිදී අපට වෙනත් විකල්ප තිබේ නම් ඒවා තෝරාගන්න ඉඩ ලැබී තිබෙනවා.
2022 වසරේදී ශ්‍රී ලංකාව සියයට 5.5ක ආර්ථික වර්ධනයක් අපේක්ෂා කරනවා. 2022 වසරේදී අපට අභියෝග රුසකට මුහුණ දෙන්න සිදුවෙලා තියෙනවා. අත්‍යවශ්‍ය භාණ්ඩවල හිඟයක් රටේ නැහැ. 2021 වසරේ ආනයන වියදම අමෙරිකානු ඩොලර් බිලියන 21ක් වූවා. 2020දී වියදම ඩොලර් බිලියන 19යි. 2021 වසරේදී වාහන ආනයනය කළේ නැහැ. එහෙම වෙලත් ඉකුත් වසරවලට සාපේක්ෂව ආනයන වියදම ඉහළ ගොස් තිබුණා. එහෙම නිසා ආනයන සීමාකර තිබුණා හෝ අත්‍යවශ්‍ය භාණ්ඩ හිඟයක් තිබුණා කියලා හෝ කියන්න පුළුවන්කමක් නැහැ.* ඔහු සඳහන් කරයි.
මේ අතර විදේශ විනිමය සංචිත ඉහළ නැංවීමේ අරමුණෙන් පසුගිය නොවැම්බර් මාසයේදී පටන්ගෙන ශ්‍රී ලංකා මහ බැංකුව සිය රන් සංචිතවලින් සියයට 54.1ක් හෙවත් ඩොලර් මිලියන 206.8ක වටිනාකමින් යුතු රන් සංචිත ජනවාරි මස මුල් සතිය වනවිට අලෙවිකර ඇති බව ඇතැම් පුවත්පත් පෙන්වා දී ඇත.
2022 ජනවාරි මස 07 දින මහ බැංකුවේ සතිපතා ආර්ථික දර්ශක පෙන්නුම් කළේ රත්‍රන් සංචිතය දෙසැම්බර් මාසයේදී අමෙරිකානු ඩොලර් මිලියන 382 සිට 175 දක්වා පහළ බැස ඇති වගය. මෙය සතුව තිබූ රත්රන් ටොන් 6.69න් ටොන් 3.6ක් පමණක් වේ. ඒ අනුව දැනට ඉතිරිව ඇත්තේ රත්‍රන් ටොන් 3 සිට 3.01 දක්වා ප්‍රමාණයක් බව පැවසේ.
මෙයට පෙර මහ බැංකුව සතුව තිබූ ටොන් 19.6ක රන් සංචිතවලින් 2020 වසර ආරම්භයේදී රන් ටොන් 12.3ක් අලෙවිකර තිබුණි. ඉකොනොමි නෙක්ස්ට් වෙබ් අඩවියට අනුව ශ්‍රී ලංකාව රන් සංචිත විකිණූ සිව්වැනි වසර මෙය වී ඇත. ශ්‍රී ලංකාව හිතූ මතයට රත්‍රන් මිලදී ගැනීම ආරම්භ කළේ අජිත් නිවාඩ් කබ්රාල් මෙයට පෙර මහ බැංකු අධිපති ධුරය හෙබවූ සමයේදීය. 2015, 2018, 2019 යන වසරවල මහ බැංකුව රත්‍රන් අලෙවි කළ නමුත් සංචිත පහත වැටුණු නිසා ආපසු මිලදී ගැනීමක් කර නැති බව ඉකොනොමි නෙක්ස්ට් වෙබ් අඩවියේ පළ වී ඇති වාර්තාවකින් කියයි.
වෙරිට් රිසර්ච් සමාගමේ විධායක අධ්‍යක්ෂ ආචාර්ය නිශාන් ද මෙල් පවසා ඇත්තේ ශ්‍රී ලංකාව සිය ණය පියවමින් සිටින නමුත් තවදුරටත් ණය ගැනීමට නොහැකි නිසා විදේශ සංචිත ශීඝ්‍රයෙන් පහළ වැටෙමින් සිටින බවය.
විදේශ සංචිත මෙතරම් පහත් මට්ටමකට වැටී ඇති විටෙක ආනයනික මාසයකට වඩා අඩු කාලයකදී සංචිතවල මුදල් සංරචකය බැඳීම් සපුරාලීමට ප්‍රමාණවත් නොවන බව පෙනෙනවා. එබැවින් ශ්‍රී ලංකාව ඉදිරියට එන හිඟ මුදල් පියවීම සඳහා සංචිතවල ඉතිරිව ඇති රත්‍රන් ප්‍රමාණය ඈවර කිරීමට පටන්ගෙන තිබෙනවා. ශ්‍රී ලංකාව සිය ජාත්‍යන්තර ණය පියවීම නැවැත්වීමටත්, රට තවත් අර්බුදයකට නොවැටෙන පරිදි සංචිත රුක ගැනීමටත් කල්පනාකාරීව කටයුතු කළ යුතුයි. විධායක අධ්‍යක්ෂවරයා අවධාරණය කරයි.
රන් සංචිත අලෙවි කිරීමේ සිද්ධිය පිළිබඳ පසුගිය 11දා නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා මහ බැංකුව පැවසුවේ පවතින සංචිත කළමනාකරණ ප්‍රමුඛතා අනුව විදේශ සංචිතවල රන් වත්කම වරින්වර වෙනස් විය හැකි බවය.
ශ්‍රී ලංකා මහ බැංකුව පවසන්නේ 2021 දෙසැම්බර් මස අවසන් වනවිට ජාත්‍යන්තර සංචිතවල සංයුතිය වෙනස්වීම පිළිබඳ නොමඟ යවන සුළු හා වැරදි අර්ථකථන ගෙනදෙන මාධ්‍ය වාර්තා කිහිපයක් පළව තිබූ බවය. ඒ අනුව සංචිත කළමනාකරණ ක්‍රියාවලියේ සියලුම අංශ සලකා බලා නිල සංචිත සංයුතියේ වෙනස්කම් සංචිත කළමනාකරණ අවශ්‍යතා සහ ප්‍රමුඛතාවලට අනුකූල බව මහ බැංකුව පැහැදිලිව ප්‍රකාශ කරයි. මහ බැංකු නිවේදනයේ මෙසේද දක්වා ඇත.
ඇත්ත වශයෙන්ම 2008 වසර අවසානය වනවිට රටේ රන් සංචිතය අමෙරිකා එක්සත් ජනපද ඩොලර් මිලියන 92ක් (එ.ජ. ඩොලර් බිලියන 2.6ක දළ නිල සංචිතවලින් සියයට 3.6ක්) පමණක් වූ නමුත් 2014 වසර අවසානය වනවිට රන් සංචිතය ඩොලර් මිලියන 893 (එ.ජ. ඩොලර් බිලියන 8.2ක දළ නිල සංචිතවලින් සියයට 10.9ක්) දක්වා ක්‍රමයෙන් වැඩිවිය. එබැවින් විදේශ සංචිතයේ රන් වත්කම් කොටස පවතින සංචිත කළමනාකරණ ප්‍රමුඛතාවලට අනුකූලව රන් සංචිත මිලදී ගැනීම, රඳවා ගැනීම හෝ විකිණීම පිළිබඳ මහ බැංකුවේ තීරණ පිළිබිඹු කරමින් වරින්වර වෙනස්වන බව පැහැදිලි වේ.
ඒ අනුව සංචිත කළ මේ ද්‍රවශීලතාව ඉහළ නැංවීමේ අවශ්‍යතාව මත පදනම්ව 2021 අවසන් වනවිට මහ බැංකුවේ රන් සංචිතය ඩොලර් මිලියන 175 (එ.ජ. ඩොලර් බිලියන 3.1ක දළ නිල සංචිතවලින් සියයට 5.6) දක්වා අඩුවිය හැකි වුවත්. ඉදිරියේදී විදේශ සංචිත කළ මේ සංයුතියේ වෙනස්වීමක් අවශ්‍ය වන මට්ටම දක්වා වර්ධනය වනවිට එහි රත්‍රන් ලෙස පවතින ප්‍රමාණය වැඩි කිරීමේ අවශ්‍යතාව පිළිබඳ මහ බැංකුව සලකා බලනවා ඇත.
ආර්ථික විශ්ලේෂකයකු වන පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා පවසන්නේ මෙම ණය ගෙවීම් පසුපස ආණ්ඩුවේ බලධරයන්ගේ නෑදෑයන් සහ ගජමිතුරන්ට විශාල වාසි ගෙනදීමේ වැඩපිළිවෙළක් පවතින බවය. මෙම ණය ඩොලරය ශත 50 වැනි අඩු මුදලට තිබූ කාලයේ ඒ අයට අලෙවි කළ මුදල්ය. දැන් මේවාට ගෙවන මුදල ගණනය වන්නේ ඩොලරයේ වර්තමාන අගය අනුවය. ඒ නිසා ගෙවිය යුතු මුදල විශාල ලෙස ඉහළ නැග ඇත.
පොඩි මිනිහාගේ සහල්වලට, පාන් පිටිවලට, ඉන්ධනවලට, ඖෂධවලට ගෙවිය යුතු මුදල් නොගෙවා ඒ අය කුසගින්නේ තබා ඩොලර් එකතු කරලා මෙම සංවර්ධන බැඳුම්කරවලට ගෙවනවා. මේ නිසා අද රටේ ජනතාව අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය, බෙහෙත්, ඉන්ධන ආදිය නැතිව අමාරුවේ වැටිලා ඉන්නවා. මේ අය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට නොගොස් ණය ගෙවීමට උපරිම උත්සාහය ගන්නේ මේ නිසයි. ඒ අයට අවශ්‍ය ණය නොගෙවන්න නොවෙයි සියල්ල ශුද්ධ කරලා තම ගජ මිතුරන්ට සංග්‍රහ කිරීමටයි.
ශ්‍රී ලංකා මහ බැංකුවේ රන් සංචිත අලෙවි කිරීමේ ආරංචිය පිළිබඳව ඇසූ විට ආචාර්ය හර්ෂ මෙසේ කරුණු පැහැදිලි කළේය.
රුපියලේ විදේශ අගය ශක්තිමත් කිරීම සඳහා ඩොලර් නිපදවිය යුතුයි. ඒත් අපට එලෙස ඩොලර් සොයාගන්න මාර්ග ඉතිරි වී නැහැ. ඒ නිසා රන් සංචිත ඩොලර් කරලා වෙළෙඳපොළට මුදාහරිනවා. බන්දුල ගුණවර්ධන ඇමැතිවරයා කියන්නේ මේ රන් සංචිත පුළුස්සා දමන බවටයි. පසුගිය නොවැම්බර්වල ඩොලර් මිලියන 300ක් දෙසැම්බර්වල 400 ආදී වශයෙන් රන් සංචිත පුළුස්සා දමලා තියෙනවා. මෙය හරියට ගිනි ගොඩකට ඩොලර් නෝට්ටු දමනවා වගේ වැඩක්. එහෙම ඩොලර් අඩුකර ගත්තය කියලා ප්‍රයෝජනයක් ලැබිලා නැහැ.
ඇත්තවශයෙන්ම කිව්වහොත් මෙවැනි රත්‍රන් තොගයක් ශ්‍රී ලංකා මහ බැංකුවේ නැහැ. නියම රත්‍රන් තියෙන්නේ අමෙරිකාවේ නිව්යෝර්ක්වල බැංකුවලයි. ඒ වටිනාකමේ අයිතිය පමණයි අපේ මහ බැංකුවට තියෙන්නේ. එය හරියට ඉඩම් ඔප්පුවක් වගෙයි.
කෙනෙක් බංකොලොත් වුණාම තම දේපල වත්කම් විකුණනවා වගේ දෙයක් මේක. ඒත් මේ සෙල්ලම හැමදාම කරන්න බැහැ. මේවා විකුණලා හරි අමාරුවෙන් මේ අමෙරිකානු ඩොලර් මිලියන 500 ගෙව්වා කියමුකෝ. ඒත් ඉදිරියට ගෙවන්න ඇති බිලියන ගණන් සංවර්ධන බැඳුම්කර ණය ගෙවන්නේ කොහොමද?
මේ අවස්ථාවේ කළ යුතුව ඇත්තේ අමාරුවෙන් ඩොලර් එකතු කරගෙන තම ගජ මිතුරන්ට සලකනවා නොවෙයි. රටේ ජනතාව ගැන සිතනවා නම් කළයුතුව ඇත්තේ විදේශ ණය ගෙවීම නොවෙයි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහය ලබාගෙන ණය ප්‍රතිව්‍යුහගතකරණය කර රටට ලැබෙන ඩොලර් ජනතාවගේ අත්‍යවශ්‍ය ආහාර ගෙන්වීමට යොදා ගැනීමයි. අද මේ රටට ආහාර ආනයන කර වැඩක් නැහැ. ඒවා ගොඩබෑමට ගෙවීමට ඩොලර් නැතිකම නිසා නැව් වරායේ හිරවෙලා තියෙනවා. ඒවාට ප්‍රමාද ගාස්තුත් ගෙවන්න වෙනවා. එවිට භාණ්ඩවල මිල තවත් වැඩිවෙනවා. මම මේ තත්ත්වය අවුරුද්දකට පමණ පෙර සිට කිව්වා. ඒත් ගණන් ගත්තේ නැහැ.
ශ්‍රී ලංකා මහ බැංකුවේ හිටපු නියෝජ්‍ය අධිපති ඩබ්ලිව්.ඒ. විජේවර්ධන පවසන්නේ ඉන්දියාව, චීනය, බංග්ලාදේශය, කටාර් වැනි රටවලින් අප ණය ලබාගන්නා නමුත් ඒ රටවල් ණය දෙන්නේ මාස තුනක් - හයක් වැනි කෙටිකාලවලට බවය.
චීන මහ බැංකුවෙන් අපි පසුගියදා යුආන් බිලියන 10ක ණයක් ගත්තා. එය දුන්නේ මාස තුනකටයි. ඒ කාලය දීර්ඝ කරනවා නම් දැඩි කොන්දේසිවලට යටත් විය යුතු වෙනවා. එසේම මේ මුදල් අමෙරිකානු ඩොලර්වලට පරිවර්තනය කරන්න බැහැ. දැනට අපි ණයගන්නා බොහෝ රටවල් ණය දෙන්නේ දේශපාලන කොන්දේසිවලටයි. ණය ගැනීමේදී දේශපාලන කොන්දේසි නොව ආර්ථික කොන්දේසිවලට යටත් විය යුතුයි. එහෙත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ණය ගත්විට පනවන්නේ ආර්ථික කොන්දේසියි. එය රටේ ආර්ථිකය ගොඩනගා ගැනීමට ඉවහල් වෙනවා. ඒ නිසා අපි වැඩි පොලියට හැම තැනැන්ම ණය ගැනීම නවත්වා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට වහාම යොමුවිය යුතු වෙනවා.
යසවර්ධන රුද්රිගු