2022 ජනවාරි 15 වන සෙනසුරාදා

රංගජීව එළියට: එමිල් රංජන් පෝරකේට

 2022 ජනවාරි 15 වන සෙනසුරාදා, පෙ.ව. 10:00 89

2012 නොවැම්බර් 09දා උදෑසන වැලිකඩ බන්ධනාගාරය පරීක්ෂා කිරීම සඳහා විශේෂ කාර්ය බලකායේ 300ක පමණ සෙබළු පිරිසක් ඇතුළු වූහ. ඒ නීතිවිරෝධී ද්‍රව්‍ය ළඟ තබාගැනීම සම්බන්ධයෙන් පරීක්ෂා කිරීමේ අරමුණ ඇතිවය. එහෙත් ඒ සඳහා නිසි අවසරයක් ගෙන නොතිබිණි.

අවසානයේ එම පරීක්ෂාවට විරෝධය පෑ රැඳවියන් කලබලකාරී ලෙස හැසිරෙමින් සෙබළුන්ටත් බන්ධනාගාර නිලධාරීන්ටත් පහර දෙන්නට වූ අතර සවස වනවිට මුළු බන්ධනාගාරයම රැඳවියන් අතට නතු විය. අවසානයේ බන්ධනාගාරයේ ආයුධ ගබඩාවත්, ඖෂධ හලත් රුඳවියන් විසින් කඩා දැමූ අතර අවි අතට ගත් සෙබළු ගිනිඅවි රුගෙන බන්ධනාගාරයේ වහළය මතට නැගුණාහ.

තත්ත්වය පාලනය කිරීම සඳහා විශේෂ කාර්ය බලකාය විසින් ආයුධ අත දරා සිටින රැඳවියන් වෙත ප්‍රහාර එල්ල කරන්නට වූ අතර දෙපිරිස අතර ගැටුම වෙඩි හුවමාරුවක් දක්වා වර්ධනය විය. ඒ අතරතුර විශේෂ කාර්ය බලකා සෙබළුන් සහ බන්ධනාගාර රැඳවියන් රැසකට තුවාල සිදුවිය. තුවාල වූ අය අතර එවකට විශේෂ කාර්ය බලකා අණ දෙන ප්‍රධානී රණවන මහතා ද විය. මේ අතර ත්‍රීරෝද රථයක නැගී රැඳවියන් පිරිසක් පලා යන්නට වූ අතර ඔවුහු සියලු දෙනා බේස්ලයින් පාර මැද වෙඩි ප්‍රහාරයට ලක්වූහ.

තත්ත්වය එන්න එන්නම දරුණු වීම හේතුවෙන් රාත්‍රියේ තත්ත්වය පාලනය කිරීම සඳහා යුද හමුදාවේ දිගුදුර විහිදුම් බලකායේ සෙබළුන් කැඳවන්නට විය. මධ්‍යම රාත්‍රිය වන විට එම සෙබළු පිරිස බන්ධනාගාරය තුළට ඇතුළු වී අලුයම හය වනවිට වැලිකඩ බන්ධනාගාරය සිරකරුවන්ගෙන් මුදවා ගැනීමට ඔවුහු සමත් වූහ. කෙසේ වෙතත් ඒ වනවිට රැඳවියන් 27 දෙනෙක් මියගොස් සිටියහ.

මෙම සිදුවීම ඉතාම සංවිධානාත්මක ලෙස සිදුකළ ඝාතනයක් බවට ඊට විරුද්ධව නැගී සිටි සිවිල් සංවිධාන විසින් චෝදනා කරන්නට විය. එනම් මෙම ඝාතන පිටුපස බන්ධනාගාර අධිකාරී එමිල් රංජන් ළමාහේවා සහ එවකට මත්ද්‍රව්‍ය කාර්යාංශයේ විශේෂ වැටලීම් ඒකකයේ ස්ථානාධිපති රංගජීව සිටි බවත් බන්ධනාගාරය මුදවා ගැනීමෙන් පසුව ඔවුන් පැමිණ දණ ගසා සිටි රැඳවියන් ලැයිස්තුවකට අනුව රැගෙන ගොස් ඝාතනය කළ බවටත් චෝදනා එල්ල වන්නට විය. එසේම ඇතැම් පිරිස් එවකට ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාට පවා චෝදනා එල්ල කළහ. එහෙත් ඒ සියල්ල එවකට රජය විසින් ප්‍රතික්ෂේප කළ අතර ඒ සඳහා විධිමත් පරීක්ෂණයක් ක්‍රියාත්මක වුයේද නැත. කෙසේ වෙතත් යහපාලන රජය පැමිණීමත් සමඟ මෙම පැමිණිල්ල නැවත කරළියට පැමිණියේය. ඒ ඡන්ද පොරොන්දුවකට අනුවය.

එම පැමිණිල්ල විභාග වීමත් සමඟ මෙම සිද්ධිය සම්බන්ධයෙන් 2018 මාර්තු මාසයේදී එවකට බන්ධනාගාර කොමසාරිස් එමිල් රංජන් ළමාහේවා සහ ප්‍රධාන පොලිස් පරීක්ෂක රංගජීව අත්අඩංගුවට පත් වූහ. එසේ අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව ඔවුහු බන්ධනාගාරගත කරනු ලැබූහ.

2019 ජූලි මාසයේදී එම සැකකරුවන් දෙදෙනාට සහ සිද්ධිය වන අවස්ථාවේ බන්ධනාගාරයේ සිටි බුද්ධි ප්‍රධානී ඉන්දික සම්පත් යන අයට එරෙහිව ද අධිචෝදනා 33ක් යටතේ නීතිපතිවරයා විසින් චෝදනා ගොනු කෙරිණි. ඒ රැඳවියන් 8 දෙනකු සිද්ධියෙන් පසුව රැගෙන ගොස් ඝාතනය කළ බවට චෝදනා නගමිනි.

ඒ අනුව මෙම නඩුවේ පළමු විත්තිකරු ලෙස රංගජීව, දෙවැනි විත්තිකරු ලෙස එමිල් රංජන් ළමාහේවා සහ තුන්වැනි විත්තිකරු ලෙස ඉන්දික සම්පත් යන අයට විරුද්ධව නඩු පැවරිණි. එසේම මෙම නඩුවේ සාක්ෂිකරුවන් වූයේ එම සිද්ධිය වන මොහොතේ බන්ධනාගාරයේ රැඳවියකුව සිටි සුදේෂ් චන්දිමාල්, බන්ධනාගාරයේ සේවය කළ සහකාර අධිකාරීවරයකු වූ කුඩා බණ්ඩා යන අය සහ බන්ධනාගාර රැඳවියන් කිහිප දෙනකු පමණි.

මෙම නඩුව ඇසීම සඳහා තිපුද්ගල මහාධිකරණ විනිසුරු මඬුල්ලක් පත් කළ අතර ඊට ජූරි සභාවක් පත් නොකෙරිණි. එම ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ල ලෙස මහාධිකරණ විනිසුරුවරුන් වශයෙන් ගිහාන් කුලතුංග (සභාපති), ප්‍රදීප් හෙට්ට්ආරච්චි සහ මංජුල තිලකරත්න යන මහත්වරු කටයුතු කළහ.

ඒ අනුව මෙම නඩුව වෙනුවෙන් සාක්ෂිකරුවන් 40ක්, ලේඛන 93ක්, එම සියලු සාක්ෂි සටහන් වූ ටයිප් පිටු 5000ක් වශයෙන් සාක්ෂි සටහන් වෙමින් මෙම නඩුවේ අවසන් තීන්දුව පසුගිය බදාදා ප්‍රකාශයට පත් කරනු ලැබීය.

මෙහි සාක්ෂිකරුවකු වන සුදේෂ්  චන්දිමාල් විසින් ලබා දෙනු ලැබූ සාක්ෂි විනිසුරුවරු ඉවත දැමූහ. ඒ ඔහු අතිශයෝක්තියෙන් සාක්ෂි ලබා දුන් බවට දන්වමිනි. පසුව පළමු විත්තිකරු වූ නියෝමාල් රංගජීව සම්බන්ධයෙන් චෝදනාව ප්‍රකාශයට පත් කළ අතර එහි සඳහන් වූයේ ඔහු විසින් හමුදාව විසින් දණගස්වා සිටි රැඳවියන් එකිනෙකා රැගෙන ගොස් ඝාතනය කර ඇති බවය. එහෙත් පැමිණිලි පාර්ශ්වය එම පැමිණිල්ලේ සාධාරණ යැයි කිව හැකි චෝදනා තහවුරු කර නොමැති හෙයින් රංගජීව මහතාව විනිසුරැ මඬුල්ල විසින් නිදොස් කොට නිදහස් කරනු ලැබූහ.

පසුව දෙවැනි විත්තිකරු වූ  එමිල් රංජන් ළමාහේවා සම්බන්ධයෙන් තීන්දුව ප්‍රකාශ කෙරිණි. එමිල් රංජන් ළමාහේවා සම්බන්ධයෙන් ගොනුකර ඇති චෝදනාවලින් එක් චෝදනාවක් පමණක් ඔප්පුවන බව මෙහිදී සඳහන් විය. එනම් දණගස්වා සිටි අය අතරින් කළු තුෂාර නැමැත්තා යුද හමුදා මේජර්වරයකු සමඟ රැගෙන ගොස් ඇති බවත් පසුව වෙඩි ශබ්දයක් ඇසුණු බවත් ඉන් අනතුරුව ඔහුගේ මළසිරුර හමුවූ බවත් සාක්ෂිකරු වූ සහකාර අධිකාරී කුඩා බණ්ඩා විසින් කළ ප්‍රකාශය අනුවය. එපමණක් නොව එම සිදුවීම වීමට ප්‍රථම තුෂාරගෙන් මරණ තර්ජන ඇති බවට පැමිණිල්ලක් පවා බොරැල්ල පොලීසිය හමුවේ කර තිබුණු බවට සාක්ෂි ඔස්සේ සඳහන් විය. එම චෝදනාවට අනුව දිය හැකි දඬුවම ලෙසට මරණීය දණ්ඩනය සභාපති විනිසුරුවරයා ප්‍රකාශයට පත් කළේය. සියලු තීන්දු ඒකමතික විය.

අනතුරුව එම දඬුවම සම්බන්ධයෙන් විත්තිකරුට අදහස් ප්‍රකාශ කිරීමට ඉඩ ලැබිණි. එහිදී එමිල් රංජන් විසින් ප්‍රකාශ කර සිටියේ "දහස් ගණනක් සෙනඟ ඉන්න බන්ධනාගාරයේ කළු තුෂාරව රුගෙන යනවා දැකලා තියෙන්නේ කුඩා බණ්ඩා කියන නිලධාරියා විතරයි. ඔහු මා සමඟ තරහයි. මේ සිද්ධියට කිසිම සම්බන්ධයක් නෑ. කුඩා බණ්ඩාර නිලධාරියා හැර තවත් එක් අයකු හෝ කිව්වොත් මට මරණ දඬුවම් 10ක් දුන්නත් කමක් නෑ. සිරකරුවන් 27ක් ඝාතනය වූ සිද්ධියකට නඩු දාලා තියෙන්නේ සිරකරුවන් 8 දෙනෙක් මැරුණු සිද්ධියකට විතරයි. ඇතුළේ සිරකරුවෝ වෙඩි තියා ගත්තා කියලත් තොරතුරු තියෙනවා. කොහොම වුණත් මම මේ සිදුවීමට සම්බන්ධ නෑ." යනුවෙනි.

එසේම මෙම සිද්ධියේ තුන්වැනි සැකකරු ද නිදොස් කොට නිදහස් කරනු ලැබීය.

ඒ අනුව 2012 සිට අවුරුදු 10කට ආසන්න කාලයක් විභාග වෙමින් තිබූ වැලිකඩ බන්ධනාගාර සම්බන්ධ සිදුවීමේ තීන්දුව පසුගියදා සවස 6.30ට ඉර බැස යන මොහොතේ ප්‍රකාශයට පත් කෙරිණි. උසාවියේ සියලු දෙනා නැගී සිටිමින් විදුලි පංකා, විදුලි බුබුළු නිවා දැමීමෙන් අනතුරුව විනිසුරුවරුන්ගේ තීන්දුව ප්‍රකාශයට පත් කරනු ලැබීය.

“ශ්‍රී ලංකා ජනාධිපතිවරයා නියම කරන දිනයක හා වෙලාවක වැලිකඩ බන්ධනාගාරය තුළදී එමිල් රංජන් ළමාහේවා නැමති විත්තිකරුගේ ප්‍රාණය නිරුද්ධ වනතුරු බෙල්ලෙන් එල්ලා තැබීමට නියම කළේය.” යනුවෙන් තීන්දුවේ සඳහන් විය.

 ගයාන් ගාල්ලගේ