2022 ජනවාරි 15 වන සෙනසුරාදා

බදු දැලට තෝරු - මෝරු හසු කරගන්නා අලුත් බදු

 2022 ජනවාරි 15 වන සෙනසුරාදා, පෙ.ව. 10:00 12

දැනට ක්‍රියාත්මකව ඇති වැට් බද්ද වෙනුවට තෝරාගත් භාණ්ඩ හා සේවාවන් ගණනාවක් සඳහා විශේෂ වෙළෙඳ භාණ්ඩ සහ සේවා බද්දක් අයකිරීම සඳහා මේ වනවිට රජය කටයුතු කරමින් පවතී. පසුගියදා අයවැය ලේඛනය මගින් ප්‍රථම වරට මෙලෙස විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්දක් පනවන බවට මුදල් ඇමැතිවරයා පැවසූ අතර දැන් ඒ පිළිබඳ අභ්‍යන්තර ක්‍රියාමාර්ග ගනිමින් සිටින බව වාර්තා වෙයි. එයට අදාළව මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ කැබිනට් මණ්ඩලයට පසුගියදා ඉදිරිපත් කළ යෝජනාවකටද අනුමැතිය හිමිව තිබේ. ඉදිරියේදී විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්දක් පිළිබඳ සංශෝධන පනතක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර සම්මත කර ගැනීමටද නියමිත බව වාර්තා වෙයි.

මෙම නව බද්ද ක්‍රියාත්මක කිරීමේදී එම භාණ්ඩ හා සේවා වෙනුවෙන් දැනට පනවා ඇති වැට් බද්ද අයකිරීම මුළුමනින්ම නැවතෙන අතර, නව බද්ද අය කළ පසු එය නැවත පියවීමේ ක්‍රමවේදය ද ඒ සමඟම අහෝසි වෙයි. එම පාඩුව පියවා ගැනීම සඳහා වැට් බද්දේ ප්‍රතිශතයට වඩා වැඩි මුදලක් මෙම බද්දට එකතු කරන බවද පැවසේ.

මත්පැන්, දුම්වැටි, විදුලි සංදේශ සහ කැසිනෝ ආදී සූදු ක්‍රීඩා මෙන්ම මෙතෙක් හරිහැටි බදු අයකරගත නොහැකිව තිබෙන වෘත්තීමය සේවා රුසකින් බදු අයකර ගැනීමේ ප්‍රතිපාදන ද මෙම පනතට අඩංගු කර තිබේ. මෙම සෑම අංගයක් සඳහාම අයකරන බදු ප්‍රතිශතය මෙතෙක් තීරණය කර නොමැති අතර මේ වනවිට ඒ පිළිබඳ ගණනය කිරීම් සිදුවෙමින් පවතී. තව නොබෝ දිනකින් මෙම පනත් කෙටුම්පත සකස් කර පාර්ලිමේන්තුව මගින් සම්මත කර ගැනීමට කටයුතු කරන බව දැනගන්නට තිබේ. මේ වනවිට යම් යම් භාණ්ඩ හා සේවාවලින් රජය අහිමි වන බදු ආදායම විශාල වන අතර ඒවා අයකර ගැනීමට පවතින නීති ප්‍රතිපාදනවල දුර්වලතා ඇති බව තේරුම් ගොස් ඇති නිසා එම අඩුපාඩු සම්පූර්ණ කර ගැනීම මෙහි අරමුණ බව මුදල් අමාත්‍යාංශය පවසයි. ඇතැම් විශාල ධනස්කන්ධයක් හිමිවන වෘත්තීන්වලින් බදු අයකර ගැනීම දුෂ්කරව ඇත්තේ ඔවුන් ලබන ආදායම පිළිබඳ සංඛ්‍යාලේඛන නොමැති නිසාය. එසේම එම ප්‍රමාණයන් අනාවරණය කර ගැනීමටද පවතින නීතිවල ප්‍රතිපාදන නොමැත. නීතිඥ වෘත්තිය, වෛද්‍ය සේවාව, සැලසුම් සේවය, අධ්‍යාපන ක්ෂේත්‍රය, මානක හා උපදේශන සේවාව ආදිය මෙයට උදාහරණ වෙයි. බදු දැලින් පැන යන මෙම විශාල ධනස්කන්ධය අයකර ගැනීම මෙහි අරමුණ වෙයි. මේ සා විශාල වෘත්තීය සේවාවල නිරත වන අයගෙන් ස්වේච්ඡාවෙන් ආදායම පෙන්වා බදු ගෙවීමට ඉදිරිපත් වන කොටස අතළොස්සක් පමණි. සෙස්සන් තම ආදායම් බදු දෙපාර්තමේන්තුවට අනාවරණය කිරීමෙන් වැළකී සිටිනු දැකගත හැකිය. මෙම අඩුපාඩු සපුරා ගැනීම පනතේ අරමුණ බව රජය කියයි.

මෙම යෝජිත විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද නිසා දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට වාර්ෂිකව රුපියල් මිලියන 300කට අධික මුදලක් අහිමි වන බව එම දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙක් අපට පැවසීය. මෙම විශේෂ භාණ්ඩ හා සේවා බද්ද ක්ෂේත්‍ර හයක් ආවරණය කරන අතර එම බදු අයකිරීමේ බලය මහා භාණ්ඩාගාරයට හිමිකර ගැනීමට මෙම පනත අනුව කටයුතු සිදුවේ. අලුත් යෝජනාව අනුව මෙම බදු අයකිරීමේ ක්‍රියාදාමය විශාල ලෙස සංකීර්ණ වී ඇති අතර දිස්ත්‍රික් ලේකම්ගේ සිට රාජ්‍ය ආයතන රුසක් මෙම ක්‍රමවේදයට සම්බන්ධ වී තිබේ. මේ පනත නිසා දැනට දෙපාර්තමේන්තුව මගින් අයකළ වැට් බද්ද සම්පූර්ණයෙන් අහෝසි වන අතර එම ආදායම අයකර ගැනීම මෙම අලුත් බදු පනතට ඇතුළත් කර තිබේ. වසර 90ක ඉතිහාසයක් ඇති දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ රටේ ඍජු බදු අයකිරීමේ ක්‍රමවේදයේ පුරෝගාමීන් වන අතර මෙම පනත මගින් දෙපාර්තමේන්තුව යම් පමණක දුර්වල තත්ත්වයකට පත්කර ඇතැයි එම නිලධාරියා පැවසීය. එක් අයකු කළ කාර්යය විශාල ආයතන ගණනාවකට බෙදා තිබෙන නිසා එය සංකීර්ණ වීම හේතුවෙන් නිසි කාර්යක්ෂමතාවක් ඇතිවේද යන්න පැවසීම උගහටය යන්න ඔහුගේ අදහසය.

අනිත් සුවිශේෂ කරුණ වන්නේ දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ බදු ආදායම ඍජුවම රජයේ ඒකාබද්ධ අරමුදලට බැරවෙන අතර මෙම පනතේ ප්‍රතිපාදන අනුව එම මුදල් බැර වන්නේ භාණ්ඩාගාරයේ නියෝජ්‍ය ලේකම්වරයකුගේ නමින් ඇති ගිණුමකට බවද හෙතෙම පවසයි. ඒකාබද්ධ අරමුදලේ ප්‍රතිපාදන රාජ්‍ය විගණකාධිපතිවරයාගේ ඍජු අධීක්ෂණයට නතුවන නමුත් මෙම අලුත් අරමුදල විගණකාධිපතිගේ පාලනයට නතු නොවන බවද ඔහු කියයි. ඒ නිසා මෙම රාජ්‍ය ආදායම එකතු කිරීම සහ වැයවීම පිළිබඳ යම් ගැටලු මතුවීමට අනාගතයේ ඉඩ ඇතැයි යන්න ඔහුගේ අදහසයි.

වැට් බදු අයකර ගැනීම පිළිබඳ පෙර සිටම විවිධ ගැටලු ඇතිව තිබුණු අතර රජය බදු ප්‍රතිශත විටින් විට වෙනස් කිරීම නිසා දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට ද ප්‍රශ්නවලට මුහුණපෑමට සිදුව ඇතැයි ඔහු කියයි. වැට් බදු අයකිරීමේ අඩුපාඩු ඇතිනම් එය නිවැරදි කිරීම වෙනුවට මෙතෙක් කල් පැවති ක්‍රියාදාමය අඩු යටිකුරු වීමක් මේ නිසා සිදුවන්නේ යැයි ඔහු කියයි. බදු අයකර ගැනීමට දැනට වලංගුව පවතින අණ පනත් ප්‍රමාණවත් නමුත් සිදුව ඇත්තේ ඒවා නිසි පරිදි ක්‍රියාත්මක නොකිරීම බව ඔහුගේ අදහසය. ඒ නිසා ආදායම් බදු දෙපාර්තමේන්තුවේ රාජකාරි කටයුතු පිළිබඳ යම් සමාලෝචනයක යෙදිය යුතුය යන්න ඔහුගේ අදහසයි.

දේශීය ආදායමෙන් ගලවා භාණ්ඩාගාරයට පැවරීම ගැටලුවක්

මේ පිළිබඳ අදහස් දක්වන ශ්‍රී ලංකා වයඹ විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා අංශයේ මහාචාර්ය අමින්ද මෙත්සිල පෙරේරා මෙසේ කියයි.

&අපේ රටේ බදු අය කිරීමට බලය ඇති රාජ්‍ය ආයතන තුනක් තියෙනවා. රේගුව, සුරාබදු සහ දේශීය ආදායම් එම දෙපාර්තමේන්තු වෙනවා. රේගු සහ සුරාබදු යන දෙපාර්තමේන්තු සුවිශේෂ බදු අයකරන ආයතන වන අතර, සෙසු සියලුම බදු දේශීය ආදායම් දෙපාර්තමේන්තුව මගින් අයකරනු ලබනවා. 2021 දෙසැම්බර් මාසයේ අයවැය ලේඛනය අනුව බදු අයකිරීම කාර්යක්ෂම කිරීම සඳහා දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට අතිරේකව මුදල් අමාත්‍යංශය සහ මහා භාණ්ඩාගාරය යොදු ගැනීම පිළිබඳ අදහස් ඉදිරිපත් වුණා. එහි අතුරුඵලයක් ලෙස තමා මෙම විශේෂ වෙළඳ භාණ්ඩ හා සේවක බද්දක් අයකර ගැනීමට පනතක් ගෙන ඒමට යන්නේ.

මේ පනත අනුව, මත්පැන්, දුම්වැටි, සූදු වර්ග, විදුලි සංදේශ හා වාහන බදුද අයකර ගැනීමට ප්‍රතිපාදන සැලසෙනවා. එසේම මෙතෙක් කල් බදු අයකර ගැනීමට අපහසුව තිබූ නීතිඥ දොස්තර, වෘත්තීයවේදීන්, අධ්‍යාපන ආදී විවිධ අංශ රුසක්ද බදු දැලට හසුකර ගන්නයි බලාපොරොත්තු වන්නේ. මෙම ක්‍රියාමාර්ගය යහපත් වුවද මේවා අයකර ගැනීමට දේශීය ආදායම් දෙපාර්තමේන්තුව යොදා නොගෙන මහා භාණ්ඩාගාරය මගින් කරන්නට යාමයි ගැටලුව වන්නේ.

මුදල් අමාත්‍යංශය යනු රටේ අකාර්යක්ෂම අමාත්‍යංශයක් ලෙස විරුදාවලී ලැබ ඇති ආයතනයක්. මෙම පනත මගින් බදු අයකිරීමේ බලය මෙම අමාත්‍යංශයට පවරා ගන්නට යන්නේ දේශීය ආදායම් දෙපාර්තමේන්තුවෙන් එය නිසියාකාර සිදු නොවන බව පවසමින්. දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ දැනට ඇස්තමේන්තු ගත ආදායම රුපියල් බිලියන 1052 පමණ වෙනවා. එහෙත් මේ වනවිට අයකළ හැකි බදු ප්‍රමාණය බිලියන 600කින් අඩුවෙලා 400 දක්වා පහත වැටී තිබෙනවා. කෝටි 60,000ක ආදායමක් බැහැලා තියෙනවා. එය මුළුමනින්ම දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ අකාර්යක්ෂමතාව හෝ අත්වරදක් නිසා සිදුවූවා නොවෙයි. මෙය සිදුව ඇත්තේ පසුගිය සමයේ රජය ගත් වැරදි තීරණ නිසයි. මේවායේ ප්‍රතිඵල ලෙස මේ වනවිට දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ බදු ලිපි ගොනු ලක්ෂ 6ක් ඉවත් කරන්නට සිදුවෙලා තියෙනවා.

බදු එකතු කිරීමේ පිරිවැය ඉහළ ගොස් තිබෙනවා. එක රුපියලක් එකතු කිරීමට 2019දී වැයවූයේ ශත 54ක් පමණයි. 2020 වනවිට එම වැය රුපියලක් එකතු කිරීම සඳහා රුපියල් 1.03 දක්වා ඉහළ ගිහින් තිබෙනවා. ඉදිරියේදී තවත් මෙම වැය වැඩිවේවි. එයට හේතුව දෙපාර්තමේන්තුවේ අකාර්යක්ෂමතාව නොව රජය විටින් විට ආදායම් බදු ප්‍රමාණය අඩු කිරීම නිසයි. පසුගිය කාලයේ විටින් විට බදු සංශෝධන ගෙන ඒමයි. ලබාගත හැකි බොහෝ බදු අයකර ගත නොහැකි තැනට කටයුතු සිදුව තිබෙනවා. ආණ්ඩුව බලයට පත්වූදා සිටම විටින් විට කළේ බදු ආදායම විශාල ලෙස වැඩිකර ගැනීම නොව අඩුකර ගැනීමයි. මෙහිදී පනින රිලවුන්ට ඉනිමං බැඳීමක් සිදුවුණා.

බදු අයකර ගැනීම සංකීර්ණ ක්‍රමවේදයකි. ඒ සඳහා විශේෂඥයන් සිටින්නේ දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේය. ඒ අය මේ සඳහා විශේෂයෙන් පුහුණුකර ඇත. මෙම වෘත්තීයවේදීන්ගේ කාර්යභාරය මහා භාණ්ඩාගාරයට හෝ මුදල් අමාත්‍යංශයට කළ හැකිද? ඒ සඳහා පුහුණු නිලධාරීන් හා නවතම ක්‍රමවේද ඔවුන්ට තිබේද? අනිත් අතට මෙය වක්‍ර බද්දකි. අයවැය අනුව බලාපොරොත්තු වන්නේ බදු ආදායම සියයට 45කින් 2022 වසරේදී ඉහළ නංවා ගැනීමටය. 2021 වසරේ ආදායම බිලියන 1561කි. එය 2022 වසරේදී සියයට 45කින් ඉහළ නංවා ගැනීම ප්‍රායෝගික වේද යන ගැටලුව මතුවෙයි. පසුගිය වසර 10 තුළම ශ්‍රී ලංකාවේ බදු ආදායම වැඩිවී ඇත්තේ සියයට 10.5කින් පමණි. මෙය 45ට වැඩි කළ හැකිද? අති විශාල ලෙස වක්‍ර බදු වැඩිකළ යුතුව ඇත. එසේ නැතුව පැනවීමට යන විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්දෙන් කළ හැකි දෙයක් නොවේ.

මෙලෙස වක්‍ර බදු වැඩි කිරීමෙන් ජනතාව විශාල පීඩනයකට ලක්වීම නොවැළැක්විය හැකිය. සියල්ල සාමාන්‍ය ජනතාව පිට යාම එයට හේතුවයි. මේ තත්ත්වය නිසා දැනට පීඩා විඳින ජනතාව විශාල හිරිහැරයකට පාත්‍ර වනවා නියතය. විශේෂ භාණ්ඩ හා සේවා බද්ද අය කිරීමේ බලය භාණ්ඩාගාරයට දීමෙන් මෙම තත්ත්වයට ප්‍රතිකර්මයක් ලැබේද? එවැනි නීතිමය රාමුවක් භාණ්ඩාගාරයට නැත. එයද නෛතික ගැටලුවක් බවට අනාගතයේ පත්වනවා ඇත. අනාගතයේදී බදු අයකිරීම තවදුරටත් දේශපාලනීකරණය වෙනවා ඇත. මැති ඇමැතිවරුන්ට මෙම බදු අයකිරීම්වලට ඇඟිලි ගැසීමට ඉඩ ලැබේ. දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට බලය තිබේ නම් දේශපාලනීකරණය වීම ඉතාම අවම වනු ඇත. දේශීය ආදායම් දෙපාර්තමේන්තුව අකාර්යක්ෂම නම් එය කාර්යක්ෂම කිරීම බලධරයන්ගේ වගකීමකි. එසේ නැතුව එම බලතල වෙනත් අංශවලට දීම සුදුසු නැත. ඉතිහාසය පූර්වාදර්ශයට ගත් විට මේ යෝජිත පනත පිළිබඳ ජනතාව විවිධ සැක පළ කිරීමට ඉඩ තිබේ. මෙය වතුර කොරහෙත් කිඹුල්ලු දකින කාලයකි.

 යසවර්ධන රුද්රිගු