2022 ජනවාරි 08 වන සෙනසුරාදා

අන්තවාදයක අතරමං නොවී හරි මඟක යන්න

 2022 ජනවාරි 08 වන සෙනසුරාදා, පෙ.ව. 10:00 70

සෑම කෙනෙකුම යම් තරමක හීනමානයකින් උපත ලබන බවත්, එය ළමාවියේ සිටම මනස තුළ තැන්පත්ව ඇති බවත් ඇල්ෆඩ් ඇඩ්ලර් නම් විශ්ලේෂී මනෝවිද්‍යාඥයා පවසා තියෙනවා. මනෝවිද්‍යාව තුළ භාවිත ''හීනමානය'' යන පදය මනාව විග්‍රහ කරලා තියෙන්නෙ ඇල්ෆ්‍රඩ් ඇඩ්ලර් නම් මනෝවිද්‍යාඥයා විසින්. ඔහු සිග්මන්ඩ් ෆ්‍රොයිඩ්ගේ අනුගාමිකයෙක්.

හීනමානය කියන්නෙ අඩු ආත්ම අභිමානය. ඇමරිකානු මනෝවිද්‍යා සංගමය (APA) මගින් අර්ථ දක්වන ආකාරයට හීනමානය යන්නෙන් අදහස් වන්නේ ''සත්‍ය හෝ සිතින් මවාගත් ශාරීරික හෝ මානසික ඌනතාවයක් නිසා ආත්ම අභිමානය සහ අනාරක්ෂිතභාවය පිළිබඳ මූලික හැඟීමක්.''

ඔබට හීනමානයක් තිබේ නම්, ඔබට අත්විඳිය හැකි පොදු ලක්ෂණ කිහිපයක් මෙසේ දක්වන්න පුළුවන්. අනාරක්ෂිත බව සහ අඩු ආත්ම අභිමානය, ඔබේ ඉලක්ක කරා ළඟා වීමට නොහැකි වීම, නරකම දේ උපකල්පනය කිරීම, සමාජ තත්ත්වයන් තුළ ඉවත්වීමේ අවශ්‍යතාවය දැනීම, බොහෝවිට ඔබ ගැනම පහත් හැඟීමක් ඇතිවීම, කාංසාව සහ මානසික අවපීඩනය අත්විඳීම, විවේචනයට සංවේදී වීම, පැසසුම් බැරෑරුම් ලෙස නොසලකයි, නිතරම අනුන්ගේ වැරදි සොයයි, වැරදි පිළිගැනීමට අපහසු වීම.
හීනමානය ඔබට පමණක් නොව ඔබ අවට සිටින අයටද රිදවන්න පුළුවන්. ඊට අමතරව, හීනමානය වර්ධනය වීම කාංසාව සහ මානසික අවපීඩනය වැනි මානසික සෞඛ්‍ය ආබාධවලට තුඩු දිය හැකි බැවින්, ඔබ හීනමානය සමඟ පොරබදමින් සිටින බව ඔබට හැඟේ නම් හෝ ඔබේ හැඟීම් හරහා ක්‍රියා කිරීමට වෙනත් ඵලදායී ක්‍රම සොයාගැනීම සඳහා උපකාර පැතීම වැදගත් වෙනවා.

උච්චමානය යන්නෙන් අදහස් කරන්නෙ යම් පුද්ගලයෙකු අන් අයට වඩා තමන් කෙසේ හෝ උසස් යැයි විශ්වාස කරන හැසිරීමක්. මෙම මානසික තත්ත්වය ඇති පුද්ගලයින් බොහෝ විට තමන් ගැන අතිශයෝක්තියෙන් යුත් අදහස් පවතිනවා. ඔවුන්ගේ හැකියාවන් සහ ජයග්‍රහණය අන් අයගේ හැකියාවන් අභිබවා යන බව ඔවුන් විශ්වාස කරනවා.

උච්චමානය කියන්නෙ අප ඉදිරියට යන්නට, ජයග්‍රහණ ලබන්නට අන් අය සමඟ අරගල කරන විට සාර්ථකත්වය සඳහා තම උත්සාහයන්  ප්‍රමාණවත් නොවන විට ඒවායෙන් මනසට එල්ලවන මානසික පීඩනයෙන් මනස ආරක්ෂා කර ගැනීම සඳහා ආරක්ෂක යාන්ත්‍රණයක් ලෙස උච්චමානය ඉස්මතුවන බව  ඇල්ෆඩ් ඇඩ්ලර් නම් මනෝවිද්‍යාඥයා පෙන්වා දීලා තියෙනවා. කෙටියෙන් කිවහොත්, උච්චමානය ඇති පුද්ගලයින් බොහෝ විට අවට සිටින පුද්ගලයින් කෙරෙහි පුරසාරම් දොඩන ආකල්ප පවතිනවා. මේක පෘථජ්ජන මනුෂ්‍ය ස්වභාවයක්. හැම කෙනෙක්ම කැමති තමා පිළිබඳව කතා කරන්න. මෙම තත්ත්වය අවම වුණාම හීනමානය ඇතිවෙන්න පුළුවන්. වැඩිවුණාම උච්චමානය ඇතිවෙන්න පුළුවන්.

ඔබට උච්චමානය තිබේදැයි හඳුනාගන්නේ කෙසේද? උච්චමානයට පහත ලක්ෂණ ඇතුළත් වෙනවා. ස්වයං-වටිනාකම පිළිබඳ ඉහළ තක්සේරු කිරීම්, යථාර්ථය විසින් අනුබලය නොලබන පුරසාරම් දොඩන ප්‍රකාශ, පෙනුම කෙරෙහි අවධානය යොමු කිරීම, තමා ගැන ඕනෑවට වඩා උසස් මතය, අධිකාරියේ ස්වයං ප්‍රතිරූපයක් පැවතීම, අන් අයට ඇහුම්කන් දීමට අකමැති වීම, මනෝභාවය වෙනස් වීම, යටින් පවතින අඩු ආත්ම අභිමානය හෝ පහත්කමේ හැඟීම්, අන් අයට වඩා උසස් ලෙස ක්‍රියාකරන සහ අන් අයව පහත් ලෙස සලකන පුද්ගලයෙකු සැබවින්ම පහත් හැඟීමක් සඟවා ගන්නා බව ඇඩ්ලර් පවසා තියෙනවා.

මනෝවිද්‍යාවේ උප විෂයයක් තියෙනවා පුද්ගල මනෝවිද්‍යාව කියලා. පුද්ගල මනෝවිද්‍යාව පදනම් වෙලා තියෙන්නෙ හීනමානය යන හැඟීමෙන් මිදීමට උත්සාහ කරන අදහස මත, මෙය අපව කුසලතා ප්‍රගුණ කිරීමට සහ සාර්ථක අර්ථවත් ජීවිතයක් නිර්මාණය කිරීමට අපව යොමු කරනවා. මෙමගින් හීනමානය යන හැඟීමෙන් මිදී අපට අවශ්‍ය ජීවිතය නිර්මාණය කර ගැනීමට අපව පොළඹවනවා. මෙම සන්දර්භය තුළ, උච්චමානය යනු කෙනෙකුගේ අරමුණු සාක්ෂාත් කර ගැනීමට අසමත් වීමේ ප්‍රතිඵලයක් හෝ ප්‍රතික්‍රියාවක්. 

උච්චමානය යනු නිශ්චිත ක්ෂේත්‍රයක සැබෑ කුසලතාවයක්, සාර්ථකත්වයක් හෝ දක්ෂතාවයක් තිබෙන බව විශ්වාස කිරීම නම් අව්‍යාජ විශ්වාසයට වඩා වෙනස් එකක්. උච්චමානය යනු සුළු හෝ සාර්ථකත්වයක්, ජයග්‍රහණයක් හෝ දක්ෂතාවයක් නොමැති විට ඇතිවන ව්‍යාජ විශ්වාසයක්.

උච්චමානය ඇතිවීමට හේතු මොනවද කියන කාරණය ගැනත් අවධානය යොමු කළ යුතුයි. ඕනෑම කෙනෙකුට උච්චමානය වර්ධනය වීමට විවිධ අවස්ථා හෝ සිදුවීම් මූලික හේතු වෙන්න පුළුවන්. නිදසුනක් වශයෙන් ගතහොත් එය බහු අසාර්ථකත්වයේ ප්‍රතිඵලයක් වෙන්න පුළුවන්. පුද්ගලයෙකු නිශ්චිත ඉලක්කයක් සම්පූර්ණ කිරීමට හෝ අපේක්ෂිත ප්‍රතිඵලයක ලබාගැනීමට උත්සාහ කරනවා. නමුත් ඔවුන් සාර්ථක වෙන්නෙ නැහැ. අසාර්ථකත්වය නිසා ඇතිවන ආතතිය සහ කාංසාව පාලනය කිරීමට ඊට ඉහළින් සිටින බව මවාපාමින් කටයුතු කරන්නට ඔවුන් උත්සාහ කරනවා. මේ විදිහට හැසුරුණ විට ඔවුන්ගේ අසාර්ථකත්වයන්ගෙන් ඔවුන් ආරක්ෂා වී ඇති බවක් ඔවුන්ට හැඟේ නම්, අනාගතයේදී එය නැවත නැවතත් කරන්නට යොමුවෙන්න පුළුවන්. කෙටියෙන් කිවහොත්, පුරසාරම් දෙඩීමෙන් සහ අන් අයට වඩා හොඳ යැයි මවා පෑමෙන්, නුසුදුසුකමේ හැඟීම්වලින් මිදීමට ඔවුන් ඉගෙන ගන්නවා. නමුත් මෙම පුද්ගලයා අවට සිටින පුද්ගලයින්ට, උඩඟු, අහංකාර කෙනෙක් ලෙස පෙනෙන්නට පුළුවන්.
මෙවැනි හැසිරීම් කුඩා අවධියේදී ආරම්භ වෙන්න පුළුවන්. දරුවෙකු අභියෝග හා වෙනස්කම් සමඟ සාර්ථකව කටයුතු කිරීමට ඉගෙනගන්නා විට, තමාගේ තත්ත්වය, කුසලතා ප්‍රමාණවත් නොවීම හෝ බිය පිළිබඳ හැඟීම් යටපත් කිරීමට ඉගෙනගන්න යොමු වෙනවා. එවිට උච්චමානය වර්ධනය වෙනවා. උච්චමානය ජීවිතයේ පසුකාලීනව වුණත් වර්ධනය වෙන්න පුළුවන්. නව යොවුන් වියේ සහ වැඩිහිටියන් ලෙස, පුද්ගලයෙකුට නව මිනිසුන් අතර අලුත් දේවල් අත්හදා බැලීමට, බොහෝ දේවල් කිරීමට  බොහෝ අවස්ථාවන් තියෙනවා. ඒව සාර්ථක ලෙස කරන්නට නොහැකි වනවිට පුද්ගලයෙකුට හුදකලා බවක් හෝ අඩුපාඩුවක් දැනෙන්නට පටන් ගන්නවා. එවිට උච්චමානය වර්ධනය වෙනවා.

උච්චමානය මානසික රෝගයක් නොවේ. එය මානසික අක්‍රමතා පිළිබඳ රෝග විනිශ්චය සහ සංඛ්‍යානමය අත්පොතෙහි 5 වැනි සංස්කරණය (DSM-5) තුළ අන්තර්ගත වෙලා නැහැ. මෙම අත්පොත මානසික සෞඛ්‍ය විශේෂඥයින්ට සහ සෞඛ්‍ය සේවා සපයන්නන්ට මානසික සෞඛ්‍ය ආබාධ ගණනාවක් හඳුනා ගැනීමට භාවිත කළ හැකි පොතක්. DSM-5 සෞඛ්‍ය සේවා සපයන්නන්ට සුදුසු ප්‍රතිකාර තීරණය කිරීමටද උපකාර කරනවා.

මානසික සෞඛ්‍ය විශේෂඥයෙක් පුද්ගලයෙකුට උච්චමානය තිබේද යන්න තීරණය කිරීමට සාධක එකතුවක් භාවිත කරයි. මේවාට නිරීක්ෂණය කරන ලද හැසිරීම් සහ එකින් එක සැසිවාරයේදී ඇගයීමක් ඇතුළත් වෙනවා. මෙහෙම තත්ත්වයක් හඳුනාගන්නට මිතුරන් සහ පවුලේ සාමාජිකයන් සමඟ සංවාදය ප්‍රයෝජනවත් වෙන්න පුළුවන්.

උච්චමානයේ ඇතැම් රෝග ලක්ෂණ අනෙකුත් මානසික අක්‍රමතාවන්ගෙ රෝග ලක්ෂණවලට සමාන වෙනවා. මේවාට නාසිස්ම පෞරුෂ අක්‍රමතාව (Narcissistic Personality Disorder), භින්නෝන්මාදය (Schizophrenia), සහ ද්විධ්‍රුව මනෝභාව අක්‍රමතාව (Bipolar Disorder) ඇතුළත් වෙනවා. උච්චමානයට මෙන් නොව, ඉහත රෝගවලට රෝග විනිශ්චය සඳහා නිශ්චිත නිර්ණායක තියෙනවා.

උච්චමානයට ප්‍රතිකාර කළ හැකිද? උච්චමානයට  සම්මත ප්‍රතිකාරයක් නැහැ. එසේ වන්නෙ එය නිල රෝග විනිශ්චයක් ලෙස නොසැලකෙන බැවින්. කෙසේ වෙතත්, සෞඛ්‍ය සේවා වෘත්තිකයෙකුට හෝ මනෝඋපදේශනය හෝ මනෝප්‍රතිකාර සපයන්නෙකුට උච්චමානය සඳහා ''ප්‍රතිකාරයක්'' නිර්මාණය කරන්න පුළුවන්. පුරසාරම් දොඩන හැසිරීම් සඳහා යටින් පවතින ගැටලු තේරුම් ගැනීමට මෙම සැලැස්ම උපකාර වෙන්න පුළුවන්. අවසානයේ එය වඩාත් ප්‍රයෝජනවත් ආකාරයෙන් උච්චමානය සහිත පුද්ගලයෙකුගේ චර්යාව හැසිරවීමට ඉගෙන ගැනීමට උපකාර වෙන්න පුළුවන්.

කථන චිකිත්සාව මෙම සංකීර්ණය සඳහා පොදු ප්‍රතිකාරයක්. එක් එක් සැසිවලදී, මනෝවිද්‍යාඥයෙකුට හෝ චිකිත්සකයෙකුට, මනෝඋපද්‍ශෙකයෙකුට, කථන චිකිත්සාව මගින් පුද්ගලයෙකුගේ මානසික තත්ත්වයන් නිවැරදිව තක්සේරු කිරීමට උපකාර කළ කරන්න පුළුවන්.

මෙම සංකීර්ණය ඇති බව ඔබ විශ්වාස කරන කෙනෙකු සමඟ ඔබ සම්බන්ධතාවයක සිටී නම්, ඔබට ප්‍රතිකාර ලබාගැනීමට ඔවුන්ව දිරිමත් කරන්න පුළුවන්. ඔවුන්ගේ හැඟීම් ගැන වඩාත් අවංක වීමට සහ ඔවුන්ට සාර්ථක විය හැකි නව ක්ෂේත්‍ර හඳුනාගැනීමට ඔවුන්ව දිරිමත් කරන්න පුළුවන්. එවිට සැඟවුණු හැඟීම් සමඟ සාර්ථකව කටයුතු කිරීමට ඔවුන්ට සෞඛ්‍ය සම්පන්න ක්‍රම සොයාගන්න පුළුවන්.