2022 ජනවාරි 15 වන සෙනසුරාදා

මොනවද මේ ත්‍රි‘‘මලේ තෙල් ටැංකි!

 2022 ජනවාරි 15 වන සෙනසුරාදා, පෙ.ව. 10:00 42

ත්‍රිකුණාමල වරාය මේ වනවිට ආන්දෝලනාත්මක කතාබහක් ඇතිකරන මාතෘකාවක් බවට පත් වී හමාරය. දැන හෝ නොදැන බොහෝදෙනා ත්‍රිකුණාමල වරාය ගිවිසුම පිළිබඳ විවිධ අදහස් පළ කළත් මෙම තෙල් ටැංකි මොනවාද යන්න සම්බන්ධයෙන් නිසි අවබෝධයක් ඇත්දැයි සැකසහිතය. මේ ඒ පිළිබඳ විමසුමකි.

ලොව ඛනිජ තෙල් සම්බන්ධයෙන් සුපතල නම් දරා සිටින සෞදි අරාබිය, ඉන්දියාව ආදී රටවලත් මෙලෙස තෙල් ගබඩා සංකීර්ණ ටැංකි දැකිය හැකිය. එහෙත් අපේ දේ අපට අගයක් තිබුණත් නැතත් ත්‍රිකුණාමලය තෙල් ටැංකි පිළිබඳ වෙනත් රටවල් ඇහැ ගහගෙන සිටි බව කියැවේ.

දෙවැනි ලෝක යුද සමයේ ඉන්දියන් සාගරයේ වැදගත්ම සහ වටිනාම වරාය  ත්‍රිකුණාමල වරාය ලෙස සැලකෙයි. ලොව විශාලතම හා ස්වාභාවික හොඳම වරායන් අතරට ත්‍රිකුණාමලය වරාය ඇතුළත් වීමත්, හදිසි යුද අවස්ථාවකදී එහි ඇති වැදගත්කමත් සැලකිල්ලට ගත් බ්‍රිතාන්‍යයෝ වරාය කේන්ද්‍ර කරගෙන 1928 දී චීනවරාය තෙල් ටැංකි සංකීර්ණයේ ඉදිකිරීම් ඇරඹූහ. 

ගිනි අනතුරු අවම කර ගැනීමේ අරමුණින් වරාය ආශ්‍රිත ස්වාභාවික නිම්නයක මෙම තෙල් ටැංකි ඉදිකර ඇත. එහි පිහිටීම අදටද ආසියාවේ තෙල් ටැංකි සංකීර්ණයක විශිෂ්ටතම පිහිටීමක් බව පැවසෙයි. අක්කර 850ක පමණ මනරම් භූමි භාගයක ඉදි කිරීම් ඇරඹුණු මෙම තෙල් ටැංකි සංකීර්ණය ඉන්ධන ටැංකි 103 කින් සමන්විත බව කියැවුණද, බ්‍රිතාන්‍යයන් ඉන්ධන ටැංකි ඉදිකර ඇත්තේ 99කි. බටහිර ජාතීන් අංක 99 අසුබ ඉලක්කමක් සේ සලකන බැවින් අංක 98 ටැංකියෙන් පසු 99 ටැංකිය ඉදි නොකොට 100 ඉදිකර ඇති බව කියැවේ. මෙම ඉදිකිරීම් සිදුකළ රාජකීය වැඩ දෙපාර්තමේන්තුව 99 වැනි ටැංකියේ අත්තිවාරම පමණක් ඉදිකර ටැංකිය කුඩා ආකෘතියක් සේ රනින් නිම කළ බවද සඳහන්වෙයි. චීනවරාය තෙල් ටැංකි සංකීර්ණය කොටස් දෙකකින් සමන්විත වන අතර, වරාය ආශ්‍රිත ප්‍රදේශ සී.බී. ලෙසත්, අනෙක් කොටස සී.වී. ලෙසත් නම්කර තිබේ. සී.බී කොටසේ ඉන්ධන ටැංකි 14ක් ලෙසත්, සී.වී. කොටසේ ඉන්ධන ටැංකි 85ක් ලෙසත් මෙම තෙල් ටැංකි සංකීර්ණය ඉදිකර තිබේ. 
බ්‍රිතාන්‍යයන් මෙම ඉන්ධන ටැංකි ඉදි කිරීමට වැඩි වශයෙන් වහල් සේවකයන් යොදවා ගත් බවත්, එහිදී අප්‍රිකානු කම්කරුවන් හෙවත් කාපිරි ජාතිකයන්ට විශේෂ ස්ථානයක් හිමි වී ඇති බවත් පැවසේ. මෙම ටැංකි ඉදිකිරීමේදී ඝන වානේ තහඩු එකිනෙක පිරිද්දීම සිදුකර ඇත්තේ, වෑද්දුම් තාක්ෂණය (රිවට්) ඔස්සේ වීම විශේෂත්වයකි. ඒ සඳහා වැඩි වශයෙන් යොදාගෙන ඇත්තේ කාපිරි කාන්තාවන්ය. දිනකට එක් කාන්තාවක් යකඩ ඇණ පනහක් පිරිද්දිය යුතු අතර, ඒ සදහා පිත්තල මිටි යොදා ගත් බවද සඳහන්ය. 

කාපිරි ජාතිකයන්ට අමතරව බුරුම, චීන හා ඉතාලි ජාතිකයන්ද වහල් සේවකයන් ලෙස ඉංග්‍රීසීන් මේ සඳහා යොදවා ගෙන ඇති අතර, ඔවුන් රඳවා තැබූ ස්ථානයන් වර්තමානයේත්, බුරුම කඳවුර, ඉතාලි කඳවුර, චීනන් වාඩි ලෙස ව්‍යවහාරයේ පවතී.
මීළඟට මතුවන තවත් ප්‍රශ්නයක් නම් මෙම තෙල් ටැංකිවල තියෙන්නේ මොනවාද? යන්නයි. ඉංග්‍රීසීන් මෙම ඉන්ධන ටැංකි සියල්ලේම ඉන්ධන ගබඩා නොකිරීමට උපායශීලි වී ඇත. මෙහි ජලය ගබඩා කිරීම සඳහා ටැංකි දෙකක් ඉදිකර ඇත. පෙට්‍රල්, ඩීසල්, භූමි තෙල්, දැවි තෙල් හා ටර්බයින් (ගුවන් යානා ඉන්ධන) මෙම තෙල් ගබඩා සංකීර්ණයේ ගබඩා කර ඇති අතර, හදිසි අවස්ථාවකදී එක් ටැංකියක ඉන්ධන තවත් ටැංකියකට සීරුමාරු කළ හැකි සේ ප්‍රවාහන නළ පද්ධතිය ස්ථාපිත කොට තිබේ. එසේම ඉන්ධන මෙරටට ගෙන ඒමට මෙන්ම ඉන්ධන අලෙවියටද ලෝකයේ දැනට පවතින ඕනෑම ප්‍රමාණයේ විශාල නෞකා නැංගුරම් ලා හැකි ඩොල්ෆින් ජැටිය නමින් නැංගුරම් පොළක් ඉදිකිරීමටද බ්‍රිතාන්‍යයෝ අමතක නොකළහ. යුද ගැටුම් සමයේ, උතුරේ මෙහෙයුම් කටයුතු සඳහා වැඩි වශයෙන් යොදාගෙන ඇත්තේ මෙම ජැටියයි. නෞකා මගින් මෙරටට රුගෙන එන ඉන්ධන ටැංකි සංකීර්ණයට ගෙන යාමටත්, ඉන්ධන ටැංකි සංකීර්ණයේ ගබඩා කර ඇති ඉන්ධන නෞකාවලට ටැංකිවලට හා දුම්රිය තෙල් ටැංකිවලට හුවමාරු කිරීම සඳහාත් පොම්පාගාර දෙකක් සී.බී හා සී.වී යන ප්‍රදේශයන්හි ඉදිකොට ඇත. සී.බී කොටසේ පිහිටි පොම්පාගාරයේ අශ්වබල 200ක බලයකින් සමන්විත එංජින් දෙකක්ද, සීවී ප්‍රදේශයේ පිහිටි පොම්පාගාරයේ අශ්ව බල 180කින් සමන්විත එන්ජින් දෙකකින්ද යුත්තය.

මෙම ඉන්ධන ටැංකියක ඉන්ධන ධාරිතාව මෙට්‍රික් ටොන් 12,500 කි. එනම් ලීටර් එක්කෝටි හතළිස් ලක්ෂ හතළිස් හතර දහසකි. ටැංකියක උස අඩි 45ක් වන අතර, විශ්කම්භය අඩි 118 කි. වට ප්‍රමාණය අඩි 365 ලෙස සඳහන්ය. ඉදිකිරීම් සිදුකර ඇති සමාගම නිශ්චිතව සදහන් කර නැතත්, බ්‍රිතාන්‍ය රාජකීය නාවික හමුදාවේ ක්ෂේත්‍ර සිවිල් ඉංජිනේරු දෙපාර්තමේන්තුව විසින් ඉදි කිරීම් සිදු කෙරුණු බව කියන සමරු ඵලක ආදිය අදටද චීනවරාය තෙල් නිමාවේ දැකිය හැකිය. මෙම තෙල් ටැංකි සංකීර්ණය තුළ භූගතව කිලෝ මීටර් 56ක පමණ දුරකට විහිදෙන සේ ඉන්ධන නළ එළා ඇති බව සඳහන්ය. 

මෙම තෙල් ටැංකි සංකීර්ණය ඉදිකිරීමේදී මුහුද ආශ්‍රිත ඉන්ධන ටැංකි සියල්ල ඝන කොන්ක්‍රීට් ස්ථරයකින් ආවරණය කිරීමට ඉංග්‍රීසීන් වග බලාගෙන ඇත .මේ සඳහා මත දෙකක් ඇති අතර එකක් නම් මුහුදු මාර්ගය ඔස්සේ ප්‍රහාරයක් එල්ලවේ යැයි යන සැකයෙන් එසේ කොන්ක්‍රීට් ආවරණයක් යෙදූ බවයි. මුහුදු ආශ්‍රිත ඉන්ධන ටැංකි මළකෑමේ අවදානමක් පවතින බැවින් එම තත්ත්වය අවම කිරීමට මෙසේ කොන්ක්‍රීට් ආවරණයක් යෙදූ බව අනෙක් මතයයි. කෙසේ වෙතත්, මේ වනවිට සී බී පරිශ්‍රයේ පිහිටි බොහොමයක් ඉන්ධන ටැංකිවල එම කොන්ක්‍රීට් ආවරණ ඉන්දියානු තෙල් සමාගම විසින් ඔවුන්ගේ අවශ්‍යතා මත කඩා ඉවත් කරනු ලැබ ඇත. මෙම අපූර්ව ඉදිකිරීමේ ඵල නෙළමින් සතුරු පාර්ශ්වවලට එරෙහි ප්‍රහාරවලට අවශ්‍ය ඉන්ධන සඳහා මෙම වරාය යොදාගෙන තිබේ. 1942දී ජපනුන්ගේ ගුවන් යානයක් කඩාවැදී එල්ල වූ බෝම්බප්‍රහාරයෙන්  91 තෙල් ටැංකිය විනාශ වී දින 7ක් ගිනිගත් බව කියයි. ඊට යාබදව පිහිටි ඉන්ධන සහිත 06 ටැංකියට සුළු හානි සිදුවූවත් ටැංකි වටා ඝන කොන්ක්‍රීට් ආවරණයක් යොදා තිබූ බැවින් මහා විනාශයක් වැළකී තිබූ බව පැවසේ.   

මුහුදට ළංව පිහිටි තෙල් ටැංකි හැරුණු විට අනෙක් ටැංකි භාවිතයට නොගැනීමෙන් ස්වභාවධර්මය ආක්‍රමණය කර තිබේ. ගුවනේ සිට බලන විට පවා තෙල් ටැංකි සංකීර්ණය, පහසුවෙන් හඳුනාගත නොහැකි ආකාරයට ළඳු කැලෑවකින් වැසී තිබීම එම ආක්‍රමණයේ තරම පෙන්වන කදිම සාක්ෂියකි. තෙල් සංස්ථාව සතුව තිබෙන කොලොන්නාව මුතුරාජවෙල ටැංකිවල තෙල් ගබඩා කිරීමට හැකියාව ඇත්තේ රටට අවශ්‍ය ඉන්ධන ප්‍රමාණයෙන් සති දෙකකට අවශ්‍ය ඉන්ධන ප්‍රමාණයයි. එහෙත් අපේ රටට පමණක් නොව ආසියාවටම තෙල් බෙදීමට තරම් හැකියාවක් චීන වරාය සතු තෙල් ටැංකිවල තිබී ඇත.

1961 වසරේ ඇරඹුණු ඛනිජ තෙල් නීතිගත සංස්ථාව මගින් එංගලන්තයට පවුම් දෙලක්ෂ පනස්දහසක් ගෙවා මෙම තෙල් ටැංකි සංකීර්ණයේ අයිතිය අප රටට ලබාගෙන  තිබේ. අතට ගත්ත දේ කටට දාගන්න අමාරුය. එහෙයින් මෙසේ ලබාගත් ත්‍රිකුණාමලය තෙල් ටැංකි සංකීර්ණය නමැති වටිනා සම්පත මතු අනාගතය වෙනුවෙන් රුකගැනීම අප සැමගේ පරම වගකීමකි.

► සසංක චලන ගිම්හාන