2022 ජනවාරි 15 වන සෙනසුරාදා

රිදියගම සෆාරි උයනේ සිංහ සවාරිය

 2022 ජනවාරි 15 වන සෙනසුරාදා, පෙ.ව. 10:00 119

“චණ්ඩියා” අපිට මුණගැසුණේ හම්බන්තොට රිදියගම සෆාරි උද්‍යානයේදීය. අප රැගත් සෆාරි රථය (අප්‍රිකානු සිංහ කලාපයෙන්) ගමන් අරඹනවාත් සමඟ මඳ පවනේ ගසක් යටට වී (චණ්ඩියා) අප එනතුරු ඈත සිට බලා සිටියේය. දේහධාරී ශරීරයකට හිමිකම් පෑ චණ්ඩියා සැබෑ අප්‍රිකානු සිංහයෙකි. අක්කර පන්සීයක භූමි ප්‍රදේශයක ඉදිකිරීමට සැලසුම් කර ඇති හම්බන්තොට රිදියගම සෆාරි උද්‍යානය මේ වනවිට කලාප හතරක් ඔස්සේ ඉදිකිරීම් අවසන් කර ඇති අතර එය අක්කර දෙසීයකින් වෙන්වුණු භූමි ප්‍රදේශයකි.

අප රැගත් සෆාරි රථය පළමුව පිවිසියේ අප්‍රිකානු සිංහ කලාපයටයි. සිංහයකුගේ තේජාන්විත බව, ගාම්භීරත්වය අපූරුවට කියා පෑ (චණ්ඩියා) අප්‍රිකානු සිංහ කලාපයේ සිටින සැබෑම චණ්ඩියෙකි. සිංහ වර්ගයාට අපූරුවට ඔබින අප්‍රිකානු සිංහ කලාපය අක්කර තිස් හයකට වෙන්වුණු කලාපයකි. අප්‍රිකානු සිංහයන් දාහතර දෙනකු නිදහසේ මෙම භූමි ප්‍රදේශයේ එහා මෙහා සැරිසරන අන්දම අපට දැකබලා ගැනීමට හැකිවිය. අප්‍රිකානු රටවල සැවානා බිම් ප්‍රදේශවල සිංහයෝ ජීවත් වෙති. මෙහි අප්‍රිකානු කලාපයේ සිංහයන්ට ගැලපෙන පරිදි තණ පිට්ටනි සහිත භූමියක් නිර්මාණය කර ඇත. මේ නිසාම එම ස්වභාවික පරිසරයට ගැලපෙන ලෙස සිංහයෝ නිදහසේ මෙම භූමි ප්‍රදේශයේ ජීවත් වෙති. එමගින් අප්‍රිකානු සිංහයකුගේ හැසිරීම, චර්යාව අධ්‍යයනය කිරීමට හැකියාවක් පවතී. ඔවුහු නිදහසේ මෙම සෆාරි උද්‍යානයේ සැරිසරමින් ජීවත් වෙති. අප්‍රිකානු රටවල දේශගුණය රිදියගම පවතින දේශගුණයට සමාන බැවින් සිංහයන්ට දේශගුණයේ විශාල වෙනසක් නොමැත.

සාමාන්‍ය පරිදි මෙම සෆාරි උද්‍යානයේ ජීවත් වන සිංහයන්ට කැලෑබද ප්‍රදේශයකට ගොස් කෑම සොයා ගැනීමට අවස්ථාවක් නැත. අප රට බෞද්ධ රටක් බැවින් සතකුට තවත් සතකු මරා ආහාරයට ගැනීම සඳහා නිදහස් කිරීමට හැකියාවක් නොමැත. මේ නිසාම සෆාරි උද්‍යානයේ සිංහයන්ට අවශ්‍ය ආහාර ලබා දෙන සැපයුම්කරුවෝ එම ප්‍රදේශයේම ජීවත් වෙති. ඔවුහු අවශ්‍ය ආහාර ප්‍රමාණය සවස් කාලයේදී සිංහයන්ට ලබා දෙති. සෑම උදෑසනකම සිංහයෝ තම කලාපයේ නිදහසේ ඇවිද යමින් කාලය ගත කළද සවස හය පසු වූ විට තමන්ට වෙන්වුණු නිවෙස්වලට ඇවිද යති. මේ වන විටත් උන් තම කාමරවලට යාමට පුරුදුව සිටිති. ඒ වනවිට සිංහයන්ට අවශ්‍ය ආහාර සියල්ල එම කොටසේ සූදානම් කර අවසන්ය. ඇතැම් සිංහයෝ ආහාර ගැනීමෙන් පසුව නැවතත් එම කලාපයේ එහා මෙහා ඇවිද යති.

සත්වයකුගේ අවශ්‍යතා තුනකි. ආහාර, ආරක්ෂාව මෙන්ම ප්‍රජාව වර්ධනය කිරීම ඒ අතර වේ. මේ නිසාම තමාට දැනෙන කුසගින්නට සතකු මරා කෑම හැරෙන්නට දකින දකින සතුන් මරා කෑමේ උනන්දුවක් සිංහයන්ට නොමැත. අප්‍රිකානු සිංහයන් අසල මොණරු කිහිප දෙනකු සිටියද ඒ ගැන මොවුන්ට වගක් නැත.

සිංහයා සමාජශීලී සත්ත්වයෙකි. කණ්ඩායමේ දස දෙනෙක් පහළොස් දෙනෙක් පමණ එක්ව සිය වසම නිර්මාණය කර ගනිති. තමන්ගේ කොටසේ මළ මුත්‍රා දමා මොවුහු තම වසම වෙන්කර ගනිති. එම කොටසට වෙනත් රංචුවක සිංහයකු හෝ කිහිප දෙනකු පැමිණි විගසම මොවුහු ඒ වෙනුවෙන් ප්‍රතිචාර දක්වති. ඈත කෙළවරක් දෙස බලා සිටි චණ්ඩියාගේ ඉරියව්වෙන් තවත් සිංහයන් තිදෙනකුට චණ්ඩියා දක්වන ප්‍රතිචාරය අපිට දැකගන්නට ලැබුණි. ඒ අනෙක් රංචුව පැමිණ සිටින්නේ චණ්ඩියාගේ වසමට බැවිනි. එසැණින් චණ්ඩියා ක්‍රියාත්මක විය. ඉතා වේගයෙන් දිව යාමත් සමඟ සිංහයන් තිදෙනෙක් ක්ෂණිකව එතැනින් ඈත්ව ගියහ. එසේ නොමැති වූවා නම් සිංහ සටනක් දැකබලා ගැනීමට තිබුණි.

රිදියගම සෆාරි උද්‍යානයේදී (චණ්ඩියා) මෙන්ම සූලා, ලාරා, රෝසි, ජෙනී, රෝස් වැනි අප්‍රිකානු සිංහයන් ඉතාම ළඟින් දැකබලා ගැනීමටත්, මොවුන්ගේ හැසිරීම් අධ්‍යයනය කිරීමටත් සෆාරි උද්‍යානයට පැමිණෙන නරඹන්නන්ට හැකියාව පවතී.
මෙවැනි අවදානම් සහගත සතුන් ගැවසෙන භූමි ප්‍රදේශයක් හරහා රිදියගම සෆාරි උද්‍යානයේ ඇති රථ ගමන් කරන්නේ ඉතා පරිස්සමිනි. එක් වාහනයකට අනිවාර්යයෙන් මඟපෙන්වන්නෙක් සිටියි. යම් හෙයකින් උද්‍යානය ඇතුළතදී වාහනයේ යම් දෝෂයක් පෙන්වන්නේ නම් වාහනය දකුණු පැත්තෙන් නවතා තැබීමට රියැදුරන්ට මෙන්ම මඟපෙන්වන්නාට ද උපදෙස් ලබා දී ඇත. වම් පෙදෙස මාර්ගයට විවෘතව පවතී. මඟපෙන්වන්නාගේ දැනුම් දීමෙන් ඉතා ඉක්මනින් තවත් වාහනයක් එම දොර අසලටම ගෙන නරඹන්නන් එම රථයට නංවා ගනු ලබයි. පසුව දෝෂයට ලක්වූ වාහනය ඇදගෙන හෝ වෙනත් ක්‍රමයකින් කලාපයෙන් පිටතට ගෙන යයි. ඒ සඳහා අවශ්‍ය උපකරණ උද්‍යානය සතුය.

හැම කලාපයක්ම සත්වයන්ට අවශ්‍ය ජලය ස්වභාවික ලෙස ලැබෙන පරිදි නිර්මාණය කර ඇත. සතියකට වතාවක් එම සියලු ජල පද්ධති උද්‍යානයේ සේවක පිරිස විසින් සුද්ධ පවිත්‍ර කොට නැවතත් ජලය පිරවීම සිදු කරති.

දෙවනුවට අපි පිවිසියේ ශාක භක්ෂක සත්ත්ව කලාපයටය. එම සත්ත්ව කලාපයේ අප්‍රිකානු කුළු මී ගවයන්, තිත් මුවන්, කැලෑ අශ්වයන්, තුරු හිපපොටේමස්, ඇරිබියන් ඔරික්ස්, වල් ඌරන්, ලෙච්චේ බ්ලැක් බක්, සීබ්‍රාවන්, පැස්බරන් දැකගත හැකිය. දැනට ලංකාවේ සිටින එකම අප්‍රිකානු අලියා සිටින්නේද රිදියගම සෆාරි උද්‍යානයේය. එම අලියා අලි කලාපයේ සිට බෙන්තොට ශාක භක්ෂක සත්ව කලාපයට ගොස් රඳවා ඇත. ඌ එහි නිදහසේ කල් ගෙවයි. උෟට ඉතා විශාල දළ දෙකකි. අප්‍රිකානු අලි සියල්ලන්ටම දළ පිහිටා තිබීම විශේෂයකි. උන් ජීවත් වන පරිසරයේ ආහාර සොයා ගැනීම එතරම් ලෙහෙසි නැත. මේ නිසාම අප්‍රිකානු අලියා වැඩි වශයෙන් ආහාර ගනු ලබන්නේ විශාල ගස්වලට දළවලින් පහර දී ගස්වල පොතු සූරා කෑමෙනි. ජල අවශ්‍යතාවය සපුරා ගනු ලබන්නේ ද මෙවැනි ගස්වලිනි. මේ නිසා අප්‍රිකානු අලියාට දළ යනු අත්‍යවශ්‍ය දෙයකි. අප රටේ සිටින එකම අප්‍රිකානු අලියා තරමක් ප්‍රචණ්ඩකාරීය. 

දෙහිවල ජාතික සත්ත්ව උද්‍යානයෙන් රිදියගම සෆාරි උද්‍යානයට ගෙන එනු ලැබූ අප්‍රිකානු අලියා හෙවත් (ජොවා) ඉතා විශාල තේජවන්ත අලියෙකි. අප්‍රිකානු සහ ආසියානු අලි ලෙස වූ විශේෂ දෙකක් එකට තැබිය නොහැක. මේ නිසාම ජොවා සමඟ පැටවුන් දැමිය නොහැකි නිසරු ගැහැනු අලියකු එක ළඟ තබයි. සොබාදහමට අනුව මොවුන් ජීවත් වන්නේ කිලෝමීටර් දහස් ගණනක දුරිනි. සත්ත්ව උද්‍යාන පිහිටා ඇත්තේ මෙම සොබාහදමේ නීති බිඳ දමන්නට නොවේ. සත්ත්ව උද්‍යානයක විකෘති ජීවියකු නිර්මාණය කළ නොහැක. මේ නිසාම (ජොවා) සමඟ පැටවුන් බිහිකළ හැකි ඇතින්නකට වෙනුවට පැටවුන් බිහි කළ නොහැකි (රම්‍යා) එකට ජීවත් වෙති. ශාක භක්ෂක සත්ත්ව කලාපය අක්කර හැත්තෑවකින් යුක්ත භූමි ප්‍රදේශයකි.

අක්කර අනූවක පමණ වපසරියකින් යුත් ආසියානු අලි කලාපය තුළදී අලින් නිදහසේ එහා මෙහා සැරිසරන අයුරු නඹන්නන්ට දැකගත හැක. විශේෂ ආරක්ෂාවකින් යුත් වායු සමනය කරන ලද බස් රථ සහ ජිප් රථ සේවාව මගින් ඉතා ආරක්ෂාකාරී ලෙස කලබලයකින් තොරව සතුන් නැරඹීමේ හැකියාව පවතී. සත්ත්වයන්ගේ හැසිරීම, ආහාර ගැනීම හා මොවුන් දෙස ටික වේලාවක් එකම ඉරියව්වකින් බලා සිටීමේ අවස්ථාව උදා කර දී තිබේ.

හතරවැනි කලාපය වන්නේ කොටි කලාපයයි. ඉතා ආරක්ෂාකාරී ගේට්ටු දෙකක් පසුකරගෙන කොටි ප්‍රදේශයට ගිය අපට දැකගත හැකි වූයේ (කොල්ලා) නම් කොටියාවය. අව් රශ්මියෙන් බේරීමට සෙවණ ඇති තැනක වාඩි වී සිටි (කොල්ලා) අප දුටු විගසම මඳක් ඉදිරියට පැමිණියේ අපට ඡායාරූප ගැනීමට පහසු කරවමිනි. ඊට මඳක් එහාට වන්නට (නිකිණි) නම් කොටියා ද හරිබරි ගැසී වාඩි වූයේ අපගේ ඡායාරූප ශිල්පියාට ඡායාරූප ගැනීමට පහසු ඉඩහසරක් සලසමිනි.

හම්බන්තොට රිදියගම සෆාරි උද්‍යානයේ තවත් කලාප කිහිපයක්ම ඉදිවෙමින් පවතී. ඒ අනුව ඉදිරියේදී චීටා, වලසුන් වැනි සත්ත්ව කලාප කිහිපයක්ම නරඹන්නන්ට දැකබලා ගැනීමේ අවස්ථාව උදා වනු ඇත.

“මේ වනවිට අපි කලාප හතරක් විවෘත කරලා තියෙනවා. තවත් කලාප හතරක් ඉදිරියේදී නිර්මාණය කරන්න බලාපොරොත්තු වෙනවා. මේ වෙද්දි සංවර්ධනය කරමින් පවතින්නේ. 2016 සිට මේ දක්වා බොහෝ සංචාරකයන් පිරිසක් රිදියගම සෆාරි උද්‍යානයට පැමිණියා. 2019 වසරේ පාස්කු ප්‍රහාරයත්, කොවිඩ් වසංගතයත් සමඟ යම් පසුබෑමක් සිදු වුණා. විශේෂයෙන් කොවිඩ් වසංගතය නිසා සෆාරි උද්‍යානය තාවකාලිකව වසා දැමුවා. 2021 අවුරුද්දේ අපිට වැඩි කාලයක් වසා දමන්නට සිදු වුණා. 2021 ඔක්තෝබර් මාසයේ සිට අපි නැවත විවෘත කළා. එදා සිට නැවත සංචාරකයන් පැමිණීමක් සිදුවෙනවා. මේ වන විටත් විදෙස් සංචාරකයන්ගේ පැමිණීම වැඩිවෙමින් පවතිනවා. ඒක සතුටට කරුණක්.” යැයි රිදියගම සෆාරි උද්‍යානයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ හේමන්ත සමරසේකර මහතා දේශයට පැවසීය.

පසුගිය කාලය තුළදී අලුතින් සත්ත්වයන් සෆාරි උද්‍යානයට ගෙන්වා ගැනීමට හැකියාවක් නොවිණි. ඒ අනුව මෙරට සිටින අතිරික්ත සතුන් විදෙස් රටවල් සමඟ හුවමාරු කර ගැනීම හා රාජ්‍ය තාන්ත්‍රිකව ලැබෙන සතුන් සියල්ල ද මේ වන විට ලබාගැනීම නතර වී තිබේ. ඇතැම් රටවල් සතුන් පරිත්‍යාග සිදු කළද මේ සියල්ලම නතර වී ඇත. මේ අනුව නොබෝ කාලයකින් තනි අප්‍රිකානු අලියා සඳහා සුදුසු ගැහැනු සතකු, දෙහිවල ජාතික සත්වෝද්‍යානයේ සිටින ගැහැනු රයිනෝ සත්ත්වයාට සහකරැවකු සමඟ රිදියගම සෆාරි උද්‍යානයට ගෙන ඒමට බලාපොරොත්තු වේ.

විශේෂ ස්තූතිය l දෙහිවල‍ ජාතික සත්වෝද්‍යානයේ ෂර්මිලා රාජපක්ෂ මහත්මියට (අධ්‍යක්ෂ ජෙනරාල්) සහ දිනුෂිකා මානවඩු මහත්මිය ට (නියෝජ්‍ය අධ්‍යක්ෂ)
රිදීගම සෆාරියේ අපට මඟපෙන් වූ තුෂාර දමිත්  (සහකාර පාලක)
සංචාරය කළේ - දිශානි ජයමාලි කරුණාරත්න
සේයාරූ - සුමුදු හේවාපතිරණ