2022 ජනවාරි 01 වන සෙනසුරාදා

මනරංජන නොවන වැජවර්ජන

 2022 ජනවාරි 01 වන සෙනසුරාදා, පෙ.ව. 10:00 8

“මේ සියවසේදී තැවීමට සිදුව ඇත. ඒ දුදනන් පෑ නොපනත්කම් නිසා නොව සුදනන්ගේ නිහඬතාව නිසා” යැයි ඇමෙරිකානු සිවිල් අයිතිවාසිකම් නායකයකු වූ මාටින් ලූතර් කිං වරෙක පවසා ඇත. ලෝකයේ බොහෝ රටකම වැඩවර්ජන කළත් ලංකාවේ තරම් හැමදෙයටම වර්ජන කරන රටක් ලෝකයේ වෙන නැතුව ඇතැයි කියති. පොදුවේ ගත් කළ ඇතැම් අවස්ථාවල පිට පිට එන වර්ජන රුලි හේතුවෙන් මෙරට වර්ජන මානුෂික ස්වභාවයක් ගන්නේ ඒ ඒ වර්ජකයන්ට පමණක් දැයි සැක මතුකරන තරමටම වර්ජන පිළිබඳ මහජන ආකල්පය එතරම් ප්‍රසන්න නැත.

මේතාක් පැවති කාලවකවානුවල විවිධ අවස්ථාවල වැඩවර්ජන ක්‍රියාත්මක විය. කරත්ත දක්කාගෙන යාමේදී කරත්තයේ වාඩි වී සිටීම තහනම් කිරීමේ නියෝගයක් හේතුවෙන් එදවස කරත්තකරුවෝ  වර්ජන කළහ. එසේම රෙදි අපුල්ලන්නෝ, මෝටර් රථ කම්කරුවෝ, කොළඹ මහ හෝටලයේ වර්ජනය සහ ට්‍රෑම් කාර් වර්ජනය එකල කැපී පෙණිනි. 

ගිය වසර පුරාවට බුර බුරා නැගුණු වර්ජන, රැල්ලක් සේ පැතිරිණි. එක් වර්ජනයක් සමථයකට පත්වෙද්දී තවත් අංශයක වර්ජනයක් ඇරඹිණි. බොහෝ අවස්ථාවල වර්ජනවලට හේතුවන්නේ වැඩකරන ජනතාවගේ ප්‍රශ්නය. එකී ඉල්ලීම් ලබාදීම වෙනුවෙන් ආයතන සම්බන්ධීකරණයෙන් මැදිහත් වීමට ගණන් කළ නොහැකි තරමට වෘත්තීය සමිතිද ගොඩනැගී ඇත. ජනතාවගේ ප්‍රශ්නවලට ඇහුම්කන්දීම රටක පාලනයක යහපාලන මූලධර්මයකි. කාලයක් තිස්සේ පිණු වෙමින් තිබෙන නොවිසඳුණු ප්‍රශ්නවල දරාගත නොහැකි පීඩනය වර්ජනයක ස්වරූපයෙන් මතුවෙයි. මෙම  තත්ත්වය ජනතාවටද ආණ්ඩුවට මෙන්ම රටේ ආර්ථිකයටද මරු පහරක් එල්ල කරයි. රටේ නිෂ්පාදන සහ සේවා බිඳ වැටෙයි. වර්ජනයක දිග පළල කුමක් වුවත් ඒ සෑම වර්ජනයකින්ම මේ රටට අහිමි වන මිනිස් ශ්‍රමය, අහිමි වන ආදායම අතිමහත්ය. වර්ජනවලින් රාජ්‍ය ආදායම පහළ බසින විට තවත් බද්දක් හරහා මහජනයාගේ උර මත එය පතිත වෙයි. එහිදී කොරේ පිටට මරේ සේ ජනතාව තව තවත් පීඩාවට ලක්වෙති.
බොහෝ අවස්ථාවල දැකිය හැකි දෙයක් වනුයේ කොයි දේටත් ආණ්ඩුවට දොස් පැවරීම ලංකාවේ සිරිතක් බවයි. අතීතයේ පටන් පැවති තත්ත්වය ගණ්ඩ තීන්දු ජාතකයෙන් මනාව පසක් කරයි. වර්ජනයක් ආරම්භ වූ කළ, කල දුටු කල වළ ඉහ ගැනීමට බලා සිටින්නන්ද මේ අතරට මැදිහත් වී ප්‍රශ්න එක දෙක කරයි. ඇතැම් වර්ජන හමුවේ පවතින රජය අපහසුතාවට ලක්කිරීමට විවිධාකාර දේශපාලන හස්ත ක්‍රියාත්මක වනවාදැයි ප්‍රශ්නයකි. ඒ තරමටම වර්ජන හතු පිපෙන්නාක් මෙනි. එදාත් අදත් වැටුප් ඉල්ලා උද්ඝෝෂණ, වර්ජන කරනවා දැක තිබුණත් රටේ පොඩි මිනිහාගේ දුක වෙනුවෙන් උද්ඝෝෂණ කරනවා කිසිදා දැක නැත. වෘත්තිය සමිතියක් හෝ ඒ වෙනුවෙන් පෙනී සිටිනවා දැකීම දුලබ දසුනක් බවට පත්ව තිබේ.

රාජ්‍ය අංශයේ මෙන්ම පෞද්ගලික අංශයේද වර්ජන රුලි ගිය වසරේ එක පිට එක මතුවිය. රාජ්‍ය සේවයේ වැඩිපුරම වර්ජන සිදුවූයේ සෞඛ්‍ය, ප්‍රවාහන, අධ්‍යාපන, ඛනිජතෙල්, විදුලි, සන්නිවේදන යන ක්ෂේත්‍රවලය. මෙම වර්ජන මාරුවෙන් මාරුවට මේතාක් පැවතිණි. එක් අංශයක වැඩවර්ජනවලින් රටකට වන පාඩුව පිරිමැසිය නොහැකිය. එලෙස අංශ ගණනාවක් වැඩවර්ජන කිරීමෙන් අහිමිවන මිනිස් ශ්‍රමය සහ ආර්ථික අලාභය අතිවිශාලය. ගණනය කළ නොහැකි පාඩුවකි. එය ශ්‍රී ලංකාව වැනි සංවර්ධනය කරා ගමන් කරන රටකට අවාසි සහගතය. පසුගිය කාලයේ මුළු රටම දරුණු වසංගතයකින් වෙලාගෙන තිබියදී ගුරු සිත පෑරී ගුරු විදුහල්පතිලා අඛණ්ඩ වර්ජනයක් සිදුකළහ.

වර්ජනයකදී වර්ජකයන්ට මෙන්ම පාලකයන්ටද එක සේ වගකීම් තිබේ. ඕනෑම දෙයක සීමාවක් තිබේ. ඒ වගේම රටකටත් දැරිය හැකි පරිමාවක් තිබේ. වර්ජන පැවැත්වීම අසාධාරණ නොවේ. එහෙත් රටක පවතින තත්ත්වය තේරුම් නොගෙන අසාධාරණ අවස්ථාවල අසාධාරණ ඉල්ලීම් ඉදිරිපත් කරමින් මස් රාත්තලම ඉල්ලමින් රටේ ජනතාවත් ආණ්ඩුවත්  පීඩාවට පත්කිරීම නොකළ යුත්තකි. එලෙසම වර්ජකයන් පාරට බැස්සාට පසුව සිය ඉල්ලීම් ලබාදීමට ක්ෂණිකව ක්‍රියාකිරීම කිරි එරෙන්න අඬන්නම ඕනෑලු යන්න සිහිගන්වයි. එහෙත් වර්ජන කළායින් පසුව අවසාන මොහොතේ ඉල්ලීම් ලබාදීමට වඩා වෘත්තීය ක්‍රියාමාර්ගයකට අවතීර්ණ වීමට ඉඩක් නොතබමින් සේවක අවශ්‍යතාවලට සාවධානයෙන් ඇහුම්කන් දී එම ප්‍රශ්නවලට සාධාරණ පිළිතුරු ලබාදීම පවතින රජයක වගකීමක් වන්නේය. පවතින ගැටලුවලට තාවකාලික පැලැස්තර යොදනවාට වඩා ඥානාන්විත ස්ථිර පිළිතුරක් ලබාදීමෙන් පමණක් මෙම වර්ජන රුල්ලට තිත තැබිය හැකි යැයි අපි සිතමු.

බලධාරීන්ට පාඩම් උගන්වන්න කියා වැඩවර්ජන ඇරඹුවත් හැමදාම පාහේ තැලුණේ මැති ඇමැතිවරුන් නොව තමන්ගේම පන්තියේ මිනිසුන්ය. ඒ බව සැවොම මතක තබාගත යුතුය. මැති ඇමැතිවරුන් සහ රජයේ වගකිවයුතු බලධාරීන් මහමග යාම් ඊම් කරනුයේ සැප පහසු වාහනවලිනි. මාර්ග තදබදයකදී වුවත් ඔවුහු සිය නිල බලයෙන් මාර්ගයේ ඉඩ වෙන්කර ගනිති. එහෙත් දහදුක් විඳිගෙන සේවයට යන එන සාමාන්‍ය මිනිසුන්ට කොයිකටත් තෛලය වන්නේ පොදු ප්‍රවාහනය වන බස් සහ දුම්රියයි. මේ ආකාරයට ඉල්ලීම් දිනාගැනීමට සාමාන්‍ය ජනතාව වර්ජන සිදුකිරීමෙන් එරෙහිවන්නේ තමන්ගේම පන්තියේ මිනිසුන්ටය. වැඩකරන ජනතාවටය. බොන්න වතුර නැති වුණත් විදුලිය කැපුවත් ප්‍රශ්නය වන්නේ තමන්ගේම බෝට්ටුවේ සිටින මෙරට සාමාන්‍ය ජනතාවටමය. විවිධ හේතු මත වර්ජන ඇරඹීමට පෙර වර්ජකයන්ද ඒ පිළිබඳව දෙවරක් සිතා බැලීම වැදගත්ය. 

වෘත්තීය සමිති ආඥා පනතට අනුව වැඩ වර්ජනයක් පැවැත්වීමේදී එකී සේවකයන් විසින් පාලකයන් වෙත කලින් දැනුම් දිය යුතු වුවත් ගහෙන් ගෙඩි එන්නා සේ ඇරඹෙන වර්ජන හේතුවෙන් මෙරට සාමාන්‍ය ජනතාව කබළෙන් ලිපට වැටෙති. වෙනදා පැවති දුම්රිය වර්ජන හේතුවෙන් පොදු ජනතාවගේ ගමනාගමනයට දැඩි බාධා එල්ල වෙයි. මගීන් කරකියා ගන්නට දෙයක් නොමැතිව සිටිනුයේ වර්ජකයන්ට දෙස් දෙවොල් තබමිනි. එහෙත් එකී දුම්රිය වර්ජනය මෙවර වෙනස් මුහුණුවරක් ගෙන තිබේ. ජනතාව බිල්ලට නොදී වර්ජන සිදු කර ඇති අවස්ථා අපේ රටේ හිඟ වුණාට එතෙරින් ඕනෑ තරම් උදාහරණ ලබාගත හැකිය.

ජපානයේ ඔකයාමා නගරයේ බස් රියැදුරෝ සිය බස් සමාගමට තරු පෙනෙන වර්ජනයක් සිදු කළෝය. ඔවුහු සුපුරුදු පරිදි බස් ධාවනය කළ අතර මගීන් සියලු දෙනා මුදල් අය නොකර නොමිලයේ ප්‍රවාහනය කළහ. එසේම  වසර ගණනාවකට පෙර නෙදර්ලන්තයේ ඇම්ස්ටර්ඩෑම් නගරයේදී නොමිලයේ ගමන් සහිත දුම්රිය වර්ජනයක් පැවැත්විණි. නෙදර්ලන්තයේ එහෙම වුණත් ලංකාවේ එහෙම වෙන්නේ නෑ කියා අපි සිතුවෙමු. එහෙත් මේ වනවිට මෙරට දුම්රිය ස්ථානාධිපතිවරුන් ක්‍රියාත්මක කර තිබෙන ප්‍රවේශපත් නිකුත් නොකිරීමේ සහ පාර්සල් බාර නොගැනීමේ වෘත්තීය ක්‍රියාමාර්ගය හේතුවෙන් දුම්රිය මගීහු නොමිලයේ සිය ගමන් පහසුකම් සලසා ගත්හ. මෙම වර්ජනය හේතුවෙන් දුම්රිය දෙපාර්තමේන්තුවට පසුගිය දින දෙකේදී රුපියල් කෝටියක පමණ පාඩුවක් වූ බව වාර්තා විය. රටපුරා රෝහල්වල වෛද්‍ය වර්ජන කරද්දී රෝහල් නොපැමිණි ඇතැම් වෙද දෙවිවරුන් රාජකාරී කාලයේදීත් පෞද්ගලික සත්කාර  සේවා ආයතනවල සිටිනවා යැයි සමාජයෙන් දෝස්මුර එල්ල විය.  

කාලයෙන් කාලයට මතු වූ වර්ජන එවක පාලකයන් විසින් මර්දනය කරනු ලැබූ අයුරුද මෙරට වැසියෝ හොඳ හැටි දනිති. 1980 වසරේ ජූලි 18 වැනිදා පැවති වැඩ වර්ජනය අමතක නොවන වර්ජනයකි. විවිධ වෘත්තීය සමිති වැඩවර්ජනයකට සූදානම් වන බවට  රජයට දැනුම් දීමෙන් පසු එය මර්දනය කිරීමට එවක පැවති රජය දැඩි ක්‍රියාමාර්ග ගනු ලැබීය. වර්ජනය කළහොත් රුකියා අහිමි වන බවට දරදඬු නියෝගයක් නිකුත් කළ රජය කී දේ එලෙසින්ම ක්‍රියාවේ නංවා පෙන්වමින් වැඩ වර්ජනය කළ පිරිස රැකියා අතහැර ගියා සේ සලකා සියලු පුරප්පාඩු සඳහා නවක සේවකයන් බඳවා ගත්තේය.

මුළුරටම දින දෙකක් අඳුරේ තැබූ 1996 වසරේ විදුලි සේවක වර්ජනයේදී විදුලි සැපයුම හදිසි නීතිය යටතේ අත්‍යවශ්‍ය සේවයක් කරමින් එවක විදුලිබල අමාත්‍යවරයා විසින් වර්ජනය අවසන් කරනු ලැබූ අයුරුද මෙරට වැසියන්ට අමතක නොවේ. ඇතැම් අවස්ථාවල සමාජ සංවේදී කාරණාවලදී මාධ්‍ය වාර්තා නිසි බලධරයන් විසින් කපා හැරි අවස්ථාද තිබිණ. එසේම වර්ජනවලදී එකී වෘත්තීය සමිතිවල ප්‍රධානීන්ට වරදාන වරප්‍රසාද ලබාදීමෙන්ද සමහර වර්ජන හේදී යන්නාක් මෙන් නැවතුණු අවස්ථා මෙරට ඉතිහාසයේ නැතුවාම නොවේ.

අව්වට වැස්සට හුරු මිනිසුන්ගේ දෑතේ විරියෙන් නැගුණු රටක අනාගතය තීරණය කිරීමට වර්ජනවලට ඉඩ දීම නුසුදුසුය. ලංකාව වැනි රටක සංවර්ධනය අඩාල කරගනිමින් කරන නොනවතින වර්ජන තමන්ගේ වළ තමන්ම කපා ගැනීමක් බඳුය. එහෙයින් රටකට අවැසි වන්නේ පෞද්ගලික වාසි මත වර්ජන කර ආණ්ඩු මට්ටු කිරීමවත්, ජනතාව මට්ටු කර තලාපෙලා දැමීමවත් නොව සැවොම එක් වී එක් දේශයක් ගොඩනැගීමට සහාය දැක්වීමය.

 සසංක චලන ගිම්හාන

 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00