
2022 වසර කොවිඩ් භීතිකාවෙන් තොර වසරක් වන බවයි ලෝකයේ අලුත්ම ආරංචි කියන්නේ. විද්වතුන් බොහෝමයක් කියන්නේ මේ වසරේ සිට කොවිඩ් සමග හරි හරියට නව සාමාන්‍ය ජීවිතයක් අරඹන්න අපට හැකි වන බවයි. දැනටමත් ලෝකයේ විවිධ විශේෂඥ පර්යේෂකයන් ගණනාවක්ම 2022 වසර මැද කාර්තුව වනවිට කොවිඩ් පාලනය කරගත හැකිවනු ඇතැයි අනාවැකි කියා තිබේ.
දැනට ලොවපුරා එන්නත්කරණය පැතිරෙන ආකාරයට සහ කොවිඩ් වැළඳී සුවවන අය බහුල වීමත්, ඒ අය තුළ කොවිඩ් එරෙහි ප්‍රතිදේහ වර්ධනය වීම යන කාරණාවන් සමග වඩාත් ඉක්මන් දිනයකදී කොවිඩ් මර්දනය සඳහා අවශ්‍ය වන සමූහ ප්‍රතිශක්තිය ජන සමාජය තුළ පැතිර යනු ඇතැයි ඔවුහු විශ්වාසය පළකරති.
ඒ අනුව ලොවපුරා එන්නත්කරණයේ ප්‍රතිඵල සාර්ථකව පුළුල්ව පැතිර යාමත්, කොවිඩ් එරෙහි ස්වභාවික ප්‍රතිශක්තිය ජනගහනය තුළින් වර්ධනය වීමත්, ලොව වෛද්‍ය විද්‍යාවේ දියුණුව සහ නව සොයාගැනීම් හේතුවෙනුත් කොවිඩ් 2022 වසරේදී හීලෑවන බවට ලෝකයේ විද්වතුන් රුසක්ම කරුණු පෙන්වා දී ඇත.
අමෙරිකානු ජනාධිපති උපදේශක වෛද්‍ය ඇන්තනි පෞසිද වරෙක පෙන්වා දී ඇත්තේ ජනතාවගේ සහයෝගය ලදහොත් කොවිඩ් වර්ධන මට්ටම කිසියම් පාලනයට ගතහැකි තත්ත්වයක් 2022 දී උදාවිය හැකි බවටය. ඒ අනුව ඉහත දැක්වූ ප්‍රධාන කාරණා 3ක් හේතුවෙන් 2022 වසරේ කොවිඩ් පසුගිය වසරවලට වඩා පාලනයකට ලක්වන අතර එය සාමාන්‍ය සෙම්ප්‍රතිශ්‍යාවක් මට්ටමට හීලෑවනු ඇති බවයි මේ විද්වතුන්ගේ අනුමානය.
මේ වනවිට පැතිර යන ඔමිකොන් මාදලිය සඳහාම විශේෂිත එන්නතක් 2022 වසරේ මුල් මාස කිහිපයේදීම නිකුත්වනු ඇති. ඉන්පසු කොවිඩ් සඳහා වාර්ෂිකව ගතයුතු එන්නතක් කඩිනමින් නිපදවෙනු ඇතැයි ඔවුන් කියයි. මේ හේතුවෙන් කොවිඩ් ලොව යම් යම් රටවල කිසියම් ප්‍රදේශ කිහිපයකට පමණක් වරින්වර සීමාවෙමින් පැතිර යන වාර්ෂික උණ රෝගයක් මට්ටමට සහ ඒ සඳහා පිළියම් සහිත වළක්වාගත හැකි සාමාන්‍ය රෝගයක් බවට පත්වනු ඇතැයි ඔවුන් පෙන්වා දෙනවා.
තවදුරටත් සමාජ දුරස්ථභාවය මුහුණු ආවරණ පැළඳීම සහ වරින්වර සමහර ප්‍රදේශ වසා දැමීම වැනි ආරක්ෂණ උපක්‍රම භාවිතයට සිදු වුවද සමස්තයක් ලෙස කොවිඩ් හීලෑ මට්ටමකට පත්කර ගැනීමට හැකිවෙන බවට අනාවැකි පලකර තිබෙනවා. මේ අතර කොවිඩ් මාරකයෙන් ගැළවීම සඳහා මෙතෙක් සොයමින් සිටි කොවිඩ් පෙත්තක් වෙනුවට පෙති දෙකක්ම දැන් නිපදවා තිබෙනවා. මේ පෙති දෙකටම හදිසි භාවිතය සඳහා දැන් අනුමැතියද ලැබී හමාරයි.
එක්සත් ජනපද ආහාර හා ඖෂධ පරිපාලනය ඉකුත් බ්‍රහස්පතින්දා COVID-19 තදබල රෝග ලක්ෂණ නොපෙන්වන ආසාදිත පුද්ගලයන් සඳහා ප්‍රතිකාර කිරීමට Molnupiravir නමැති Merck සමාගමේ පෙත්ත හදිසි භාවිතය සුදුසු යැයි අනුමත කළා. COVID-19 සඳහා නිපදවූ Paxlovid නමැති ෆයිසර් සමාගමේ ප්‍රති වෛරස් පෙත්තට බදාදා අනුමැතිය ලැබුණා. එයට සමගාමීව Molnupiravir පෙත්ත සඳහාද මෙම අනුමැතිය ලබාදී තිබෙනවා. පෙති දෙකම ලබාදීමට අනුමතව ඇත්තේ දරුණු COVID-19 නිසා රෝහල්ගත වීමේ සහ මරණයට පත්වීමේ වැඩි අවදානමක් ඇති පුද්ගලයින් සඳහා පමණක් වන අතර ඒවා ලබාගත හැක්කේ වෛද්‍ය අනුමැතිය සහිත බෙහෙත් වට්ටෝරු ඉදිරිපත් කිරීමෙන් පමණි.
ඔමික්‍රෝන සඳහාම විශේෂිත එන්නතක් එන වසරේ මුල් මාස කිහිපයේදීම නිකුත්වන්නට නියමිතයි. ඉන්පසු කොවිඩ් සඳහා වාර්ෂික පොදු එන්නතක් කඩිනමින් නිපදවෙනු ඇති. දැනටමත් ඇස්ට්‍රාසෙනෙකා නිෂ්පාදනයක් වන Vaxzevria තුන්වැනි මාත්‍රාව මගින් Omicron වලට එරෙහිව ප්‍රතිදේහ හොඳින් නිපදවන බව තහවුරු වී තිබේ. මෙම එන්නත තුන්වැනි බූස්ටර් මාත්‍රාවක් ලෙස වඩාත් සුදුසු බවට පර්යේෂණාත්මක දත්ත තහවුරු කර තිබේ.
මේ එන්නත සහ එහි ඊළඟ පරම්පරාවේ පර් යේෂණාත්මක මාදිලිය වන AZD2816 තුන්වැනි මාත්‍රාව ලෙස කෙතරම් කාර්යක්ෂමද යන කාරණාව පිළිබඳ මේ වනවිට දත්ත රැස්කරමින් සිටියි. මේ හේතුවෙන් එන වසරේ කොවිඩ් කිසියම් ප්‍රදේශ කිහිපයකට පමණක් වරින්වර සීමා වෙමින් පැතිර යන වාර්ෂික උණ රෝගයක් සහ ඒ සඳහා පිළියම් සහිත වළක්වාගත හැකි සාමාන්‍ය රෝගයක් බවට පත්වනු ඇතැයි විද්වතුන් බොහෝමයක් විශ්වාසය පළ කර සිටිති.
තවදුරටත් සමාජ දුරස්ථභාවය මුහුණු ආවරණ පැළඳීම සහ වරින්වර සමහර ප්‍රදේශ වසා දැමීම වැනි ආරක්ෂණ උපක්‍රම භාවිතයට සිදුවුවද කොවිඩ් වෛරසය සම්බන්ධ භයානක ප්‍රතිඵල අසන්නට ලැබීම 2022දී අවසන් වනු ඇති බවට මේ සමහර විද්වතුන් අනුමාන කර සිටිති. කොවිඩ් පාලනය සඳහා හොඳම අවිය ලෙස ඔවුන් අනුමත කරන්නේ ඒ සඳහා දැනට ඉදිරිපත්ව ඇති එන්නත්කරණ වැඩපිළිවෙළයි.
ඒ අනුව ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානියාද පසුගිය සතියේ පෙන්වා දී තිබුණේ සියලු රටවල් එක්ව සහයෝගයෙන් කටයුතු කළහොත් මෙම වසරේ කොවිඩ් - 19 වසංගතය පාලන කළ හැකි බවය. පොහොසත් රටවල් ආත්මාර්ථකාමී ලෙස ක්‍රියාකරමින් එන්නත් තොග මිලට ගැනීමත් දුප්පත් රටවලට අවශ්‍ය අවම එන්නත් ප්‍රමාණය පවා නොලැබීමත් නිසා කොවිඩ් ලෝකයෙන් තුරන් කිරීමේ වැඩපිළිවෙළට බාධා වී ඇති බවට සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානියා ප්‍රකාශ කර තිබුණේ කලකට පෙර සිටය. පටු ජාතිකවාදී පදනමින් එන්නත් රුස් නොකර සමානව සියලු රටවල් සඳහා ලබාදිය යුතු එන්නත් ලබාදීමෙන් සහ සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුව සාමූහිකව ක්‍රියා කිරීමෙන් කොවිඩ් -19 පාලනය කිරීම සඳහා ඉඩ සැලසෙන බව ඔහු පෙන්වා දී තිබේ.
සුගත් පී. කුලතුංගආරච්චි