2022 ජනවාරි 22 වන සෙනසුරාදා

දේශපාලන අනුහසින් වී.වී.අයි.පී. මැදිරිෙයන් පැන්න ’’ජාවාරම’’

 2022 ජනවාරි 22 වන සෙනසුරාදා, පෙ.ව. 10:00 247

එතනෝල් ජයලත් හෙවත් කොළඹ 07, කිංසි පාරේ පදිංචි දොඹගහපතිරණලාගේ ජයලත් ක්‍රිශාන්ත පීරිස් යන පුද්ගලයා කටුනායක ගුවන් තොටුපළ විශේෂ අමුත්තන්ගේ වරප්‍රසාද සහිත මැදිරිය අවභාවිතා කිරීමක් පිළිබඳ සිදුවීමක් මුල්කරගත් කතා ප්‍රවෘත්තියක්, ගුවන් තොටුපළ තුළ මෙන්ම රටපුරා පැතිර යන්නට වූයේ, මෙම ක්‍රියාවට අමාත්‍යවරුන් තිදෙනකුද සම්බන්ධ කර ගනිමිනි.

මෙම එතනෝල් ජයලත් නැමැති පුද්ගලයා මීට වසර දෙකකට පමණ පෙර, විදේශයක නිෂ්පාදිත විස්කි, බ්‍රුන්ඩි, වොඩ්කා බෝතල් 924ක් මෙරටට ආනයනය කර, ඒවා සීදුව, ලියනගෙමුල්ල එක්තරා සමාගමකට අයත් තීරුබදු සහිත ගුදම්වල ගබඩා කර, එම විදේශීය මත්පැන් ''ඇමෙරිකන් වෝටර්'' නම් වෙළෙඳ නාමය යටතේ මාලදිවයින වෙත යළි ප්‍රති අපනයනය කර තිබේ. 

මෙම ක්‍රියාවලිය මඟින් එකී පුද්ගලයන් ශ්‍රී ලංකා රේගුවටත්, රජයටත් රුපියල් කෝටි ගණනක බදු වංචාවක් සිදුකර ඇතැයි සඳහන්ය. මේ කටයුතු සඳහා ශ්‍රී ලංකා රේගුවේ නිලධාරීන් පස් දෙනකු පමණද මොහුට සහාය වී තිබේ. ඔවුන්ද මේ වනවිට මෙම සිද්ධියට චෝදනා ලැබ, වැඩ තහනමට ලක්වී රක්ෂිත බන්ධනාගාර ගත කිරීමෙන් පසු දැනට ඇප ලබා සිටිති. ජාවාරම්කරු සහ රේගු නිලධාරීන් කලක් තිස්සේ මෙම ජාවාරම සිදු කරගෙන ගොස් ඇති බව ශ්‍රී ලංකා රේගුව විසින් කරුණු අනාවරණය කර ගෙන තිබුණි. මොවුන්ගේ මෙකී හොර ජාවාරමට, මැති ඇමතිවරුන්ගේ සහායද නොඅඩුව ලැබී තිබූ බවටද මේ වනවිට කරුණු හෙළි වෙමින් පවතී.

කෙසේ වෙතත් ශ්‍රී ලංකා රේගුවේ අධ්‍යක්ෂ ජනරාල්, විශ්‍රාමික මේජර් ජනරාල් විජිත රවිප්‍රිය මහතා විසින් ශ්‍රී ලංකා රේගුවේ මධ්‍යම විමර්ශන අංශයේ සහකාර රේගු අධිකාරී අරුණ ශාන්ත අමරසිංහ මහතා යටතේ විශේෂ විමර්ශනයක්ද ආරම්භ කිරීමට පියවර ගෙන තිබුණි. එයින් නොනැවතුනු රේගු අධ්‍යක්ෂ ජනරාල්වරයා මෙම සිදුවීම පිළිබඳව පොලිස්පතිවරයාටත්, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ පරීක්ෂණ ඒකකය වෙතත් පැමිණිලි කිරීමටද පියවර ගත්තේය.

ඔවුන් මේ පිළිබඳව අදාළ විමර්ශන කටයුතු සිදුකර කොළඹ අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණය වෙත කරුණු වාර්තා කර තිබුණි. එහිදී මෙම පුද්ගලයාට විදේශ ගුවන් ගමන් තහනමක් පැනවීමට අධිකරණය පියවර ගෙන තිබුණි. තත්ත්වය එසේ තිබියදී එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ, ඩුබායිහි පැවැත්වෙන ''එක්ස්පෝ'' අන්තර්ජාතික ප්‍රදර්ශනය සඳහා සහභාගී වීමට ඉකුත් දෙසැම්බර් මස 15 වැනි දින පිටත්ව ගොස් තිබුණි.

මේ අතර ඔහුගේ නීතීඥවරුන් ඉකුත් නඩු දිනයකදී, මෙම ගුවන් ගමන් තහනම ඉවත් කර, විවෘත වරෙන්තුවක් නිකුත් කරන ලෙස මෝසමක් මගින් අධිකරණයෙන් ඉල්ලා ගෙන තිබුණි. මෙම ඩුබායි ''එක්ස්පෝ'' ප්‍රදර්ශනය සදහා මැති ඇමතිවරුන්, මාධ්‍යවේදීන්, ශ්‍රී ලංකාව නියෝජනය කරමින් විවිධ අමාත්‍යාංශ, දෙපාර්තමේන්තුවල උසස් නිලධාරීන් විශාල පිරිසක්ද සහභාගී වී සිටියහ. මෙම පිරිස සමග මෙම පුද්ගලයාද විශේෂ අමුත්තන්ගේ වරප්‍රසාද සහිත මැදිරිය ඔස්සේ ගමන් කර ඇති බවට කටුනායක ගුවන් තොටුපළ ඇතැම් පිරිස් කරුණු දක්වති.

විශේෂයෙන්ම මෙම ප්‍රශ්නය වඩාත් උත්සන්න වී, රටපුරා පැතිර යන්නේ මෙම පුද්ගලයන් සමූහය, ඩුබායිහි පැවති ප්‍රදර්ශනයට සහභාගී වී ආපසු පැමිණෙමින් සිටියදීත්, විශේෂ අමුත්තන්ගේ මැදිරිය ඔස්සේ ගමන් කර ඇති බවට පැතිර යන ආරංචියත් සමගය. එහිදී මෙම පිරිස අතර සිටි ඇමතිවරුන් කිහිප දෙනෙකු මෙම පුද්ගලයා කටුනායක ගුවන් තොටුපළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් වෙත භාරදුන් බවටද තොරතුරුද රට පුරා පැතිර ගියේ අත්තටු ලද විලාශයකිනි. මේ පිළිබඳව කටුනායක ගුවන් තොටුපළ කාර්යය භාර නිලධාරීවරයාගෙන් විමසූ විට ඔහු ප්‍රකාශ කළේ මෙම පුද්ගලයා එසේ විශේෂ අමුත්තන්ගේ මැදිරිය භාවිතා කර නොමැති බවයි.

එසේම මෙම අත්අඩංගුවට ගැනීම පිළිබඳව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නීතීඥ නිහාල් තල්දූව මහතාගෙන් සිදු කළ විමසීමකදී ඔහු ප්‍රකාශ කළේ, අදාළ පුද්ගලයා අත්අඩංගුවට ගැනීම සඳහා අධිකරණය විසින් නිකුත් කළ විවෘත වරෙන්තුක් ඇති නිසා, එය ඒ වනවිටත් ගුවන් තොටුපළ ආගමන විගමන දෙපාර්තමේන්තු පරිගණක පද්ධතිය තුළද ඇතුළත් වී ඇති බැවින්, මෙකී පුද්ගලයා කටුනායක ගුවන් තොටුපළ පැමිණීමේ පර්යන්තය වෙත පිවිසෙනවාත් සමගම වගකිවයුතු නිලධාරීන් විසින් හඳුනාගෙන අත්අඩංගුවට ගැනීමට ක්‍රියාකර ඇති බවයි.

කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ තුළ මෙන්ම සමස්ථ ලෝකය තුළම විශේෂ අමුත්තන්ගේ මැදිරිය භාවිතා කිරීම පිළිබඳව පොදු නිර්දේශ කීපයක් පවතින්නේ ලෝකයේ සියලුම රටවල් ගුවන් ගමන් සම්බන්ධතා මගින් එකිනෙකට සම්බන්ධ වී සිටීම නිසාය. ඕනෑම රටක ජාත්‍යන්තර ගුවන් තොටුපළ එරට දේශසීමාව ලෙස නම් කළ හැකිය. එම ගුවන් තොටුපළ තුළ පවතින සංක්‍රමණික ගුවන් මගී පර්යන්තයට ඔබ්බෙන් වූ කොටස, දේශසීමාව තරණය කර යා යුතු වෙනත් රටක් හා සමාන වේ. එම කොටස තුළ ක්‍රියාත්මක වන්නේ ශ්‍රී ලංකාවේ නීතිය නොව ජාත්‍යන්තර නීතියයි. එනිසා එහි යාම් ඊම් සඳහා වීසා බලපත්‍ර, විදේශීය ගුවන් ගමන් බලපත්‍ර අවශ්‍ය වේ. 

තත්ත්වය එසේ තිබියදී ශ්‍රී ලංකාවේ විශේෂ අමුත්තන්ගේ මැදිරියේ වරප්‍රසාද සඳහා ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ අනුමත කළ විශේෂ පනතක් මගින් අවශ්‍ය බලය මග පෙන්වීම්, නිර්දේශ ප්‍රකාශයට පත් කර තිබේ. ඒ අනුව ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන්ට, ඇමතිවරුන්ට, කතානායකවරයාට, අග්‍රාමාත්‍යවරයාට, ජනාධිපතිවරයාට, පළාත් සභා ඇමතිවරුන්ට මෙම වරප්‍රසාදය හිමි වී තිබේ. එහිදී මෙම වරප්‍රසාද ලබාදීම පිළිබඳව ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ සන්ධාන නිලධාරීවරයාට, අමාත්‍යාංශවල ලේකම්වරයාට, විදේශ කටයුතු අමාත්‍යාංශයේ සන්ධාන නිලධාරීවරයාට කටුනායක ගුවන් තොටුපළ විශේෂ අමුත්තන්ගේ මැදිරියේ වෙන් කිරීම් (V.I.P. Resavation) වෙත තොරතුරු, නිර්දේශ කිරීම් යොමු කළ හැකිය.

එසේම රට තුළට පැමිණෙන ලොව පිළිගත් ප්‍රමුඛ පෙළේ ව්‍යාපාරිකයන් පිළිබඳව අග්‍රාමාත්‍ය කාර්යාලයේ හෝ ජනාධිපති කාර්යාලයේ නි‍ර්දේශ, ඉල්ලීම් ගුවන් තොටුපළ වෙත ඉදිරි පත් විය හැකිය. විදේශීය තානාපති නිලධාරීන්ට මෙම විශේෂ අමුත්තන්ගේ මැදිරියේ වරප්‍රසාද හිමි වන අතර එම රටවල් නියෝජනය කරන කොන්සල්වරුන්ට, කොමසාරිස්වරුන්ට මෙම වරප්‍රසාදය හිමි නොවේ. කෙසේ වෙතත් මෙවැනි විශේෂ අමුත්තන්ගේ මැදිරියේ වරප්‍රසාද සඳහා වූ ඉල්ලීම් ගුවන් තොටුපළ වෙත ලැබීමෙන් පසුව ඒවා සමාලෝචනය කර අත්‍යාවශ්‍යයෙන්ම එම පහසුකම් නීත්‍යානුකූලව හිමි විය යුතු පුද්ගලයන් තෝරා ඔවුන්ට පමණක් එම පහසුකම් ප්‍රදානය කිරීමට ගුවන් තොටුපළ බලධාරීන් පියවර ගනු ලැබේ. විශේෂ අමුත්තන්ගේ මැදිරිය තුළ ගුවන් මගීන්ට විශේෂ පහසුකම් රාශියක් හිමි වේ.

එහිදී සාමාන්‍ය ගුවන් මගීන් සමඟ රැස් කමින්, පෝලිම් තුළ රස්තියාදු වෙමින් ගුවන් යානය වෙත පිවිසීම සිදු නොවේ. ගුවන් තොටුපළ තුළ විශේෂ අමුත්තන්ගේ මැදිරිය ඉතා සුව පහසුකම් සහිතව, සුඛෝපභෝගී ආකාරයට සූදානම් කර තිබේ. මෙම පහසුකම යටතේ පැමිණෙන ගුවන් මගීන් පිළිබඳව පැය 24 කට පෙර ගුවන් තොටුපළ කාර්යය භාර නිලධාරීවරයා, ගුවන් තොටුපළ පොලීසිය, ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන්, ශ්‍රී ලංකා රේගු නිලධාරීන් ඇතුළු ආයතන විශාල සංඛ්‍යාවක් ලිඛිතව දැනුවත් කිරීම සිදුවේ.

එනිසා එම ආයතනයවල රාජකාරී කරන නිලධාරීන් මෙම පුද්ගලයන්ගේ පැමිණීම කල් ඇතිව අපේක්ෂා කරන අතර ඒ සඳහා සූදානමින් සිටිමින් අවශ්‍ය පූර්ව කටයුතු සම්පාදනය කර සිටී. එහිදී මෙම විශේෂ අමුත්තන් ගෙන එනු ලබන ගමන් මලු එම පරිශ්‍රයේ සේවය කරන නිලධාරීන් පිරිසක් විසින් හසුරුවන ලබන අතර ඔවුන් විසින්ම ඒවා අදාළ ගුවන් යානා තුළට හෝ අදාළ වාහන වෙත රුගෙන ගොස් පැටවීම සිදු කරනු ලබති. එහිදී මෙම ගුවන් මගීන්ගේ නිෂ්කාශන කටයුතු සිදු කිරීම සහ ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් සහ ශ්‍රී ලංකා රේගු නිලධාරීන් මෙම විශේෂ අමුත්තන්ගේ පරිශ්‍රය තුළ රැඳී සිටීමට පියවර ගෙන තිබේ. ඔවුන් මෙම විශේෂිත ගුවන් මගීන් වෙත පැමිණ ඔවුන්ගේ නිෂ්කාශන කටයුතු සිදුකිරීම සිදුකරති.

එසේම මෙම විශේෂ ගුවන් මගී මැදිරිය වෙත පිවිසෙන ගුවන් මගීන්ගේ සා - පිපාසය දුරු කිරීමට කාල වේලාව අවශ්‍යතාව මත ඊට ගැලපෙන ආකාරයට අවශ්‍ය ආහාර පානද සම්පාදනය කිරීමද සිදුකරනු ලබයි. එමෙන්ම මෙම සියලුම කටයුතු කටුනායක ගුවන් තොටුපළ තුළදී සම්පාදනය කිරීමට, අධීක්ෂණය කිරීමට, සම්බන්ධීකරණය කිරීමට ගුවන් තොටුපළ කාර්යය භාර නිලධාරීන් සහ තවත් අවශ්‍ය සේවා සම්පාදනය කිරීම සඳහා අවශ්‍ය දෙපාර්තමේන්තුවල නිලධාරීන් පැමිණ අවශ්‍ය සේවා සැපයීම සිදු කරති.

තත්ත්වය මෙසේ පැවතියද, මීට වසර 20 කට පමණ පෙර, ගුවන් තොටුපළ අශ්‍රිතව ක්‍රියාත්මක වෙමින් පැවති මැර නායකයෙකු, විදේශ රටකට යෑම සදහා ගුවන් යානය තුළ අසුන් ගෙන සිටි තම ප්‍රතිවාදී පුද්ගලයෙකු, අනවසරයෙන් එම ගුවන් යානය තුළට පිවිස බලහත්කාරයෙන් එම ගුවන් යානයෙන් බස්සවා ගෙන, කටුනායක ගුවන් තොටුපළෙන් බැහැරට රුගෙන ගොස් ප්‍රහාරයකට ලක්කර තිබුණේ, ගුවන් තොටුපළ තුළ ක්‍රියාත්මක වන දේශීය නීති පමණක් නොව ජාත්‍යන්තර නීත ද අමු අමුවේම උල්ලංඝනය කරමිනි.

එම මැර නායකයා මෙම සියලු සිදුවීම් සිදුකළේ ප්‍රදේශයේ දේශපාලන නායකත්වයේ අනුහසින් වීම කවුරුත් දන්නා කරුණකි. එනිසා එදා මෙන්ම අදද කටුනායක ගුවන් තොටුපළ පහසුකම්, නීති උල්ලංඝනය වීම් පසුපස දේශපාලන නායකත්වය සිටීම කනගාටුදායකය.

 කටුනායක ටී.කේ.ජී. කපිල