2022 ජනවාරි 08 වන සෙනසුරාදා

දෙහිවල මුහුදේදී ගොඩ්සිලාට ගොදුරු වූ සෝමසිරි

 2022 ජනවාරි 08 වන සෙනසුරාදා, පෙ.ව. 10:00 74

රැකියාව ජීවිතයම කරගත් සෝමසිරිගේ ජීවිතය එක් නිමේෂයකින් සදහටම අහිමි විය. මුහුදට අසීමිතව ආදරය කළ ඔහුගේ අවසන් හුස්ම පොද මුහුදු රළ අතරේ සැඟවී ගියේය. මුහුදු පතුල යට වසර ගණනාවක් අසිරිය විඳි සෝමසිරි නොසිතුව ලෙසින් කිඹුලෙකුගේ දඩයමකට ලක්වුණි.

නව වසර උදාවුණි. සෝමසිරි පීරිස්ගේ හිතේද දහසකුත් බලාපොරොත්තු තිබුණි. කොවිඩ් වසංගතය හේතුවෙන් විසිතුරු මසුන් වෙනුවෙන් වැඩි ඉල්ලුමක් නොමැති කාලය අවසන් වී යාන්තම් මේ ක්ෂේත්‍රයටද හොඳ කල දවසක් උදාවූවා පමණි. ජනවාරි මස තුන්වැනිදා ඒ සියලු බලාපොරොත්තු සුන් වෙමින් සෝමසිරි පීරිස් (ජයන්ත) කිඹුල් ප්‍රහාරයකට ලක්වූයේ අනපේක්ෂිත අයුරිනි.

සෑම දිනකම සෝමසිරි රත්මලාන තම නිවෙසේ සිට මුහුදු වෙරළ දිගේ ගල්කිස්ස මහ හෝටලය අසල තෙක් පයින් ගමන් කළේය. ඇතැම් දිනවල ඔහු වැල්ලවත්ත මුහුදු තීරය තෙක්ද පා ගමනින් ගමන් කළේය. මෙය ඔහුගේ ව්‍යායාම් කොටසකි. නැවතත් දෙහිවල මුහුදු තීරයට පැමිණෙන සෝමසිරි තම කිමිදුම් ආම්පන්නද ඇඟලා දෙහිවල මුහුදේ කිමිදුම් කළේය. ඔහු වයස අවුරුදු දොළහේදී පමණ කාලයක සිට දෙහිවල මුහුදේ කිමිදුම්කරුවෙක් ලෙස කටයුතු කළේය. එසේම ඉතා දක්ෂ කිමිදුම්කරුවෙක්ද විය.

“එයාට වයස අවුරුදු දොළහක කාලයේ ඉඳන් කිමිදෙන්න ගිහින් තියෙනවා. මුලින්ම ගෝලයෙක් විදිහට තමයි මේ රස්සාව පුරුදු වෙලා තියෙන්නේ. වෙන රස්සාවක් කරලත් නැහැ. මේකම තමයි එයා කළේ. මුලින් අපි දෙහිවල පදිංචිවෙලා හිටියේ. සුනාමියෙන් පස්සේ අපිට රත්මලානෙන් ගෙයක් ලැබුණා. ඒත් හැමදාම වගේ එයා දෙහිවලට ගිහින් කිමිදුම් කටයුතු කළා. අනේ මේ නැතිවුණේ හොඳ මනුස්සයෙක්. කිඹුලෙක් මුහුදේ ඉන්නවා කියලා මෙයා දන්නවා නම් කවදාවත් මුහුදේ යන්නේ නැහැ. මේ අයව මේ ගැන දැනුවත් කරල තිබුණේ නැහැ. එහෙම දැනුවත් කරල තිබ්බ නම් මේ වගේ විපතක් වෙන්නේ නැහැ. මේක ලොකු ජීවිත අපරාධයක්. දැන දැන ජීවිතේ නැති කරගන්න කවුරුත් කැමැති නැහැ. මේ ගැන කිසිම කෙනෙක් මේ අයව දැනුවත් කළේ නැහැ. පව් මේ මනුස්සයා... අතක් කැඩිලා. කකුල්වලට කාඩ්බෝඩ් තියල තමයි මේ ගෙදර එයාව පෙට්ටියක දාලා ගෙනාවේ. වටිනා කියන ජීවිතයක් කිඹුලෙක් නිසා නැතිවුණා...” යැයි සෝමසිරි මහතාගේ බිරිඳ දේශයට හැඬූ කඳුළින් පැවසීය.

සෝමසිරි පීරිස් (ජයන්ත) මහතා වයස අවුරුදු පනස් හතක එක්දරු පියෙකි. විවාහ වී සිටින ඔහුගේ එකම දියණිය හෝමාගම ප්‍රදේශයේ ජීවත් වන්නීය. මහ මුහුදේ දිය යට කිමිදෙමින් විසිතුරු මසුන් එකතු කරමින් ජීවත්වුණ සෝමසිරි කිසිමදාක කිඹුලකුගේ ප්‍රහාරයකින් මියයාවි යැයි කිසිවකු සිතන්නට නැත. කිඹුලන් මුහුදේ සිටිනවා යැයි කවුරුවත් විශ්වාස කරන්නේ නැත. නමුත් තවමත් මෙම කිඹුලා දෙහිවල, රත්මලාන, අඟුලාන වැනි පැතිවල මුහුදේ සැරිසරන බව ජනතාව දැක ඇත. මේ නිසා තවත් කිමිදුම්කරුවන්ගේ පමණක් නොව දෙස් විදෙස් සංචාරකයන්ගේද ජීවිත අවදානමේය.

''මෙයාගේ අතක් පයක් කැඩිලා හරි ජීවිතේ බේරුණා නම් මම ගෙදර තියාගෙන හරි මෙයාව බලාගන්නවා. මොන වටින ජීවිතයක්ද මේ නැතිවුණේ. එයා කාටවත් කරදරයක් කරපු කෙනෙක් නෙවෙයි. එයා නැතිව ජීවත් වන්නේ කොහොමද කියල හිතාගන්නවත් දැන් අමාරුයි. එයා වතුර යටදී බේරෙන්න කිඹුලා එක්ක ලොකු සටනක් කරලා තියෙනවා. කිඹුලා මෙයාව යට කරගෙන ඉඳලා තියෙන්නේ. කකුල් දෙක විතරයි උඩට ඇවිත් තිබිලා තියෙන්නේ. එයාගේ කිමිදුම් ආම්පන්න කිසිම දෙයක් තිබිලා නැහැ. ඒ හැමදේම දඟලද්දී ගැලවිලා ගිහින් තිබෙනවා. කකුල් දෙකේ තිබුණ කිමිදුම් සපත්තු දෙක විතරයි තිබිලා තියෙන්නේ.” යැයි සෝමසිරි මහතාගේ බිරිඳ වැඩිදුරටත් පැවසීය.

ඇය නිවෙසට යාබදව පවත්වාගෙන යනු ලබන ඇඟලුම් කර්මාන්ත ශාලාවක රැකියාව කරන්නීය. සෝමසිරි කිඹුල් ප්‍රහාරයට හසු වූ මොහොතේ ඔහුගේ බිරිඳ සිටියේ තම රැකියාවේ නිරත වෙමිනි. ඔවුන්ගේ අසල්වැසියකු කර්මාන්ත ශාලාවට ගොස් “පොඩ්ඩක් එන්න හදිසියකට...” යැයි පවසා ඇත. ඒ වනවිට දහවල් එකොළහමාරට පමණ ඇත. සෑම දිනකම දහවල් එකයි තිහ, දෙක වනවිට පුරුද්දක් ලෙසින් සෝමසිරි නිවසට පැමිණේ. මේ නිසාම ඔහුගේ බිරිඳට එකවරම මතකයට ආවේ තම දියණියයි. “ජයන්ත අයියව කිඹුලෙක් අල්ලලා. ඉක්මනට කළුබෝවිල යන්න” යැයි අසල්වැසියෝ පැවසූහ. ඒ සැණින් ඇය තවත් දෙදෙනකු සමඟ ත්‍රිරෝද රථයකින් කළුබෝවිල රෝහලට ගියාය. නමුත් රෝගීන් බැලීමට ඔවුන්ට ඉඩක් නොලැබුණි. රෝහලේ, හදිසි අනතුරු ඒකකයේ ඔවුහු සෝමසිරිගේ මුහුණ සෙවූහ. නමුත් ඒ වෙද්දීත් ඔවුන් අසලම ඇඳක සුදු රෙද්දකින් වසා තැබූ දේහය තම ආදරණීය සැමියාගේ බව ඇය දැන සිටියේ නැත.

මීට පෙර කිඹුලකු වාද්දුව. බෙන්තොට මුහුදු තීරයේ සිටි බවට ඇතැමුන් දැක ඇත. ජනවාරි තුන්වැනිදා මේ කිඹුල් ප්‍රහාරයට සෝමසිරි ගොදුරක්වන්නට පැය කිහිපයකට පෙර කිඹුලා රත්මලාන මුහුදු තීරයේද සිට ඇත. නමුත් කිසිවෙකු මේ සම්බන්ධයෙන් කිසි කෙනෙකුව දැනුවත් කර තිබුණේ නැත. උදෑසන කිඹුලෙකුගේ ප්‍රහාරයකට කිසිවකු ලක්ව ඇති බව රංජිත් සිල්වා හෙවත් කළු අයියාට ආරංචි වුණි.

“මට ආරංචිය ආපු ගමන්ම මම ඉක්මනට වෙරළට ආවා. ඒ වෙද්දී සංචාරකයන් කිහිප දෙනෙක් එක්ක බෝට්ටුවක් ගොඩට ආවා. “මට බෝට්ටුව පොඩ්ඩක් දෙනවද?” කියල මම කියල ඒ බෝට්ටුවට ඔවුන්ගේ ගෝලයෝ දෙන්නෙකුත් මගේ යාළුවෙකුත් නංවා ගත්තා. මගේ යාළුවා කිමිදෙනව තියා පීනන්නවත් දන්න කෙනෙක් නෙමෙයි. අපි හතර දෙනා බෝට්ටුවේ නැගලා ඉක්මනට මුහුදේ ගියා. ඒ වෙලාවේ කිඹුලා යම් කෙනකුගේ දකුණු උරහිසින් අල්ලගෙන ඉන්නව මම දැක්කා. කිමිදුම් සපත්තු දෙකක් දැකපු නිසා මේ කිඹුල් ප්‍රහාරයට ගොදුරුවෙලා ඉන්නේ කිමිදුම්කරුවෙක් කියලා අපි දැනගත්තා. කොහොම හරි මේ සහෝදර කිමිදුම්කරුවාව බේරාගන්න ඕනේ කියලා මම හිතුවා. අපි මුලින් කිඹුලා අසලටම බෝට්ටුව පැද්දා. මුලින්ම ඒ ළඟා වෙද්දී කිඹුලාට නැංගුරමෙන් ගහලා බය කරලා ගොදුර කටින් අතහරින්න උත්සාහ කළා. ඒක අසාර්ථක වුණා. අපි නැංගුරම ආයෙත් බේරල තියාගත්තා. දෙවැනි වතාවටත් නැවතත් කියලා මුහුදෙන් ඉහළට එසවෙනවාත් සමඟම ආයෙත් ඌට නැංගුරම වීසි කරන්න අපි කතාකරගත්තා. හිතපු විදිහටම ටික වෙලාවකින් කිඹුලා ගොදුරක් සමඟ එසවෙනවාත් සමඟ මම නැංගුරම වීසි කළා. ඒත් සමඟම අපි බෝට්ටුව ඉතා වේගයෙන් පැද්දා. ඒ වේගයත් සමඟ බෝට්ටුවේ හිටපු ගෝලයන් දෙදෙනා ලණුව තදින් අල්ලා සිටියා. ඒ නිසාම මේ අවදානමෙන් බේරෙන්න කිඹුලා එක්වරම කටින් ගොදුර අතහැරියා.” යැයි කොළඹ දිස්ත්‍රික්ක කිමිදුම්කරුවන්ගේ සංගමයේ සභාපති රංජිත් සිල්වා දේශයට අදහස් දක්වමින් පැවසීය.

“කිඹුලා ගොදුර අතහරිනවාත් සමඟ කිමිදුම් සපත්තු පැළඳ සිටි සෝමසිරි මුහුදේ පා වී තිබේ. රංජිත් හෙවත් කළු අයියා ඇතුළු පිරිස මේ උත්සාහ ගත්තේ සෝමසිරිගේ ජීවිතය බේරාගන්නටය. ඒ වෙනුවෙන් ඔවුහු තම ජීවිත අවදානමක් ගත්හ. යම් හෙයකින් ඉතා තදින් අල්ලා සිටින නැංගුරමේ කඹය කැඩී ගියේ නම්, නැතිනම් ගොදුර අතහැරලා කිඹුලාගේ ඊළඟ ප්‍රහාරයට බෝට්ටුවට සිදුවූවා නම් තවත් ජීවිත හතරක් අවදානමට වැටෙන්නට ඉඩ තිබිණි. නමුත් තැනට සුදුසු නුවණත්, වගකීම් සහගත කෙනකු ලෙසත් රංජිත් හෙවත් කළු අයියා ඒ මොහොතේ ක්‍රියාකර තිබුණි. පාවී ඉහළට ආ සෝමසිරිගේ සිරුර කළු අයියා ඇතුළු පිරිස එක්ක බෝට්ටුවට පටවා ගෙන ඉක්මණින් වෙරළට ගෙන ආහ. මුහුදේ කිඹුලා හා පොර බැද සෝමසිරිගේ මුහුණ පුරා සෙම තිබුණි. කිමිදුම් අත් ආවරණ ඇතුළු කිමිදුම් උපකරණ සියල්ලම කිඹුලා හා පොරබදින මොහොතේ ගැලවී ගොස් තිබුණි. සෝමසිරිගේ කිමිදුම් සපත්තු අලුත් නිසාවෙන් එය පාදයෙන් ගැලවී ගොස් තිබුණේ නැත. ඒ වනවිටත් සෝමසිරි මියගොස් සිටියේය. නමුත් අහල පහල වැසියන්ගේ උදව්වෙන් සෝමසිරිට කළුබෝවිල රෝහලට රැගෙන ගොස් තිබුණි. පැය කිහිපයක් සෝමසිරිව කිඹුලා මුහුදු යට තබාගෙන ඉන්න ඇතැයි කියති. උදෑසන හතට පමණ කිමිදුම් කිරීම පටන්ගත් සෝමසිරිව ගොඩබිමට ගෙන ඒම සිදුවූයේ දහයට පමණය. මේ කාලය ඇතුළත කිඹුල් ප්‍රහාරයට ලක්ව ඔහු කොයිතරම් කාලයක් මුහුදේ කිඹුලා හා පොරබදින්නට ඇත්ද...?

“කිඹුලා අල්ලාගන්නට මෙහෙයුමක් දියත් කළා යැයි ප්‍රචාරය වුණා. නමුත් කවුරුවත් එහෙම මෙහෙයුමක් දියත් කළේ නැහැ. මීට අවුරුදු හතරකට පමණ පෙරත් සුමාන ගණනාවක් මුහුදට ආ කිඹුලෙක් වෙනුවෙන් මම ඇතුළු පිරිස එකතුවෙලා කටයුතු කළා. අපේ දැල් ආම්පන්න ගොඩාක් විනාශ වුණා. ඊට ටික දවසකට පස්සේ අඩි දාහතක කිඹුලෙක් මැරිලා බම්බලපිටියේදී ගොඩගහල තිබුණා. බෝට්ටුවකින් මුහුදේ එහාට මෙහාට ගියා කියල කිඹුලව හොයන්න බැහැ. කිඹුලා අඩි විසිහයක් පමණ ගැඹුරකයි හිටියේ. කිඹුලන් ගල්පරවලට බයයි. ඒ නිසා ගල්පරවල රැඳෙනව අඩුයි. ගල්පරේ ඇහෙන මුහුදු රළ සද්දයට කිඹුලා කැමැති නැහැ. කිඹුලාට ගොදුර ගිලගන්න මේ මුහුදේ වතුරේ අමාරුයි. ඒ නිසා සතා ගොඩබිමට එන්න උත්සාහ කරන්න ඇති. සෝමසිරි හරි ශක්තිමත් මනුස්සයෙක්. හැමදාම උදේ රත්මලානේ ඉඳන් වැල්ලවත්තට පයින් යනවා. ඒ ව්‍යායාම් කරලා තමයි ඔහු කිමිදුම් කරන්න යන්නේ. කිඹුල් ප්‍රහාරයට ඉතා ඉක්මණින් විසඳුමක් ලබා දෙන්න ඕනේ. එහෙම නොවුණොත් කිමිදුම්කරුවන් විතරක් නෙවෙයි. මුහුදේ සතුට වෙන්නට එන හැම කෙනකුගේම ජීවිත අනතුරේ...” යැයි රංජිත් සිල්වා මහතා වැඩිදුරටත් දේශයට පැවසීය.

 දිශානි ජයමාලි කරුණාරත්න
සේයාරූ - සුමුදු හේවාපතිරණ