2022 ජනවාරි 15 වන සෙනසුරාදා

හරියට කළොත් නොවරදින වස විස නැති ආහාර නිපැයුම

 2022 ජනවාරි 15 වන සෙනසුරාදා, පෙ.ව. 10:00 12

වස විස නැති ආහාර ගැන සමාජයේ එක්තරා ස්ථරයක උනන්දුවක් ඇත. අගනුවර දියත උයන පරිශ‍්‍රයෙහිද, කොළඹ නගරයේ තැන්වලද පැවැත්වෙන කාබනික බව බෝග අලෙවි ස්ථානවල සැලකිය යුතු පාරිභෝගික පිරිසක් සිටියහ. එය ක‍්‍රමයෙන් වර්ධනය වන වෙළඳ පොළක් බව පෙනිණි. මැදි ආදායම් මට්ටමෙන් ඉහළට එන ජන කොටස් සිය ජීවිතය ගැන සහ මතු පරපුර ගැන කල්පනා කළහ. වස විස නැති ගොවිතැනක් ගැන, සමාජය අවුලුවන මතයක් ද ඔවුහු ඇතිකරමින් සිටියහ. 

වත්මන් ආණ්ඩුව පසුගිය කාලයේ අලුත් කෘෂිකාර්මික ප‍්‍රතිපත්තියකට එළඹිණ. පසුගිය අවුරුද්දේ අප‍්‍රියෙල් මැද රසායනික පොහොර ආනයනය නතර කරන බව නිවේදනය කෙරිණ. රසායනික පොහොර සඳහා ගෙවන ලද සහනාධාරය කාබනික පොහොර සඳහා ගෙවීම අයවැය යෝජනා අතර තිබුණි. හදිසි තීරණයක් අනුව රසායනිකක පොහොර අත්හිටුවීම කෘෂි අංශයෙහි නිරත පිරිස තුළ බලවත් තිගැස්මක් ඇති කළේය. එය දේශපාලන සටන් පාඨයක් බවට හැරිණ. ආහාර හිඟයක් ඇති වන බවට භීතියක් ඇති කළේය. ආනයනික රසායනික පොහොර හිඟය ගැන ප‍්‍රචාර පැතිරෙන අතර ගොවියෝ රසායනික පොහොර ඉල්ලා උද්ඝෝෂණය කරමින් සිටිති. විකල්ප ගොවිතැන ප‍්‍රතික්ෂේප කරන තැනට පත්ව සිටිති. 

• සමබර ව්‍යුහයක් සඳහා පෙළගැස්මක් 

මහ පොළව සුවපත් කරන සැලැස්ම, දේශීය බීජ රුකගැනීමේ ව්‍යාපාරය කාලාන්තරයක් තිස්සේ කරගෙන ගිය වැඩ පිළිවෙළකි. වී ගොවිතැන රසායනික භාවිතයෙන් තොරව කළ හැකි බව ඔප්පු කරමින් සිටියහ. වාණිජ කෘෂිකර්මය කළ හැකි අතර එය ක‍්‍රමානුකූලව කරගෙන යා යුතු වැඩපිළිවෙළක් බවට ගොවි ජනතාවට දැනුම්වත් කළහ. එහි නිර්මාතෘ ඇලෙක්ස් තන්ත‍්‍රිආරච්චි සඳහන් කරන පරිදි ගොවිතැනට පොහොර අවශ්‍ය ප‍්‍රමාණය, පොහොර ලබාගැනීම සඳහා පස තුළ තිබිය යුතු පී. එච්. අගය ගැන අපට අවබෝධයක් නැත. කෘෂිකර්ම නිලධාරීන් ඒවා ගැන උපදෙස් දෙන්නේ නැත. පොහොර විකුණන වෙළෙන්දෝ ගොවියාගේ උපදේශකයන් බවට පත්ව තිබේ. පස තුළ ජීවත්වන හිතකර ජීවීන් විනාශ කර ඇති මෙරට රසායනික ගොවිතැන වෙනුවට නැවත පස සාරවත් කරන ක‍්‍රම අනුගමනය කළ යුතු බව ඔප්පු කරමින් සිටිති. පස තුළ සිටිය යුතු හිතකර ජීවීන් හා බැක්ටීරියා වර්ධනය කරන පරිදි ස්වභාවික ගොවිතැන සැලැස්මක් ලංකා සෙකෙයිකියුසෙයි පදනම ද ඉදිරිපත් කරයි. පදනමෙහි නිර්මාතෘ කිංස්ලි කාරියවසම් ගම් නියම්ගම් අතර ඇවිද යමින් තෝරාගත් පිරිසකට ස්වභාවික ගොවිතැන ගැන කියා දෙමින් තමන්ට අවශ්‍ය දේ අහිතකර නොවන පරිදි වගාකරගැනීමට පොළඹවයි. 

පේරාදෙණිය විශ්ව විද්‍යාලය ද ජපානයේ භාවිත කරන හිතකර බැක්ටීරියාවක් ගැන පරීක්ෂණ පවත්වා ඇත. ඊඑම් බැක්ටීරියාව නිපදවා වගාබිම් වලට මුදාහරියි. සර්වෝදය ද එහි නිරත බව දැක්වේ. මීගොඩ පිහිටි ඊඑම් ටෙක්නොලොජි ඒකකය එය සාර්ථකව අත්හදා බලා ඇති බව අන්තර් ජාල වාර්තා දක්වයි. මෙම බැක්ටීරියාව මගින් බීර නිෂ්පාදනයට අවශ්‍ය පැසවීම සාර්ථකව කරන බව ද අනාවරණය වන කරුණකි. විවිධ සංවිධාන හා පුද්ගල කණ්ඩායම් රසායනික පොහොර වෙනුවට කාබනික ගොවිතැනට නැඹුරු වෙමින් සිටියහ. ඇතැම් පිරිස් කොම්පෝස්ට් බහාලුම් සකස් කරගෙන සිටි බව අලුත් තොරතුරක් නොවේ. මේවායෙන් ක‍්‍රමානුකූලව ගොවිතැන ජනජීවිතයට ගැලපෙන පරිදි සකස් වෙමින් තිබුණි. 

• රසායනික පොහොර සඳහා සහනාධාර

ඉක්මන් ප‍්‍රතිඵල සහ වැඩි අස්වැන්නක් රසායනික පොහොර භාවිතයෙන් අපේක්ෂා කෙරේ. ජනගහනයේ වර්ධනය සමඟ ආහාර හිඟයක් ඇතිවීම වළක්වනු සඳහා වැඩි අස්වැන්නක් ලැබෙන ක‍්‍රම අත්හදා බලා ඇත. මේවායෙන් ප‍්‍රතිඵල සමඟ අතුරු අවාසි ද අත්පත් කෙරේ. ශ‍්‍රී ලංකාව 1962 වසරේ සිට රසායනික පොහොර සඳහා සහනාධාර දෙන ප‍්‍රතිපත්ති අනුගමනය කර ඇත. පළමුවෙන් සුළු ප‍්‍රතිශතයක් එනම්  වී ගොවිතැනට අවශ්‍ය යූරියා සඳහා පමණක් ලබා දෙන  නමුත් පසුකාලීනව එය ඡන්ද පොරොන්දුවක් බවට පත්වෙයි. 1990 ජනවාරි මාසයේ දී මෙම සහනාධාර සම්පූර්ණයෙන් නතර කර ඇත. ගොවියෝ වෙළඳ පොළ මිල ගෙවා පොහොර මිල දී ගෙන තිබේ. පර් යේෂණ වාර්තා පෙන්වන පරිදි රසායනික පොහොර සහනාධාර ඉවත් කළ නමුත් පොහොර අලෙවිය අඩු වී නැත. 1991 වසරේ පොහොර අලෙවිය කලින් වසරට වඩා සියයට 3.5 කින් වැඩි වී තිබේ. 1992 වසරේ දී සියයට 16 කින් හා 1993 අවුරුද්දේ සියයට 17 කින් පොහොර අලෙවිය වැඩි වී ඇත. වගා කරන ලද ඉඩම් ප‍්‍රමාණය කලින් වසරවලට සාපේක්ෂව වැඩි වී ඇති අතර එය ද පොහොර භාවිතය නැංවෙන හේතුවක් බව පෙනේ. 

මෙම අවුරුදු වල අස්වැන්න පහත වැටීමක් වාර්තා නොවේ. එහෙත් දේශපාලන උණුසුමක් තිබුණි. ගොවි ජනතාව වෙත එතෙක් ලැබුණ සහන අහිමිවීම ගැන ප‍්‍රශ්න කරන අවස්ථා දැකගත හැකි විය. සහනාධාර ඉවත් කිරීම සමග අවශ්‍ය ප‍්‍රමාණයට පොහොර මිල දී ගෙන භාවිත කරන පරිසරයක් ද නිර්මාණය වූ බව සඳහන් කළ යුතුය. සහනාධාර සැපයීම නතර කිරීමෙන් ගොවියන්ට පොහොර ගන්නට නොහැකි වන අතර එය නිෂ්පාදනය අඩාල කරන සාධකයක් වනු ඇති බවට මතු කරන අදහස්වලට එය පිළිතුරකි. 

රටට අවශ්‍ය යහපත් කෘෂිකර්ම ප‍්‍රතිපත්තියකි. රසායනික පොහොර පමණක් නොව කාබනික පොහොර ද භාවිත කර නිපදවන ක‍්‍රම ඇති කළ හැකිය. එය කෘෂිකර්මයේ ප‍්‍රජාතන්ත‍්‍රවාදයයි. වෙළඳපොළ තුළද මිල දී ගැනීමේ අවස්ථා ඇති කරයි. අවශ්‍ය කෙනෙකුට කාබනික නිෂ්පාදන මිල දී ගන්නට බාධාවක් ඇති නොකෙරේ. නීතියෙන් ක‍්‍රම හදනු වෙනුවට ජනතාවට තීරණ ගැනීමට ඉඩ දීම යහපත්ය.

• වස විස නැති ගොවිතැන ගැන යමක්

රසායනික පොහොර භාවිතා නොකිරීම වස විස නැති ගොවිතැනක්ද? එය ප‍්‍රශ්නයකි. රසායනික පොහොර රහිතව නිපදවන පමණින් ඒවා නැති වස විස නැති ආහාර පාන නොවේ. වස විස නැති ලේබලය දිනාගැනීමට දීර්ඝ ක‍්‍රියා පටිපාටියක් අනුගමනය කළ යුතුය. නිෂ්පාදන ක‍්‍රියාවලියේ දී සහතික කළ එකක් විය යුතුය. වගා බිම සකස් කිරීම, බීජ භාවිතය, වගාව නඩත්තුව පමණක් නොව අස්වනු නෙලීම දක්වා එය අධීක්ෂණයට ලක් කළ යුතුය. අස්වැන්න සකස් කිරීම, ගබඩා කිරීම සහ අලෙවිය දක්වා එය රසායනික ද්‍රව්‍ය භාවිත කර නැති එකක් යැයි තහවරු කරන්නට අවශ්‍යය. බීජ ප‍්‍රරෝහනයේ සිට පරිභෝජනය දක්වා රසායනික තුරන් කිරීම එකවර කළ නොහැක. පරම්පරා තුනක් හෝ එයට වැඩි කාලයක් එක දිගට රසායනික රහිතව කරන නිෂ්පාදන කාබනික බවට ජාත්‍යන්තර දර්ශක අනුව අර්ථකථනය කෙරේ. 

කාබනික ආහාර නිෂ්පාදනයේදී කෘත්‍රිම පොහොර සහ රසායනික දේ භාවිත නොකළ යුතුය. බීජ හෝ ප‍්‍රරෝහන ද්‍රව්‍ය ජාන තාක්ෂණයෙන් වැඩි දියුණු කළ ඒවා නොවිය යුතුය. වාරි ජලය හෝ අඩුම තරමින් කසළ වලින් නිපදවන ලද කාබනික පොහොර හෝ යෙදීම තහනම්ය. නිපදවන දේ සුරක්ෂිතව අසුරා අහිතකර රසායනික රහිතව ගබඩා කරන ආහාර භෝග වස විස නැති බව ප‍්‍රකාශ කෙරේ. ගොවියා, සකස් කරන තැනැත්තා පමණක් නොව අළෙවියට තබන වෙළෙන්දා ද තමන් නිපදවන, සකස් කරන හා විකුණන කාබනික ආහාර වල වාර්තා ළඟ තබා ගැනීම නෛතික අවශ්‍යතාවයකි. යම් අවස්ථාවක විගණනයක් කළහොත් මෙම වස විස නැති ආහාරවල පසුබිම එය නිපදවන ලද ආකාරය පාරිභෝගිකයන් තෘප්තිමත් වන සේ දක්වන්නට නොහැකිනම් කාබනික නිෂ්පාදනයක් නොවේ. 

• අතරමැදි පිළිවෙතක් හැර බලහත්කාරය නුසුදුසුය

ශ‍්‍රී ලංකාවේ කෘෂිකාර්මික ප‍්‍රතිපත්ති අලුතින් සකස් කළ යුතුය. රටට අවශ්‍ය සියලුම බීජ වර්ග ආනයනය කර සම්මත කර ඇති බීජ පනත රටට බලගන්වන්නේ කෙසේද? ගොවි ජනතාව අතරින් සෑහෙන පිරිසකට ඉඩම් අයිතිය නැත. මෙරට භාවිතා කළ හැකි ඉඩම්වලින් සියයට අසූ දෙකක් රජයට අයත්ය. ගොවියන්ට කෘෂි කටයුතු සඳහා පිරිවැය ඉහළ ගොස් තිබේ. ශ‍්‍රමයට, යන්ත‍්‍ර සූත‍්‍රවලට සෑහෙන ධනයක් වැය කළ යුතුය. ගොවි ජනතාවට කාරක ප‍්‍රාග්ධනය හිඟය. ඊළඟ කන්නට වගා කරන්නට අතරමැදියන්ගෙන් ණය ගැනීමට සිදුවේ. ඒවා පියැවීමට වහාම වී අලෙවිකරන අතර එය ආදායම අඩුවන හේතුවකි. ගොවියන්ට ණය දෙන අරමුණ ඇතිව පිහිටුවන ලද මහජන බැංකුව අද ගොවි ජනතාවගෙන් දුරස්ථය. කෘෂි අංශයෙහි පිරිහීමක් සිදුවෙමින් පවතින බව මෙම සියළු පැති පෙන්වයි. මහ බැංකුව පෙන්වා දෙන පරිදි ඉකුත් දශක හය තුළ සියයට හතලිස් ගණනක සිට සියයට නමය දක්වා කෘෂි අංශයෙන් ජාතික නිෂ්පාදනයට දක්වන දායකත්වය පහත වැටී ඇත.

මිශ‍්‍ර කෘෂිකර්මය අපට සුදුසුය. ගොවීන් අවශ්‍ය පහසුකම් තෝරා ගත යුතු අතර නිසි පහසුකම් සැපයීම ආණ්ඩුවක වගකීමකි. සහන හෝ සහනාධාර අවශ්‍ය නැත. ගොවිතැනට දෙන සහනාධාරය පාරිභෝගිකයාට බරකි. 1962 සිට පොහොවලට දෙන සහනාධාරය ගෙවන්නේ මැති ඇමැතිවරු හෝ දේශපාලනඥයන් නොවේ. බදු ගෙවන පොදු ජනතාවය. පොහොර නොමිලේ දෙන විට එහි වන්දිය ගෙවන ජනතාව වැඩිම මිලක් ගෙවා සහල් හා එළවළු මිල දී ගැනීම යුක්ති සහගතද? සාමාන්‍ය ජනතාවට සහනයක් නැත. පසුගිය වසර අවසන් වනවිට ආහාර සඳහා උද්ධමනය සියයට 22.2 කි. පොහොර සහනාධාරය මගින් ගොවියාට වාසියක් හෝ පාරිභෝගිකයාට ඉස්පාසුවක් ඇති කර නැත. විද්වතුන් මෙහි අභ්‍යන්තරය ගැන 

පර් යේෂණ කළ යුතුව තිබේ. රසායනික පොහොර තහනම වෙනුවට වගාබිම පොහොර තත්ත්වය පරීක්ෂා කර බලන, පී.එච් අගය මැන බලන ක‍්‍රම ව්‍යාප්ත කළ යුතුය. පසෙහි තත්ත්වය අනුව ශාඛයට අවශ්‍ය පෝෂණය ලබා දෙන ක‍්‍රම ප‍්‍රචලිත කරන්නට අවශ්‍යය. මෙරට කෘෂි බලධාරීන් එයට ඉදිරිපත් කරන යෝජනා කවරේද? 

 සාරා කන්දෙගොඩ