2022 ජනවාරි 15 වන සෙනසුරාදා

මිහිපිට අපායක් වූ ලෝක උරුම නව නගරය

 2022 ජනවාරි 15 වන සෙනසුරාදා, පෙ.ව. 10:00 12

1982 වර්ෂයේ ප‍්‍රංශයේ පැරිස් නුවර පැවැති යුනෙස්කෝ සම්මේලනය අවස්ථාවේදී ලෝකයේ 200 වැනි ලෝක උරුමය ලෙස අනුරාධපුර පැරුණි නගරයත්, 201 වැනි ලෝක උරුමය ලෙස පොළොන්නරුව පැරුණි නගරයත්, 202 වැනි ලෝක උරුමය ලෙස සීගිරියත් ප‍්‍රකාශයට පත් කිරීම සිදුවිය. ඒ අනුව ශ‍්‍රී ලංකාවේ ප‍්‍රථම ලෝක උරුම තුන බවට එම පුරාණ නගර පත්විය. සීගිරිය යුනෙස්කෝ ලෝක උරුමයක් බවට පත්වූ පසු ඒ ගැන වැඩි ජාත්‍යන්තර අවධානයකට ලක්වුණු අතර ක්‍රමයෙන් සීගිරිය නැරඹීමට පැමිණෙන සංචාරකයන් සංඛ්‍යාව ඉහළ ගියේය. කොවිඩ් වසංගතයට පෙර මාසයකට ලක්ෂ ගණනක් විදේශීය සංචාරකයන් සීගිරියට ඇදී එමින් පැවතුණි. ඉන් මධ්‍යම සංස්කෘතික අරමුදල ඩොලර් ලක්ෂ ගණනක ආදායමක් ලැබුවේය. දේශීය සංචාරකයන්ද ලක්ෂ ගණනින් සීගිරිය නැරඹූ බව අපි දනිමු. මධ්‍යම සංස්කෘතික අරමුදල මගින් සීගිරිය නැරඹීම සඳහා දේශීය සංචාරකයකුගෙන් රුපියල් 100ක මුදලක්ද ළමයකුගෙන් රුපියල් 50ක්ද අය කෙරේ. විදේශීය සංචාරකයකුගෙන් ඩොලර් 30ක මුදලක් අය කිරීම සිදුවේ.

කාශ්‍යප රජු 5 වැනි සියවසේදී ඉදිකළ සීගිරිය රාජධානිය ලෝක ගෘහ නිර්මාණ ශිල්ප ක්‍රමවල මහාර්ඝ වික්‍රමයක් විදිහට සැලකේ. සතුරකුට ආක්‍රමණය කරන්න බැරි, “අහසේ හදපු රාජධානියක්” ලෙස තැනූ ආලකමන්දාවක් ලෙස මහාචාර්ය සෙනරත් පරණවිතාන සීගිරිය හඳුන්වා දී තිබේ.

අඩි 660ක් ඉහළ කළු ගලක් මත ඉදිකළ රාජධානියේ නටබුන් මෙන්ම සීගිරි ගල පාමුල ඇති පොකුණු සහිත නගරයේ නටබුන් අපේ පුරාණ ගෘහ නිර්මාණ සැලසුම්වල විශිෂ්ටත්වය ලොවට පැවසීමට සමත්ය. කණ්නාඩියක් තරමටම සුමට කැටපත් පවුර, ලෝක ප්‍රසිද්ධ අප්සරා බිතු සිතුවම්, අදටත් ක්‍රියාත්මක ජල මල් පද්ධති, සීගිරි පියගැට පෙළ පාමුල සිංහ පාදය වැනි හැම නිර්මාණයක්ම සීගිරිය සතු අපූර්වත්වය විදහා දැක්වීමට සමත්ය.

සීගිරියට ඇතුළුවන ස්ථානයේ තිබූ නගරය එතැනින් ඉවත්කර තරමක් දුරින් නව නගරයක් සේ ස්ථාපිත කෙරුණේත් සීගිරිය ස්මාරකයේ ආරක්ෂාව සඳහාය. මේ නිසා පා ගමනින් එන නරඹන්නන් නවනගරයේ රථගාලේ වාහන නවතා පැමිණිය යුතු විය. එසේ පැමිණෙන සංචාරකයන්ට වැසිකිලි කැසිකිලි පහසුකම්, යම් යම් දෑ මිලදී ගැනීමට අවශ්‍ය පහසුව ලබාදීමේ අරමුණින් බිහිකළ නව නගරය පසුගිය කාලයේ වල්වැදී කිසිවකුගේ සොයා බැලීමට ලක්නොවූ බවට මාධ්‍ය වාර්තා පළ විය.

ලෝක උරුම සීගිරිය ස්මාරක ප්‍රදේශය ඉදිරිපිට පිහිටි නව නගරය වර්තමානය වනවිට ජනතාවට ළඟාවීමට නොහැකි අප්‍රසන්න ප්‍රදේශයක් බවට පත්ව ඇති බවට සීගිරිය නැරඹීමට පැමිණෙන සංචාරකයෝ චෝදනා කරති. මෙසේ මිහිපිට අපායක් බවට එම ස්ථානය පත්වීම නිසා දෙස් විදෙස් සංචාරකයන්ට දැඩි අපහසුවකට පත්වීමට සිදුව තිබේ.

ලෝක උරුම බිම්කඩක් බවට නම් කර දශක ගණනාවක් ගතවුණත් එම කාලය තුළ ඩොලර් මිලියන ගණනින් සීගිරියෙන් ආදායම් ලබා ගත්තත් එහි පහසුකම් නමට පමණක් සීමාවී ඇති බව සීගිරියට යන කාටත් දැකගන්නට ලැබෙන දෙයකි. පසුගිය කාලයේ පාළුවට ගොස් තිබුණු සීගිරියට දැන් ටිකෙන් ටික දෙස් විදෙස් සංචාරකයන් පැමිණෙන්නට පටන් ගෙන ඇත. නමුත් සීගිරියේ පරිසරය ඔවුන් ඒ වෙත පැමිණීම වළක්වන්නට සමත් බව නොරහසකි. තැනින් තැන පිහිටි මඩ වගුරු, කැළිකසළ නගරය අවලස්සන කිරීමට සමත්ය. අයාලේ යන සුනඛයන් නිසා දෙස් විදෙස් සංචාරකයන්ට දැඩි අවදානමකට මුහුණදීමට සිදුව තිබේ. 

දෙස් විදෙස් සංචාරකයන් පසුපස පන්නා හපා කන්නට සූදානමින් 50-60ක විශාල සුනඛ රුලක් සිටින අතර පසුගිය කොවිඩ් කාලයේ උන් මෙහි පදිංචිය තහවුරු කරගෙන ඇති බව පෙනේ. දේශීය සංචාරකයන් සඳහා අනුමත කර ඇති නව නගරයේ රථ ගාල මේ වනවිට නඩත්තුවකින් තොරවීම නිසා සම්පූර්ණයෙන්ම මඩ වගුරක් බවට පත්ව කුඩා කුඩා මඩ තටාක බවට පත්ව වී ඇති අන්දම එම ස්ථානයට යන කාටත් දැකබලා ගත හැකිය. 

මධ්‍යම සංස්කෘතික අරමුදල මගින් කලකට පෙර තනා දී තිබෙන නව නගරයේ වෙළඳසැල් සියල්ල මේ වනවිට ගරා වැටී වහලවල් කැඩී අබලන්ව පවතී. බොහෝ වෙළෙඳසැල් වසා දමා ඇත්තේ තවමත් ආදායමක් ලැබීම අසීරු නිසා විය හැකිය. දේශීය සංචාරකයන්ට වෙන්කර තිබෙන වැසිකිළි පද්ධතියේ දොරවල් කැඩි අපිරිසිදු වී තිබේ. වැසිකිළි භාවිත කිරීමට ජල පහසුකම්වත් නැත.

සීගිරිය විහාරාධිපති පුබ්බිලියේ ධම්මානන්ද නාහිමි සඳහන් කරන්නේ නව නගරය අයිතිකරුවකු නැති ස්ථානයක් බවට පත්ව ඇති බවයි. මෙසේ භූමියේ වගකීම ගන්නට බලධාරියෙක් නැති නිසා එය ගැන පැමිණිලි කිරීමට තැනක් සාමාන්‍ය ජනතාවට නොමැත. දේශීය සංචාරකයන්ට එසේ සැලකුණත් විදේශීය සංචාරකයන්ට නම් පහසුකම් සලසා ඇති බව ඒ හිමියෝ පවසති. පාසල් ළමුන් ඇතුළු සංචාරකයන්ට කෑම ගැනීමට පවා පහසුකමක් එහි නැත. 

දඹුල්ල ප්‍රාදේශීය සභාව පවසන්නේ නව නගරයේ අයිතිය මධ්‍යම සංස්කෘතික අරමුදල සතු බවය. මධ්‍යම සංස්කෘතික අරමුදලට අනුව එය අයිති ප්‍රාදේශීය සභාවටය. ප්‍රාදේශීය සභාව රථ ගාලෙන් මුදල් අයකර ගැනීම සිදුවේ. මේ ආයතන දෙකෙන් කිසිවෙක් පසුගිය කාලයේ නව නගරයේ පහසුකම් ගැන වගකීම කරට ගෙන නැත. දඹුල්ල ප්‍රාදේශීය සභාවේ සභාපති කේ.ජී. සෝමතිලක පවසන්නේ නව නගරය ඉදිකොට වසර තිහකට ආසන්න කාලයක් ගතවුණත් මෙතෙක් එහි අයිතිය ප්‍රාදේශීය සභා පවරා නැති බවයි. මධ්‍යම සංස්කෘතික අරමුදල පවසන්නේ ඉදිරියේ එහි අයිතිය ප්‍රාදේශීය සභාවට පැවරීමේ කටයුතු සිදුවන බවය. 

මේ අතර මාධ්‍ය ඔස්සේ වාර්තා වුණු සීගිරියේ අප්‍රසන්න ස්වභාවයට පිළියම් යෙදීමේ අරමුණු ඇතිව සම්බන්ධ සියලු පාර්ශ්වයන්ගේ සහභාගිත්වයෙන් පසුගිය 11 දින අරලියගහ මන්දිරයේදී සාකච්ඡාවක් පැවැත්වුණි. ඒ විෂය භාර අමාත්‍ය අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂගේ උපදෙස් පරිදිය. එම සාකච්ඡාවෙන් පසු අපි මධ්‍යම සංස්කෘතික අරමුදලේ අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය ගාමිණී රණසිංහ ඇමතුවෙමු.

&මේ සාකච්ඡාවට නාගරික සංවර්ධන අධිකාරිය, ප්‍රාදේශීය සභාව, ප්‍රාදේශීය ලේකම්, වනජීවි නිලධාරීන්, භික්ෂූන් වහන්සේ ඇතුළු සියලු පාර්ශ්ව සහභාගි වුණා. නරඹන්නන්ට පහසුකම් ලබාදිය යුතු බව යන මතයට අපත් එකඟයි. මේ නිසා ජනවාරි 24ට පෙර ඒ ගැන සැලසුමක් සකස් කර ඉදිරිපත් කිරීමට අප එකඟ වුණා. අප විතරක් තනිවම නොවෙයි මේ නගර සංවර්ධන සැලසුම හදන්නේ. සියලුදෙනාම තමන්ට හැකි සහයෝගය දැක්වීමට එකඟ වූ නිසා නුදුරේදීම සීගිරිය නව නගරය හොඳ මට්ටමකට ගෙනවිත් සංචාරක පහසුකම් දියුණු කිරිමට ඉඩ ලැබෙන බව විශ්වාස කළ හැකියි. 

කාශ්‍යප රජු සීගිරිය තැනුවේ දකුණු ආසියාවේ විශිෂ්ට උද්‍යාන නගරයක් ලෙසිනි. එය සියවස් ගණනාවක් තිස්සේ ලෝකය පුරා කීර්තියට ලක්වෙමින් පවතී. එම නගරයට කැළලක් ලෙසින් පර්වතය පාමුල පවතින නව නගරය ඉක්මනින්ම සැලසුම් සහගතව කාටත් ප්‍රයෝජනයක් සහිත ස්ථානයක් බවට පත්වනු ඇතැයි අපි සිතමු.

සේයාරෑ ලංකාදීප වෙබ් අඩවිය සහ අන්තර්ජාලයෙනි.

 කුසුම්සිරි විජයවර්ධන