2022 ජනවාරි 08 වන සෙනසුරාදා

තමන්ට ඉඩමක් නැතුව වවාගත් වට්ටක්කා දන් දුන් ගොවි දෙවියා

 2022 ජනවාරි 08 වන සෙනසුරාදා, පෙ.ව. 10:00 88

මාස ගණනාවක සිට රට පුරා පවතින පොහොර ගැටලුවට තවමත් ස්ථිර විසඳුමක් ලැබී නැත. මේ නිසා ඇතැම් ගොවීන් සිය වගාවලින් ඈත්වූ අතර තවත් පිරිසක් තම වගාවන් කර ගැනීමට නොහැකි වීමෙන් රජය ඇතුළු අදාළ නිලධාරීන්ට එරෙහිව ගම් නගර පුරා උද්ඝෝෂණ පවත්වමින් සිටිති. මෙවැනි වකවානුවක පොළොන්නරු දිස්ත්‍රික්කයේ අරලගංවිල පිඹුරත්තෑව යාය 01 ප්‍රදේශයේ ජීවත් වන ගොවි මහතෙක් සිය මහන්සියෙන් වගා කළ වට්ටක්කා ඵලදාව ගමේ ජනතාවට නොමිලේ බෙදා දුන්නේය.

පෙරමුණ පටබැඳි මුදියන්සේලාගේ සෙනෙවිරත්නට වගා කටයුතු කිරීමට තමන්ට වෙන්වුණු ඉඩමක් නොවීය. ගමේ තවත් ගැමියකුගේ අක්කරයක පමණ ඉඩමක මීට මාස කිහිපයකට පෙර ඔහු වට්ටක්කා වගා කළේය. පොළොන්නරුව නගරයට කිලෝමීටර් තිහක් වැනි දුරකින් ඇතුළට වන්නට පිහිටි වගාව කරගෙන යාමට ඔහුට අවශ්‍ය පහසුකම් කිසිවක් නොවීය. නමුත් ගොවියකු ලෙස හිතේ හයියත් අත්ගුණයත් ඔහු සතු විය. ඒ ගැන ඔහු විශ්වාස කළේය.

“මට වගා කරන්න ඉඩම් තිබුණේ නැහැ. කෙනෙක්ගෙන් ඉල්ලගෙන මම මේ වගාව කළා. අක්කරයක පමණ ඉඩමක මම මේ පාර වට්ටක්කා වගා කළා. මේ වෙනුවෙන් මම මූලික පොහොර කිසිම දෙයක් දැම්මේ නැහැ. තෙල් ගැහුවෙත් නැහැ. මම බිම සකස් කරලා කරෙන් වතුර ඇදලා තමයි මේ වගාව පටන් ගත්තේ.” යැයි පී.පී.එම්. සෙනෙවිරත්න මහතා දේශයට පැවසීය.

වගාව සඳහා අවශ්‍ය පොහොර, තෙල් මිලදී ගැනීමට සෙනෙවිරත්නට මුදල් තිබුණේ නැත. එහෙත් හිතේ හයිය නිසාම ඔහු මහ අව්වට පිච්චෙමින් බිම සකස් කළේය. වගා භූමියේ සිට කිලෝමීටර් භාගයක පමණ දුරින් පිහිටා ඇති ළිඳෙන් ඔහු වගාවට ජලය ගෙන ආවේ සිය කර මතිනි. අඩුම තරමේ වගාවට අවශ්‍ය ජලය සපයා ගැනීමට සෙනෙවිරත්නට ජල පොම්පයක් හෝ නොමැත. වර්ෂාව නොමැති කාලයේදී වගා කිරීම ඇරඹූ ඔහුට මෙලෙස අක්කරයක් පුරා වගා කළ වට්ටක්කා පැළවලට කර මතින් අදිමින් ජලය යෙදීම ලෙහෙසි පහසු කාරියක් නොවීය. නමුත් ඔහු වගා කටයුතු කරමින් වට්ටක්කා පැළ කර ගත්තේය.

“මුලින් කරෙන් වතුර ඇදලා වට්ටක්කා පැළ ටික පැළ කර ගත්තා. ඊළඟට වර්ෂාවත් එක්ක ලැබුණු අහස් දියෙන් බෝග ටික හැදුණා. පැළවලට අවශ්‍ය පොහොර අපිට ගන්න තිබුණෙත් නැහැ. පොහොර ගන්න සල්ලිත් නැහැ. ඒ නිසා වට්ටක්කා පැළ ස්වභාවිකව හැදුණා. නිතරම මම පැළ ගැන හොයලා බැලුවා. රෑට නිදි මරාගෙන පැළ රැක්කා. නිසි කාලයේදී මට වට්ටක්කා අස්වැන්න ලබාගන්න පුළුවන් වුණා.” යැයි සෙනෙවිරත්න මහතා වැඩිදුරටත් පැවසීය.

ලබාගත් අස්වැන්න සෙනෙවිරත්න නිවෙසට ගෙන ආවේය. 

ගිය වසරේ අවසන් දින කිහිපයේදී පිඹුරත්තෑව ගම්වැසියන් බොහොමයක් ජීවත් වූයේ ගොවිතැන් කටයුතුවල යෙදෙමිනි. වී, බඩඉරිඟු මෙන්ම එළවළු වගාවෙන් ජීවිතය සරිකරගත් ඔවුන්ගේ ආර්ථිකය පවතින අර්බුදකාරී තත්ත්වයත් සමඟ පහතට වැටිණි. පොහොර හිඟතාවයත්, ප්‍රමිතියෙන් යුත් පොහොර නොමැතිකමක් නිසා සාර්ථක අස්වැන්නක් ලබාගැනීමට ඔවුන්ට නොහැකි විය. ඇතැම්හු ගොවිතැනින් ඈත්වූහ. මේ නිසාම එළඹෙන නව වසරේ සිය අස්වැන්නෙන් කොටසක් ගමේ මිනිසුන් සමඟ බෙදාගන්නට සෙනෙවිරත්න ගොවි මහතා අදහස් කළේය.

“අපේ ගමේ බොහෝ අය ගොවීන්. මේ පවතින තත්ත්වය නිසා මුළු ගමම ඉන්නේ අසරණවයි. ඒ නිසා මට ලැබුණු අස්වැන්න ගමේ මිනිස්සු එක්ක බෙදාගන්නට මට හිතුණා. මට දුවෙක් ඉන්නවා. ඒ අයත් මේ වගාවලට උදව් කරනවා. මම මේ ගැන මගේ ගෙදර අයට කිව්වා. මගේ බිරිඳ, දුව, බෑනා මේවා නොමිලේ ලබාදෙන එකට කැමැති වුණා. මම අපේ පන්සලේ හාමුදුරුවන් මුණගැහිලා මේ අදහස කිව්වා. අම්පාරේ කුසලධම්මාලංකාර හාමුදුරැවෝ මේ අදහසට කැමැති වුණා. “බොහොම හොඳයි දායක මහත්තයෝ.. මේ අවස්ථාවේදි මේ කරන්නෙ ලොකු පුණ්‍යකර්මයක්” කියලා උන්වහන්සේ කිව්වා. මේ කටයුත්තට අපේ හාමුදුරුවන්ගෙනුත් උපදෙස් ලැබුණා. ඒ අනුව තමයි 2022 ජනවාරි පළවැනිදා මම මේ වට්ටක්කා දන්සල දුන්නේ. ගමේ බොහෝ අය ආවා. ඒ අය ගොඩක් සතුටු වුණා. අඩුම තරමේ ජනවාරි පළවැනිදා තම්බලා හරි කන්න වට්ටක්කා දීපු එක ගැන මට තියෙන්නෙ ලොකු සතුටක්.” යැයි පී.පී. සෙනෙවිරත්න මහතා දේශයට පැවසීය.

නව වසර උදාවත් සමඟ සෙනෙවිරත්නගේ (වට්ටක්කා දන්සලට) පැමිණි පිරිස විශාලය. ඔවුහු ඉතා කැමැත්තෙන් වට්ටක්කා ලබා ගත්හ. සාමාන්‍යයෙන් අරලගංවිල නගරයේ වෙළෙඳුන් ද පිඹුරත්තෑවට පැමිණ වට්ටක්කා ඇතුළු එළවළු මිලදී ගනිති. සෙනෙවිරත්නට වෙනදා මෙන් තමන් ලද අස්වැන්න මෙම වෙළෙඳුන්ට ලබා දී හෝ අරලගංවිල පොළට ගෙන ගොස් විකුණා හෝ මුදල් ලබාගැනීමේ හැකියාව තිබුණි. නමුත් මුදල්වලට වඩා සෙනෙවිරත්නට ගමේ මිනිසුන්ගේ කුසගින්න නිවා එළඹෙන නව වසර සුබ වසරක් කිරීමට වුවමනා විය. මුදල්වලට වඩා ඔහු තුළ පැවතියේ මනුස්සකමයි. 

මේ වන විට ඔහුගේ අස්වැන්නේ ඵලදාව නෙලා අවසන්ය. ඒ නිසාම මේ දිනවල සෙනෙවිරත්න කුඹුරු වැඩවල නිරත වෙයි. අදටත් ඔහුට වගා කිරීමට ඉඩමක් කැබැල්ලක් නොමැත. වගාවට අවශ්‍ය පොහොර නැත. ජල පොම්පයක්, තෙල් ඉසින මැෂිමක් නැත. ඒ සියල්ල නොතිබුණද ඔහුට හිතේ හයිය ඇත. අඩුම තරමින් මේ අවශ්‍ය පහසුකම් කවුරුන් හෝ මේ ධෛර්යවන්ත ගොවි මහතාට ලබා දෙන්නේ නම් එය නොලැබෙන පොහොර වෙනුවෙන් උද්ඝෝෂණ පවත්වනවා වෙනුවට ලැබී ඇති මහ පොළොවෙන් ඵලදාව නෙලාගැනීමට මහඟු උපකාරයක් වනු ඇත. 

ඔහුගේ ලිපිනය මෙසේය.
පී.පී.එම්. සෙනෙවිරත්න, 102/2, යාය 01, පිඹුරත්තෑව.

 දිශානි ජයමාලි කරුණාරත්න