2022 ජනවාරි 15 වන සෙනසුරාදා

බූස්ටරයට බයවිය යුතුද?

 2022 ජනවාරි 15 වන සෙනසුරාදා, පෙ.ව. 10:00 55

ඔමික්‍රෝන් මාදිලියේ පැමිණීමත් සමඟ ලෝකය පුරා දැන් නව කොරෝනා රැලි නැඟී එන බවට වාර්තා ලැබේ. තවමත් මේ මාදිලිය ප්‍රමුඛ මාදිලිය නොවූවද ඉදිරි සති 6ක් වැනි සුළු කාලයකදී පවතින තත්ත්වය දෙගුණ වනු ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධාන ආරංචි මාර්ගද පෙන්වා දෙයි. මේ සමඟම ලෝකයේ පර් යේෂණ ගණනාවකින්ම තහවුරුව විද්වතුන් විසින් පිළිගත් මතය බවට පත්ව ඇත්තේ මේ නව කොවිඩ් මාදිලියට මෙන්ම ඉදිරියට පැමිණිය හැකි මාදිලි සඳහාද දැනට ඇති හොඳම පිළියම වන්නේ එන්නත බවයි.

නව මාදිලිය සඳහාම විශේෂයෙන්ම නිපද වූ එන්නතක් තව මාස දෙකකකින් පමණ ලැබීමට නියමිතය. මේ නව එන්නත ලැබෙනතුරු වේගවත් පැතිරීමක් සහිත වෛරස විකෘති වලින් ගැළවීමට ඇති එකම මඟ බූස්ටර් එන්නත් මගින් ප්‍රතිශක්තිය වර්ධනය කර ගැනීමය. මේ නිසාම ලොවපුරා රටවල් බූස්ටර් එන්නත්කරණය ලහි ලහියේ ක්‍රියාත්මක කරමින් සිටියි. ඒ වුවද ලෝකය පුරාම බූස්ටර් එන්නත සඳහා භීතිකාවක් මෙන්ම ප්‍රතික්ෂේප වීමක් පැතිර ගොස් තිබේ.

ලංකාව තුළද මූලික එන්නත වඩි 2 සඳහා දැක්වූ උනන්දුව දැන් බූස්ටරය සම්බන්ධයෙන් දක්නට නැත. දැන් බොහෝ දෙනා බූස්ටරය ලබාගන්නට යන්නේ “බැරිම තැන”  සහ නව නීති රීතිවලට දක්වන ප්‍රතිචාරයක් හැටියටය. මරන්නට ගෙන යන හරකුන් සේ බූස්ටරය කරා ජනතාව දක්කාගෙන යන්නට දැන් විවිධ රට රාජ්ජයන්හි නොයෙකුත් උප්පරවැට්ටිද භාවිතා වන අතරම පෞද්ගලික අයිතිය සහ පුද්ගල නිදහස ගැනද නව ගැටලුකාරී සමාජ අර්බුදයකට මඟපෑදීමටද මෙය හේතු වී තිබේ. ලංකාව තුළද මේ තත්ත්වය එසේමය.

ලෝකයේ බූස්ටර් භීතිකාව පැතිර යාමට බලපානා කාරණාම ලංකාව තුළද අඩු වැඩි වශයෙන් බූස්ටරය ප්‍රතික්ෂේප කිරීම සඳහා බලපා තිබේ. ප්‍රධානම කාරණය වී ඇත්තේ බූස්ටර එන්නත පිළිබඳ විශ්වාසයක් නොපැවතීමය. බූස්ටරය ගත් සහ නොගත් අයගේ මරණ සහ රෝගී අවදානමේ වෙනස ගැන කෙතරම් මාධ්‍ය සංදර්ශනාත්මක තොරතුර වාර්තා වූවද සමස්තය තුළ මේ එන්නත ගැන විශ්වාසය තවම තහවුරු වී නැත. එය තමන් මත පටවා ඇති බලහත්කාරයක් ලෙස ප්‍රතික්ෂේප කිරීමක් දක්නට හැකිය. තවත් අයට බූස්ටරයද පවතින රජයන්ට එරෙහි විරෝධය ප්‍රකාශ කළ හැකි ආයුධයක් ලෙස පෙනී ගොස් තිබේ.

ලෝකයේ මෙන්ම ලංකාව තුළද දැඩි ලෙස වාර්තා වීමෙන් වළකින නමුත් සැබෑ ලෙසම සමාජය තුළින් පැතිර යන එහෙයින්ම තටු ලබා වඩාත් භීතිකාවක් මතුවන ආකාරයට හැඩ ගැසී එන බූස්ටර් සම්බන්ධ නරකම ආරංචිය වන්නේ එය ලබාගත් සමහර අය අතර දක්නට ලැබෙන විවිධ සංකූලතා සහ රෝගාබාධයන්ය. බූස්ටරය නිසා ඇඟපත, මස්පිඬු අවහිරතා, හුස්ම ගැනීමේ වෙනස්කම්, මහන්සිය, හෘදය රෝග අවදානම් මතු නොව ඇතැම් අය පක්ෂගාත තත්ත්වයට ගොදුරු වීම් ගැනද සැකසංකා තදින් පැතිර තිබේ. මේවා බොහෝමයක් තටුලබා විකෘතිවීම් සහිතව පැතිර යන නරක ආරංචිය. නමුත් නිසි සංඛ්‍යා ලේඛන, දත්ත හෝ පිළිගත හැකි පැහැදිලි කිරීම් මේ සංකූලතාවන් පිළිබඳ ලබා නොදීම නිසා බූස්ටරය තමන් හිස මත බලෙන් පැටවූ මරණ වරෙන්තුවක් ලෙස හුදී ජනයා තුළ මතයක් පැතිර යමින් තිබේ. ඒ අතර බූස්ටරය අනිවාර්ය කිරීමට විවිධ සමාජ තහංචි නීති රීති පැනවීම නිසාම මේ පිළිබඳ සැකසහිතව බැලීමේ තත්ත්වයක් මතුව ඇත.

බූස්ටරය ගැනීමට සැබැවින්ම බියවිය යුතුද? යන්න ගැන විද්වතුන් අතරද විවිධ මතවාද පැතිර යාම නිසා දැන් මේ තත්ත්වය තවත් සංකීර්ණ වී හමාරය. මේ සම්බන්ධයෙන් ප්‍රධාන වසංගත රෝග විද්‍යාඥ විශේෂඥ වෛද්‍ය සමිත ගිනිගේ කියන ආකාරයට එන්නත අපේ රටේ එකම ගැලවිල්ලය. 

“ජූලි මාසය වනවිට අප එන්නතේ පළමු මාත්‍රාව දී තිබුණා. පසුව දෙවැනි මාත්‍රාවත් දුන් පසු මෙම රෝගීන් වාර්තා වීම යම් සාධනීය මට්ටමකට ආවා. මේ නිසා අනෙක් රටවලට සාපේක්ෂව කොරෝනා ඩෙල්ටා ප්‍රභේදය කිසියම් ප්‍රමාණයකට පාලනය කරගත හැකි වුණා.

අපේ රටේදී එන්නත්කරණයේ වැදගත්කම පැහැදිලිව දක්නට තිබෙනවා. මෙතෙක් සිදු වූ මරණ 15,099න් 10,887ක්ම මියගොස් තිබෙන්නේ කිසිදු එන්නතක් නොගත් අයයි. එන්නත්කරණයේ වැදගත්කම මින් පැහැදිලි වෙනවා. දැනට රෝගීන් දෛනිකව 800ක් පමණ වාර්තා වුණත් රෝහල්ගත වීම සහ සංකූලතා ඇතිවීම ඉතා අඩු මට්ටමක තිබෙන්නේ. එන්නත ගත් අයටත් රෝගය වැළඳෙන්න පුළුවනි. එහෙත් සංකූලතා ඇති වීම සහ මරණයට පත්වීම ඉතා අවමයි. එහෙත් කාලයත් සමඟ එන්නතේ ප්‍රතිශක්තිය අඩු වෙනවා. මේ අඩුවීම වයසක අයටත් නොයෙක් නිදන්ගත රෝග තිබෙන අයටත් බලපානවා. මේ නිසා අප අනිවාර්යයෙන්ම බූස්ටර් එන්නත ලබාගත යුතුමයි. යනුවෙන් ඔහු කියයි. 

නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් දේශය සමඟ අදහස් දැක්වූයේ එන්නත ගැන ඇති දුර්මත අවිද්‍යාත්මක සහ පර් යේෂණාත්මක සාධක මත ඔප්පු කිරීමට අපොහොසත් ඒවා බව කියමිනි. එන්නත ගෙන්වීමට පෙර ගෙන්වන එන්නත කුමක්ද? පවතින එන්නත්වලින් අපට වඩාත් පලදායක කුමක්ද? ආදී ලෙස පුළුල් අධ්‍යයනයක් සිදුකර මෙම බූස්ටර් එන්නත තෝරාගත් බව ඔහු කීවේය. මිල අධික වුවත් මේ එන්නත ගෙන්වන්නට කටයුතු කළේ එහි ඉහළ සඵලතාව සහ ක්‍රියාකාරීත්වය 

පර්  යේෂණාත්මකව තහවුරු වූ පසුව බව ඔහු පෙන්වා දුන්නේය. දැනට ලැබී ඇති ඉහළම මට්ටමේ පර් යේෂණාත්මක තහවුරු කිරීම් ඔස්සේ බහුතරයක් ලෝක විශේෂඥයන් පිළිගෙන අනුමත කර ඇත්තේ එම්.ආර්.එන්.ඒ. එන්නත් වඩාත් සුදුසු හදිසි ප්‍රතිශක්ති වර්ධකයක් බවටය. ඒ අනුව ෆයිසර් එන්නත ගෙන්වූ බව ඔහු කියයි.

මේ එන්නත සම්බන්ධයෙන් නොයෙකුත් දුර්මත පැතිර ඇති බවත් නමුත් ඒවා එකක්වත් විද්‍යාත්මක සාක්ෂි සහිතව ඇති තරම් සෑහෙන දත්ත සහිතව ඔප්පු කළ නොහැකි ඒවා බවත් ඔහු පෙන්වා දුන්නේය. මිනිසුන් තුළ එන්නත්කරණයට ස්වභාවිකවම පවතින භීතිය මෙන්ම සමහරු එන්නත කටුවට දක්වන බියටත් වඩා දැන් මේ පැතිර යන අවිද්‍යාත්මක චෝදනා නිසා යම් පසුබෑමක් ඇතිව තිබුණත් බූස්ටරය ලබා නොගැනීම නිසා අපහසුවට පත්වන්නේ තමන්ම බව අවබෝධ කරගත යුතු යැයි ඔහු පෙන්වා දෙයි.

බූස්ටරය නිසා ඇතිවන අසාත්මිකතා පිළිබඳ වාර්තා ඇත්තේ අතලොස්සකි. නැතිනම් සාපේක්ෂව අඩු සංඛ්‍යාවකි. මේ වනවිට බිලියන ගණනක් ලෝකවාසීන් මේ එන්නත ලබාගෙන තිබේ. මේ නිසා එන්නත ගැනීමෙන් වැළකී සිටීමට එය සාධාරණ හේතුවක් නොවේ. කෙනෙකුට එවන් අසාත්මිකතා ගැටලුවක් පැන නැංගේ නම් වහාම ළඟම ඇති රෝහලක් වෙත ගොස් ප්‍රතිකාර ලබාගැනීම කළ යුතු බවත් ඒ සඳහා ප්‍රතිකාර රෝහල් ආශ්‍රිතව පවතින බවත් හේමන්ත හේරත් මහතා කියයි. එන්නතට සමගාමීව කිසියම් ශාරීක අපහසුවක් හටගත් පමණින්ම ඒ ආසාත්මිකතාවට ආසන්නම හේතුව එය වන්නට හැකි නමුත් එකම හේතුව එන්නත නොවීමට ඇති ඉඩකඩ වැඩි බව ඔහු කියයි. මේ නිසා සැකයට ඉඩ නොදී බූස්ටරය හැකි ඉක්මණින් ලබාගැනීම මේ අවස්ථාවේ  අනුගමනය කළයුතු නිවැරුදිම පියවර බව ඒ මහතා පෙන්වා දෙයි.

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මහාචාර්ය නීලිකා මලවිගේ මේ ගැන අදහස් දක්වා තිබුණේ මෙසේය.

මුලින්ම සොයාගත් වූහාන් ප්‍රභේදය ගැන 

පර් යේෂණ රුසක් සිදුවුණා. එම පරීක්ෂණවලදී තහවුරු වුණේ එන්නත් මාත්‍රා දෙකක් ප්‍රමාණවත් බවයි. පසුව කරන ලද පරීක්ෂණ මඟින් තහවුරු වුණේ කාලයත් සමඟ මේ නිසා නිපදවෙන ප්‍රතිදේහ සහ ඉන් ලැබෙන ආරක්ෂාව අඩු වී යන නිසා කොවිඩ් එන්නත් මාත්‍රා තුනක් ලබාගත යුතු බවයි. ඒ නිසයි බූස්ටර් මාත්‍රාව සියලුදෙනා ගතයුතු බව කියන්නේ.

තුන්වැනි මාත්‍රාවෙන් විශාල වෙනසක් සිදුවන බව දැන් පැහැදිලියි. ඒ සඳහා ලෝකයේ දත්ත තියෙනවා. නිදසුනක් හැටියට එංගලන්තයේ ඔමික්‍රෝන් ප්‍රභේදය දැඩි ලෙස පැතිර යනවා. ඒ රටේ දත්තවලින් පෙනෙන්නේ මාත්‍රා දෙකක් පමණක් ගත් අය රෝහල්ගත වීම වැළැක්වීමට තරම්  ආරක්ෂාව ලැබෙන්නේ 56෴ කට බවයි. ඒත් තුන්වැනි මාත්‍රාව ගත් අය රෝහල්ගත වීම 89෴කින් වළක්වන බව තහවුරු වෙලා තියෙනවා. මේ නිසා බූස්ටර් මාත්‍රාව සියලුදෙනා ගතයුතු බවයි කියන්නේ.

“සමහර එන්නත්වලින් ජීවිත කාලයේම ප්‍රතිශක්තිය තිබුණත් ඇතැම් එන්නත්වල ප්‍රතිශක්තිය තිබෙන්නේ කිසියම් කාලයක් පමණයි. මෙය මාස ගණනක් හෝ වසර ගණනක් විය හැකියි. කොවිඩ් එන්නතේ ප්‍රතිශක්තිය මාස කිහිපයකින් පසු ක්‍රමයෙන් අඩු වී යන බව දැනට කරන ලද පරීක්ෂණ මඟින් හෙළි වී තිබෙනවා. එම අඩුවෙන ප්‍රතිශක්තිය වැඩි කිරීම සඳහා පිළිගත් ක්‍රමවේදය ලෙස බූස්ටර් එන්නත ලබාදෙනවා. මෙහිදී අඩු වී යන ප්‍රතිශක්තිය නැවත වැඩි වෙනවා. මේ නිසා අප ආරක්ෂා වීම සඳහා සෞඛ්‍ය ආරක්ෂණ ක්‍රියාමාර්ග අනුගමනය කරමින් බූස්ටර් මාත්‍රාව ගැනීමත් වැදගත්.* යැයි කායික රෝග විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රමද කියයි.

 සුගත් පී. කුලතුංගආරච්චි