2022 ජනවාරි 01 වන සෙනසුරාදා

31 රාත්‍රියේ අසිරිය

 2022 ජනවාරි 01 වන සෙනසුරාදා, පෙ.ව. 10:00 72

තවත් වසරක් අවසන් විය. ගෙවුණු 2021 වසර වෙනත් වසරවලට සාපේක්ෂව ලංකාවට මෙන්ම සමස්ත ලෝකයටම එතරම් සුබදායී වසරක් නොවීය. කොවිඩ් වසංගතය හේතුවෙන් වරින් වර ලොව පුරා රටවල් අගුලු දමන්නට වූ අතර ඇඳිරි නීතිය හමුවේ රට වසා තැබුණු කාලය ද දිගු විය. මේ නිසාම පාසල් දරුවන්ට ඉගෙන ගැනීමට පවා සිදු වූයේ online ක්‍රමයටය. රට පුරා පැවති සියලුම උත්සව දින නියමයක් නොමැතිව කල් ගිය අතර විදෙස් සංචාරකයන්ගේ පැමිණීමද නතර විය.

කෙසේ වුවද මාස ගණනාවක් මෙලෙසින් රටේ පැවති තත්ත්වය පසුගිය මාස දෙක තුළ යම් සැනසිලිදායක මට්ටමකට අඩු විය. සංචාරකයන්ගේ පැමිණීමද යම් මට්ටමකට සිදුවූ අතර උත්සව පැවැත්වීමටද සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේදවලට අනුකූලව අනුමැතිය ලබා දී තිබුණි. 2022 වසර ආරම්භ වූයේ කොවිඩ් සම්බන්ධයෙන් යම් සැනසිලිදායක වටපිටාවක වුවද ආර්ථිකමය වශයෙන් ජනතාවට එතරම් සැනසිලිදායක පරිසරයක් නොවීය. තත්ත්වය එලෙස පැවතියද වෙන වසරවල තරම් නොවූවත් 2021 වසර ගෙවී යාම සැමරීමට ඇතැම් හෝටල් උත්සව සංවිධානය කර තිබුණි.

සාමාන්‍යයෙන් දෙසැම්බර් 31 වැනිදා රාත්‍රිය උත්කර්ෂවත් අන්දමින් සමරන දිනයකි. 2020 වසරේ දෙසැම්බර් 31 වැනිදා එලෙස උත්කර්ෂවත් අන්දමින් සමරන්නට කොවිඩ් වසංගතය ඉඩ දුන්නේ නැත. මේ නිසාම බොහෝ ජනතාව තම නිවෙසේ සිට නිවැසියන් සමඟ එක්ව එම දිනය සැමරෑහ. නමුත් මෙවර 2021 දෙසැම්බර් 31 වෙනම රැයකි. පාස්කු ප්‍රහාරයත්, කොවිඩ් වසංගතයත් හේතුවෙන් දෙසැම්බර් 31 රාත්‍රිය උත්කර්ෂවත් අන්දමින් සමරන්නට නොහැකි වූ ජනතාවට මෙවර යම් මට්ටමකින් 31 රෑ සමරන්නට අවස්ථාව උදා විය. 

2020 දී 31 රෑ කොළඹ ඉහළ පෙළේ හෝටල්වල උත්සව සමරන්නට නොහැකි වුණු පිරිස් මෙවර සුපිරි හෝටල්වලට පැමිණියහ. කොළඹ ප්‍රධාන පෙළේ එක් සුපිරි හෝටලයක් 31 රෑ බුෆේ ක්‍රමයට ආහාරවේල මිල කර තිබුණේ රුපියල් හත්දාස් පන්සීයකටය. තවත් සුපිරි හෝටලයක රාත්‍රී ආහාරවේලක් වැඩිහිටියන් සඳහා රුපියල් පන්දාස් හත්සිය පනහකටද, දරුවන් වෙනුවෙන් රුපියල් තුන්දාස් දෙසීයකටද වෙන්කර තිබුණි. ඊට අමතරව මත්පැන් සඳහා රුපියල් තුන්දහසක්ද, වයින් වීදුරුවක් සඳහා රුපියල් එක්දහස් පන්සීයක්ද මිල කර තිබිණි. මේ මිල ගණන් සියල්ල අදාළ වෙබ්අඩවි පිටු හරහා දැන්වීම් මගින් පළ කර තිබුණි. නමුත් වෙනත් වසරවලදී මෙම මිල ගණන් ඉතා ඉහළ ගිය අවස්ථාද විය. වසර දෙකකට පසුව යම් සැනසිල්ලකින් සමරන 31 රාත්‍රිය වෙනුවෙන් එම දින කිහිපය තුළ බොහෝ දෙනකු හෝටල් වෙත පැමිණ සිටි බව වාර්තා විය.

මීගමුව ඉතා ඉහළින් 31 රාත්‍රිය සමරන ප්‍රදේශයකි. නමුත් ගෙවුණු පාස්කු ප්‍රහාරයත් සමඟ 2020 මීගමු වැසියන් 31 රූ ගත කළේ පාළුවට ගිය, කළු කොඩි එසවුණු නගරයක් සමඟය. වසර දෙකකට පසුව මෙවර 31 රෑ මීගමු වැසියෝද මඳ අස්වැසිල්ලකින් 31 රෑ සැමරීමට සූදානමින් සිටියහ. මීගමුව වෙරළට යාබදව ඉදිකර තිබූ හෝටල් කිහිපයක්ම විශේෂ ආහාරවේල් යටතේ (New year eve parties) ලෙසින් උත්සව සංවිධානය කර තිබුණි. මීගමුවේ ඉතා ප්‍රසිද්ධ සුපිරි හෝටලයක් 31 රෑ ආහාරවේලක මිල රුපියල් හත්දාස් පන්සීයක් ලෙස මිල කර තිබුණි. නත්තල් අසිරියත් සමඟ ඒ දින කිහිපය පුරාවට මීගමු වෙරළ තීරයේ ඉහළ අහස පුරා දැකගත හැකි වූයේ විචිත්‍රවත් ගිනිකෙළි සහ මල්වෙඩි සංදර්ශනයන්ය. වසර දෙකකට පසුව මෙරටට පැමිණි විදෙස් සංචාරකයන් පිරිසක් මීගමු නිවාඩු නිකේතන හා හෝටල්වල නවාතැන් ගැනීමට කටයුතු කළහ. ඔවුහු ද මීගමු වෙරළ තීරයේ අසිරිය බලන්නට පැමිණ සිටියහ.

මාස ගණනාවක් නිවෙස්වලට සීමා වී සිටි තවත් පිරිසක් නුවරඑළිය, ගාල්ල, හික්කඩුව වැනි ප්‍රදේශවලට ගොස් හිතේ හැටියට සංචාරය කිරීමට මේ දින කිහිපය වෙන් කර ගත්හ.

සෑම හෝටලයක්ම සංගීත කණ්ඩායමකින් හෝ DJ සංගීතයකින් වර්ණවත් විය. කොවිඩ් වසංගතය හේතුවෙන් සංගීත කණ්ඩායම්වල නර්තන ශිල්පීන් ඇතුළු බොහෝ දෙනකුට තම ජීවනෝපාය අහිමිව යද්දී නැවතත් සංගීත ප්‍රසංග පැවැත්වීමට ඉඩ ලබා දීමට රජය ගෙන ඇති තීරණයත් සමඟ සංගීත කණ්ඩායම් ඇතුළු කලාකරුවන්ට නැවතත් එම අවස්ථාව උදා විය.

&කොවිඩ් වසංගතය නිසා අවුරුදු දෙකකට කිට්ටු වෙන්න ප්‍රසංග නැවතිලා තිබුණා. සාමාන්‍යයෙන් ලංකාවට ව්‍යසනයක් ආවාම මුලින්ම නවත්වන්නෙ ප්‍රසංග කලාවයි. අන්තිමට පටන් ගන්නෙත් ප්‍රසංග කලාවයි. කෙසේ හෝ ඒකට දැන් අවසරය ලැබිලා තියෙනවා. අපි ෆ්ලෑෂ් බැක් සංගීත කණ්ඩායම කටුනායක, ඇවරිවත්ත BOI ක්‍රීඩාංගණයේදී සංගීත ප්‍රසංගයක් පැවැත්වුවා. ඒ ප්‍රසංගය අපි සම්පූර්ණයෙන්ම සෞඛ්‍ය මාර්ගෝපදේශවලට අනුකූලවයි පැවැත්වුවේ. අපිට අවසරය ලැබුණට අපි ඒක අවභාවිත කරන්න හොඳ නැහැ. ඒක මුළු ක්ෂේත්‍රයම දැනගන්න ඕන දෙයක්. තාම මේ අවදානම තියෙනවා. ඒ අවබෝධයෙන් තමයි අපි මේ වැඩේ කළේ.* යැයි ෆ්ලෑෂ් බැක් සංගීත කණ්ඩායමේ නායක රොෂාන් ප්‍රනාන්දු දේශයට පැවසීය.

මෙම ප්‍රසංගය නැරඹීමට අවස්ථාව ලැබුණේ කොවිඩ් එන්නත් දෙකම ලබාගත් අයට පමණි. ෆ්ලෑෂ් බැක් සංගීත කණ්ඩායම සමඟ මෙම ප්‍රසංගයේදී ශානිකා වනිගසේකර, නිලාන් හෙට්ටිආරච්චි, නිලංග ද සිල්වා ගීත ගායනා කළ අතර ටිකට් පතක මිල රුපියල් හාරසීයකි. රාත්‍රී 8 සිට නව අවුරුදු උදාව දක්වා මෙම (Flash back live in concert) ප්‍රසංගය පැවැත්විණි.

“31 රෑ ජිප්සීස් සංගීත කණ්ඩායම සමඟ තවත් ශිල්පීන් දෙදෙනෙක් (සිනමන්ඩ් ලේක්) හෝටලයේ තවත් සංගීත කණ්ඩායමක් සමඟ ප්‍රසංගයක් පැවැත්වුවා. එහෙම තමයි අපේ 31 රෑ ගත වුණේ.” යැයි ජිප්සීස් සංගීත කණ්ඩායමේ වත්මන් නායක පියල් පෙරේරා මහතා දේශයට පැවසීය.

නිවෙස්වලටම කොටු වූ ජීවිතවලට පොඩි සැනසිලිදායක තත්ත්වයක් උදා වූවා පමණි. නමුත් ඒ ලැබුණු නිදහස අයුතු ලෙස ප්‍රයෝජනයට ගෙන කොවිඩ් වසංගතය අමතක නොකිරීම සියලු දෙනාගේ වගකීමයි. ලැබුවා වූ අලුත් අවුරුද්දට අප පා තැබිය යුතු වන්නේ ගෙවුණු අවුරුද්දෙන් උගත් පාඩම මතකයේ තබා ගනිමිනි.

 දිශානි ජයමාලි කරුණාරත්න