2022 ජනවාරි 08 වන සෙනසුරාදා

ඩොලර් නොඑන කල ණය ගෙවීම් කවර කල

 2022 ජනවාරි 08 වන සෙනසුරාදා, පෙ.ව. 10:00 64

2021 වසරේ මුල් මාස නවය තුළ රටේ සමස්ත ණය ප්‍රමාණය 2020 වසරට සාපේක්ෂව රුපියල් ට්‍රිලියන දෙකකින් හෙවත් බිලියන 2000කින් ඉහළ නැග ඇති බව පසුගියදා ශ්‍රී ලංකා මහ බැංකුව අනාවරණය කළේය. මුදල් අමාත්‍යංශය සැපයූ දත්ත අනුව ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කළේ 2021 ඔක්තෝබර් මාසයට ගෙවීමට ඇති මුළු ණය ප්‍රමාණය රුපියල් ට්‍රිලියන 17.05ක් බවය. මෙය 2020 ඔක්තෝබර් වල තිබුණේ ට්‍රිලියන 15.12ක් වශයෙනි. ඒ අනුව පසුගිය මාස 9 තුළ ණය රුපියල් බිලියන 1934.5කින් ඉහළ නැග ඇති බව සනාථ වෙයි. වාසනාවකට මෙන් මෙම ණයවලින් සියයට 80ක්ම රුපියල් ණය වූ නිසා 2020-2021 වසරවලදී ගෙවීමට යම් පහසුවක් ලැබී තිබුණි.

මෙලෙස ණය මුදල ඉහළ යාමට ප්‍රධාන හේතුවක් වූයේ එම වසර දෙක තුළ කොරෝනා වසංගතය නිසා රටේ නිෂ්පාදනය අඩුවීමෙන් අපනයනය පහළ වැටීමය. මේ නිසා ගෙවුම් ශේෂය විශාල වශයෙන් පහළ වැටුණි. පසුගිය නොවැම්බර් මස අග වනවිට අමෙරිකානු ඩොලර් බිලියන 1.6ක්ව තිබූ විදේශ විනිමය පරතරය දෙසැම්බර් මස අවසානය වනවිට විශාල ලෙස වැඩිවී බිලියන 3.1ක් බවට පත්ව තිබුණි.

මහා භාණ්ඩාගාර සංඛ්‍යාලේඛන අනුව 2021 මුල් මාස 9 දී සමස්ත දේශීය ණය බිලියන 1533.4 සිට බිලියන 10598.5 දක්වා බිලියන 9065.1 දක්වා ඉහළ ගොස් ඇති බව පැවසේ. විදේශ ණය බිලියන 401 දක්වා මෙම මාස 9 තුළ ඉහළ නැග ඇත. ඒ අනුව සමස්ත ණය තොගය රුපියල් බිලියන 6453.2 දක්වා ඉහළ ගියේය. ණය තොගය ඉහළ යාම සඳහා රුපියලේ දේශීය අගය අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව විශාල ලෙස ඉහළ යාමද බලපෑවේය. රුපියල අවප්‍රමාණවීම 200 සීමාවද ඉක්මවා ගිය අතර, ඩොලර් රට තුළට ඇද ගැනීම සඳහා රජය ගත් සියලු පියවරවල් මේ වනවිට අසාර්ථක වී ඇත.

2020 මුල සිට දෙසැම්බර් 26 දින දක්වා පැමිණි සංචාරකයන්ගේ සංඛ්‍යාව 174,930ක් වූ අතර 2021 මෙම කාලය තුළ පැමිණීම 69,941 තරම් පහළ අගයක් ගත්තේය. 2021 ජනවාරි මාසයට පැමිණ ඇති සංචාරක සංඛ්‍යාව 1682 පමණක් වීම විශේෂයෙන් කැපී පෙනුණි. සංචාරක පැමිණීම අපේ රටේ මෙතරම් පහළ බැස්සද අසල්වැසි මාලදිවයින සමඟ සංසන්දනය කරන විට එය ඉතාම පසුගාමී තත්ත්වයක් බව ආර්ථික විශ්ලේෂකයෝ පවසති. සංචාරක ව්‍යාපාරය පහළ බැසීම නිසා පසුගිය වසර දෙක තුළ අපට ලැබිය යුතු ඩොලර් බිලියන 4.3ක විදේශ විනිමය අහිමි වූ බව වාර්තා විය.

කෙසේ වුවද යම් පමණකට හෝ සංචිත වර්ධනය කරගෙන පැමිණියද ඒ අතර විටින් විට විදේශ ණය ගෙවීමට සිදුවීම නිසා ඩොලර් ප්‍රමාණය පහළ වැටුණි. 2021 හතරවන කාර්තුවේදී ඩොලර් මිලියන 500ක් ණය වූ අතර 2022 ජනවාරි 18 වැනිදාට කල්පිරී ඇති ඩොලර් මිලියන 500 ගෙවීමට මේ වනවිට ඩොලර් වෙන්කර ඇති බව මහ බැංකු අධිපතිවරයා පවසයි. එහෙත් මෙයට වඩා විශාල ණය කන්දක් 2022 වසරේදී ගෙවීමට ඇති අතර ඒ ප්‍රමාණය අමෙරිකානු ඩොලර් බිලියන 6.8ක් වේ. එහෙත් මේ සා විශාල මුදලක් 2022 දී ගෙවීමට කිසිදු සැලසුමක් රජයට මෙතක් තිබෙන බවක් නොපෙනේ. ජනවාරි 18 වැනිදා ගෙවීමට ඇති මිලියන 500 සෙවීම සඳහාද මුදල් ඇමැතිට බොහෝ වෙහෙස වීමට සිදුවූ අතර ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි පවා ඉන්දියන් තෙල් සමාගමට විවිධ ආකාරයෙන් පවරා දීම සිදුවිය. 2022 ගෙවීමට ඇති විශාල ණය කන්ද ගෙවීමට විදේශ ලැබීම් කෙසේවත් ප්‍රමාණවත් නොවන අතර, අනිවාර්යයෙන්ම අතමාරුවකට හෝ යම් යම් රටේ සම්පත් විදේශ රටවලට අලෙවිකර හෝ එම මුදල සොයාගැනීමට සිදුවනු ඇත. 2026 වසරේ අවසානය දක්වාම දිගටම විදේශ ණය ගෙවීමට තිබෙන අතර එය කුමන රජයක් බලයට පත්වුවද විශාල අභියෝගයක්ව පවතී. අපේ රජයෙන් නොව වෙන රජයවලින් මෙම ණය ලබාගත්තේ යැයි බෝලය &පාස් කර* ඇඟ බේරා ගැනීමට තැත් කළද එයින් ලැබෙන ප්‍රතිඵලයක් නොමැත. ඒ සඳහා විශාල ලෙස විදේශ විනිමය ලබාගන්නා සැලසුමක් දැන් සිටම ක්‍රියාත්මක කළ යුතුව ඇති බව විද්වත්හු පෙන්වා දෙති.

මෙතෙක් ඒ සඳහා උපයෝගී කරගෙන ඇති උපක්‍රම ප්‍රමාණවත් නැති අතර, ඒවා බොහෝවිට අසාර්ථක වී ඇත. ආර්ථික විශ්ලේෂකයන් පවසන්නේ රටේ් පවතින ආනයන තහනමෙන් විනිමය ආරක්ෂා කලීමට සිදුවන්නේ එතරම් විශාල සහයක් නොවන බවය. එයින් සිදුවන යහපතට වඩා අයහපත වැඩිය. හැරත් ආනයන තහනම වැනි උපක්‍රම දිගටම පවත්වාගෙන යාමෙන් රටේ ආර්ථිකය සංකෝචනය වන අතර එයට වඩා වෙනත් උපක්‍රම ක්‍රියාත්මක කිරීමට අවධානය යොමුකළ යුතුව තිබේ. අපට ලැබිය යුතු විදේශ මුදල් පවා ලබා ගැනීමට වගකිවයුත්තන් උනන්දු නොවන අතර පසුගිය සැප්තැම්බර් සහ ඔක්තෝබර් මාසවල ලැබිය යුතුව තිබූ ඩොලර් බිලියනයකට අධික විදේශ විනිමය අපට ලැබී නැත.

දැනට රට පත්ව ඇති ආර්ථික බිඳ වැටිම පිළිබඳ ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනයක් නිකුත් කර ඇති අතර දැනට සාකච්ඡා වෙමින් පවතින පහසුකම් කිහිපයක විදේශ මුදල් ලැබීම් 2022 සිට ලැබෙනු ඇති බවට මහ බැංකුව විශ්වාසය පළකරයි.
සාර්ව ආර්ථික හා මූල්‍ය පද්ධති ස්ථායිතාව සහතික කිරීම සඳහා වන සය මාසික පෙරදැක්මේ සඳහන් වන පරිදි දැනට සාකච්ඡා වෙමින් පවතින අනෙකුත් පහසුකම් කිහිපයක් සම්බන්ධයෙන් වන විදේශ මුදල් ලැබීම් 2022 වසරේ ජනවාරි මස ආරම්භයේදීම ලැබෙනු ඇතැයි අපේක්ෂා කරයි. විදේශ සේවා නියුක්තිකයන්ගේ ප්‍රේෂණ සඳහා දිරිදීමනා ක්‍රම හඳුන්වාදීම සහ අපනයන ආදායම් මෙරටට ගෙන්වා ගැනීම හා පරිවර්තනය කිරීමේ නීති රීති වැනි දේශීය වෙළෙඳපොළෙන් විදේශ මුදල් ද්‍රවශීලතාව ඉහළ නැංවීම සඳහා ගත් ක්‍රියාමාර්ග විදේශ සංචිත තවදුරටත් වැඩිකරවා ගැනිමට උපකාරී වනවා ඇත. සංචාරක ක්ෂේත්‍රය අපේක්ෂිත යථා තත්ත්වයට පත්වීම හා අපනයනවල ශක්තිමත් ක්‍රියාකාරීත්වය සමඟින් විදේශ අංශය තවදුරටත් ශක්තිමත් වනවා ඇත. ඒ අනුව 2022 වසර පුරාවටම විදේශ සංචිත තත්ත්වය හිතකර මට්ටමක පවතිනු ඇති බවට රජය හා මහ බැංකුව විශ්වාස කරයි.

මේ ණය ගැටලුව පිළිබඳ අදහස් දක්වන කොළඹ විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යයන අංශයේ මහාචාර්ය සිරිමල් අබේරත්න:

ණය ගැටලුව මේ වනවිට රටේ දැවෙන ප්‍රශ්නයක් බවට පත්ව තිබෙනවා. ඉකුත් දිනක නිකුත් වූ ෆිච් රේටින්ස් ආයතනයේ වාර්තාව අනුව ලංකාව ණය ශ්‍රේණිගත කිරීම්වලින් පහළ හෙළා තිබෙනවා. එම වාර්තා ව්‍යාජ යැයි කියන්න බැහැ. මොකද ඒවාට අවශ්‍ය කරුණු ලැබෙන්නේ අපේ ආර්ථික දත්තවලින්. යම් රටක් ණය ශ්‍රේණිගත කිරීම්වලින් පහළ ගිය විට ඒ රටට ණය ලබාදීම සුදුසුද යන්න පිළිබඳ ප්‍රශ්නය මතුවෙනවා. අපේ රටට ණය ගැනීමේදී පමණක් නොව විදේශ ඍජු ආයෝජන රටට ආකර්ෂණය කර ගැනීමේදීද අහිතකර ප්‍රතිඵල ලැබෙනවා. ණය ශ්‍රේණිගත කිරීමේ ජාත්‍යන්තර ආයතනවලින් එළිදක්වන මෙවැනි වාර්තා පිළිබඳ අපට විවිධ තර්ක විතර්ක ගෙන ආ හැකි නමුත් එය අපට මුහුණපාන්නට සිදුව ඇති ගැටලුවලට විසඳුමක් නොවෙයි.

අපේ ණය අර්බුදයට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල තුළින් සහනයක් ලබාගත යුතුද නැද්ද පිළිබඳව මේ දිනවල සාකච්ඡා වෙමින් පවතිනවා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල එහි සාමාජික රටකට ණය පහසුකම් සැලසීමේදී අදාළ රටේ ආර්ථික තත්ත්වය හොඳින් අධ්‍යයනය කර යෝජනා ගෙන එනවා. ආර්ථික විශේෂඥයන් එම අරමුදල නියෝජනය කරන බැවින් එසේ ගෙන එන යෝජනා තුළින් නැවත ණය ගෙවීමට අදාළව එම රටවලට යෙදිය හැකි ප්‍රතිකර්ම ඉදිරිපත් කරනවා. පොදු ව්‍යවහාරයේදී අප කොන්දේසි ලෙස ඒවා හඳුන්වන අතර, එම යෝජනා මූල්‍ය අරමුදලේ තනි කැමැත්තට නොව ණය ඉල්ලන රාජ්‍යයේ කැමැත්තද අනුවයි පනවන්නේ. එම යෝජනා ප්‍රකාරව ආර්ථිකයේ ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණ සිදුකිරීම ණය ලබාගන්නා රටවල වගකීමක්.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට යා යුතු යැයි කියන්නේ ණය පිළිබඳ දැනට ඇතිවී ඇති අර්බුදකාරී තත්ත්වය නිසයි. අප ලබාගත් විදේශ ණය වෙනුවෙන් ඉදිරි අවුරුදු කීපයකදී වාර්ෂිකව ඩොලර් බිලියන 4-5 අතර ප්‍රමාණයක් ගෙවීමට තියෙනවා. එයට ප්‍රමාණවත් විදේශ විනිමය ඉපැයීම් රටට ලැබෙන්නේ නැහැ. මේ වනවිට තව තවත් ලොව රටවල් වටා ගොස් ණය ඉල්ලීමට අපට සිදුව තිබෙනවා. අප කලින් ණය නොගත් රටවලටද අතපාන්නට සිදුව තිබෙනවා. අප බංගලිදේශයෙන් ඩොලර් මිලියන 200ක් ණයට ඉල්ලන විට බංගලිදේශය මූල්‍ය අරමුදලෙන් ඩොලර් මිලියන 720ක් ලබාගෙන තිබුණි. නමුත් ලංකාව ඒ අවස්ථාවේදීවත් මූල්‍ය අරමුදල වෙත ගියේ නැහැ.

මෑත කාලයේදී දකුණු ආසියානු කලාපයේ කිසිදු රටක විදේශ සංචිත අඩුවූයේ නැහැ. ඇෆ්ගනිස්ථානයේ පවා සංචිත වැඩිවුවත්, අපේ රටේ විදේශ සංචිත පහළ ගියා. එයට හේතුව ලංකාව ඩොලර් සංචිත ඉපැයීමට නිසි ක්‍රමවේද අනුගමනය නොකිරීමයි. විදෙස් ඍජු ආයෝජන හා අපනයන ප්‍රවර්ධනය යනු ඩොලර් ඉපැයිමට හැකි ප්‍රධාන ක්‍රමවේද වේ. ණය ගැනීමෙන් වැළකී ඩොලර් සංචිත ඉහළ නංවා ගැනීමට කටයුතු කිරීම ඉතා වැදගත්.

 යසවර්ධන රුද්රිගු