2022 ජනවාරි 01 වන සෙනසුරාදා

අලුත් අවුරුද්දේ ප්‍රවේසමෙන්: ලංකාව වනසන්නේ බලලෝභී දේශපාලනයයි

 2022 ජනවාරි 01 වන සෙනසුරාදා, පෙ.ව. 10:00 53

මහාචාර්ය චන්ද්‍රසිරි පල්ලියගුරු භාෂාව සහ සංස්කෘතිය ගැන නිරන්තර අවධානයෙන් පසුවන ඒ ගැන පර්යේෂණ කරන විද්වතෙකි. ඔහු නිර්මාණශීලී ලේඛකයෙක් ලෙසද සාහිත්‍යයට දැක්වූ දායකත්වය විශාලය. එළඹෙන 2022 අවුරුද්ද කෙසේ විය හැකිද යන්න ගැන මහාචාර්ය පල්ලියගුරු තම අදහස් දැක්වූයේ මෙලෙසයි.

අපට අවුරුදු කීපයක් තිබෙනවා. එකක් සිංහල අලුත් අවුරුද්ද ජනවාරි පළමුවැනිදා අලුත් අවුරුද්ද ලැබීමත් කාලෙක පටන් සමරන්නට ජනතාව පෙළඹිලා. චන්ද්‍ර මාස ක්‍රමයට හා සූර්ය මාස ක්‍රමයට අනුව අවුරුද්ද මනින ක්‍රමයක් තිබෙනවා. පැරණි ලංකාවේ අවුරුද්ද වශයෙන් සැලකුවේ සූර්යයා මීන රාශියෙන් මේෂ රාශිය දක්වා ගමන් කිරීමයි. ඒක ජ්‍යොතිෂය පදනම් කරගත් සිද්ධියක්. නමුත් කාලයාගේ ඇවෑමෙන් ඒක ජාතික ආගමික සංස්කෘතික උත්සවයක් බවට පත්වුණා.

ඊට පසුව පෘතුගීසීන් 1505 දී ලංකාවට පැමිණ ක්‍රමයෙන් මුහුදුබඩ පළාත් යටත්කරගත් පසුව මුහුදුබඩ පළාත්වල අපට වැඩ කිරීමට සිදුවුණේ ග්‍රෙගෝරියානු කැලැන්ඩරයට අනුවයි. ඒකට අනුව පෘතුගීසිකාරයන්ගේ සිරිත් අපේ ජනතාවත් අනුගමනය කිරීමට පුරුදු වුණා. ජේසු උපත ලෙස නත්තල සැමරීමටත් ඉන්පසු අවුරුද්දේ උදාව ජනවාරි පළමුවැනිදා සැමරීමත් සිදුවුණා. ඒක අපේ උත්සවයක් නොවෙයි. බටහිරින් ගත්ත එකක්. නමුත් කාලයාගේ ඇවෑමෙන් ඒක දැන් අපේම උත්සවයක් බවට පත්වෙලා.
අවුරුද්ද වැදගත් වන්නේ වැඩිහිටියන්ට නොවේ. ඒ කාලේ පොඩි ළමයි තමයි අවුරුද්ද එනකම් බලාගෙන හිටියේ. වර්තමාන පොඩි දරුවන්ට ඒක වැදගත් නෑ. නවීන මෙවලම්වලට ඇබ්බැහි වී සිටින ඔවුන් අවුරුද්දක් තියෙනවද නැද්ද කියලවත් දන්නෙ නෑ. දැන් අපේ අවුරුද්ද රූපවාහිනියට ගුවන්විදුලියට සීමාවෙලා බව පේනවා. ඒකෙ කරන විගඩම් අවුරුද්ද කියලා අපි හිතනවා. නමුත් ඊට වැඩිය ලොකු අරුතක් අවුරුද්ද තුළ තිබෙනවා. ඒක තමයි අපි දවසින් දවස වයසට යන බවත්. උපන්නොත් මැරෙනවා යන බවත්, අවුරුද්ද තුළ සැඟවුණු මේ දර්ශනය දැන් පාරිභෝජනවාදයට යටවෙලා.

ලංකාවේ හැම දෙයක්ම වෙළඳපොළට අවශ්‍ය ආකාරයට තමයි වැඩ කරන්නේ. ජනවාරි පළමුවැනිදාත් දැන් වෙළෙන්දන්ට යටවෙලා. බඩු විකුණන්න කරන ප්‍රචාර තමයි, හැමතැනම සිදුවන්නේ. අවුරුද්දේ අර්ථය වටහා ගැනීමට කාටවත් අවශ්‍ය නෑ. ඒ ගැන සිතීමට නිදහසකුත් මිනිසුන්ට නෑ. ඉස්සර කාලෙ අවුරුද්ද කියන්නේ බොහොම විවේකයෙන් ඉන්න කාලයක්.

සල්ලිය බාගෙ තිබෙනවා නම් හැමදාම අවුරුද්ද කියලා කියමනකුත් තිබෙන්නේ. අද සමාජ වටිනාකම් ගිලිහිලා ගිහින්. ජනවාරි ලබාගෙන එනකොට කිරිබත්ගොඩ, මහරගම, නුගේගොඩ වගේ නගරවල තිබෙන තදබදය බලන්න. හැමෝම වගේ සාප්පු සවාරි ගිහින් තෙරපෙනවා. මුල් කාලයේ අපි ජනවාරි අවුරුද්ද සැමරුවේ නැහැ. අප්‍රේල්වල සිංහල අවුරුද්ද විතරයි සැමරුවේ. මේක යුරෝපීය ජාතීන් සමඟ අපට ලැබුණු දෙයක් බව මම පෙරදිත් කිව්වා.

එළැඹෙන 2021 ගැන සලකන විට නම් හිතන්නේ බොහොම අවිනිශ්චිත අඳුරු කාල පරිච්ඡේදයක් උදාවේවි කියායි. ඒවගේ අදහසක් ප්‍රචලිත කිරීමට මුල්වෙලා තිබෙන්නේ ජනමාධ්‍යම තමයි. රටේ කියන තරම් මහා ලොකු ව්‍යසනයක් සිදුවෙලා නෑ. මහා විනාශයක් වෙලා නෑ. ස්වභාවික සම්පත් ඒ විදිහටම තිබෙනවා. එළවළු අස්වැන්න පොඩ්ඩක් අඩුවෙලා තිබෙනවා. කුඹුරු වපුරගන්න බැරිවෙලා තිබෙනවා. තෙල් අර්බුදය අපටත් බලපාන ලෝක ප්‍රශ්නයක්. නමුත් ජනමාධ්‍ය විසින් සහ බලයට කෑදර මිනිස්සු විසින් ඇතිකර තිබෙන සිතුවිල්ල නම් නරකයි.

සමහරු දැනටත් ක්‍රියා කරන්නෙ ඡන්ද බලාගෙනයි. මිනිසුන්ට මේ සිද්ධියේ බරපතළකම තේරෙන්නෙ නෑ. ජනතාවට දේශපාලනඥයන් ලබාදෙන්නෙ නරක පූර්වාදර්ශ. සමහරු කියන්නේ දැන් බලය අතහැරලා දාලා ඔවුන්ට පාලනය ලබාදෙන්න කියලයි. රාජ්‍යයක විධිමත් ක්‍රමෝපායන් තිබෙනවා. හිටපු ගමන් දාලා යන්න බෑ. තවත් පිරිසකට හිටපු ගමන් ඇවිත් පාලනය කරන්නත් බෑ. නමුත් සමහරු ක්‍රියා කරන්නෙ ඉරිදා ඉස්කෝලවල සාහිත්‍ය සංගම් විදිහටයි. පරිණත දේශපාලනඥයො නැතිවීම තමයි මේකට හේතුව.

මේ නිසා අලුත් අවුරුද්ද උදාවන සමයේ රටට උදාවී ඇති අලුත් තත්ත්වය හොඳින් අපි තේරුම් ගත යුතුයි. මෙතැනදි අපට පාලනය කළ හැකි දේවල් වගේම බැරි දේවලුත් තිබෙනවා. ඉතින් අපි අපට කළ හැකි දේවල් ගැන සිතා බැලිය යුතුයි. කෑම බීම පොඩ්ඩක් අඩුවීමට ඉඩ තිබෙනවා. රටේ අනවශ්‍ය උද්ඝෝෂන නිසා ජන ජීවිතය අඩාල වීමට පුළුවන්. පසුගිය දිනවල දුම්රිය වැඩවර්ජනය නිසා මගීන් දුම්රියවල ගියේ ටිකට් නැතිව. ඒකෙන් රටට වුණු පාඩුව විශාලයි. වෙනත් ප්‍රජාතන්ත්‍රවාදී දැන උගත් රටවල මිනිස්සු මේ වගේ බූරු වැඩ කරන්නෙ නෑ. පසුගිය කාලය තුළ තිබුණු ප්‍රශ්න එකතු කරගෙන මේ අවස්ථාවේ විසඳුම් ඉල්ලන බව පේනවා. ගුරු වැටුප් ප්‍රශ්නය අවුරුදු විසි ගණනක් පැරැණියි. ඉතින් අවුරුද්ද ලබන්නේ මේ වගේ අවුල් වියවුල් මැදයි.
ජනමාධ්‍යවල පවා ජනතාවගේ සිත් සතුටු වන ආකාරයේ එක ප්‍රවෘත්තියක් දැකගත හැකිද? මිනිසුන් තම යුතුකම් හරියට අවබෝධ කරගත යුතුයි. ඉදිරි වසරේ පවා කොවිඩ් අවදානමක් සිතේ දරාගෙන කවුරුත් කටයුතු කළයුතු වෙනවා. නමුත් වෙලා තිබෙන්නේ මිනිසුන් වැඩි දෙනෙක් ක්‍රියා කරන්නේ කිසිම වගකීමක් නැතුව. තමන්ට තමන් ගැනවත් අවබෝධයක් නැති බවයි පේන්නේ. වැඩි දෙනෙක් හිතන්නේ හැම දෙයක්ම ආණ්ඩුව කරන්න ඕනෑ කියලනේ. ලෝකයේ කිසිම රටක පාර්ලිමේන්තුවට මන්ත්‍රීවරු තෝරා පත්කර ඔස්සේ තම තමන්ගේ පෞද්ගලික ඕනෑ එපාකම් කරවාගන්න නොවෙයි. ඔවුන් සිටින්නේ රටේ ප්‍රතිපත්ති හැදීමට සහ ඒවා මෙහෙයවීමටයි. අපේ ලංකාවේ එහෙම එකක් නෑ.

එළඹෙන වසරේවත් අනවශ්‍ය උද්ඝෝෂණවලට මිනිස්සු කුලප්පු නොකර ජන ජීවිතය ගලාගෙන යාමට ඉඩ දියයුතු බව අපගේ හැඟීමයි. එහෙම වුණොත් අපට මේ තත්ත්වයෙන් ගොඩ ඒමට ඉඩ ලැබේවි. ඉන්දියාවේ සාගතයෙන් කොච්චර සෙනඟ මැරෙනවද? අපේ සාගතෙන් කවුරුවත් මැරිලා නෑනේ. මට මතක ඇති කාලයක ලංකාව මේ වගේ අර්බුදයකට පත්වෙලා නෑ. නමුත් දෙවන ලෝක යුද්ධ කාලෙ රටේ විශාල දුෂ්කරතා ඇතිවූ බව අපි අහලා තිබෙනවා. ජනතාවගේ බලාපොරොත්තු ඒ අනුව සකස්කර ගත යුතුයි. යහපත් බලාපොරොත්තු සහිතව අනාගතයට මුහුණදීමට සූදානම් වීමයි අවශ්‍ය.

ලංකාව විනාශ කරන්නෙම බලලෝභී දේශපාලනය. දැන් අපට අනුගමනය කළ හැකි පුරෝගාමී නායකයෝ ඉන්නවද, සංඝ පීතෘවරු ඉන්නවද? කවුරුවත් නෑ. රටකට වීරයෙක් අවශ්‍යයි. දැන් එහෙම අය නෑ. එළඹෙන අවුරුද්දේ අපි කලබල නොවී තිබෙන තත්ත්වය අවබෝධ කරගෙන ජීවිතයට මුහුණ දිය යුතුයි. පසුගිය කාලෙ අපි ආහාර කොපමණ නාස්ති කළාද? මේ අවුරුද්දෙ සකසුරුවමට මුල් තැනදී ආරම්භ කළ යුතුයි. අපේ සම්පත් අනවශ්‍ය ලෙස විනාශ නොකළ යුතුයි. එහෙම වුණොත් තමයි ඊළඟ අවුරුද්ද බලාපොරොත්තු සහගත තත්ත්වයකට පත්කරගත හැකි වන්නේ.

 කුසුම්සිරි විජයවර්ධන