2022 ජනවාරි 08 වන සෙනසුරාදා

මිල දැක්කම උඩ විසිෙවන අමුමිරිස්

 2022 ජනවාරි 08 වන සෙනසුරාදා, පෙ.ව. 10:00 384

දිනෙන් දින ඉහළ යමින් පවතින එළවළු මිලට සාපේක්ෂව අමුමිරිස්වල මිල ද ඉහළ යමින් පවතී. මේ හේතුව නිසාම බොහෝ නිවෙස්වල ආහාර පිසීමේදී අමුමිරිස් එකතු කිරීම අතහැර දමා ඇති අතර ඇතැම් හෝටල්වල පිසින ලද එළවළුවලින් අමුමිරිස් රසයක් සොයා ගැනීමට නොහැකි තත්ත්වයකට පත්ව ඇත. සුපිරි වෙළෙඳසල්වල මෙන්ම සිල්ලර එළවළුසල්වල ද අමුමිරිස් මිල ප්‍රදර්ශනය කරන්නට පවා වෙළෙඳුන් අකැමැත්ත පළ කරන්නේ මිල දුටු සැණීන් වෙළෙඳසල්වලට එන පාරිභෝගිකයන් පළ කරන විමතිය නිසාමය.

මේ දිනවල අමුමිරිස් කිලෝවක් රුපියල් එක්දහස් දෙසීයයි. බෝඩ් එකක්වත් ගහන්නේ නැත්තේ බඩු ගන්න එන අය ඒක දැකලා ආයෙත් හැරිලා යන නිසායි. පහුගිය දවස්වල අමුමිරිස් ග්‍රෑම් සියය රුපියල් එකසිය පනහටත් අපි විකිණුවා. මෙතනට හෝටල්වලට එළවළු ගෙනියන අය ගොඩක් එනවා. වෙනදාට අමුමිරිස් කිලෝ පහක් ගත්තු කෙනා දැන් කිලෝවක් දෙකක් තමයි අරගෙන යන්නේ. පොඩි සිල්ලර එළවළු කඩ කරන අය අනිත් එළවළු ටික ටික ගත්තත් දැන් අමුමිරිස් නම් ගන්නෙ නැහැ. අපිටත් කරන්න දෙයක් නැහැ. වැඩි ගාණට අඩු ප්‍රමාණයකට එළවළු විකුණනවාට වඩා අඩු ගාණකට වැඩි එළවළු ප්‍රමාණයක් විකුණන්න අපිත් කැමැතියි.* යැයි රත්මලාන ආර්ථික මධ්‍යස්ථානයේ එළවළු වෙළෙඳසල් හිමියෙක් වන ඇම්. රුවන් මහතා දේශයට අදහස් දක්වමින් පැවසීය.

රත්මලාන ආර්ථික මධ්‍යස්ථානයේ මේ දිනවල අමුමිරිස් කිලෝවක් රුපියල් එක්දහස් දෙසීයකි. ඒ අතර තවත් වෙළෙඳසලක අමුමිරිස් කිලෝව රුපියල් එක්දහස් එකසියයකි. ඒ ඉතා කුඩා අමුමිරිස් වන අතර එතරම් සරුසාරව හැදුණු අමුමිරිස් නොවේ. පවතින තත්ත්වය අනුව එළවළු කිලෝවක් මිලදී ගන්නා බොහෝ දෙනකු මේ වනවිට අමුමිරිස් මිලදී ගන්නේ ග්‍රෑම් පනහක් වැනි අඩු ප්‍රමාණයකි. ඒ මිලදී නොගෙන බැරිකමටය. හෝටල් ආහාරවේලකින් අමුමිරිස් කැබැල්ලක් සොයා ගැනීම කළුනික සොයා ගැනීමක් වැනිය.

අමුමිරිස් මිල මෙලෙස ඉහළ යාමට හේතු කිහිපයක්ම බලපෑවේය. එයින් ප්‍රධාන හේතුව වන්නේ පොහොර ගැටලුවය. නිසි ප්‍රමිතියකින් තොර පොහොර හේතුවෙන් ඇතැම් අමුමිරිස් ගොවීහු සිය වගාවෙන් බැහැර වී සිටිති. මේ අතර වගාවෙන් නිසි අස්වැන්නක් නොමැතිවීම හේතුවෙන්ද අමුමිරිස් මිල ඉහළ ගොස් ඇති බව ගොවීහු පවසති.

මේ සැරේ අපි වෙන වගාවන් කරපු නිසා අමුමිරිස් වගා කළේ නැහැ. ගිය පාර අපි අමුමිරිස් වගා කළා. එයින් ලාභයක්ද ලැබුණා. අමුමිරිස් වගාව දැල් ආවරණයක් යට වගා කළොත් අවුරුද්දක් විතර ඵලදාවක් ගන්න පුළුවන්. ගිය සැරේ මම මිරිස් ගස් දෙදහසක් වගා කළා. අක්කර කාලකට වැඩි ප්‍රමාණයක ඒ වගාව කළා. ගිය පාර මේ වගේ වැඩි මිලක් තිබුණේ නැහැ. ගිය පාර අපි අමුමිරිස් කිලෝව රුපියල් තුන්සීය තුන්සිය පනහකට තමයි විකිණුවේ. මේ දිනවල පවතින මිල ඒ කාලේ තිබුණේ නැහැ. අමුමිරිස් මිල ඉහළ නොයාවි කියලා හිතුණු නිසා මම මේ පාර ඒ ඉඩම් කොටසේ වැටකොලු වගා කළා. එයින් අපි හොඳ ආදායමක් ගත්තා. අමුමිරිස් වගා කරලා තිබුණා නම් ඒකෙනුත් හොඳ ආදායමක් ගන්න තිබුණා.* යැයි තඹුත්තේගම නන්දන ලයනල් ප්‍රේමතිලක ගොවි මහතා දේශයට පැවසීය.

බෙහෙත් පොහොරවල ප්‍රශ්නය නිසා මේ පාර අමුමිරිස් වගාව සාර්ථක වුණේ නැහැ. දැනටත් අමුමිරිස් වගාව තියෙනවා. නමුත් අස්වැන්නේ අඩුවීමක් තියෙනවා. මම අක්කර එකහමාරක පමණ අමුමිරිස් වගාවක් කරගෙන යනවා. ගිය වරත් අමුමිරිස් වගා කළා. නමුත් ගිය වර ලැබුණු අස්වැන්නට වඩා මෙවර 60% 70%ක පමණ අඩුවීමක් තියෙනවා. ගස්වල වැඩීම අඩුයි. මිරිස් කොළ කොඩැවීම වැනි රෝගවලට කෘමිනාශකවල හිඟයක් දැනටත් තියෙනවා. ඒ නිසා අමුමිරිස් ගස්වලට වැළඳුණු රෝග වැඩි වුණා. එයින් ගස් බොහොමයක වර්ධනය අඩු වුණා. මේ පාර මීට සති දෙකකට පෙර අපි අමුමිරිස් කිලෝවක් පන්සීයක් පන්සිය විස්සක් අතර මිලකට විකිණුවා. මීට මාස තුනකට පෙර අපි අමුමිරිස් කිලෝවක් සීයක් එකසිය විස්සට විකිණුවේ. ඒ වෙද්දි වැඩි අස්වැන්නක් තිබුණා. නමුත් මෙවර අස්වැන්න අඩුයි. ඒ නිසා අමුමිරිස්වල මිල ඉහළ ගියා. ඌව පළාතට පවතින වර්ෂාව නිසා අමුමිරිස් වගාව මේ කාලය තුළදී සිදුවන්නේ නැහැ. ඒ නිසාත් අස්වැන්න අඩුවීමක් සිදු වුණා.* යැයි කොත්මලේ පී.එම්. ජයන්ත ගොවි මහතා දේශයට අදහස් දක්වමින් පැවසීය.

අමුමිරිස් ගොවීන්ගෙන් අඩු මිලට ගත් අස්වැන්නෙන් වැඩි ලාභයක් ලබන්නේ අතරමැදි වෙළෙඳුන්ය. මැනිං වෙළෙඳපොළට, ආර්ථික මධ්‍යස්ථානවලට ගෙන එන අමුමිරිස්, ගොවීන්ගෙන් ගනු ලබන මිලට සාපේක්ෂව වැඩි මිලකට එහිදී වෙළෙඳාම් වේ. මේ නිසාම බොහෝ පාරිභෝගිකයෝ අමුමිරිස් මිලදී ගැනීම ප්‍රතික්ෂේප කරති. මැනිං වෙළෙඳ සංකීර්ණයෙන් වෙනදාට අමුමිරිස් කිලෝ දහයක් දොළහක් මිලදී ගත් වෙළෙඳුන් මේ දිනවල මිලදී ගනු ලබන්නේ කිලෝ දෙක තුනකි. එලෙස මිලදී ගන්නේ ද නොගෙන බැරිකමටය.

මේ දිනවල අමුමිරිස් තොග මිල රුපියල් හත්සීයකට වගේ මිලක් වෙනවා. ගමේ ගොවීන්ගෙන් මිලදී ගන්නා අමුමිරිස්වලට ප්‍රවාහන වියදම්, ගෝලයන්ට ලබාදෙන මුදල් ඇතුළු වියදම් වන මුදලුත් එකතු කරලා තමයි අමුමිරිස් තොග වශයෙන් අපිට ලැබෙන්නේ. ඒ නිසා මේ දිනවල අමුමිරිස්වල මිල ඉහළ යනවා. මෙලෙස මිල ඉහළ පහළ යාම සාමාන්‍ය දෙයක්. කවුරුවත් මෙහි මිල පවත්වාගෙන යන්න උත්සාහ කරන්නේ නැහැ. පොහොර ප්‍රශ්නයත් එක්ක මේ එළවළු ඇතුළු බඩු හිඟ වුණා. පොහොර මිලදී ගන්න දැන් ටිකෙන් ටික පුළුවන් නිසා වගා කරන්න අවශ්‍ය කෙනා රුපියල් පන්දාහක් හෝ ලබා දීලා පොහොර මිටිය මිලදී ගන්නවා. වගා කරන්න අවශ්‍ය නැති කෙනා වගාවන් අතහැරලා දානවා. ආර්ථික තත්ත්වය අනුව ඔවුන් ක්‍රියාත්මක වෙනවා. අපේ රටේ මේ වගාවන් සිදුවන්නේ අක්කර සියය දෙසීය ඉඩම්වල නෙවෙයි. පොඩි ගෙවතු වගාවල තමයි මේ වගාවන් සිදුවන්නේ. කුඩා ඉඩම්වල ගොවීන් තමයි මේ වගාවන්වලට වැඩි නැඹුරුවක් වෙලා තියෙන්නේ. පොහොර ප්‍රශ්නත් සමඟ ඒ ගොවීන් බොහොමයක් වගාවෙන් ඈත් වුණා. යැයි කොළඹ මැනිං පොදු වෙළෙඳ සංගමයේ හිටපු සභාපති ලාල් හෙට්ටිගේ මහතා පැවසීය.

මම අක්කර කාලට වැඩි ඉඩම් කොටසක තනි පැළ අමුමිරිස් වගා කළා. පැළ එක්දහස් පන්සීයක් එක්දහස් හයසීයක් අතර ප්‍රමාණයක් මේ ඉඩම් කොටසේ මම වගා කළා. ලැබුණු අමුමිරිස් අස්වැන්නෙ වරදක් නැහැ. ගිය අවුරුද්දේ මැයි මාසෙ අවසන් කාලයේදී තමයි මම පැළ හිටවන්න පටන් ගත්තේ. ඒ පැළ ප්‍රමාණයට කොම්පෝස්ට් පොහොර කිලෝ එක්දහස් දෙසිය පනහක් දැම්මා. රසායනික පොහොර වගේම කොම්පෝස්ට් පොහොර යොදා අමුමිරිස් වගා කළ නිසා පොහොර ගැටලුව මම ලොකුවට බලපෑවේ නැහැ. ගිය පාරට වඩා මේ පාර හොඳ අස්වැන්නක් ලැබුණා. මාස හයක් තිස්සේ මේ අස්වැන්න තවම ලැබෙමින් පවතිනවා. මුලින් මම ලැබෙන අස්වැන්න සුපිරි වෙළෙඳසලකට තොග වශයෙන් ලබා දුන්නා. මුලින් කිලෝවක් 120, 140ට අලෙවි වුණා. පසුව අපි අමුමිරිස් කිලෝවක් රුපියල් හත්සීයක් නවසීයක් අතර ප්‍රමාණයකට තොග වශයෙන් විකිණුවා.* යැයි තඹුත්තේගම ටී.එම්.එස්. කුමාරසිංහ ගොවි මහතා දේශයට පැවසීය.

 දිශානි ජයමාලි කරුණාරත්න
සේයාරූ: සුමුදු හේවාපතිරණ