2022 ජනවාරි 08 වන සෙනසුරාදා

රුපියල් දෙදාහට විකිණෙන ගෑස් පෝලිමේ තැන

 2022 ජනවාරි 08 වන සෙනසුරාදා, පෙ.ව. 10:00 84

ගෑස් ප්‍රශ්නය තවම විසඳී නැත. විසඳමින් ඇති බවට ගෑස් සමාගම් ජනතාව ඉදිරියේ කීවත් එහෙම විසඳෙන පාටක් හෝ පේන්නට නැත. හැමතැනම ගෑස් පෝලිම්ය. පෝලිම්වල රණ්ඩුය. ඇතැම් ජනතාව කිලෝමීටර් සිය ගණන් ගෙවාගෙන ගෑස් සොයා මහමගය. දැන් ගෑස් වෙනුවට ගෙවල්වල දර ලිප්ය. ගෙවල් පමණක් නොව හෝටල්වලද දර ලිප් වලින් උයන තත්ත්වයට පැමිණ ඇත.

කාලයක් කුණු කූඩේ තිබූ භූමිතෙල් ලිප් දැන් රත්තරන් හා සමානය. ඉලෙක්ට්‍රික් කුකර් ගිනි ගණන්ය. පොෂ් එකට යන නෝනා මහත්වරුන්‍ට දැන් සුපර් මාර්කට්ටුවේද දර මිටිය. මේ සියල්ල ගෑස් නිසා රට තුළ සිදුවූ පෙරළියයි. කොළඹ හතේ නෝනාත් ගමේ අම්මාත් එකම ලිපේ ගින්දරට බටෙන් හුළං පිඹින කාලය වැඩි ඈතක නොවනු ඇත.

කෙසේ වෙතත් ගෑස් නැතිකම අස්සේ රටේ විවිධ තැන්වල ගෑස්වලට විවිධ වංචාය. අධික මිල ගණන්ය. කාර්, වෑන්, බස් විකුණන වෙබ් අඩවිවල අලුතින් පිරවූ ගෑස්වලට කළු කඩ ගණන්ය. මේ දේවල් ගැන ලියන්නට හිතුවේ පාරිභෝගිකයන් විසින් කරනු ලැබූ ඉල්ලීමකට අනුවය.

පසුගිය දිනක ලාෆ් සමාගමේ සභාපති මාධ්‍ය හමුවේ කීවේ ඔවුන්ට අයත් ගෑස් ටැංකි ඉතාමත් සංවිධානාත්මක ලෙස ලිට්රෝ සමාගමේ ඇතැම් නියෝජිතයන් විසින් නිල් කරමින් සිටිනා බවය. මේ සම්බන්ධයෙන් ලිට්රෝ සභාපතිවරයාත්, පොලිස්පතිවරයාත් දැනුවත් කළ බව ඔහු කීවේය. කෙසේ වෙතත් මෙම චෝදනාව සම්බන්ධයෙන් එක්තරා මාධ්‍ය සාකච්ඡාවකදී මාධ්‍යවේදීන් විමසා සිටියත් ලිට්රෝ සභාපතිවරයා කීවේ ඊට වෙනස්ම කතාවකි. එනම් දැනට අධිකරණ හතරක පමණ ලිට්රෝ ගෑස් ටැංකිවල නිල්පාට වෙනස් කර කහපාට කරන සිද්ධීන් ගැන පරීක්ෂණයක් ක්‍රියාත්මක වන බවත් ලිට්රෝ ගෑස් ටැංකි 800,000 කට පමණ සිදුවූ දෙයක් නැති බවත් ඔහු සඳහන් කර සිටියේය. ගෑස් ගැනීමට හැකියාවක් නොමැතිව අසරණ වූ මිනිසුන් කිහිපදෙනකු මෙවැනි ක්‍රියා සිදුකළත් ඉතාමත් සංවිධානාත්මක ලෙස මෙවැනි ක්‍රියා සිදුවන්නේ කෙසේද යන්න දැන් හැමෝටම ප්‍රශ්නයකි. ගෑස් සමාගම් සහ ගෑස් ආනයනය සම්බන්ධයෙන් සිදුවූ විවිධ වංචා දූෂණ සම්බන්ධයෙන් විවිධ තොරතුරු පසුගිය කාලයේ වාර්තා වූ අතර එවන් මොහොතක මෙවැනි සිදුවීම් සංවිධානාත්මක යැයි කීම පුදුම වියයුතු නැත.

ඒ ආකාරයෙන් මහා පරිමාණයෙන් රටපුරා සමාගම් අතර දූෂණ වංචා සිදුවන මොහොතක රටේ ඇතැම් ස්ථානවලට ප්‍රාදේශීය වශයෙන් අමුතු ගණයේ ගනුදෙනු සිදුවෙමින් පවතින බව දැනගන්නට ඇත. දැන් ලොකුම ව්‍යාපාරයක් වී ඇත්තේ ගෑස් පෝලිමේ සිටීමය. උදෑසන පැමිණෙන ගෑස් ලොරියෙන් ගෑස් එකක් මිලදී ගැනීම සඳහා බොහෝදෙනා පොරකති. එහෙත් එලෙස හැමෝම පොරකන්නට කැමැති නැත. මේ නිසා පෝලිම්වල සිටින්නට අකමැති අය සඳහා පෝලිමේ සිට ගෑස් සිලින්ඩරයක් ලබාදීම සඳහා දවසට රුපියල් 2000 කට වඩා අයකරන පිරිස් මේ වනවිට ප්‍රාදේශීය මට්ටමින් බිහිවී ඇත.

විශේෂයෙන් කොළඹ වැනි ප්‍රදේශ තුළ පෝලිමේ සිට ගෑස් ටැංකියක් මිලදී ගෙන ඒම සඳහා 3500 සිට 5000 දක්වා අයකර ගන්නා බව දැනගන්නට ඇත. මේ සඳහා පිරිසක් සූදානම්ව සිටින අතර ඔවුහු දවසට ගෑස් සිලින්ඩර දෙක තුනක් මිලදී ගනිති. එලෙස මිලදී ගන්නේ පෝලිමේ සිටය. ඒ සඳහා ඉහත කී මුදල ලබාගන්නා අතර ඒ ගෑස් සිලින්ඩරයේ මිලට අමතරවය. ඇතැම් අවස්ථාවල මෙම ව්‍යාපාරය ගෑස් විකුණන ආයතනය සමඟ එක්ව සිදුකරන බවට චෝදනාද එල්ල වී තිබේ.

එපමණක් නොව අනෙක් ජාවාරම වන්නේ ගෑස් සිලින්ඩර ඔන්ලයින් තාක්ෂණය ඔස්සේ විකිණීමයි. මේ වනවිට ඔන්ලයින් ඔස්සේ විකිණීමට ඇති හිස් ගෑස් සිලින්ඩරයක මිල 19,000 කට එහාය. අවමය 9000ක් පමණය. මේ ආකාරයෙන් හිස් ගෑස් සිලින්ඩර වැඩි වශයෙන් විකුණන්නේ ඒ ඒ ගෑස් සමාගම විසින් දිවයින පුරා සිදුකරන බෙදාහැරීම්වලට අනුවය. කෙසේ වෙතත් වැඩිම ලංසුව ලැබී ඇත්තේ ලිට්රෝ ගෑස්වලටය. මේ අතර ව්‍යාජ දැන්වීම්ද ඇත. ඒ පිරවූ ගෑස් සහිත සිලින්ඩර විකිණීමට ඇති බව කියාය. ලියුම්කරු එවැනි අංකයකට ඇමතුමක් ලබාදුන් අතර එහෙත් එම පුද්ගලයා පවසන්නේ ගෑස් ටැංකියක් ඇති බවත් එය අවශ්‍ය නම් වෙන්කර තබා ගැනීම සඳහා රු.5000ක මුදලක් ගිණුමකට දමන ලෙසත්ය. එහෙත් එය විශ්වාස කරන්නේ කෙසේදැයි ඇසූවිට ඔහු දුරකථන ඇමතුම විසන්ධි කළේය. පැහැදිලිවම එය ජාවාරමක් වන අතර එවැනි ජාවාරම්කරුවන් කෙතරම් සිටීද යන්න සිතාගත හැක.

කෙසේ වෙතත් මුදලට පෝලිමේ සිටීම්, මුදලට ගෑස් සොයාදීම් විශාල වශයෙන් දිවයින පුරා ඇත. මේ ආකාරයෙන් ගියහොත් ඉදිරියේදී මුදල් රන් කොල්ල කන්නා සේ ගෙදර ඇති ගෑස් සිලින්ඩරය කොයි මොහොතක හෝ හොරාගෙන යා හැක. මේ තත්ත්වය, මේ කළුකඩ මාෆියාව අවම කිරීමට නම් ඉක්මනින් වෙළඳපොළට ගෑස් මුදාහැරිය යුතුය. එසේ නොකරන තාක් ගෑස් යනු තවත් කළු කඩ ගනුදෙනුවක් වනු ඇත.

කොවිඩ් වැක්සිනය පවා වංචාකර එන්නත් කරගත් මිනිස්සු අතර මෙවැනි ව්‍යාපාර බිහිවීම කිසිදා පුදුමයක් නොවනු ඇත. කෙසේ වෙතත් තවත් සති තුනකින් ගෑස් අඩුව පුරවන බව අදාළ සමාගම් පැවසුවත් එය විසඳන බවක් තවම පෙනෙන්නට නැත. මේ ලිපිය ලියන මොහොත වනවිටත් සමාගම් දෙකට අයත් ගෑස් නැව් දෙකක් ශ්‍රී ලංකා මුහුදු තීරයේ ඇත. එහෙත් මේ හිඟයට එය පිළියමක් වේද යන්න ගැටලුවකි.

 ගයාන් ගාල්ලගේ