2022 ජනවාරි 01 වන සෙනසුරාදා

විස්සයි 21 පරිසරයට වෙච්ච දේ!

 2022 ජනවාරි 01 වන සෙනසුරාදා, පෙ.ව. 10:00 204

තවත් අවුරුද්දක් ගෙවී අලුත් අවුරුද්දක් ලබන සමයේ ගෙවුණු අවුරුද්දේ පරිසර ගිණුම තරමක් දුරට විමසා බැලීමට අපි සිතුවෙමු. අවුරුද්ද පුරාම කොවිඩ් අවදානම පැවතුණත් පරිසරයද ඒ හා සමාන අවදානමකට ලක්ව පැවති බව රටපුරා අසන්නට ලැබෙන පුවත්වලින් අපට පැහැදිලි විය. සමස්ත භූමි ප්‍රමාණය වර්ග කිලෝමීටර 65,‍610ක් වන ලංකාවේ වනාන්තර ප්‍රමාණය දිනෙන් දින අඩුවන බව වාර්තා වන කරුණුවලින් පෙනුණි.

ජනාධිපතිවරණයේදී ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ඉදිරිපත් කළ සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශනයේ අටවැනි පරිච්ඡේදයේ දැක්වෙන තිරසර පරිසර ප්‍රතිපත්තියක් කොටසට අනුව ජාතික වන වැස්ම 30%ක් දක්වා ඉහළ නැංවිමට කටයුතු කරන බව සඳහන්ය. එහෙත් ඒ සඳහා ප්‍රායෝගිකව පියවර ගන්නා බවක් නම් පසුගිය වසර පුරා ජනතාවට පෙනුණේ නැත.

ඉංග්‍රීසි පාලන කාලයේ පටන් මෙරට රක්‍ෂිත ප්‍රදේශ වශයෙන් ජනතාවගේ බදු මුදල් වලින් ආරක්‍ෂා කළ වනාන්තර ඇතුළු ස්වාභාවික පරිසර පද්ධති අද වනවිට සංවර්ධන හා ආයෝජන ව්‍යාපෘති සඳහා යොදා ගැනීමට පටන් ගෙන ඇත. විදේශ සමාගම් මෙන්ම  දේශීය මහා පරිමාණ සමාගම්ද විවිධ කෘෂි ව්‍යාපෘතිවලට උතුරුමැද මෙන්ම නැගෙනහිර පළාතේ සහ ඌව පළාතෙත් ඉඩම් එළිකිරීම ගැන වාර්තා පළ විය. මේ හේතුව නිසා අද වනවිට, ලංකාවේ ස්වාභාවික වනාන්තර ආවරණය සියයට 17ක් දක්වා ඉතා පහළ මට්ටමකට පත් වී ඇත.

පසුගිය දශකයක කාලසීමාව තුළදී එළිපෙහෙළි කර ඇති වනාන්තර ප්‍රමාණය දෙස බැලූ විට මේ ආකාරයෙන් සීඝ්‍ර වනාන්තර විනාශයක් වීමට හේතු කිහිපයක් බලපා ඇති බව පෙනේ. සංවර්ධන ව්‍යාපෘති ලෙස ක්‍රියාත්මක කළ යාන්ඔය වාරි ව්‍යාපෘතිය සඳහා අක්කර 15000ක වනාන්තර බිලිවුණු අතර මොරගහකන්ද හා කළු ගඟ බහුකාර්ය වාරි ව්‍යාපෘති සඳහා අක්කර 25000ක් ද දකුණු පළාතේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ ක්‍රියාත්මක කළ මාගම්පුර වරාය, මත්තල ගුවන් තොටුපොළ, දකුණු අධිවේගී මාර්ගය පුළුල් කිරීම, ආදී  සංවර්ධන ව්‍යාපෘති සඳහා වනාන්තර අක්කර 25000 කට අධික ප්‍රමාණයක් එළිපෙහෙළි කර තිබේ. උතුරු – නැගෙනහිර පැවති යුද්ධය අවසන් වීමෙන් අනතුරුව නැවත පදිංචි කිරීමේ කටයුතු නිසි පරිදි ක්‍රියාත්මක නොකිරීම හා ජනතාව භාවිත කළ ඉඩම් වෙනත් සංවර්ධන භාවිතයන්, සංචාරක ව්‍යාපෘති හා දැඩි ආරක්ෂක කලාප පවත්වාගෙන යාම සඳහා භාවිත කිරීම හේතුවෙන් අලුතින් ජනාවාස ව්‍යාප්ත කිරීම සඳහා වනාන්තර අක්කර 17,800 ක් පමණ එළි පෙහෙළි කිරීම සිදුවිය. ඒ අතර නැවත පදිංචි කිරීමේ මුවාවෙන් ප්‍රබල දේශපාලනඥයන්ගේ අනුග්‍රහයෙන් පසුගිය කාලයේ විල්පත්තුවේ සිදුකළ වන විනාශය රටට රහසක් වූයේ නැත.

වනාන්තර අඩුවීම නිසා සෑම වර්ෂයකම නියඟය හේතුවෙන් ජල අර්බුද උත්සන්න වීම දැකගත හැකි විය. සති දෙකක් පායන විට විදුලි බලාගාරවලට ජලය ගැටලුවක් වන අතර ජල සම්පත් මණ්ඩලයේ පානීය ජලය සැපයීමේ ගැටලු ඇතිවීම සිදුවේ. වියළි කාලගුණයක් පවතින කාල පරාසය මාස 06 කට වැඩි කාලයක් දක්වා දීර්ඝ වීම වැනි අහිතකර බලපෑම් බොහොමයක් වනාන්තර අඩුවීම නිසා ඉහළ ගොස් තිබේ. ඒ අතර කාලගුණ රටාවද වෙනස් වී කෙටි කාල සීමාවක් තුළ විශාල වර්ෂාපතනයක් ලැබීම දැකගත හැකි අතර සුළු වැස්සකටත් ගංවතුර,‍ නායයෑම් වැනි ස්වාභාවික විපත් වර්ධනය වන තත්ත්වයක් දැකිය හැකිය.

වනාන්තර අඩුවීම අලි මිනිස් ගැටලුවද උග්‍ර කිරීමට මඟ පාදා තිබේ. වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ දත්තවලට අනුව ශ්‍රී ලංකාවේ අලි මිනිස් ගැටුම වඩාත්ම උග්‍ර වූ වසර 2019 වේ. එම වසරේදී මිනිස් ක්‍රියාකාරකම් හේතුවෙන් අලි මරණ 406ක් සිදුවූ අතර අලින්ගේ පහරදීම නිසා මිනිසුන් 122 කගේ ජීවිත අහිමි වී ගොස් ඇත. 2020 වසරේ දී සිදුවූ අලි මරණ සංඛ්‍යාව 317ක් හා අලි මිනිස් ගැටුමට මැදිහත්වූ  මිනිස් මරණ 112ක් සිදුව තිබේ. 2021 දත්ත තවම ලැබී නැත. මේ තත්ත්වය ඇති වීමට ප්‍රධාන හේතූන් වී ඇත්තේ අලි – ඇතුන්ගේ වාසස්ථාන විනාශ කිරීම,‍ එම වන භූමි කොටස්වලට බෙදී වෙන්වන පරිදි හානිකර සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක ක්‍රියාකිරීම ආදියයි. වසරකට ශ්‍රී ලංකාවේ මියයන අලි ඇතුන් සංඛ්‍යාවේ සාමාන්‍ය අගය 272ක් වන අතර අලි මිනිස් ගැටුම නිසා වාර්ෂිකව අහිමිවන මිනිස් ජීවිත සංඛ්‍යාවේ සාමාන්‍ය අගය 85කි.

2021 සැප්තැම්බර් මාසයේ කතරගම යාල වන සීමාවට නුදුරුව වන රක්ෂිත එළි කිරීමක් ගැන වාර්තා විය. කිඹුල්කෙම, කොහොඹදිගාන, ගලහිටිය, වෙහෙරකෙම, කඳසුරිඳුගම, කරවීලේ, ලුණුගම්වෙහෙර රක්‍ෂිත සීමාව, නාගහවීදිය විදුලිවැට යාල මායිම් සීමාව, සිතුල්පව්ව වන සීමාව, තම්මැන්නාව රක්‍ෂිත වැව් පද්ධතිය ඇතුළු ප‍්‍රදේශවල වටිනා ගස් කපා භූමිය අල්ලා ගැනීමේ මහා ඉඩම් කොල්ලයක් සිදුවෙමින් තිබෙන බව ප‍්‍රදේශවාසීහු  පැවසූ බවට මාධ්‍ය ඔස්සේ වාර්තා විය.  
කැබිලිත්ත වන රක්ෂිතයටද කණකොකා හැඬූ කතාවක් වාර්තා වූයේ පසුගිය වර්ෂයේ අග භාගයේදීයි. මෙම රක්ෂිතය, අතරමැදි කලාපයට අයත් මොණරාගල දිස්ත‍්‍රික්කයේ සියඹලාණ්ඩුව ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පිහිටා තිබෙන වනාන්තරයකි. අක්කර 71,537ක භූමි ප‍්‍රදේශයක් පුරා පැතිරුණු යාලට යාබදව පිහිටි වත්තේගම – කැබිලිත්ත වන රක්ෂිතය විලඔය, කුඹුක්කන් ඔය, කොටියාගල වැව හා වට්ටාරම වැව යන සුවිශේෂී ජල මූලාශ‍්‍රවල ප‍්‍රධාන ජල පෝෂක ප‍්‍රදේශයකි. මේ නිසා මෙම වන රක්ෂිතය විශාල ප‍්‍රදේශයක් පුරා පැතිරුණු කෘෂිකාර්මික බිම්වල ජලය සැපයීම කෙරෙහි සෘජුව බැඳී පවතී.

වත්තේගම – කැබිලිත්ත වන රක්ෂිතය එළිකර මහා පරිමාණ බඩ ඉරිඟු වගා බිම් සකස් කර ඇති බව වාර්තා විය.  කැබිලිත්ත වනාන්තරය අලි – ඇතුන්ගේ වාසස්ථාන පද්ධතියක් ලෙසද වැදගත් වේ. යාල ජාතික වනෝද්‍යාන සංකීර්ණයත් කුඹුක්කන වන රක්ෂිතයත් මෙම වන රක්ෂිතය හා සම්බන්ධ වන අතර මේ නිසා අලිඇතුන්ගේ සංචාර රටාවේදී කැබිලිත්ත වනය හරහා ගමන් කෙරේ.

හම්බන්තොට යෝජිත අලි කළමනාකරණ රක්ෂිතයට අයත් වනාන්තර ඉඩම් මහ පරිමාණයෙන් විකිණීමේ ජාවාරමක් ගැනද පසුගිය වර්ෂය පුරා කතාබහට ලක්විය.  නින්දගම් ඉඩම්යැයි සඳහන් කරමින් වලව මහවැලි කලාපය ලෙස ප‍්‍රකාශයට පත්කර ඇති මෙම යෝජිත රක්ෂිතයට අයත් වනාන්තර ඉඩම් කට්ටි කර විකිණීම මෙලෙස සිදු කෙරේ. ගොන්නොරුව නින්දගම ලෙස හැඳින්වෙන පන්වැව සිට ගොන්නොරුව දක්වා විහිදී ඇති වනාන්තර ප‍්‍රදේශයේ අක්කර 500ක් පමණ අක්කර 25ක් හා 50 බැගින් වන ඉඩම් කට්ටි කර කොළඹ ආශ‍්‍රිත මහ පරිමාණ ව්‍යාපාරිකයන්ට විකිණීම සිදුකර ඇති බව වාර්තා විය. යෝජිත අලි කළමනාකරණ රක්ෂිතය තුළ පිහිටි මහවැලි අධිකාරියට අයත් වනාන්තර භූමි මහ පරිමාණයෙන් එළිපෙහෙළි කර අනවසර වගා බිම් පවත්වාගෙන යන ස්ථාන ගණනාවක් වේ. හාමුදුරු වැව, ඉහළ අන්දර වැව, සීනුක්කුගල, පහළ අන්දර වැව, දිමුතුගම හා වැලි වැව ප‍්‍රදේශවල ඒවා පිහිටා තිබේ. මීට අමතරව යෝජිත අලි කළමනාකරණ රක්ෂිතයේ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අයත් වනාන්තර එළිපෙහෙළි කර ස්ථාන ගණනාවක මහ පරිමාණයෙන් අනවසර වගා බිම් පවත්වාගෙන යන බවත් වාර්තා වූ කරුණකි.

ඉඩම් අමාත්‍යංශයේ ලේකම්වරයා විසින් සියලු දිස්ත්‍රික් ලේකම්වරුන් හා සියලු ප්‍රාදේශීය ලේකම්වරුන් වෙත “රජයේ ඉඩම් මැන වෙන් කිරීම සඳහා වන චක්‍රලේඛයක් 2021 අගෝස්තු මස 6 වැනි දින අංක 02/2021 යටතේ නිකුත් කිරීම පරිසරවේදීන්ගේ කතාබහට ලක්වූ තවත් සිද්ධියකි. මෙම චක්‍රලේඛය මගින් අවධානය යොමුකර ඇත්තේ ඉඩම් සංවර්ධන ආඥා පනතේ 8 වැනි වගන්තියට අනුව ඉඩම් කොමසාරිස් ජනරාල්වරයාගේ සාමාන්‍ය හා විශේෂ විධි විධානවලට යටත්ව ප්‍රාදේශීය ලේකම්වරුන්ට රජයේ ඉඩම් විවිධ කාර්යයන් සඳහා මැන වෙන් කරනු ලැබිය හැකි බැවින් විවිධ සංවර්ධන කටයුතු, ගම් පුළුල් කිරීම හා අනාගත සංවර්ධන කටයුතු සඳහා ආරක්ෂා කිරීමට ඉඩම් මැනීම් කර හඳුනා ගැනීමට කටයුතු කරන ලෙසය

නීති විරෝධී ලෙස මෙම චක්‍රලේඛය ප්‍රකාශයට පත් කිරීමෙන් ඉඩම් අමාත්‍යංශයේ ලේකම්වරයා සිදුකර ඇත්තේ නීතිය අතික්‍රමණය කිරීමක් බව පරිසරවේදීහු පැවසූහ. එපමණක් නොව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථවාද උල්ලංඝනය කිරීමක් බව පැවසුණි. ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ හයවැනි පරිච්ඡේදයේ දැක්වෙන රාජ්‍ය ප්‍රතිපත්ති මෙහෙයවීමේ මූලධර්ම හා මූලික යුතුකම් කොටසේ 27(14) ව්‍යවස්ථාවේ දැක්වෙන ලෙස ජනතාවගේ යහපත තකා රජය විසින් පරිසරය ආරක්ෂා කොට සුරක්ෂිත කොට වැඩිදියුණු කළ යුතුය. ඒ වෙනුවට ඉඩම් අමාත්‍යංශයේ ලේකම්වරයා විසින් මෙම චක්‍රලේඛය මගින් සිදුකර ඇත්තේ වනාන්තර විනාශ කොට ජනතාවගේ යහපැවැත්ම සම්පූර්ණයෙන්ම බිඳ දැමීමට කටයුතු කිරීම බව පෙනුණි.

ජනාධිපතිවරයාගේ ප්‍රතිපත්ති ලෙස සඳහන් වූ ස්වභාවික පරිසර පද්ධති සංරක්ෂණය කරන අතර හානියට ලක්වූ පරිසර පද්ධති ප්‍රතිස්ථාපනය කරන බවත්, මිනිසා මෙන්ම අනෙක් සත්ත්වයින්ට භූමියට ඇති අයිතිය සුරක්ෂිත කරන භාරකරුවකු ලෙස රජය ක්‍රියාකරන බවත් යන සඳහන මෙම චක්‍රලේඛයෙන් බිඳ දමා ඇති බවට චෝදනා එල්ල විය.

මේ අතර පසුගිය වසරේ වාර්තා වූ තවත් සිද්ධියක් නම් මොණරාගල හා බදුල්ල දිස්ත්‍රික්ක දෙකට අයත් ඉඩම් අක්කර 62500ක් උක් වගාව සඳහා මහා පරිමාණ ආයතනවලට බදුදීමයි. මින් විශාල ඉඩම් ප්‍රමාණයක් ගොවීන්ගේ වගා බිම් හා අලි ඇතුන් ඇතුළු වන සතුන්ගේ වාසස්ථාන විය.   

රටේ ජනතාවගේ යහපැවැත්තමට පරිසරය ආරක්ෂා කරගැනීම අත්‍යවශ්‍ය බව අමුතුවෙන් කිවයුතු නොවේ. කෘෂිකර්මය සඳහා අවශ්‍ය ජලය රුකෙන්නේද වනාන්තර රුකුණොත් පමණි. ගමේ ගොවියා මෙන්ම ප්‍රාදේශීය දේශපාලඥයාගේ සිට ඉහළ ප්‍රතිපත්ති සම්පාදකයා දක්වා පිරිස එය අවබෝධ කරගත යුතුය. එහෙත් දැන් මාසයක් වියළි කාලගුණයක් පවතින විටත් මහා නියඟයක ප්‍රතිඵල ලැබෙන්නේ මිනිසාගේම ක්‍රියාකාරකම් නිසා බව නොරහසකි.

කුසුම්සිරි විජයවර්ධන