2022 ජනවාරි 22 වන සෙනසුරාදා

සිනහව කඳුලට හරවන දියේ ගිලෙන ජීවිත

 2022 ජනවාරි 22 වන සෙනසුරාදා, පෙ.ව. 10:00 431

ශ්‍රීපාද වන්දනාවේ ගිය නඩයක පිරිසක් පලාබද්දල ප්‍රදේශයේදී කළු ගඟේ දිය නාමින් සිටියදී ජල පහරට හසුව ගසාගෙන ගොස් තිදෙනකු ජීවිතක්ෂයට පත්වීමේ අනුවේදනීය සිදුවීමක් අසන්නට ලැබුණේ ඉකුත් දීර්ඝ සති අන්තයේදීය. දියේ ගිලීමෙන් මරණයට පත්වූ එවැනි සිදුවීම් කිහිපයක් එම සති අන්තයේ වාර්තා විය. මේ ආකාරයට වසරකට මෙරට දියේ ගිලීමෙන් මරණයට පත්වන පිරිස 800ක් පමණ බව හඳුනාගෙන ඇත. මේ බරපතළ අවදානම සම්බන්ධයෙන් මහජනතාවගේ අවධානය යොමු නොවීම ගැටලුවකි.

ෆේස්බුක් වැනි සමාජ මාධ්‍ය ඔස්සේ විවිධ ප්‍රදේශවල පිහිටි සුන්දර ස්ථානයන්හි ඡායාරූප සමගින් විස්තර පළකෙරුණු දකින්නට ලැබේ. ඒවා දකින බොහෝ පිරිස් එම ස්ථානවල අසිරිය දැකබලා ගැනීමට උත්සාහ ගනිති. එවැනි නොදන්නා ස්ථානවල විනෝද වීම සඳහා යන බොහෝ පිරිස් එම ස්ථානවල ඇති අනතුරුදායක බව ගැන නොසිතති. ඒ හේතුවෙන් වන අනතුරු හා මරණ නිවාඩු දින කිහිපයක් යෙදෙන දීර්ඝ සති අන්තවලදී වාර්තා වන්නේ අනුවේදනීය පුවත් බවට පත්වෙමිනි.

රිය අනතුරු මරණ, බෝවන රෝග හා බෝනොවන රෝග හේතුවෙන් වන මරණ හා එහි අවදානම පිළිබඳව පළවන මාධ්‍ය වාර්තා හා දැනුම්වත් කිරීම් සම්බන්ධයෙන් අසන්නට ලැබේ. එහෙත් බරපතළ අවදානමක තිබෙන දියේ ගිලී මියයාම සම්බන්ධයෙන් සමාජයේ ඇති අවධානය අඩුය. ලංකාවේ දියේ ගිලී මියයන බහුතර ජනතාව වයස අවුරුදු 21 – 60 අතර පසුවන්නන් බවට වාර්තා වේ. මේ අතර ගෝලීය වශයෙන් දියේ ගිලී මියයන පිරිස අතර වැඩිම ප්‍රමාණයක් වයස අවුරුදු 1 – 4 අතර වන බව පැවසේ. එමෙන්ම අවුරුදු 1 – 9 අතර ළමුන්ගේ මරණ සඳහා ප්‍රධානම හේතුව දියේ ගිලීම බවද හඳුනාගෙන තිබේ.

''අන්තර්ජාලය හරහා ගොඩක් ලස්සන තැන්වල තොරතුරු ඡායාරූප පළවෙනවා. මිනිස්සු මෙහෙම තැන් හොයාගෙන යනවා. ගිහින් විනෝද වෙනවා. අලුත් පරිසරයකට, නොදන්න තැනකට ගියාම කොහොමත් අනතුරක් තිබෙනවා. නමුත් අපි අනතුරක් ගැන හිතන්නෙ නෑ. එහෙම යන තැනක සූදානම් ශරීරයෙන් ඉන්න එක වැදගත්.'' සති අන්තවල විනෝද ගමන් යන පිරිස් සම්බන්ධයෙන් හා දියේ ගිලී අනතුරට පත්වීම සම්බන්ධයෙන් අදහස් දැක්වූ ශ්‍රී ලංකා ජීවිතාරක්ෂක සංගමයේ සභාපති අසංක නානායක්කාර මහතා පවසයි.

''පසුගිය සති අන්තයේත් දියේ ගිලීම් සම්බන්ධයෙන් වාර්තා වුණා. අපේ රටේ දියේ ගිලී මියයාමට බලපාන හේතු අතර මත්පැන් පානය, ආරක්ෂිත කබා හෝ උපකරණ භාවිත නොකිරීම, අනාරක්ෂිත ක්‍රියාකාරකම් තිබෙනවා. සෙල්ෆි ඡායාරූප ගැනීමත් අවදානමක්. ඇතැම් අය මත්පැන් පානය කර දියඇළි, වැව් හෝ මුහුදේ නාන්න යනවා. ඒක ඉතාම අවදානම්. මත් ගතිය නිසා දණක් වතුර නැති තැනක වුණත් වැටිලා දිය පෙවී මිය යන්න පුළුවන්.'' යැයි අසංක නානායක්කාර මහතා වැඩිදුරටත් පැවසීය.

ශ්‍රී ලංකා ජීවිතාරක්ෂක සංගමය පෙන්වා දෙන්නේ දිය නෑමට අවශ්‍ය නම් ඒ සඳහා පොදු ස්ථානයක් හෝ පිරිස ගැවසෙන ස්ථානයක් තෝරාගන්නා ලෙසය. කෙනකුට අනතුරක් සිදුවුවහොත් සෙසු පිරිස ජලයට බැසීම නොකළ යුතුය. උදව්වක් ලෙස ලීයක්, අත්තක්, බෝලයක් හෝ දිය රෙද්දක් ලබාදීමට ක්‍රියා කළ යුතු බවද ඔහු පෙන්වා දෙයි. එමෙන්ම දියඇළි ආශ්‍රිතව නෑම අන්තරාදායක බවත් එය නුසුදුසු බවත් ඔහුගේ අදහසයි. එමෙන්ම ගලා බසින වතුර ඇති ගංඟා, ඇළදොළවල නෑමද අනතුරුදායකය.

පසුගිය දින කිහිපයේදී දිවයින පුරා ප්‍රදේශ ගණනාවකින් දියේ ගිලීම් සම්බන්ධව වාර්තා විය. කොස්ලන්ද මකල්දෙණිය ගඟේ දිය නාමින් සිටි තරුණයෙක් ද එසේ ජල රකුසාට බිලි විය. ඔහු 16 හැවිරිදි තරුණයෙකි. මේ අතර කතරගම වන්දනාවේ ගිය පිරිසක් සෙවණගල ඇළක දිය නාමින් සිටියදී අයෙක් දියේ ගිලී මරණයට පත් විය. සිය ස්වාමියා හා දරුවන් තිදෙනා සමඟ කොස්ගොඩ මුහුදේ දිය නාමින් සිටි තරුණ මවක ජීවිතක්ෂයට පත්ව තිබුණේ ඉකුත් දිනකය.

මේ ආකාරයට මාවච්චේනෙයි මුහුදේ දිය නෑමට ගිය ළමයි දෙදෙනකු ද, නිලාවේලි මුහුදේ දිය නෑමට ගිය අයෙක් හා වත්තල දික්ඕවිට මුහුදේ දිය නෑමට ගිය පුද්ගලයෙක් ද පසුගිය දින කිහිපය තුළ ජීවිතක්ෂයට පත් වූහ. මේ අතර මන්නාරම කලපුවේ බෝට්ටුවක් පෙරළීම නිසා අයකු ජීවිතක්ෂයට පත්ව ඇති අතර වවුනියාවේ තරුණයන් දෙදෙනෙක් මුලතිව් මුහුදේ දිය නෑමට ගොස් මරණයට පත් වූහ. මේ ආකාරයට පසුගිය මාස හයකදී දියේ ගිලීම නිසා පුද්ගලයන් 320කට අධික පිරිසක් මිය ගියහ. මේ අයුරින් 2020 වසරේදී දියේ ගිලී මියගිය ප්‍රමාණය 701ක් බවට වාර්තා වේ. 2019 වසරේදී එසේ මියගිය පිරිස 716 කි. 2018 වසරේදී 828 දෙනකු දියේ ගිලී මියගිය අතර 2017 වසරේදී 678 දෙනකු හා 760 දෙනකු 2016 වසරේ ජීවිතක්ෂයට පත්ව ඇතැයි වාර්තා වේ. එමෙන්ම 2019 වසරේදී ලෝකයේ දියේ ගිලී මියගිය ප්‍රමාණය 2,36,000 ක් වන බවද වාර්තා වේ.

දියේ ගිලෙන අයකු ආරක්ෂිතව මුදාගැනීම ඉතා වැදගත්ය. එවැනි අයකු මරණයෙන් ගැලවුණද දියේ ගිලීම නිසා පසුකාලීනව වෙනත් ආබාධවලට ලක්විය හැකිය. දියේ ගිලී සිටි කාලය තුළ මොළයට ඔක්සිජන් අඩුවෙන් ලැබීම නිසා අවධානය අඩුවීම, මතකය නැතිවීම, ඉගෙනීමේ දුර්වලතා ඇතුළු ඉන්ද්‍රීය ආබාධ ඇතිවිය හැකි බව සෞඛ්‍ය අමාත්‍යංශයේ බෝනොවන රෝග ඒකකයේ ප්‍රජා සෞඛ්‍ය විශේෂඥ වෛද්‍ය සමිත සිරිතුංග මහතා පවසයි. එබැවින් ඒ මහතා පෙන්වා දෙන්නේ දියේ ගිලීම සමාජ ආර්ථික ගැටලුවක් බවට ද පත්ව ඇති බවය. මෙය රටේ සංවර්ධනයට බාධාවක් බවද පවසන සමිත සිරිතුංග මහතා දියේ ගිලීමෙන් සිදුවන අනතුරු හා මරණ වළක්වා ගැනීමට උත්සාහ ගත යුතු බවද අවධාරණය කරයි.

 සමන්ත විල්තෙර