2022 ජනවාරි 15 වන සෙනසුරාදා

මනුෂ්‍යත්වයට මලක්සේ පිපෙන්නට ඉඩ හරින්න

 2022 ජනවාරි 15 වන සෙනසුරාදා, පෙ.ව. 10:00 18

දුටු සැණින් හිතට මහා කම්පනයක් දැනුණු සංසිද්ධියක් නිසා මිනිසුන් මේතරම් අසංවේදී වෙන්නෙ කොහොමද, අනුකම්පා විරහිත වෙන්නෙ කොහොමද කියන එක ගැන කතා කරන්න මට හිතුණා.

සිද්ධිය තමා රාගම සුපිරි වෙළඳසැලකට ඇතුළු වී භාණ්ඩ කිහිපයක් සොරාගෙන පලායමින් සිටි පුද්ගලයෙකු ගෙල කපාගෙන සියදිවි නසාගැනීම. අදාළ පුද්ගලයා සුපිරි වෙළඳසැලකට ඇතුළු වී කුඩා දරුවන් සඳහා භාවිත කරන සුවඳ විලවුන් බෝතලයක්, සබන් කැටයක්, පුයර බඳුනක් රැගෙන මුදල් නොගෙවා පිටතට පැමිණ තිබෙනවා. අසල සිටි ත්‍රිරෝද රථ රියදුරෙකු මෙම සිද්ධිය දැක අදාළ  පුද්ගලයා අල්ලා ගැනීමට උත්සාහ කර තිබෙනවා. එහිදී සොරකමේ නිරතව සිටි පුද්ගලයා ත්‍රිරෝද රථ රියදුරුට පිහියකින් ඇන පළා ගොස් තිබෙනවා.

ඉන් අනතුරුව තවත් පිරිසක් ඔහු පසුපස හඹාගොස් ඇති අතර, තමා ළඟට පැමිණියහොත් ගෙල කපාගන්නා බවට තර්ජනය කර තිබෙනවා. ඉන් අනතුරුව ඔහු අත තිබූ පිහියෙන් ගෙල කපාගෙන තිබෙන බවයි වාර්තා වෙන්නෙ. 

අසල සිටි පුද්ගලයන් 1990 ගිලන් රථ සේවය අමතා ගිලන් රථයක් ගෙන්වාගෙන තුවාලකරු රාගම රෝහල වෙත පිටත් කර යවා ඇති අතර වෛද්‍යවරුන් විසින් සිදුකළ පරීක්ෂා කිරීමේදී තහවුරු වී තිබෙන්නේ ඔහු ඒ වනවිටත් මියගොස් ඇති බව. මෙසේ මියගොස් තිබෙන්නේ උකුවෙලවත්ත, නාගොල්ල ප්‍රදේශයේ පදිංචි 44 හැවිරිදි පුද්ගලයෙක්.

ඒ කාගෙ කවුරු වුණත් ඒත් හුස්මක් වැටෙන මනුස්සයෙක්. ජීවත් වෙන්න ආසා මනුස්සයෙක්. කුහුඹුවෙක් වුණත් ආසා මැරෙන්න නෙමෙයි ජීවත් වෙන්න. ඇත්තම කතාව නම් බෙල්ල කපාගෙන විනාඩි 45ක් එතැන වැටී සිටියත් කිසිවෙක් ඔහු රෝහලකට ගෙන ගොස් ඔහුගේ ජීවිතය බේරාගන්න අල්පමාත්‍රයකවත් උත්සාහයක් ගෙන නැහැ. කනගාටුදායක සිද්ධිය තමයි ඔහු වැටී සිටින තැන ඉඳන් කිලෝමීටරයක පමණ දුරින් රෝහල් තුනක් පමණ පිහිටා තිබීම.

මගේ හිත හිරිවට්ටපු අනෙක් කාරණය තමයි මහා හොරෙක් විදිහට හංවඩු ගහපු ඒ මනුස්සයා හොරකම් කරලා තිබුණේ ළදරු සබන් කැටයක්, පුයර බඳුනක් සහ සුවඳ විලවුන් බෝතලයක් වීම. තමාගේ දරුවකුගේ අවශ්‍යතාවක් නිසා එසේ කළා වෙන්න පුළුවන්. සොරකම් කරපු දේ දිහා බැලුවම හිතන්න පුළුවන් මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූ පුද්ගලයෙක් නොවෙයි කියලා. මොකද සොරකම් කළ භාණ්ඩ එතරම් වටිනාකමක් නැති නිසා.

මම මේ කරන්නෙ හොරකම සාධාරණීකරණය කරනවා නෙවෙයි. ඒත් ඒ හොරකම පිටුපස ඔබ මනුෂ්‍යයෙක් ලෙස මානුෂවාදී ප්‍රවේශයකින් බැලිය යුතු අතිශය සංවේදී කතාවක් තියෙන්නට පුළුවන්. හැම සංසිද්ධියක් පිටුපසම අප නොදන්නා යම් හේතුවක් තියෙනවා. හේතු විරහිත ප්‍රපංචයක් ලෝකයේ නැහැ. ඒ හේතු සමාජ සාරධර්ම, සංස්කෘතිය, ආචාර ධර්ම, නීතිය හා එකඟ නොවෙන්න පුළුවන්. ඒත් පුද්ගලානුබද්ධව ඒ හේතුව සාධාරණ වෙන්න පුළුවන්. මනෝ විශ්ලේෂණවාදී ප්‍රවේශයකින්, පුද්ගල කේන්ද්‍රීය ප්‍රවේශයකින් විග්‍රහ කරද්දී ඒ හේතු සාධාරණ වෙන්න පුළුවන්.

ජේසුස් වහන්සේ බයිබලයේ එක තැනකදී කියනවා “ඔබ අතරින් පවක් නොකළ, වරදක් නොකළ කෙනෙක් සිටී නම් ඇයට පළමු ගල ගසන්න කියලා” එහෙම කියන්නෙ මද්දලාවේ මරියා කියන ගණිකාවක් යැයි මිනිසුන් විනිශ්චය කළ ගැහැනියකට ගල් ගසන්න මිනිසුන් එක පෙළට පෙළ ගැසෙද්දී. 

අපි කියාගෙන ආව කතාවේ ඒ මනුස්සයා මරණය එක්ක විනාඩි 45ක් ගෙවද්දී එතැන හිටපු එක මනුස්සයෙකුට හරි හිතුණා නම් මේ කාගෙ හරි දරුවෙක්, තාත්තා කෙනෙක්, සහෝදරයෙක්, නෑදෑයෙක්, යාළුවෙක් කියලා අදත් ඔහු ජීවතුන් අතර වෙන්න පුළුවන්. පිරිත් හඬ, කවිල් හඬ, යැදුම් හඬ පන්සලෙන්, කෝවිලෙන්, පල්ලියෙන් උදේ හවා ඇහෙන රටක මානව හදගැස්ම මේ තරම් රළුපරළු පරිවර්තනයකට පෙරලුනේ කොහොමද?

මට මතක් වෙනවා එඩ්වඩ් ජයකොඩි ගායනා කරන ගීතයක්. 

“බණ කියන රටක්
බණ අහන රටක්
යුධ බිමක් වුණේ කෙලෙසා
එය නිවන මඟක්
මල් පිපුණු ලොවක්
අපි දකිමු ඉතින් කවදා” 

මේ ගීයෙන් කියවෙන්නෙ බණ කිව් පමණින්, බණ ඇසූ පමණින්, සුබවාදී පරිවර්තන සිදු නොවී මිනිසුන්ගේ මානුෂීය ගුණධර්ම අභාවයට ගොස් ඇති බව. ඇත්තටම මිනිසුන් ජීවත්වන්නේ මානුෂීය ගුණධර්ම අඩු යුද බිමක කියලා පේනවා එදිනෙදා සමාජයේ අහන්නට, දකින්නට ලැබෙන ප්‍රවෘත්ති දිහා බැලුවම. 

දරිද්‍රතාවයෙන් පරාජිත ජීවිත අබියස රවන ගොරවන ගරහන මිනිස්සු ධනය බලය ඇති තැන මහා හොරුන්ට නිවටයන්ට දණ ගහන හැටි මම මේ සමාජය තුළ දැකලා තියෙනවා.  එහෙත් මනුෂ්‍යත්වයට ගරු කරන, මනුෂ්‍යත්වය ඉස්මතු වන සිද්ධි දකින්නට ලැබෙන්නේ ඉතා කලාතුරකින්. පසුගිය දිනෙක එවැනි සිද්ධියකුත් මම මාධ්‍ය මගින් දුටුවා. 

ඒ තමා තම සේවා මුරය නිමකොට යතුරු පැදියකින් නිවස බලා යමින් සිටි පොලිස් නිලධාරීන් දෙදෙනකු විසින් කුඩා දියණියකගේ ජීවිතය බේරා ගැනීමට උදවු කිරීම. එම නිලධාරීන් දෙදෙනා කළ උදව්ව ආර්ථික උපකාරයක් නෙමෙයි. අසාධ්‍ය දැරියක් ත්‍රීරෝද රථයකින් රෝහල වෙත රැගෙන යන අතරතුර පැවැති මාර්ග තදබදය අතරින් දැරිය රෝහල වෙත රැගෙන යන්නට ත්‍රීරෝද රථයට පෙර ගමන් කරුවන් ලෙස ගොස් මාර්ගයෙහි ඉඩ සලසාදීම. මෙම ක්‍රියාවෙන් දැරිය ඉක්මනින් රෝහල වෙත රැගෙන යන්නට හැකි වූ අතර ඇයගේ ජීවිතය බේරුණා.

මනුෂ්‍යත්වය කියන්නෙ අන්න ඒක. කොන්දේසි විරහිතව කෙනෙක්ට උදව් කරන්න පුළුවන් නම්, තවත් කෙනෙක්ගෙ ජීවිතයක් බේරාගන්න පුළුවන් නම් ඒක තමා මනුෂ්‍යත්වය.

වර්තමානෙ මනුෂ්‍යත්වයට ඇයි මෙහෙම වුණේ? 

වතුරකට වැට්ච්ච කූඹියෙක්ගේ ජීවිතය හරි බේරාගන්න තරම් මෘදු මොලොක් සුන්දර හිත් තිබුණ අතීත මී මුත්තන්ගෙන් ජනිත මානව පරපුරක හද ගැස්ම මේ තරම් අසංවේදී අනුකම්පා විරහිත තත්ත්වය කට පත්කළ සමාජීය හේතු මොනවද? එය විචක්ෂණශීලීව විමසා බැලිය යුත්තක්. වර්තමානයේ මිනිසුන් යන්ත්‍ර මෙන් අධ්‍යාපනය, රුකියාවන්, මුදල් පසුපස හඹායන තත්ත්වයක් දකින්නට පුළුවන්. ජීවන අරගලයක නිරතවන ආකාරයක් දකින්නට පුළුවන්. මනුෂ්‍යත්වයට මෙහෙම වෙන්න හේතුවක් බවට මේ කරණු පසුබිම් වෙලා තියෙන ආකාරයක්ද පෙන්වා දෙන්නට පුළුවන්. 

මානවීයත්වයෙන් වියුක්තව තාක්ෂණික කුටීර බවට පත් වූ අද්‍යතන බහුතර මිනිසුන් විෂයෙහි සත්‍ය වූත් යථාර්ථවාදී වූත් අසුන්දර සත්‍යද අපි මෙවැනි සංසිද්ධින් ඔස්සේ මේ අත් විඳින්නෙ. මේ ලෝකයේ බලවත්ම අධිකරණය තමා  තමන්ගේ හෘද සාක්ෂිය.  ඔබට කාගෙන් කොතැනින් ගැලවිය හැකි වුවත් ඔබේම හෘද සාක්ෂිය හමුවේ ඔබ වග උත්තරකරුවකු වෙන දවසක් එනවා. එදාට ඔබේ හෘද සාක්ෂිය තීරණය කරයි ඔබ නිවැරදිකරුවෙක්ද වැරදිකරුවෙක්ද කියන එක.

ඔබේම හෘද සාක්ෂිය විනිසුරුවරයෙකු වී ඔබව පසිඳන දවසක් එනවා. ඒ ඔබ අවසන් හුස්ම හෙලන දවස වෙන්න පුළුවන්. අපි මිනිසත්කම සහිතව සමාජයේ ජීවත් වුණොත් හෘද සාක්ෂියට අනුව අපිට සතුටු වෙන්න පුළුවන්. එහෙම නැත්නම් අපි අවසන් හුස්ම හෙළන දවසක අපේ හෘද සාක්ෂියට අනුව අපට කම්පා වෙන්න පුළුවන්. 

අවසාන වශයෙන් මම ඔබට කියන්නෙ ජීවිතය කියන මහ පාර දිගේ ඇවිදිද්දී මනුෂ්‍යත්වය කියන මිරිවැඩි සඟල පයේ ලාගෙන ඇවිදින්න.  සමාජයට නොරිදවනු පිණිස ජීවිතය තුළ ඇවිදින්න එවිට ඔබට හැකිවේවි.