2022 ජනවාරි 15 වන සෙනසුරාදා

තනි ඇහේ කැසට් එකෙන් ලංකාවම නැටවූ ඩෙස්මන්ඩ්

 2022 ජනවාරි 15 වන සෙනසුරාදා, පෙ.ව. 10:00 24

අපේ නව යොවුන් වියත්, තරුණ වියත්, මැදි වියත්, තලතුනා වියත් එළිය කරමින් විනෝදමත් කළ ඩෙස්මන්ඩ් ද සිල්වා නොබෝදා මෙලොව හැර ගියේය. ඔහු අයිස් බර්ගයක් වැනි මිනිසෙකැයි මට සිතේ. අයිස් බර්ගය හෙවත් මුහුදේ පාවෙන මහා අයිස් කුට්ටියක පිටතට පෙනෙන්නේ එහි මුදුන පමණකි. එහි හතරෙන් තුනක් ඇත්තේ ජලයේ ගිලිලාය. ඩෙස්මන්ඩ්ගේ අතිමහත් මානුෂීය ගුණයත්, මහාර්ඝ ගායන කුසලතාවත් බැලූ බැල්මට පිටතට දිස්වූයේ නැත. 

ඔහු සමඟ වචනයක් හෝ දෙඩීමේ වාසනාව මට හිමිව තිබුණේ නැත. ඉහත කී කාරණා මා කියන්නේ 1944 ජූලි 13 ඉපිද 2022 ජනවාරි 02 දක්වා වූ ඔහුගේ ජීවිතය ඇසුරිනි. ඔහු සිය සංගීත නිර්මාණ ඉදිරිපත් කර ඇත්තේ තමාගේ පාණ්ඩිත්‍ය ප්‍රදර්ශනය කිරීමට වඩා ජනයා සතුටු කිරීමට බව පැහැදිලිය. ජිම් රිව්ස්, කෙනී රොජර්ස්, ඩොන් විලියම්ස් වැනි බටහිර ගායකයන් හා සමාන හඬ පෞරුෂයත් ගායන හැකියාවත් ඔහුට තිබිණි. අවශ්‍ය අවස්ථාවල සිංහල නූර්ති ගායනා ශෛලිය ඔහු අපූරුවට ඉවහල් කර ගත්තේය. මිනර්වා යුගයේ ගායනාද ඔහු අගේට ගායනා කළේය. එහෙත් පොදුජනයා පිනවනු වස් ඔහු වැඩිපුරම ඉවහල් කර ගත්තේ බයිලා ගායන ශෛලියයි. එමනිසාම ඔහු බයිලා ගායකයකු ලෙස හඳුන්වනු ලැබිණි. ඉහත කී කාරණා සියල්ල ඔහුගේ සංගීත නිර්මාණ ඇතුළු ජීවිතය දෙස ආපසු හැරී බැලූ විට සාක්ෂාත් වේ.

පොදු සිංහල රසිකයා අතර ඔහු ජනප්‍රිය වන්නට ඇත්තේ 70 දශකයේ මැද හරියේ පටන්ය. ඒ කැසට් යුගයේ මුල් අවධියයි. අප එය හඳුන්වන්නේ තනි ඇහේ කැසට් පැමිණි කාලය කියාය. ඒ යුගයේ පැමිණි කැසට් ධාවන යන්ත්‍රවල තිබුණේ තනි ස්පීකරයකි. ස්ටීරියෝ ස්පීකර් සහිත කැසට් යන්ත්‍ර භාවිතයට ආවේ ඉන් වසර දෙක තුනක් ඉක්ම ගිය පසුවයි. මගේ මතකයට අනුව ඔහුගෙන් ඉදිරිපත් වූ (වඩාත් ජනප්‍රියත්වයට පත්) පළමු සිංහල කැසට්ටුවේ, චූඩාමාණිකේ, පොල්කටු හැන්දෙ මිට වගේ, දෙව්ලොව දෙවියනේ ඇතුළු ගීත තිබිණි. මෙයින් දෙව්ලොව දෙවියනේ ගීතයේ පහත සඳහන් කොටසේ මෝස්තරවලින් එම කාලය වඩාත් පැහැදිලිව හඳුනාගත හැකිවේ.
බෙල් බෙල් බොටම් කියා දැන් අඳින කළිසම්

මිනි මිනි ගවුම් යුගේ ඔවුන් ගියා පැන්ෂන්
ටැක්සි වගේ කැරකෙනවා මැක්සි කියන දිග ගවුම්...

මේ හරියටම 1975 කාලයයි. පොදු සිංහල රසිකයා අතරට ඔහු ආවේ ඒ කාලයේ වුවද ඔහුගේ ගායන දිවිය ඇරඹෙන්නේ 1963 කොළඹිනි. ඒ Fine-Flies කණ්ඩායමේ ගායන ශිල්පියා ලෙසයි. රේඩියෝ සිලෝන්, (ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව බවට පත් කරන්නට පෙර) යුගයේ පටන් ඔහුගේ ගීත ගුවන් විදුලියේ ප්‍රචාරය වූයේය. ඉන්පසු Spitfires, Gabo and the Breakways සහ ජෙට් ලයිනර්ස් යන පොප් සංගීත කණ්ඩායම් සමඟ ඔහු ගායනා ඉදිරිපත් කළේය. ජෙට් ලයිනර්ස් කණ්ඩායමේ මිනෝන් රත්නම් (පසුව මිනෝන් ප්‍රනාන්දු- Mignone Fernando) සමඟ ඔහු ගැයූ &ඔබ නිසා* නම් ගීය අන්තර්ජාතික සංගීත උළෙලට ඉදිරිපත් වී කීර්තිය අත්කර ගත්තේය. ඔහු තමාගේම සංගීත කණ්ඩායම වූ ඩෙස්මන් ඇන්ඩ් ද ක්ලෑන්ස් අරඹන්නේ 1976දීය. 1979 ග්‍රීසියේ ඇතෑන්ස් හීදී ඔහු ශ්‍රී ලංකාව නියෝජනය කරමින් 5 වැනි ඔලිම්පියාඩ් ගීතය ගායනා කළේය. එම වසරේම ඔහු ජපානයේ ටෝකියෝවේ පැවැති යමහා සංගීත උළෙලේද ගීත ගායනා කළේය.

මාතර බිග් වැච් නැරඹූ 60 දශකයේ තරුණයන් ඩෙස්මන්ඩ්, ගායකයකු ලෙස හඳුනාගෙන සිටියේ පාසල් කාලයේ පටන්මය. මාතර ශාන්ත තෝමස් විදුහලට ගිය ඔහු ශාන්ත තෝමස් - සර්වේෂස් මහ ක්‍රිකට් තරගය පැවති දිනවල ගීත ගායනා කළ බව අපේ යහළුවන්ගේ අයියලා කියති. ඩෙස්මන්ඩ්ලා බම්බලපිටියේ පදිංචියට පැමිණි පසුව ඔහු පළමුවෙන්ම යන්නේ සාන්ත පීතර විද්‍යාලයටයි. මුරණ්ඩු ශිෂ්‍යයකු වූ නිසා ඉන්පසු ඔහු ගාල්ලේ සාන්ත ඇලෝසියස් විද්‍යාලයේ නේවාසිකාගාරයේ නතර කරන්නට සිදුවිය. අවසානයේ ඔහු තම පාසල් කාලය නිමා කළේ මාතර සාන්ත තෝමස් විදුහලෙනි.

මාතර මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයකු ලෙස කටයුතු කළ ඩෙස්මන්ඩ්ගේ පියා ක්ලෙමන්ට් ආර්නෝල්ඩ් ද සිල්වාය. මව ගුරුවරියකි. හලාවත ඉපදුණු ඇගේ නම ඔල්ගා කොරයාය. (පසුව ඔල්ගා ද සිල්වා) ඩෙස්මන්ඩ්ගේ සම්පූර්ණ නම ඩෙස්මන්ඩ් ඇනාක්ලීටස් රාජීව් ද සිල්වාය.

ඩෙස්මන්ගේ සිංහල බයිලා පමණක් අසා තිබුණු ඇතැම් සිංහල ගීත ශ්‍රාවකයෝ සීතා දේවි චිත්‍රපටයේ තේමා ගීතයේ ඉංග්‍රීසි ගායනය ඩෙස්මන්ඩ් ගයනු අසා විමතියට පත්වූවෝය. එහි සිංහල ගීය වූ ඔගස්ටස් විනයාගරත්නම් ලියූ නිම්හිම් සෙව්වා ගීය අමරදේවයන් ගායනා කරද්දී, ඒ හා ගැලපෙන අයුරින් ඉංග්‍රීසි ගායනය කරන්නට ඩෙස්මන්ඩ්ව තෝරා ගත්තේ ඔහුගේ ගායන හැකියාව හොඳින් දත් නිමල් මෙන්ඩිස් සංගීතවේදියාණන්ය.

When did I meet you my love
Was it yesterday today or tomorrow
When did I kiss you my love
Was it yesterday today or tomorrow

ඩෙස්මන්ගේ මෙම ගායනය බටහිර ප්‍රවීණ ගායකයන්ට කිසිම ආකාරයකින් දෙවැනි වූයේ නැත.

එහෙත් ඩෙස්මන්ඩ්ගේ අරමුණ වූයේ සම්භාව්‍ය ගීතය වරණනා කළ විචාරකයන් පිනවීම නොව, පොදුජනයා පිනවීමය. වොලී බැස්ටියන්ස් ඉදිරියට ගෙන ආ සිංහල බයිලා ශෛලිය තවත් වර්ධනය කළේ ඩෙස්මන්ඩ්ය. මිනර්වා යුගයේ හා ග්‍රුමෆෝන් තැටි යුගයේ ගැයුණු බයිලා ඒ යුගයේ ගැයුණු අනෙක් වේග රිද්ම ගී හා විකට ගී වලට වඩා වැඩි වෙනසක් නොගත්තේය. 1945 විල්ෆ්‍රඩ් පෙරේරා හා වී.පී. අනුලාවතී තැටියකට නගා ඇති &සුමිහිරි පානේ පදමට ගහලා* බයිලාවෙන් එය වඩාත් තහවුරු වේ. (මේ ගීය (බයිලාව) මුලින්ම ගයා ඇත්තේ එඩී ජයමාන්න - 1943 දී බවද තවත් තැනෙක සඳහන් වේ.)

එකී බයිලා ශෛලිය මුලින්ම වර්ධනය කොට ඉදිරියට ගෙන එන්නේ වොලී බැස්ටියන්ස් විසිනි. බර්ගර් ජාතිකයෝ විනෝදය පිණිස බයිලා ගායනා කරද්දී ඔවුන්ට සුපුරුදු සිංහල - ඉංග්‍රීසි මිශ්‍ර බස වඩාත් නාට්‍යානුරෑපව ඊට ඉවහල් කර ගත්තෝය. ඩෙස්මන් ඉහත කී සිංහල මිශ්‍ර ඉංග්‍රීසි බසත් වොලී බැස්ටියන්ස්ගේ බයිලා ගායන ශෛලියත් තවත් පොදුජනයා අතරට ගෙන ගියේය. මෙය සංකර බසක් ලෙස ඇතැම් ප්‍රබුද්ධවාදීහු විවේචනයට ලක් කළහ. එම සංකර බස තුළ තිබූ ප්‍රජා නියෝජනයත්, නාට්‍යමය ගුණයත් විචාරකයන්ගේ අගය කිරීමට ලක් නොවුණේය. මෙකී ප්‍රබුද්ධවාදීන්ගේ ප්‍රහාරයට අගය කළ යුතු ගායකයන් කිහිප දෙනෙක්ම ගොදුරු වූවෝය. එහෙත් පොදුජනයා අතර ඔවුන් ජනප්‍රිය වීම නිසා එකී විචාර හමුවේ හිස ඔසවාගෙන ඉන්නට පොදුජනයා උදෙසා ගී ගැයූ ගායකයන්ට හැකි වූයේය.

ඩෙස්මන්ඩ් ගැයූ බෑන් චූන් වදිනවා නම්, කපල් දාලා නටනවා නම් ඇට්ටි හැලෙන්නට දෙන්නම් බයිලා* යන ගීයේ එන පහත සඳහන් කොටස බර්ගර් ප්‍රජාවගේ විනෝදමත් හැසිරීමත්, බයිලාවේ එන නාට්‍යමය ගුණයත් මැනවින් නියෝජනය කරන්නකැයි මට සිතේ.

ලගඩි පපා Like a puppet, Dance කරන්නේ.
බස්තම ජොසපින් ඇන්ටිගෙ මූණෙ වදින්නේ
Dirty Gorilla බීල ඇවිල්ලා!
Chase the Fellow out කියලා ඇන්ටි බනින්නේ

බස්තම අතින් ගත් බීමත් වයසක උන්දෑ නටද්දී ජොසපින් ඇන්ටි උරණ වූ සිද්ධිය ඉහත කී පද හතරෙන් මනාව චිත්‍රණය කරන බව මගේ හැඟීමයි. සිංහල - ඉංග්‍රීසි මිශ්‍ර සංකර යයි කියන බස ඊට වඩාත් හොඳින් ගැලපේ.
සම්භාව්‍ය සංගීතයත්, සම්භාව්‍ය සාහිත්‍යයත් රස විඳ පුරුදු කිසිම අයකුගේ වින්දනයට, ඩෙස්මන්ඩ්ලාගේ ගී ඇසීමෙන් හානියක් වූයේය යන කියමන මම නම් විශ්වාස නොකරමි. ඒවා එකකට එකක් පරස්පර වූ ඒවාද නොවේ. (ඩෙස්මන්ඩ්ගේ ගී ඇසූ මම අදටත් තාගෝර් ගීත, බටහිර සංගීත සන්ද්වනි, ශේක්ස්පියර් නාට්‍ය, සිංහල ප්‍රබුද්ධ යයි කී සියලුම ගායනා රසවිඳිමි.)

එයාලා ප්‍රබුද්ධ නම් අපි සුප්‍රබුද්ධ යැයි වරෙක නිහාල් නෙල්සන් කීවේ ප්‍රබුද්ධවාදය ගජරාමෙට මතවාද පතුරණ විටයි. ඩෙස්මන්ඩ් එම වාදයට පිළිතුරු දුන්නේ තමන්ගේ ගීතයෙන්මයි. ඒ මෙසේය.
Life is like a merigo round ඇහුනද මල්ලී

නොකා නොබී මොකටද පොදි ගහන්නෙ සල්ලී
බයිලවලින් අවදි කරමු ප්‍රබුද්ධ මල්ලී
මාස්ටර්ලා එකතු කරලා අරිමුද දිල්ලී...?

සිටවූ මයික්‍රෆෝනය ඉදිරියේ ඉද්ද ගැහුවා සේ සිටගෙන ගායනා ඉදිරිපත් කළ සංගීත සංදර්ශන තිබූ යුගයේ වඩා ප්‍රාසාංගිකව ගායනයට නර්තනයද එක් කරමින් ඩෙස්මන්ඩ් සිය ගායනා ඉදිරිපත් කළේය. කළිසම් කමිස වෙනුවට, ටුවිඩ් කෝට් එකෙන්, රෙද්දෙන් සහ නැමි පනාවෙන් සැරසී ඩෙස්මන්ඩ් පැරණි මිනර්වා යුගය සිහිකරමින් ඉදිරිපත් කළ (එඩී ජයමාන්න කලින් ගැයූ) කොලොම් පුරේ ශ්‍රියා ගීය ඊට කදිම නිදසුනකි. ඔහු කිසිම නූර්ති ගායකයකුට නොදෙවැනි වෙන්නට &අඹ දඹ නාරං* ගීය ගැයුවේය. &දෙව්ලොව දෙවියනේ* ගීයටද ඉවහල් කර ගත්තේ නූර්ති ශෛලියකි. ඔහු රාජ සඟබෝ ආදී පැරණි ගී ගැයුවේ ඒ කාලය සිහිගන්වමිනි.

බාහිර ලෝකය හා එක්වීමේ හැකියාව හීන කරන &ස්වේච්ඡතාව* නම් (Autism) ආබාධයෙන් පෙළෙන 38,000ක් වූ ශ්‍රී ලංකීය දරුවන් වෙනුවෙන් හඬ නැගීම ඔහුගේ මානුෂීය බව ප්‍රදර්ශනය කළ එක් අවස්ථාවකි. එම දරුවන්ට උපකාර කිරීම උදෙසා අරමුදල් ගොඩනැගීමට ඔහු ප්‍රසංග ඉදිරිපත් කළේය. 2005 දී බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ පැවැති එවැනි ප්‍රසංගයකදී ඔහු රසිකයන් අමතා මෙසේ කීවේය.

ස්වේච්ඡතාව (Autism) යනු ස්නායු ආබාධයක් නිසා හටගන්නා ලෝ පුරා පවතින රෝගයකි. එය මානසික රෝගයක් නොවේ. මෙම දරුවන් සහ වැඩිහිටියන් සිතන්නේ අනෙක් අයට වඩා වෙනස් ආකාරයකිනි. ඇල්බට් අයින්ස්ටයින්ද එවැන්නකු බව කියති. තමන් වෙනුවෙන් කතා කරන්නට බැරි ඔවුන් වෙනුවෙන් කතා කරන්න.

ඔහුගේ මිනිසත්කම මෙම කියමනෙන් නොපෙනේද? පොදුජනයා සතුටු කිරීම උදෙසා පාණ්ඩිත්‍ය පසෙක ලා ඔහු ගී ගැයුවේද එකී මිනිසත්කම නිසාමය.

► සමන් පුෂ්ප ලියනගේ