2022 ජනවාරි 01 වන සෙනසුරාදා

ලොව ඉහළම සම්මානයකින් පිදුම් ලද මහනුවර ගයානි

 2022 ජනවාරි 01 වන සෙනසුරාදා, පෙ.ව. 10:00 149

ජෛව විද්‍යාව පිළිබඳව ලොව ඉහළම සම්මානයක් වන ''හෙලන් හේ විට්නි ෆෙලෝෂිප්'' (Helen Hay Whitney Fellowship) සම්මානය හිමිකර ගැනීමට මහනුවර වෙසෙන දැනට ඇමෙරිකාවේ හාවර්ඩ් විශ්වවිද්‍යාලයේ ආචාර්ය ධුරයක් හොබවන 28 හැවිරිදි ගයානි සෙනෙවිරත්න මෙනවිය සමත් වී සිටින්නීය.

මහනුවර මහාමායා බාලිකා විද්‍යාලයේ ආදි සිසුවියක් මෙන්ම පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ උපාධිධාරිණියක්ද වන ගයානි ඇමෙරිකාවේ චිකාගෝ විශ්වවිද්‍යාලයේ ආචාර්ය උපාධිය හදාරා එය හරහා සිදුකළ පර්ෙය්ෂණයකදී උපතට පෙර මිනිස් ළදරුවන්ගේ අක්ෂි තීරුවේ දක්නට ලැබෙන අසාමාන්‍යතාවයකට ප්‍රතිකාර කිරීමට භාවිත කළ හැකි ගෙම්බන්ගේ ශරීරය තුළ වර්ධනය වන ජානයක් සොයාගෙන තිබේ. මෙම සොයාගැනීම ඇමෙරිකා එක්සත් ජනපදයේ වැඩි අවධානයක් දිනාගෙන ඇත.
ඇගේ නවතම සොයාගැනීම පිළිබඳව Proceeding of the National Science නම් ඉහළ පෙළේ සඟරාවකද විස්තර පළ වී තිබේ.

ඇය දැනට වසර 4 ½කින් සිය උපාධිය සම්පූර්ණ කළ පසු පශ්චාත් ආචාර්ය උපාධිධානියක ලෙස ඇමෙරිකාවේ හාවර්ඩ් විශ්වවිද්‍යාලයට සම්බන්ධ වී මිනිසාගේ ශ්රෝනි පටිය (The Pelvic girdle) වර්ධනය වන ආකාරය සහ ඒ ආශ්‍රිත රෝග පිළිබඳව පර්යේෂණයක යෙදෙන බව අප හා පැවසුවාය.

දැනට ලොව පිළිගත් හොඳම විශ්වවිද්‍යාල 10න් එකක් වන ඇමෙරිකාවේ චිකාගෝ විශ්වවිද්‍යාලයේ ආචාර්ය උපාධිය හදාරා අවසන් කිරීම සඳහා ඇය ශිෂ්‍යත්වයක්ද හිමිකරගෙන තිබේ.

ඇය විසින් සිදුකරන ලද විවිධ පර්යේෂණ සම්බන්ධයෙන් දෙවරක්ම ජනාධිපති සම්මාන හිමිකරගෙන තිබේ. ශ්‍රී ලංකා පර්ෙය්ෂණ ආයතනය මගින් පිරිනමන ලද වසරේ විශිෂ්ටතම පර්ෙය්ෂණය සඳහා වූ සම්මානයද ගයානි විසින් හිමිකරගෙන ඇත.

නොබෙල් ත්‍යාගලාභීන් කිහිප දෙනෙකු විසින් හිමිකර ගන්නා ලද Helen Hay Whitney Fellowship (හෙලන් හේ විට්නි ෆෙලෝෂිප්) කීර්තිමත් ජාත්‍යන්තර සම්මානය හිමිකරගත් ගයානි සෙනෙවිරත්න මෙනවිය තමන්ගේ අපේක්ෂාව වී ඇත්තේ කෙදිනක හෝ ශ්‍රී ලංකාව වන තම මවුරටට පැමිණ සේවය ලබාදී විද්‍යාව හදාරණ සිසු සිසුවියන්ට ඔවුන්ගේ සිහින සැබෑ කරගන්නට උපකාර කිරීම බවද පැවසුවාය.

තමාගේ ඉලක්කය වන්නේ සෑම කෙනකුම පිළිගන්නා පරිසරයක කාන්තාවන් සහ සුළු ජාතීන් සවිබල ගැන්වීම සහ නවීන තාක්ෂණික ක්‍රම භාවිතා කරමින් පාෂ්ඨවංශික පරිණාමයේ විද්‍යාත්මක පර්ෙය්ෂණ ප්‍රශ්න විසඳීමට හැකි පරිසරයක් තුළ යම් දිනෙක ඇගේම විද්‍යාගාරයක් පවත්වාගෙන යාම බවද ඇය සඳහන් කළාය.

ශ්‍රී ලංකා සුරාබදු දෙපාර්තමේන්තුවේ මධ්‍යම පළාත් සුරාබදු කොමසාරිස් උපුල් සෙනෙවිරත්න සහ පෞද්ගලික පරිසර උපදේශණ ආයතනයක (Central environmental testing and consultancy ltd) පර්යේෂණ නිලධාරිනියක ලෙස කටයුතු කරන භාග්‍යා සෙනවිරත්න යුවළගේ දියණියක් වන ගයානි සෙනෙවිරත්න මෙනවිය ඇමෙරිකාවේ හාවර්ඩ් විශ්වවිද්‍යාලයේ ''හියුමන් ඉවලුෂනරි බයලොජි ඩිපාර්ට්මන්ට්'' අංශයේ පර්ෙය්ෂණ කටයුතුවල යෙදෙමින් සිටියි. විශේෂයෙන් මිනිසුන්ගේ කොඳු නාරටිය ආශ්‍රිත රෝග, මිනිස් සිරුරේ උකුල් ඇටය ආශ්‍රිත රෝග සහ උපත ලබන බිළිඳුන් මුහුණදෙන උකුල් ඇටය සම්බන්ධ ආබාධයන් පිළිබඳවත් ඇය පර්යේෂණවල යෙදෙන බව පැවසුවාය.

තමන්ගේ ඉදිරි බලාපොරොත්තුව මිනිස් වර්ගයා වෙනුවෙන් සේවය කිරීම සඳහා වෛද්‍ය විද්‍යාව තුළින් මහාචාර්යවරියක් වීම බවද ගයානි සෙනෙවිරත්න මෙනවිය කීවාය.

ගයානි සෙනවිරත්න මෙනවියගේ වැඩිමහල් සොයුරා වූ අෂාන් සෙනවිරත්න මහතා ඕස්ට්‍රේලියාවේ වික්ටෝරියා ප්‍රාන්තයේ Telstra ආයතනයේ ජ්‍යෙෂ්ඨ විධායක ඉංජිනේරුවරයෙක් ලෙස සේවය කරයි. ඔහු මහනුවර ධර්මරාජ විද්‍යාලයේ ආදි සිසුවෙකි. මොනෑෂ් විශ්වවිද්‍යාලයේ ආචාර්ය උපාධිය හැදෑරීම සඳහා ශිෂ්‍යත්වයක්ද හිමිකරගෙන ඇති ඔහුට ඕස්ට්‍රේලියානු රජය මගින් පුරවැසිභාවයද ලබාදී තිබේ.

ගයානි සෙනෙවිරත්න මෙනවියගේ බාල සොයුරිය වූ ශලනි සෙනවිරත්න ඇමෙරිකාවේ මැසචුසෙට් ප්‍රාන්තයේ මැසචුසෙට් විශ්වවිද්‍යාලයේ යාන්ත්‍රික ඉංජිනේරු උපාධිය හදාරන්නීය.

තම වෛද්‍ය විද්‍යා පර්යේෂණ සිදුකිරීමට ශ්‍රී ලංකාවේ විශ්වවිද්‍යාලයකින් ඇරයුමක් ලැබේ යැයි ගයානි අපේක්ෂා කරයි.

තමන්ට ශ්‍රී ලංකාවේ පිළිගත් ප්‍රධාන පෙළේ විශ්ව විද්‍යාලයකින් හෝ වෛද්‍ය විද්‍යාවට අදාළ සිදුකිරීම සඳහා ඇරයුමක් ලදොත් ශ්‍රී ලංකාවේ ජනතාව වෙනුවෙන් තම සේවාව ලබාදීමටද ආචාර්ය ගයානි සෙනවිරත්න බලාපොරොත්තුවෙන් සිටියි.

 ජේ.ඒ.එල්. ජයසිංහ