2022 ජනවාරි 08 වන සෙනසුරාදා

රටට ඉමිහිරි යුගයක් ලබාදෙන වෙනස්කම්

 2022 ජනවාරි 08 වන සෙනසුරාදා, පෙ.ව. 10:00 58

කාලය ඉක්මනින් ගත වෙමින් තිබේ. 2022 වසරේ පළමු දින දහයද තවත් දවසකින් අවසන්ය. ශ‍්‍රී ලංකාව කාලය හා ධනය නාස්ති කරන ලද රටකි. ජනතා අපේක්ෂා සහ සිතුම් පැතුම් සාක්ෂාත් කරගන්නට නොලැබුණ යුග ගණනාවකි. රටහැර ගොස් වෙනත් රටක ජීවත්වන්නට කල්පනා කරන ලක්ෂ සංඛ්‍යාත පිරිස එයට හොඳම සාක්ෂිය බව සඳහන් කළ යුතුය. අලුත් පරම්පරාවේ තරුණ පිරිස අවස්ථා සොයන්නේ වෙනත් තැනකින්ය. ලෝකයේ සංචාරය කළයුතු හොඳම රටක් සේ සැලකෙන ශ‍්‍රී ලංකාව අතහැර යන්නට එක කොටසකගේ සූදානමට හේතුව කුමක්ද?

මෑත භාගය තුළ දැවැන්ත අභියෝග ගණනාවකට මුහුණ දෙන්නට සිදුවිය. දකුණේ සහ උතුරේ ත‍්‍රස්තවාදය එක පැත්තකි. සුනාමි විපත ගැනද සඳහනක් කිරීම අවශ්‍යය. පාස්කු ඉරිදා ප‍්‍රහාර මාලාවෙන් හෙම්බත් වී තිබුණ රටක් කොවිඩ් වසංගත තත්ත්වයෙන් බරපතළ තැනකට තල්ලු වී තිබේ. ජනතාව අලුත් නායකත්වයක් ඉල්ලා සිටියේ රට පවතින තැනින් ඉහළට ඔසවා ගැනීම සඳහාය. සම්ප‍්‍රදායික දේශපාලනය එපා වී තිබුණි. ක‍්‍රමය ගැන විශ්වාසය අඩුවෙමින් පැවැති අතර තද පාලනයක්, සමාජ විනයක් ඉලක්කය විය. ආපසු හැරී බලන විට රටට සාධාරණ විවේචන ඇත. අනාගතය ගැන සාධාරණ බලාපොරොත්තු සම්පූර්ණයෙන් අත්හැර දැමිය යුතු නැත.

• වඩා හොඳ හෙට දවසක්

ආර්ථිකය හා සමාජය පවතින තැන ප‍්‍රශ්න තිබේ. වසර හතළිහකට පසු අඩුම වර්ධන අගය අප වාර්තා කරන්නේ මෑතකදීය. රටට ගෙවිය යුතු වැඩිම ණය බර අද එකතු වී ඇත. නිෂ්පාදනය සීමා වී ඇත. අපනයන වර්ධනයක් පෙන්වන නමුත් එහි ඉලක්ක පැහැදිලිව පෙන්නුම් නොකෙරේ. ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ දත්ත අනුව වසර දොළහකට පසු වැඩිම උද්ධමනය ඉකුත් දෙසැම්බර් මාසයේ වාර්තා වී ඇත. අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යවල මිල ඉහළ යාම පමණක් සියයට 22.1 කි. 
නව වසර ආරම්භයේදී ආණ්ඩුව ජනතාව වෙත සහන පැකේජයක් පිරිනමා ඇත. එය රුපියල් බිලියන 299 ක දැවැන්ත එකක් බව දක්වා ඇත. එහෙත් ජන සමාජයේ එක කොටසකට කිසිම හව්හරණක් නැත. පෞද්ගලික අංශය, ස්වයං රුකියාවලින් ජීවත්වන පිරිස්, එදිනෙදා හරිහම්බ කරන ජනතාව තවත් අපහසුවකට පත්ව ඇත. සියල්ල එකවර විසඳිය හැකි ප‍්‍රශ්න නොවේ. ආණ්ඩුවට සැලැස්මක් අවශ්‍යය. වඩා හොඳ අනාගතයක් වෙනුවෙන් තීරණගැනීමට සිදුවේ. අවශ්‍ය වෙනස්කම් කළහොත් ශ‍්‍රී ලංකාවේ ආර්ථිකය ඉහළ තැනකට ඔසවා තැබිය හැකිය. කොව්ඩ් වසංගත තත්ත්වය උදාවන වහා ශ‍්‍රී ලංකා මහා බැංකුව වාර්තාවක් නිකුත් කර නිර්දේශ ගණනාවක් පෙන්වා දී තිබේ. 
දේශීය විද්වත් පර් යේෂණ ආයතනයක් වන පාත්ෆයින්ඩර් පදනම කොවිඩ් අවදානම සමග ආර්ථිකයට එල්ල විය හැකි පීඩනය වළක්වා ගැනීම සඳහා නිර්දේශ ඇතුළත් විශේෂ වාර්තාවක් පිළියෙළ කරන ලද අතර එය රජයට භාර දී තිබේ. දෙස් විදෙස් විද්වත් සංවිධාන අවදානම ගැන සලකා බලා කරන ලද නිර්දේශ ගණන සුළුපටු නැත. ආණ්ඩුවකට මෙම සියල්ල දෙස බැලිය හැකිය. අවධානයට ගත හැක. ක‍්‍රියාත්මක කළ හැකි ස්වල්පයකි. එහිද දේශපාලන වටිනාකම තක්සේරු කෙරේ. ප‍්‍රජාතන්ත‍්‍රවාදී පාලනයක ඇති අනෙක් පැත්ත එයයි. 

• අලුත් ව්‍යවස්ථා සමඟ සමාජයට අලුත් අවස්ථා

ශ‍්‍රී ලංකාව අවස්ථා හිඟ සමාජයකි. සාධාරණය යුක්තිය ගැන ජනතාව තුළ ප‍්‍රශ්න ඇත. යම් යම් අර්බුද ඇතිවීමට හේතුව අසමානතාවයයි. වෙනම රටක් ඉල්ලන තරමට සංකීර්ණ භාවයක් කරා ගිය බව අමතක කළ යුතු නැත. යුද ක‍්‍රියාමාර්ගයකින් ත‍්‍රස්තවාදය පරාජය කරන ලද අතර ජනතාවගේ උවමනා එපාකම් ගැන වෙනම අවධානයක් අවශ්‍යය. පවතින ක‍්‍රමය ගැන උතුරේ පමණක් නොව දකුණේද තෘප්තියක් නැත. ව්‍යවස්ථාව වෙනස්කර ගැලපෙන ක‍්‍රමයක් සකස් කරගැනීම ගැන විවාදයක් තිබේ. ආණ්ඩු ගණනක් එයට වෑයම් කර ඇත. පටු දේශපාලන අවස්ථාවාදය එයට අවහිර කර තිබේ. මානව හිමිකම් චෝදනා ඇතුළු ගැටලු රාශියකට විසඳුම් ලබාගත හැකි පියවරකි. ආණ්ඩු ගණනක් රට පුරා ජනමතය ප‍්‍රශ්න කර සකස්කරන ලද කෙටුම් පත් තිබේ. මහා සංඝ රත්නය නියෝජනය කරන පාර්ශව වෙනම යෝජනා ඉදිරිපත් කර ඇත. ව්‍යවස්ථා සංශෝධනයකින් අත්පත් කරගත හැකි වෙනස්කම් ගැන විද්වත් කණ්ඩායම් සෑහෙන කරුණු ඉදිරිපත් කරන ඇති බව පිළිගත යුතුය. මේවා එකතු කර නිසි සැලැස්මක් අනුව ඉදිරියට යා යුතුය. කොවිඩ් වසංගත තත්ත්වය යම් ප‍්‍රමාණයකට පාලනය කර ඇති අවකාශයක එම සංවාදය ඇති කිරීම උචිතය.

බලය බෙදාහරින ක‍්‍රම මෙහිදී සැලකිල්ලට ගත හැක. පළාත් සභා ක‍්‍රමය ගැන හිතන්නට අවකාශයක් තිබේ. වසර ගණනක් එහි පාලනය මහජන නියෝජිතයන් අත නැත. එය සුදුසු පියවරක් නොවේ. අනෙක පවතින ඡන්ද ක‍්‍රමය, විශේෂයෙන් මනාප ක‍්‍රමය ගැන විශාල අපුලක් රටට ඇත. මැතිවරණයකදී කරන වියදම හා ඒවා සඳහා ධනය එකතුකර ගන්නා දේශපාලන ව්‍යාපාර ගැන ජනතාව තුළ අතෘප්තියක් පවතී. සමානුපාතික ක‍්‍රමය වෙනුවට වෙනස් පැත්තක් ගැනද යෝජනා තිබේ. දේශපාලනඥයන් බලයට පත්කර ඔවුන් අත්විඳින වරප‍්‍රසාද හා ඡන්දයෙන් පසු බලයට පත් පිරිස ජනතාවගෙන් ඈත්වන ආකාරය ගැන පොදු ජනතාව තුළ කිසිම ආකාරයක පැහැදීමක් නැත. මෙවැනි පැති වෙනස් කරන අලුත් රාමුවක් අපට සොයා බලන්නට අවශ්‍යව තිබේ. අවස්ථා ඇතිකරන ඒවා තුළින් යුක්ති සහගත පැවැත්මක් නිර්මාණය කරගත යුතුය.

• ආර්ථික ක‍්‍රමය ගැන අලුත් අදහසක් සඳහා

ශ‍්‍රී ලංකාවේ ආර්ථිකය ගැන ප‍්‍රශ්න තිබේ. පාරිභෝගිකයා ගැන සලකන්නේ නැත. සියලුම දෙනා පාරිභෝගිකයෝය. නිෂ්පාදනය කරන පිරිස අඩුම මිලට හොඳම නිෂ්පාදන කළ යුතුය. කාර්මික, කෘෂිකාර්මික හා සේවා අංශවල පිරිවැය පාලනය අනුගමනය කළ යුතු ක‍්‍රමයකි. එයට ඉඩ නොදෙන ප‍්‍රතිපත්ති වෙනස් කරන්නට අවශ්‍යය. දැන් පවතින ප‍්‍රතිපත්ති මගින් ප‍්‍රශ්න මතු වූ විට තාවකාලික පිළියම් වශයෙන් සහන දෙන අතර ඒවා දීර්ඝකාලීනව කරගෙන යා හැකි ඒවා නොවේ. කොවිඩ් වසංගත තත්ත්වය සමඟ ආනයන පාලනය කර ඇත. එම හිස්තැන පියැවීම සඳහා දේශීය නිපැයුම් වර්ධනය කරන්නට හැකියාව තිබේ. නමුත් පාරිභෝගිකයන් ඉල්ලන තරමට, ඔවුන්ගේ රුචියට ගැලපෙන හා පහසු මිලට දෙයක් නිපදවා ගත නොහැකි ඇයි? මෙරට පර්යේෂකයෝ මෙම පැති ගැන අවධානය යොමුකිරීම අවශ්‍යය. 

අලුත් ව්‍යවසාය සඳහා උපකාර කරන ක‍්‍රම ඇත. බැංකු ණය නිකුත් කෙරේ. වෙළඳපොළ ගැනද අපනයනය ගැනද දැනුම්වත් කරන ආයතන විශාල ප‍්‍රමාණයක් ඇත. නමුත් තරුණ පෙළ ආණ්ඩුවේ රුකියා පෝලිමට එකතු වෙති. හොඳ අධ්‍යාපනයක්, හොඳ නිර්මාණශීලී බවක් ඇති තරුණයන් රාජ්‍ය සේවයට එකතු වූ පසු පැත්තකට වී සිටීම ඛේදවාචකයකි. ලෝකයේ සමහර රටවල් ව්‍යවසායකත්වය සඳහා විශ්වවිද්‍යාලයේ සිට පෙළගස්සවයි. උපාධිය පැත්තකට දමා ව්‍යවසායකයකු සඳහා දිරිගන්වයි. ආයතන ගොඩනගන තැන දක්වා ආධාර කරයි. අපටද අවශ්‍ය එවැනි ක‍්‍රමයකි. එක දිස්ත‍්‍රික්කයකින් එක අලුත් අදහසක් ගොඩනැගුණහොත් රටට විශාල පරිවර්තනයකට යා හැකිය. සුළු කර්මාන්ත හා ව්‍යාපාර සඳහා ඉතා කදිම පසුබිමක් දැනට ඇත. අපනයනයට අවස්ථා තිබේ. රටවල් ගණනාවක් සමඟ වෙළඳ ගිවිසුම් අත්සන් කර ඇති බව පෙන්වා දිය යුතුය. ඒවායෙන් ප‍්‍රයෝජන ගැනීම වැදගත්ය.

• තාක්ෂණය හා බලශක්ති අංශයේ පෙරළියක් 

ශ‍්‍රී ලංකාවේ මානව සම්පත ඉතාම දක්ෂය. ඉදිරියේදී එළැඹෙන යුගය පස්වැනි පරම්පරාවේ තොරතුරු තාක්ෂණය බව ඉතාම පැහැදිලිය. කෘත්‍රිම බුද්ධිය විශාල බලවේගයක් වනු ඇත. රොබෝවරු නිෂ්පාදන හා සේවා අංශවලට එකතුවන බව සනාථ වෙමින් තිබේ. ශ‍්‍රී ලංකාවටද මෙහි අවස්ථා ඇත. නවීන තොරතුරු තාක්ෂණ යුගයට ඇතුළු වෙන්නට සිදුවෙයි. එය අනෙක් අතකින් විශාල පිටිවහලකි. ජනගහන වාර්තා අනුව මෙරට ජනගහනය වියපත් වෙමින් සිටී. ශ‍්‍රම බලකාය අඩුවෙමින් පවතී. වැඩිම කොටසක් දරුවන් හා විශ‍්‍රාමිකයන්ය. ඔවුහු යැපෙන්නෝ වෙති. පසුගිය අයවැය යොජනාවල පවා රජයේ සේවක විශ‍්‍රාම වයස 65 දක්වා නංවන්නේ මෙම ප‍්‍රශ්නයට පිළියමක් වශයෙනි. පෞද්ගලික අංශයේ පවා විශ‍්‍රාම වයස 60 දක්වා වෙනස් කර ඇත. වයසක පිරිස රාජ්‍ය සේවයේ තබාගැනීම වෙනුවට ඔවුන්ගේ දැනුම සමග තොරතුරු තාක්ෂණ සේවා අංශයට යොමු කරන පිළිවෙළක් අපගේ ඉලක්කවල තිබිය යුතුය. එයින් නවෝත්පාදනයක් සිදුවෙයි. මෙම අදහස් කෙරෙහි ප‍්‍රතිපත්ති සම්පාදකයෝ අවධානය යොමු නොකරන්නේ ඇයි? මහ මඟට බැස කාර්යාලයට පැමිණීම වෙනුවට නිවසේ සිට අන්තර්ජාලයෙන් සේවා කරන ක‍්‍රමයකට අප යා යුතුය.

බලශක්ති අංශයේ පරිවර්තනය අපගේ ඉලක්ක අතර ඉහළින්ම තිබුය යුතු එකකි. විශාල වියදමක් දරා ඉන්ධන ආනයනය කර එයින් සියයට විසි පහක් ධාවනයටත්, සියයට හැටක් විදුලිය නිපදවන්නටත් වැය කිරීම අනුචිතය. පුනර්ජනනීය බලශක්තිය ලෝකය පුරා උනන්දුවක් ඇති කාලයකි. සුළඟ, සූර්ය බලය, මුහුදු රළ හා කැළි කසල පවා බලශක්තිය නිපදවන අංශ බවට හරවාගෙන ඇත. ඒවා ගැන අවධානය යොමු කළහොත් රටට ගෙන්වන තෙල් ප‍්‍රමාණය අඩු කළ හැකිය. විශාලතම තෙල් ටැංකි සංකීර්ණයක් සහ ලංකාවේ විශාලතම පිරිවැටුම සහිත ආයතනය වශයෙන් ඛණිජ තෙල් සංස්ථාව ආරක්ෂා කරගැනීම අපගේ ඉල්ලක අතර තිබිය යුතු නැත. ලෝකයේ තෙල් සමාගම් අලුත් තෙල් ළිං කැනීම නතර කරයි. තෙල් ප‍්‍රවාහන නෞකා නිෂ්පාදනය අත්හිටුවා තිබේ. ජාතික සම්පත් සේ සලකන අපගේ ව්‍යුහවල අනාගත වැදගත්කම ගැන දැන් තීරණය කළ යුතුය.

• ආයෝජනය ගැන රටට අලුත් අදහසක් 

ශ‍්‍රී ලංකාව විදේශ සම්පත් සම්බන්ධයෙන් මුහුණ දී ඇති ඉරණම පැහැදිලි කළ යුතු නැත. විනිමය සංචිත හිඟය ජන ජීවිතයේ සෑම අස්සක් මුල්ලක් නෑර පීඩා අත්පත් කර දී ඇති බව පෙනේ. දැනට වැඩිම විනිමය උපයන මාර්ගය අපගේ ජනතාව පිටරටවල සේවයට යැවීමය. වෙනත් රටක කර්මාන්ත හා ආයෝජනවල නිරතව උපයා එවන කොටස වෙනුවට අපටම කර්මාන්ත ඇතිකර ඒවායේ යෙදෙන ජනකොටසක් බවට හැරවිය නොහැකි ඇයි? අලුත් කර්මාන්ත හා ව්‍යාපාර ඇති කළහොත් ඒවායේ අපනයනවලින් අලුත් ආදායමක් සොයා ගත හැකිය. තේ රබර් හෝ පොල් වැනි සම්ප‍්‍රදායික අංශ ඉතාම වැදගත් නැත. ලක්ෂ තුනකට අධික ශ‍්‍රම බලකායක් සහ ලංකාවේ විශාලතම ඉඩම් ප‍්‍රමාණයක් ආවරණය කරන තේ වගාවෙන් අපට ලැබෙන්නේ ඇමරිකානු ඩොලර් බිලියනයකට මඳක් වැඩි ප‍්‍රමාණයකි. එය සඳහා පවා පොහොර වෙනුවෙන් සැහෙන විනිමය ප‍්‍රමාණයන් ආපසු පිටරටවලට යවයි. මෙම ක‍්‍රමයෙන් ගැලවෙන අලුත් උපාය අවශ්‍යය. මෙම ඉඩම් හා ශ‍්‍රමය මෙයට වඩා ඉල්ලුමක් ඇති අලුත් කෘෂිකර්මයකට යොමු නොකරන හේතුව කුමක්ද? අපට ඉලක්කය විය යුතු අලුත් භාවිතයක් කරා ගමන් කිරීම බව අවධාරණය කළ යුතුය.

ලෝකයේ ආයෝජකයෝ සිය ව්‍යාපාර කරගෙන යන්නට අලුත් තැන් සොයා බලමින් සිටිති. රටට හොඳ මාර්ග පද්ධතියක් තිබේ. වරාය හා ගුවන් තොටුපොළ ඇත. තොරතුරු තාක්ෂණය වේගවත්ය. මෙරට ආයෝජනය ආසියාවට වෙළඳපොළකි. අනෙක අසල්වැසි ඉන්දියාව වේගයෙන් වර්ධනය වෙමින් තිබේ. කොවිඩ් වසංගත තත්ත්වය මැද පවා අභීතව නැගී සිටියි. මෙහි ජන කොටස් අතර ඉල්ලුම වැඩිවෙමින් පවතින බව වාර්තා වෙයි. ශ‍්‍රී ලංකාවේ නිපදවා ඉන්දියාවට අපනයනය කරන ආයෝජන ක‍්‍රම අප සැලසුම් කළ යුතුය. ආයෝජන කැඳවීම ගැන අලුත් ව්‍යුහයක් අවශ්‍යය. සම්ප‍්‍රදායික පැරණි දේශපාලනයට අභියෝග කරන තීරණ ගතහොත් අපට ඉලක්කයකට ගමන් කරන්නට බැරිකමක් නැත.

► සාරා කන්දෙගොඩ