2022 ජනවාරි 08 වන සෙනසුරාදා

මැටි ලිප කරළියට

 2022 ජනවාරි 08 වන සෙනසුරාදා, පෙ.ව. 10:00 360

අපි කන හැටි ලිපා දනී යන්න හැම කාලයටම එක සේ වලංගු කියමනකි. ජනතා මනාපයෙන් පත් වූ දේශපාලකයන් මෙන්ම ඇතැම් ගෑස් සමාගම් ජනතාවට ගෑස් පෙන්වා අවසන් නැත. තැනින් තැන ගෑස් ලිප් පිපිරීම්වල නිමක්ද නැත. මෙම ප්‍රශ්නයෙන් හෙම්බත් වී සිටින ජනතාව මේ වනවිට ගෑස් ලිප් අතහැර විකල්ප සෙවීමට දිවා රෑ නොබලා වෙහෙසෙති. කාර්යබහුල ජීවන රටාවකට හුරු වූ ජනතාව පහසුවෙන් සිය ආහාර පිසීම සඳහා ගෑස් ලිප භාවිත කළද වර්තමානයේ තැන තැන ගෑස් පිපිරීම් හේතුවෙන් තැති ගැන්වී ඔවුහු ගෑස් ලිපට සමුදී වෙනත් ක්‍රමවලට ආහාර පිසීමට උනන්දු වී සිටිති. 

වර්තමානයේ ජනතාව අතර භූමිතෙල් ලිප් භාවිතය ඉහළ යාමත් සමග ගෑස් පෝලිම්වල සිටි ජනතාව ඉන්පසුව භූමිතෙල් පෝලිම්වල සිටියහ. රුපියල් 1000-1500 ක් අතර මිලකට තිබූ භූමිතෙල් ලිප් මේ වනවිට වෙළෙඳපොළේ රුපියල් 6000-8000 අතර ඉතා අධික අසාධාරණ මිලකට අලෙවි වන බවට ජනතාව චෝදනා කළහ. ගෑස් ලිපට බයේ පාවිච්චි කළ භූමිතෙල් ලිපෙන් ගිනි ඇවිලී ගැබිනි කාන්තාවක මියගිය පුවතක්ද ඉකුත් දා වාර්තා විය.

එදාවේල ගැටගහගන්න ජනතාවට ආහාර පිසීම සඳහා හොට් ප්ලේට්, ඉන්ඩස්ට්‍රියල් කුකර් වැනි නවීන යන්ත්‍ර මිලදී ගැනීමට වත්කමක් නැත. ඇති හැකි මිනිසුන් වෙළෙඳපොළෙන් නවීන යන්ත්‍ර මිලදී ගෙන ආහාර පිසුවද මේ රටේ බහුතරයක් ආහාර පිසීමට ගෑස් ලිප වෙනුවට වෙනත් ලිපක් තෝරාගනිති. භූමිතෙල් ලිපේ උයන්න භූමිතෙල් පෝලිම්වල දවස තිස්සේ බැට කා අවසානයේ ඇතැම් ගෘහණියෝ සියලු ආහාර රයිස් කුකරය මගින් පිසිති. නිවෙසක එක් රයිස් කුකරයක් පමණක් පවතින අවස්ථාවක වෑංජන එකින් එක පිස අවසානයේ බත පිසගැනීමට හුරු වී සිටිති. 

ඇතැමුන් ගෑස් ටැංකි උඩ ලිපක් සාදා මෙවර නව වසරේ කිරි උතුරා තිබෙනු අපි දුටුවෙමු. ඇතැමුන් නව වසරේ හීටරයෙන් කිරි ඉතිර වූ බව දැක්වෙන අවස්ථාද සමාජ මාධ්‍යයේ දක්නට ලැබිණ. එම කාර්යයන් ආදර්ශවත් කාර්යයන් යැයි කිසිදු ලෙසකින් අනුමත කළ නොහැකි නමුදු එවන් උත්සාහවලින් පැහැදිලි වනුයේ ජනතාවට පත් වී සිටින අසරණ තත්ත්වයයි. රටක් ලෙස අප මුහුණ පා සිටින අර්බුදයේ තරමයි. වර්තමානයේ විවිධ නිර්මාණකරුවන් විසින් නව නිර්මාණ සොයාගනු ලැබීමත් සමඟ දුම, දැලි නැති ලිප් අධික මුදලට වෙළෙඳපොළේ දැකිය හැකිය. දැලි, දුම නැතිව දර පොල්කටු හෝ ඇවිලෙන ඕනෑම දහනයක් භාවිතයෙන් කුඩා ඉඩ ප්‍රමාණයක පහසුවෙන් තබාගැනීමට හැකි නවීන උදුනක් මේ වනවිට වෙළෙඳපොළේ අලෙවියේ තිබේ.
නව නිර්මාණ සොයා ගැනීමත් ඒ හරහා නව ව්‍යවසායකයන් බිහිවීමත් රටක් ලෙස සතුටු විය හැකි කරුණකි. වර්තමානයේ දේශීය කුඹල් කර්මාන්තයට නැවතත් හොඳ කලක් උදාවී තිබේ. ඒ විවිධ ආකාරයෙන් කෑම පිසීම අත්හදා බැලීම් කළ ගෘහණියන්ගේ අවසන් තීරණය මෙන්ම හොඳම තීරණය බවට මැටි ලිප් තෝරා ගැනීමෙනි.

කුඹුක්ගැටේ, පඬුවස්නුව‍ර, හැලඹවටව, පුලිච්චාකුලම, තඹුත්තේගම, මොලගොඩ, නාඋල, දොඩන්අත්තාවල, වීරකැටිය, උඩුකිරිවෙල, බෙලිඅත්ත, පුවක්දණ්ඩාව, බියගම, තිත්තවැල්ල, කරුවලගස්වැව, දංකොටුව යන ගම්මානවල කර්මාන්තකරුවෝ විශාල පිරිසක් මැටි කර්මාන්තයෙන් දිවි සරිකර ගනිති. පුරාණ ගැමියන්ගේ ජීවන රටාවට මැටි කර්මාන්තය නැතුවම බැරි දෙයක් විය. වතුර ගෙන එන කළය, වතුර තබාගැනීමට ගුරුලේත්තුව් සිට මැටි ලිප දක්වා බොහෝ දේ නිමවූයේ මැටියෙනි. 
එහෙත්  පසුගිය කාලවල ජනතාව ගෑස් ලිප් භාවිතයට හුරුවීමෙන් සහ මැටි ලබාගැනීමේ දුෂ්කරතා හමුවේ හතේ හත වැදී ඔවුහු කබලෙන් ලිපට වැටී සිටියහ. මේ වනවිට මෙම ගම්මානවලට නව අරුණලු වැටී මැටි ලිප් ඇතුළු මැටි භාණ්ඩ වැඩි වශයෙන් අලෙවි වන බව කර්මාන්තකරුවෝ පවසති. ගමේ ගොඩේ වළං කඩවල අලෙවි වූ වළං ලිප් දරමිටි ආදියෙන් මේ වනවිට අගනුවර සුපිරි වෙළෙඳසල්වල රාක්ක පිරී තිබේ. කොළඹ නගරයේ සුපිරි වෙළෙඳසල් රුසක රාක්කවල දරමිටි සහ ලිප් විකිණීමට තබා තිබෙනු දැකිය හැකිය. කැලයට ගොස් බරටම දර කඩාගෙන ආ සංස්කෘතියකට හිමිකම් කියූ අපිට වර්තමානයේ සුපර්මාර්කට්වලින් දර මිටිය රුපියල් 250-700 අතර මිලකට මිලදී ගැනීමට සිදුවී තිබීම කනගාටුදායකය. ජනතාවට පාන් කියාගන්න බැරිව සිටින කාලයක කළුකඩ මුදලාලිලා මැටි ලිප්වලින් අසාධාරණ ලෙස ලාබ ලැබීමට යාම අනුමත කළ නොහැකිය. 

කෙසේ හෝ ජනතාව යළි මැටි භාණ්ඩ පරිභෝජනයට යොමුවීම යහපත් ලකුණකි. පුත්තලම දිස්ත්‍රික්කයේ පුලිච්චාකුලම ගම්මානයේ කුඹල් කර්මාන්තකරුවෝ වසර 50කට 60කට වැඩි කාලයක් තිස්සේ පාරම්පරිකව මෙරට මැටි ලිප් නිෂ්පාදනය සම්බන්ධයෙන් ප්‍රසිද්ධියක් උසුලති. මැටි ලිප් නිෂ්පාදනයට යොදාගැනෙන ඕ වැල්ල නමැති මැටි වර්ගය සපයා ගැනීමට නොහැකි වීමෙන් ඉකුත් කාලවල ඔවුහු දැඩි දුෂ්කරතාවට පත් වී සිටියහ. එහෙත් මේ වනවිට වෙළෙඳපොළ ඉල්ලුම වැඩිවීමත් සමග මැටි නිෂ්පාදනවලට හොඳ වෙළෙඳපොළක් නිර්මාණය වී ඇතැයි ඔවුහු කියති. වර්තමානයේ කුඩා මැටි ලිපක් රුපියල් 50 - 100 අතර මිලකට අලෙවි වන බවත් ලිප් දෙකේ මැටි ලිප රුපියල් 200 - 400 අතර මිලකට වෙළෙඳපොළේ අලෙවි වන බවත් වාර්තා වේ.

මෙම අර්බුදය හමුවේ ගම්වල ගෙවල්වල ඉතාම පහසුවෙන් මිදුලේ කොතැනක හෝ ලිපක් සාදා ගත්තද කොළඹ ඇතුළු නාගරික නිවාසවල සහ නිවාස සංකීර්ණවල නිවැසියෝ දර ලිප් භාවිතය පිළිබඳ විවිධ අභියෝගයන්ට මුහුණ පා සිටිති. එනම් බොහෝ නිවාස පේළිවල සහ නිවාස සංකීර්ණවල ගින්දර භාවිතය සම්බන්ධයෙන් විවිධ නීති රෙගුලාසි ක්‍රියාත්මක වීමෙන් ඔවුනට දර ලිප් භාවිතයේ නිදහස අහිමි වී ඇත. එලෙස පේලි නිවාසවල ගින්දර  ලිප් භාවිත කළත් අවදානම ඊටත් ඉහළය. දර ලිප්වලින් වහනය වන දුමෙන් එක ළඟ පිහිටි නාගරික නිවාසවලට දැඩි බලපෑමක් ඇති කරයි. වර්තමානයේ බොහෝ නාගරික නිවාස ටයිල් කර තිබේ. ටයිල් මතට ගිනි පුපුරු වැටීමෙන් ටයිල් රත් වී පුපුරයි. ඒ හේතුවෙන් බිත්ති දෙකෙන් වෙන්වන නාගරික නිවාසවල මැටි ලිපක් තබාගැනීමට ඉඩක් නොමැතිව නාගරිකයෝ දැඩි අසීරුතාවකට මුහුණ පා සිටිති.

නාගරික කාර්යබහුල ගෘහණියන්ගේ පහසුව සඳහා සුපිරි වෙළෙඳසැල්වල දිනපතා මස් මාළු තුනපහ දමා ඒදලා  තිබේ. එළවළු පලතුරු කපා, පොල් ගා පැකට් කර තිබේ. එම ආහාර පැකට් සඳහා කොළඹ විශාල ඉල්ලුමක් තිබේ. එවන් කාර්යයන් පහසුවෙන් කරගැනීමට වෙරදරන නාගරික නිවාසවල ගෘහණියන් දැලි නාගෙන දරලිප් පත්තු කිරීමට උත්සාහ දරාවි යන්න අපේක්ෂා කළ නොහැකිය. නිරෝගී සෞඛ්‍ය සම්පන්න පරපුරක් බිහිකරලීම උදෙසා බාධක මගහරවාගෙන මැටි ලිප් භාවිතය වැඩි කිරීම රටක අනාගතයට හොඳ ආයෝජනයකි. මේ සම්බන්ධයෙන් වත්මන් රජය විවිධ සාධනීය ප්‍රතිපත්ති තීරණවලට එළැඹී සිටින අතර මැටි කර්මාන්තයේ දියුණුව උදෙසා විශාල දායකත්වයක් දරයි. 

වර්තමානයේ මැටි නිෂ්පාදනයේ ප්‍රගතිය සම්බන්ධයෙන් වේවැල්, පිත්තල මැටි, ලී බඩු සහ ග්‍රාමීය කර්මාන්ත සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර මහතාගෙන් කළ විමසීමේදී ඒ මහතා මෙසේ පැවසීය. 

අපි ධනාත්මකව සිතන්න ඕනෑ. පුවත්පත්වල දාලා තිබුණා මැටි ලිප් සහ දර සුපර්මාර්කට්වල විකුණන්න තියෙනවා කියලා. මේවා එකපාරට ඇති කරපු දේවල් නෙමේ. මේවා අපි අමාත්‍යංශය බාරගැනීමත් එක්ක ඇතිවූ නව ප්‍රවණතා සමඟ ඇති වූ තත්ත්වයක්. මිනිස්සු ඒ අයගේ වෙළෙඳාම් තුළ ව්‍යවසායකයන් බවට පත්වීම ගැන සන්තෝසයට පත්වෙනවා. ඔවුන් වෙළෙඳපොළ අවස්ථාව හඳුනාගැනීම වඩාත් වැදගත්. ආනයන ආදේශක භාණ්ඩ නිෂ්පාදනය කළ යුතුයි කියන තැන අපි බොහොම පැහැදිලිව මුල සිට හිටියා. ඉස්සර අපේ ගෙවල්වල භාවිතා කළේ මැටි භාණ්ඩ. ඒවා නැවත ජනතාව නැඹුරුවීම ගැන සහ නිෂ්පාදකයන් මේ තැනට පෙළඹීම ගැන අපි සන්තෝස වෙනවා යැයි අමාත්‍යවරයා පැවසීය.

► සසංක චලන ගිම්හාන