2022 ජනවාරි 08 වන සෙනසුරාදා

ඩොලර් හිඟයෙන් බෙහෙත් රහත් වෙයිද?

 2022 ජනවාරි 08 වන සෙනසුරාදා, පෙ.ව. 10:00 135

මේ වනවිට රටේ ඇති වී තිබෙන ඩොලර් හිඟය හේතුවෙන් අත්‍යවශ්‍ය ඖෂධ රැසක් ආනයනය කිරීමට නොහැකි තත්ත්වයක් උදාවී ඇතැයි වාර්තා වේ. රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ කළමනාකාර අධ්‍යක්ෂවරයා විසින් ඖෂධ නිෂ්පාදන, සැපයුම් සහ නියාමන රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා වෙත ලිපියක් යවමින්. ඉදිරි මාස තුන හතර ඇතුළත රජයේ රෝහල්වලට අවශ්‍ය ඖෂධ සහ ශල්‍යාගාරවලට අවශ්‍ය ද්‍රව්‍යන්හි හිඟයක් ඇති වීමේ අවදානමක් පවතින බවට අනතුරු අඟවා ඇතැයි වාර්තා වේ.

මේ වනවිට ඖෂධ ආනයනය කිරීම සඳහා අවශ්‍ය ණයවර ලිපි 72කට ගෙවීම් කළ නොහැකි තත්ත්වයක් උද්ගතව ඇති අතර, ඇතැම් ණයවර ලිපි කල් ඉකුත් වී ඇති බවද රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථා ගබඩාවෙන්හි ඇත්තේ සීමිත ඖෂධ ප්‍රමාණයක් බවද  කළමනාකාර අධ්‍යක්ෂවරයා පෙන්වා දී තිබේ. ඉදිරි මාස කිහිපය තුළ එම තොග අවසන් වනු ඇති බවත්, එම අවදානම මග හැරීමට හැකියාවක් නොමැති හෙයින් ණයවර ලිපි සඳහා මුදල් වෙන් කිරීමේදී ඖෂධ සඳහා ප්‍රමුඛත්වය ලබාදීමට කටයුතු කරන ලෙසත් එසේ නොවන්නේ නම් රට තුළ ඖෂධ හිඟයක් ඇති විය හැකි බවත් එම ලිපියේ සඳහන්ව කර ඇතැයි වාර්තා වේ. මෙවැනි වාතාවරණයක් යටතේ රජයේ රෝහල්වල ඖෂධ හිඟයක් ඇතිවීමේ අවදානමක් මතුව තිබෙන බව සෞඛ්‍ය අංශ ආරංචි මාර්ග සඳහන් කරයි.

ඩොලර් හිඟය මත ඖෂධ ආනයනයට යම් බලපෑමක් එල්ල වී ඇතැයි සෞඛ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල මහතාද පිළිගනී. එහෙත් රට තුළ ඖෂධ හිඟයක් ඇති නොවීම සඳහා වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර ඇතැයි පවසන ඇමැතිවරයා, ජනාධිපතිවරයාද සෑමවිටම සෞඛ්‍ය ක්ෂේත්‍රයට ප්‍රමුඛත්වය ලබාදෙන ලෙස උපදෙස් දී ඇතැයිද ප්‍රකාශ කරයි.

“විදේශ විනිමය ප්‍රශ්නයක් තියෙනවා. ඒ නිසා මුළු රටේම මේ වෙනකොට යම් පමණකට කිසියම් ප්‍රශ්නයක් ඇති වී තිබෙනවා.එය විසඳා ගැනීමට පියවර ගෙන තිබෙනවා. මොනවා වුණත් සෞඛ්‍ය අංශයට ලබාදියයුතු සියලුම අවශ්‍යතාවන් සපුරාලන ලෙසත්, ඖෂධ හිඟයක් ඇති නොවීමට හා සෞඛ්‍ය සම්බන්ධ කටයුතුවලට ප්‍රමුඛත්වය ලබාදෙන ලෙසටත් ජනාධිපතිතුමා පැහැදිලිවම කියා තිබෙනවා. දැනට මතු වී ඇති මෙම තාවකාලික ප්‍රශ්න විසඳාගන්න නොහැකි ඒවා නොවෙයි. ඖෂධ හිඟයක් ඇති නොවෙන තත්ත්වයක් ඇති කිරීම සඳහා වැඩපිළිවෙළක් සකස් කෙරෙමින් පවතිනවා” යනුවෙන් සඳහන් කළේය.

ඩොලර් හිඟය නිසා රටේ ඖෂධ හිඟයක් ඇති වීමට ඉඩ ඇතැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ වෛද්‍ය නවීන් ද සොයිසා මහතා පවසයි. 

&අපිට අවශ්‍ය ඖෂධ වැඩි ප්‍රමාණයක් ගෙන්වන්නේ විදේශවලින්. එමෙන්ම මෙරට නිෂ්පාදනය කරන ඖෂධ සඳහා අවශ්‍ය සංඝටක ගෙන්වන්නෙත් විදේශවලින්. මේවා ගෙන්වීමට ඩොලර් නොමැති නම් ඖෂධ සම්බන්ධයෙන් අවදානමක් තිබෙනවා. එය රජයට පමණක් නොව පෞද්ගලික අංශයටත් බලපානවා. එවිට එය බලපාන්නේ රෝගීන්ටයි. ඊයේ මුදල් ඇමතිවරයා කිව්වා ඖෂධ සඳහා ඇති බද්ද ඉවත් කිරීමට කටයුතු කරන බව. බදු ඉවත් කිරීම මෙන්ම ඖෂධ ගෙන්වීම සඳහා අවශ්‍ය ඩොලර් සැපයුම අඛණ්ඩව සිදුකළ යුතුයි. ඖෂධ ගෙන්වීම සඳහා ලබාදෙන ඩොලර් ප්‍රමාණය සීමා වුවහොත් කිසියම් ගැටලුවක් නිර්මාණය විය හැකියි. දැනට යම් යම් තැන්වල ඖෂධවල අඩුපාඩු පවතිනවා. ඩොලර් හිඟවුණාම ණයවර ලිපි විවෘත කරන්න බැරි වෙනවා. එවිට සිදුවන්නේ ඖෂධ හිඟයක් නිර්මාණය වීමයි. අපි මුදල් අමාත්‍යංශයට පෙන්වා දුන්නා ඖෂධ සඳහා ඩොලර් නිකුත් කිරීම වෙනත් භාණ්ඩවලට මෙන් කල්දැමිය නොහැකි බව. බෝ නොවන රෝගවලට දිගුකාලීනව ඖෂධ ගන්නවා. ඒ වගේම බෝ නොවන රෝග වැළඳීම අවම කිරීමටත් රජයේ මැදිහත්වීම වැඩි කළ යුතුයි. ඒ සඳහා දැනට අයවැයෙන් වෙන්කරන මුදලට වඩා වැඩි මුදලක් වෙන්කළ යුතුයි. සෞඛ්‍ය සඳහා වෙන් කෙරෙන්නේ අපේ දළ ජාතික නිෂ්පාදිතයෙන් 3%ක් වැනි ප්‍රමාණයක්. ඉන් 95%ක් වෙන් වන්නේ ප්‍රතිකාර අංශයටයි. රෝග නිවාරණ අංශයට ලැබෙන්නේ 5%ක් වැනි ප්‍රමාණයක්. එම ප්‍රමාණය රටකට මදි. නිවාරණ අංශයට මීට වඩා අවදානය යොමුකළ යුතුයි. එවිට ප්‍රතිකාර සඳහා වැයවන ප්‍රමාණය අවම කරගත හැකියි. 

මෙරටට අවශ්‍ය ඖෂධ වර්ග කාලය අනුව වෙනස් වෙනවා. අපේ රටට අත්‍යවශ්‍ය ඖෂධ මොනවාදැයි හරියටම ලැයිස්තුගත කර නැහැ. එමෙන්ම එකම ඖෂධය විවිධ වෙළෙඳ නාම යටතේ ගෙන්වනවා. ඒවා විවිධ මිල ගණන්වලට අලෙවි කරනවා. මෙවැන්නක් සිදු නොවිය යුතුයි. අපි ඖෂධ නියාමන අධිකාරියෙන් අපේක්ෂා කරන්නේ මෙවැනි දේවල් වැළැක්වීමයි. ඒ නිසා සේනක බිබිලේ නිශ්චිත ඖෂධ ප්‍රතිපත්තිය ක්‍රියාවට නැංවිය යුතුයි. එම ප්‍රතිපත්තිය අනුව අත්‍යවශ්‍ය ඖෂධ ලැයිස්තුවක් තිබිය යුතුයි. එහෙම ලැයිස්තුවක් නිර්මාණය කරනවා වගේම එය යාවත්කාලීන විය යුතුයි. එමෙන්ම එය නියාමනය කළ යුතුයි. එසේ නොවන විට ඖෂධ මාෆියාවට අවශ්‍ය පරිදි ඖෂධ ගෙන්විය හැකියි. ඒ සඳහා ඩොලර් විශාල ප්‍රමාණයක් වැය වෙනවා. සේනක බිබිලේ නිශ්චිත ඖෂධ ප්‍රතිපත්තිය අනුව කටයුතු කිරීමේදී අනවශ්‍ය ඖෂධ මෙරටට ගෙන්වීම අඩාල කළ හැකියි. යනුවෙන් ප්‍රකාශ කළේය..

සෞඛ්‍ය සඳහා පසුගිය වසරේ රුපියල් බිලියන 301ක් වෙන්කර තිබුණද මෙවර අයවැයෙන් වෙන්කර ඇත්තේ රුපියල් බිලියන 234ක් බවත්. ඖෂධ ආනයනය සඳහා 2021 වසර සඳහා බිලියන 125ක් වෙන්කර තිබූ අතර මෙවර අයවැයෙන් එය බිලියන 67ක් දක්වා අඩුකර තිබෙන බවත්  හිටපු සෞඛ්‍ය ඇමැතිවරයකු වන රාජිත සේනාරත්න පෙන්වා දෙයි.

රට පුරා ඖෂධහල්වල මේ වනවිට අත්‍යවශ්‍ය ඖෂධ හිඟයක් ඇතිවෙමින් පවතින බව අනාවරණ වෙමින් තිබේ. රජයේ හෙද නිලධාරීන්ගේ සංගමයේ සභාපති සමන් රත්නප්‍රිය මහතාට අනුව පසුගිය මාස කිහිපය තුළ ඖෂධ මිල සියයට 300 කින් පමණ වැඩි වී තිබේ.  හෘද රෝග, අධිරුධිර පීඩනය, පිළිකා රෝග, දියවැඩියාව, ප‍්‍රතිශක්තිකරණ ඖෂධ ඇතුළු අත්‍යවශ්‍ය ඖෂධ දෙසීයකට ආසන්න ප්‍රමාණයක හිඟයක් පවතින බවට වාර්තා වේ.. එමෙන්ම පසුගිය මාස කිහිපය තුළ ඖෂධ මිලද ශීඝ්‍රයෙන් ඉහළ ගොස් තිබේ. එමෙන්ම බෝ නොවන රෝග සඳහා වන එකම ඖෂධය විවිධ මිල ගණන්වලට අලෙවි කිරීම නිසා ජනතාව බලවත් අසීරුවට පත්ව සිටිති. දියවැඩියා රෝගය සඳහා භාවිත කරනු ලබන මෙට්ෆෝමින් මිලි ග්‍රෑම් 500ක පෙත්තක් රුපියල් 2.50 සිට රුපියල් 4.00 වැනි මිල ගණන්වලට අලෙවි කෙරෙන බවට ජනතාව චෝදනා කරති. ​ඊට හේතු වී ඇත්තේ විශේෂඥ වෛද්‍යරුන්ගේ නිර්දේශ මත විවිධ වෙළෙඳනාම යටතේ එකම ඖෂධය ආනයනය කරන බැවින් යැයි අනාවරණ වී තිබේ. ඩොලරයේ මිල, නිෂ්පාදන වියදම ඉහළ යාම, තෙල් මිල හා ඖෂධ ආනයනකරුවන් මුහුණපාන අසීරුතා මෙන්ම හා ගුවන් තොටුපොළ හා වරාය ගාස්තු ඉහළයාම නිසා ඖෂධ මිල මිල ඉහළ ගොස් ඇතැයි ඖෂධ නියාමන අධිකාරියේ ආරංචිමාර්ග සඳහන් කරයි.

සෞඛ්‍ය අමාත්‍යංශය මගින් පසුගිය අගෝස්තු මාසයේ අත්‍යවශ්‍ය බෙහෙත් වර්ග 60 ක හා වෛද්‍ය උපකරණ හා ශල්‍ය උපකරණ 42 ක උපරිම සිල්ලර මිල ගණන් නියම කරමින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කළේය. ඒ අනුව දියවැඩියාව, අධිරුධිර පීඩනය, කොලෙස්ටරෝල්, ඇතුළු රෝගාබාධ රැසක් සඳහා භාවිත කරන බෙහෙත් වර්ග 60ක් අලෙවි කළ යුතු උපරිම සිල්ලර මිල ගණන් නියම කර තිබිණි. මෙම ගැසට් නිවේදනය නිකුත් කිරීමට පෙරද අත්‍යවශ්‍ය බෙහෙත් වර්ගවල මිල ගණන් විවිධ හේතුන් මත වැඩි වී තිබූ අතර. යළිත් ඒවායේ මිල ගණන් ඉහළ ගොස් තිබේ. ඖෂධ සඳහාද මිල සූත‍්‍රයක් සකස් කරන බව රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ හිටපු සභාපති විශේෂඥ වෛද්‍ය ප‍්‍රසන්න ගුණසේන මහතා ප්‍රකාශ කර තිබිණි. එසේ මිල සූත‍්‍රයක් ක‍්‍රියාත්මක කිරීම මගින් ආනයනික ඖෂධවල මිල පාලනයක් ඇති කළ හැකි බව කියූ ඔහු එවිට ඩොලරයේ අගය වෙනස්වන විට ඖෂධ මිල සංශෝධනය කළ හැකි බවද පවසා තිබිණි. එහෙත් එවැනි ක්‍රමවේදයක් නිර්මාණය වූයේ නැත.
දැනට පවතින තත්ත්වය පිළිබඳ අවධානය යොමු කරමින් ආණ්ඩුව ඖෂධ සඳහා පනවා ඇති සියලු බදු ඉවත් කිරීමට තීරණය කර තිබේ. පසුගිය 4 වැනිදා මාධ්‍ය සාකච්ඡාවක් පවත්වමින් මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ කියා සිටියේ ජනතාවට සහන ලබා දීමට රජය කටයුතු කරන අතර අත්‍යවශ්‍ය ආහාර සහ ඖෂධ  සියලු බදුවලින් නිදහස් කරන බවයි. ඒ අනුව යම් පමණකින් ඖෂධ මිල පහත වැටීමට ඉඩ තිබෙන නමුදු ඖෂධ ගෙන්වීම සඳහා පවතින ඩොලර් හිඟය පියවා ගැනීමට කිසිදු ක්‍රමවේදයක්  තවමත් ඉදිරිපත්ව නොමැත..

මේ වනවිට අපේ විදේශ විනිමය ඉතා පහළ මට්ටමක පවතී. පසුගිය නොවැම්බර් මාසය අවසන් වනවිට අප සතුව පැවැති සමස්ත විදේශ විනිමය ප්‍රමාණය බිලියන 1.6ක් විය. මෙයින් අප සතු රත්‍රන් සංචිතය  සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ අප සතු මුදල් ප්‍රමාණය අයින් කළ විට අප සතුව ඇති ද්‍රවශීලී විදේශ විනිමය ප්‍රමාණය ඇමෙරිකානු ඩොලර් බිලියන 1.1ක් පමණ ප්‍රමාණයකි. මෙම මුදල 2022 වසරේ අත්‍යවශ්‍ය භාණ්ඩ ආනනයන සඳහා ප්‍රමාණවත් වන්නේ  සති දෙකකට පමණ කාලයකට යැයි මහ බැංකුවේ හිටපු නියෝජ්‍ය.  අධිපති ආචාර්ය ඩබ්ලිව්.ඒ. විජේවර්ධන මහතා පවසයි. 2022 ජනවාරියේ ඇමෙරිකානු ඩොලර් මිලියන 500ක ණයක් ගෙවීමට තිබේ. ඒ හැර රජයේ හා පෞද්ගලික අංශයේ ණය ද ගෙවීමට තිබේ. ඒ අනුව 2022 වසර ආරම්භ වන්නේ බැංකුවල ඇති විදේශ විනිමය තත්ත්වය සම්පූර්ණයෙන්ම සෘණ අගයක පවතින වාතාවරණයක් යටතේය. සාමාන්‍යයෙන් අපගේ වාර්ෂික ආනයන සඳහා ඩොලර් බිලියන 22ක් පමණ වැය කිරීමට සිදු වේ. මසකට ආනයන සඳහා ඇමෙරිකානු ඩොලර් බිලියන 1.7ක් පමණ අවශ්‍ය වේ. මේ වනවිට කන්ටේනර් 1500කට අධික ප්‍රමාණයක් වරායේ සිරවී තිබේ.

රටේ පවතින පවතින ආර්ථික අර්බුදයට විකල්පයක් ලෙස රාජ්‍ය ඖෂධ නිෂ්පාදන නීතිගත සංස්ථාවේ හා දේශීය ඖෂධ නිෂ්පාදන සමාගම් අටක නිෂ්පාදන ධාරිතාවය වැඩි කරන ලෙස ඖෂධ සැපයීම, නිෂ්පාදනය හා නියාමනය පිළිබඳ රාජ්‍ය අමාත්‍යාංශය දැනුම් දී තිබේ. මෙම ආයතනවල ඉතා ඉහළ ගුණාත්මක හා තත්ත්ව පාලනයෙන් යුතු ඖෂධ වර්ග 124ක් පමණ නිෂ්පාදනය කෙරේ. මේ වන විට තවත් ඖෂධ නිෂ්පාදනාගාර දහයක් පමණ ඉදි වෙමින් පවතින බවද වාර්තා වේ. පිළිකා මර්දන ඖෂධ ඇතුළු තවත් ඖෂධ වර්ග සකස් කළ හැකි කර්මාන්ත ශාලාවක් මේ වන විට ඉදිකර අවසන් නමුදු එහි  පිළිකා මර්දන ඖෂධ නිෂ්පාදනය කිරීම සඳහා ජාතික ඖෂධ නියාමන අධිකාරිය මෙතෙක් අවසර නොදීම මත නිෂ්පාදන කටයුතු ඇනහිට ඇතැයි වාර්තා වේ. . එම කර්මාන්ත ශාලාව ඖෂධ නිෂ්පාදනයට සුදුසු බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන ඇතුළු අමාත්‍යාංශ නිලධාරීන්ගේ වාර්තාවක් ද සෞඛ්‍ය අමාත්‍යවරයා වෙත ලබා දී ඇති නමුදු තවමත් ඊට අවසර හිමිවී නොමැති බව පැවසේ. රුපියල් කෝටි 600 ක ආයෝජනයක් සිදුකර ආරම්භ කර ඇති මෙම ආයතනය අද වන විට සිදුකරනුයේ සිය නිෂ්පාදන ධාරිතාවයෙන් සියයට දෙකක් පමණක් බවද වාර්තා වේ. එහි නිෂ්පාදන ඒකක තුනක් ඇති අතර සාමාන්‍ය ඖෂධ, ප්‍රතිජීවක ඖෂධ සහ ජෛව සමාන නිෂ්පාදන මෙම ඒකක තුන තුළ නිපදවීමට සැලසුම් කර තිබේ. එම ආයතනයට බටහිර ඖෂධ වර්ග 250ක් පමණ නිපදවීමේ හැකියාව ඇති අතර ඖෂධ සඳහා පිටරටට ඇදී යන මුදලින් රුපියල් බිලියන 5ක් පමණ එහි නිෂ්පාදන කටයුතු ඇරඹීමෙන් පසු ඉතිරිකර ගත හැකිය.. එමෙන්ම එහි නිෂ්පාදන අපනයනය කිරීමෙන් වසරකට ඇමෙරිකානු ඩොලර් මිලියන 50ක පමණ විදේශ විනිමයක් ලබා ගත හැකි වනු ඇති බවට ආරංචි මාර්ග සඳහන් කරයි.

ශ්‍රී ලංකාවේ අත්‍යවශ්‍ය ඖෂධ හිඟයක් නොමැති අතර හිඟව පවතින අත්‍යාවශ්‍ය ඖෂධ වර්ග 7ක් ඉදිරි සති කිහිපය තුළ ලබා දීමට කටයුතු කරන බව ඖෂධ නිෂ්පාදන, සැපයුම් සහ නියාමන රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන මහතා පසුගියදා පාර්ලිමේන්තුවේදී විපක්ෂ මන්ත්‍රිවරුන්ගේ ප්‍රශ්නවලට ප්‍රතිචාර දක්වමින් පවසා තිබිණි.. “අපි ළඟ අත්‍යාවශ්‍ය ඖෂධ 663ක් තියෙනවා. ඉන් 15ක් හිඟ නමුත් ඉන් අටක් සඳහා ආදේශක යෙදිය හැකියි. අත්‍යවශ්‍ය නොවන ඖෂධ 458 ක් තිබෙන අතර ඉන් 17 ක හිඟයක් ඇති නමුදු ඉන් හතරක් සඳහා ආදේශක භාවිතා කළ හැකියි., රට තුළ පවතින COVID-19 තත්ත්වය හේතුවෙන් නිෂ්පාදකයින් විසින් ඖෂධ ශ්‍රී ලංකාවට එවීම ප්‍රමාද වීම හේතුවෙන් නැවත ගබඩා කිරීම ප්‍රමාද වුණා. මූල්‍ය ගනුදෙනු සහ ප්‍රවාහනය සම්බන්ධයෙන් යම් යම් ගැටලු ඇති වුණා. මෙම ඖෂධ නොබෝ දිනකින් ලැබීමට නියමිතයි* යනුවෙන් ඔහු කියා තිබිණි.

ප්‍රියන්ජන් සුරේෂ් ද සිල්වා