2022 ජනවාරි 01 වන සෙනසුරාදා

අද රටට අවශ්‍ය රාජ්‍ය සේවයේ තරම

 2022 ජනවාරි 01 වන සෙනසුරාදා, පෙ.ව. 10:00 150

ජනතා ඡන්දයෙන් දේශපාලනඥයෝ තෝරා ගැනෙති. නිලධාරීන් පත් කරන්නේ සුදුසුකම් අනුවය. රටට අනන්‍ය ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් ඇත. එයට ඇතුළින් පරිපාලන ක‍්‍රමවේදයක්ද තිබේ. ව්‍යවස්ථාවට අනුව බලයට පත්වන ආණ්ඩු රාජ්‍ය යාන්ත‍්‍රණය අනුව රට ඉදිරියට ගෙන යා යුතුය. ශ‍්‍රී ලංකාවේ රාජ්‍ය සේවයේ ආරම්භය අධිරාජ්‍යවාදී පාලන කාලයයි. ලංකාව පාලනය කළ බි‍්‍රතාන්‍ය අධිරාජ්‍යවාදීහු ඔවුන්ගේ නීති හා විධිවිධාන අනුව කාර්යාල ක‍්‍රම ඇති කළහ. නිදහස ලබාගත් පසු වරින්වර බලයට පත් ආණ්ඩු ඒවායේ වෙනස්කම් කළහ. මහජනතාව වෙනුවෙන් සේවය සඳහා අලුත් කාර්ය සාධන විධිවිධාන පැනවූහ. රතු ඉර අඳින ක‍්‍රමවේදයේ සිට නිවසේ සිට රාජකාරි කරන තැන දක්වා පැමිණි ගමන තුළ එකිනෙකට වෙනස් විවිධ අභියෝග තිබුණි. 

රාජ්‍ය සේවය තරම් ජනතාවගේ විවේචනයට ලක් වූ අනෙක් ආයතනයක් නැත. දේශපාලනඥයන්ගේ උදහසට ලක්වෙන්නේද නිලධාරීහුය. නීති රීතිවලට අනුව සේවය කළයුතු අතර මහජන ඡන්දයෙන් බලයට පත්වන මැති ඇමැතිවරු වේගයෙන් හා ජනතාව ඉල්ලන දේ අනුව කටයුතු කරන්නට යුහුසුළු වෙති. එහිදී ඇතිවන ගැටුම් අර්බුද කෙළවරක් නැත. දේශපාලනය අනුව තීන්දුගැනීමේ අවසානය අධිකරණයෙන් දඬුවම් ලබන තැනට යොමු වූ අවස්ථා ඉතිහාසයේ සඳහන්ය. නිලධාරීන්ගේ තරම ගැන නැවත නැවතත් සාකච්ඡා වෙමින් තිබේ. රට කරවන්නට හවුල්වීම හා එම හවුලකරගෙන යන ආකාරය ගැන පුළුල් සංවාදයක් අවශ්‍යය.

• ජනතා නායකත්වයකට නිලධාරීන්ගේ හරසර

ශ‍්‍රී ලංකාවේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය අනුව තල ගණනාවකි. ජනාධිපතිවරයා විධායක බලතල උසුලයි. ව්‍යවස්ථාදායකය අනුව පාර්ලිමේන්තුව, පළාත් සභාව හා පළාත් පාලන ආයතන තිබේ. පළාත් සභා ඡන්ද විමසීම කල්දමා ඇති කාලයක එහි වගකීම පැවරෙන්නේද ආණ්ඩුකාරවරයාටය. මෙම අංශ ආවරණය කරන නිලධාරී කණ්ඩායමක් සිටී. රාජ්‍ය සේවය යනුවෙන් පොදුවේ හැඳින්වෙයි. නිදහස ලැබූ මුල් කාල වකවානුවේ රජයේ නිලධාරීන් තුළ මහජනතාව වෙනුවෙන් සේවය කරන සැබෑ කැක්කුමක් තිබුණි. එයට සාක්ෂි තිබේ. බොහෝ දුෂ්කරතා මැද අවම පහසුකම් යටතේ රට ඉහළට ඔසවන පරිශ‍්‍රමයට දායක වී ඇත. ආණ්ඩුවෙන් ලිපියක් නිල වශයෙන් ලැබෙන තෙක් ජනතාවගේ කටයුතු ප‍්‍රමාද කළේ නැත. හදිසි විපත් අවස්ථාවල නිලධාරීහු තීරණ ගත්හ. කොළඹ සිට නිවේදනයක් ලැබෙන තෙක් තීරණ නොගෙන සිටියේ නැත. 

දේශපාලනය තුළද මහත්මා ලක්ෂණ තිබුණි. නිලධාරීන්ට ගරු කළහ. ඔවුන් සමඟ සංවාදයක සිටි අතර කුඩා එහෙත් ශක්තිමත් නිලධාරී පැලැන්තිය දේශපාලනය හා රාජ්‍ය සේවයේ බලය මැනැවින් තුලනය කළහ. පක්ෂ හා විපක්ෂ ගැටුම් බහුලව නොතිබුණ අතීතයේ විත්ති අදටත් රාජ්‍ය සේවයේ නිරතව සිටි ඉහළ නිලධාරීහු සතුටින් සිහිපත් කරති. ප‍්‍රතිවිරුද්ධ නායකයකු පවා ඉල්ලීමක් කළහොත් රජයේ සේවකයෝ එහිදී අවධානය යොමු කළහ. නියමාකාරයෙන් සිදුවිය යුතු එයයි. විපක්ෂ දේශපාලනඥයාගේ පවා අධ්‍යාශය ජනතාව වෙනුවෙන් සේවය කිරීමය. ආණ්ඩු බලය පමණක් නොව විපක්ෂයේ බලයද රටක සංවර්ධනයේදී ඉතා වැදගත්ය.

• පටු පරමාර්ථ සහිත වැඩපිළිවෙළක අවසානය

බලය ලබා ගැනීම පමණක් අරමුණු කරගෙන ක‍්‍රියාත්මක දේශපාලනය රාජ්‍ය සේවයෙහි තිබිය යුතු ගුණාංග වැනසීය. එහි ශක්තිමත් භාවය අඩුකරන ලද අතර දේශපාලන පත්වීම් මගින් ස්වාධීනත්වය පළුදු කරන ලද බව මතක් කළ යුතුය. මැතිවරණ ජයග‍්‍රහණ සමග තමන්ට පක්ෂපාතී පිරිස් රාජ්‍ය සේවයට එකතුකරගත් අතර එයින් සිදුවූ හානිය 

පර් යේෂකයන්ගේ අවධානයට ලක්වීම අවශ්‍යය. ජනසවිය, ගොවි නියාමක, සමෘද්ධි වැනි අංශවල පිරිස් බඳවාගත් අතර එයට පරිබාහිරව සෑම අමාත්‍යංශ්‍යකටම, දෙපාර්තමේන්තුවකම පරිපාලන ප‍්‍රඥප්තිවලට එපිටින් කාර්ය මණ්ඩලය අතිරේකව එකතු කරගෙන තිබේ. එහි ප‍්‍රතිඵලය ශ‍්‍රී ලංකාව වැනි කුඩා රටකට ඔරොත්තු නොදෙන විශාල රජ්‍ය සේවයක් බිහිවීමය.   

වාර්තා පෙන්වන පරිදි රජයේ සේවය කරන පිරිස මිලියන දහතුනක් බව දැක්වෙයි. මෙම පිරිසගේ වැටුප් හා විශ‍්‍රාම වැටුප් වියදම පමණක් ජාතික ආදායමෙන් සියයට අසූ තුනකි. මහා භාණ්ඩාගාරය මෙම ප‍්‍රශ්නය මැනැවින් අවබෝධ කරගෙන සිටී. විශාල රාජ්‍ය යාන්ත‍්‍රණය පවත්වාගෙන යනු පිණිස අවශ්‍ය කරන කාර්යාල, යාන වාහන හා අනෙක් පහසුකම් මැදි ආදායම් ලබන ශ‍්‍රී ලංකාවට කිසිසේත් ඔරොත්තු නොදෙන තත්ත්වයකි. එහි කිසිම පරිවර්තනයක් හෝ ප‍්‍රතිසංස්කරණයකට ඉඩ නැත. කොවිඩ් වසංගත තත්ත්වය යටතේ පෞද්ගලික අංශයේ ආයතනවල ඉහළ සිට පහළ දක්වා සෑම තලයකම සේවය කරන පිරිසගේ වැටුප් හා දීමනා යම් ප‍්‍රතිශතයකින් කපා හරින ලද බව මතක් කළ යුතුය. එවැනි පියවරක් නොවේ නම් එකී ආයතනවල පැවැත්ම දුෂ්කරවනු නොඅනුමානය. එහෙත් රාජ්‍ය අංශයේ වැටුප් අඩු කිරීමක් සිදුවූයේ නැත. ගුරුවරු, රෝහල් කාර්ය මණ්ඩලය හා තවත් ආයතන රජයේ උග‍්‍ර ආර්ථික ගැටලු පසෙක තිබියදී වැඩි වැටුප් ඉල්ලා සටන් කළ බව මෙහිදී දැක්විය යුතු තවත් පැත්තකි. 

• කාර්යක්ෂමතාව හා ඵලදායීතාව ගැන යමක්

වැඩිම පිරිසක් ජනතාව වෙනුවෙන් සේවය කිරීමට සිටියදී එයින් ලැබෙන සේවාව ගැන කිසිම ප‍්‍රසාදයක් ජනතාව තුළ නැත. එය ඉතා කණගාටුදායක පැත්තකි. රජයේ කාර්යාලයක ස්වභාවය ගැන මහජනතාව අතෘප්තිමත්ය. ලිපියකට උත්තර ලියන්නේ නැති අවස්ථා ප‍්‍රමාණය. සෑම නිලධාරියකුටම ජංගම දුරකතන හා ස්ථාවර දුරකතන පහසුකම් ඇත. එහෙත් ඒවාට කතාකර කාරණයක් ගැන විමසුවහොත් උත්තර ලැබෙන ප‍්‍රමාණය සුළුය. වැඩි කොටසක් කාර්යබහුලය. මෙවැනි පසුබිමක් තිබියදී තාක්ෂණයෙන් යමක් අපේක්ෂා කළ හැකිද? රාජ්‍ය ආයතනවල ඊමේල් වැඩ කරන්නේ නැත. වෙබ් අඩවිවල ඇති තොරතුරු ඉතාම යල්පැන ගිය ඒවාය. රාජ්‍ය තොරතුරු කේන්ද්‍රයට කතාකරන්න. ඔවුන්ටද විසඳුමක් නැත. ජනතාව මුහුණ දී ඇති අර්බුදය එයින් වටහා ගත හැකිය. 

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා එය අපට නැවතත් පෙන්වා දෙයි. පසුගියදා හෙතෙම ජනමාධ්‍ය ප‍්‍රධානීහු මුණ ගැසිණ. සිය ප‍්‍රතිපත්තිවලට නිලධාරීන්ගෙන් ලැබෙන සහාය ගැන එතුමා ප‍්‍රසිද්ධියේ කරුණු දැක්වීය. කාබනික පොහොර භාවිත කිරීම ගැන ප‍්‍රවණතාව අලුත් දෙයක් නොවේ. ජනාධිපතිවරයා මුළු රටම කාබනික කලාපයක් කර ජනතාව වස විසෙන් ගලවා ගැනීමේ ප‍්‍රයත්නයක් ඇරඹීය. කෘෂිකර්ම නිලධාරීන් එයට නිසි සහායක් සහිතව ගොවි ජනතාව අතරට ගියේනම් යම් සාධනීය ප‍්‍රතිඵලයක් ලබාගත හැකිව තිබුණි. 

සෑම අංශයකම ඉහළින් තීරණ ගන්නා තෙක් බලා සිටී. සෑම තැනකම ලිපිගොනු ගොඩගැසී ඇත. රාජකාරි කටයුතු සීමා වී ඇති බව පෙනේ. මෙවැනි පැතිවලින් රටට ලැබෙන වාසිය කුමක්ද? පැරණි ව්‍යුහය මතක තබා ගත යුතුය. දේශපාලනයට ඉදිරියෙන් සිටි දක්ෂ රාජ්‍ය සේවයක් අපට තිබුණි. එම පැවැත්ම අපට නැවතත් අවශ්‍යය. රජයේ සේවකයන්ට ආකල්ප ගැනත්, රාජකාරි කටයුතු ගැනත් පුහුණුවක් අවශ්‍ය කෙරේ. මහජනතාව ගැන ඇල්මෙන් ක‍්‍රියාකරන ප‍්‍රතිපත්ති හඳුන්වා දිය යුතුය.

• නායකයන්ගේ දැක්ම රටට අනන්‍ය කරගැනීම

බලයට පත්වන පාලකයෝ රට වෙනස් කරන අභිලාශයක සිටිති. ප‍්‍රජාතන්ත‍්‍රවාදී පාලන ක‍්‍රමය අනුව ජනාධිපතිවරයාට හා ඔහුගේ ආණ්ඩුවට සැලැස්මක් ඇත. ජනතාව සමඟ ඇති කරගන්නා සම්මුතිය අනුව නියමිත කාලය තුළ ජයග‍්‍රහණ අත්පත් කරගත යුතුව තිබේ. ආණ්ඩුවක් බලයට පත්වීම පක්ෂයක් බලය ලබාගැනීම නොවේ. අපගේ දේශපාලන සටන් පාඨ අනුව හැම තැනෙකම දේශපාලනය ඉහවහා ගොස් ඇත. පිල් බෙදී තිබේ. ඡන්දයේදී පක්ෂ වශයෙන් බෙදෙන නමුත් ජයග‍්‍රහණයෙන් පසු එක රටකි. ආණ්ඩුවට පාක්ෂිකත්වයක් තිබිය නොහැක. නිලධාරීන්ට පක්ෂ බේද පැත්තකට කර වැඩ කරන්නට සිදුවෙයි. එම ව්‍යුහය අපට නුහුරුය. සෑම අමාත්‍යංශයකම වෘත්තීය සමිති තිබේ. බලයට එන ආණ්ඩු අනුව වෘත්තීය සමිතියක බලය වෙනස් වෙයි. ඉහළ නිලධාරීහු වෙනස් කෙරෙති. මේවායෙන් ඇති කරන කලකිරීම බලවත් ප‍්‍රශ්නයකි.

ශ‍්‍රී ලංකාව වේගවත් ආර්ථික සංවර්ධනයකට ඇතුළු විය යුතු අවස්ථාවකය. ලෝකයේ අනෙක් රටවල් සමග සසඳනවිට පමා වූ සංවර්ධනයක සිටින අතර වහාම නිසි ක‍්‍රියාමාර්ගවලට ඇතුළත් විය යුතුව තිබේ. බලයට පත්වන ආණ්ඩුව හා ජන නායකයාගේ අදහස් ප‍්‍රතිපත්ති හා දර්ශනය අනුව සැලසුම් කරන්නට අවශ්‍යය. ගෝඨාභය රාජපක්ෂ මහතා පමණක් නොවේ. මෑත කාලය තුළ බලයට පත් ආණ්ඩුවල නායකයන්ගේ දැක්ම රාජ්‍ය යාන්ත‍්‍රණයට නිසි සේ ඇතුළත් වූයේ නැත. අන්තර්ග‍්‍රහණයක් සිදු නොවිණ. පාක්ෂික පිරිසකගේ උවමනාව අනුව ප‍්‍රචාරණයට ගෙන ගිය වැඩ පිළිවෙළකට සීමා විය. අලුත් සැලසුම්, අලුත් අත්හදා බැලීම් ප‍්‍රතිවිරුද්ධ දේශපාලන පක්ෂවල දරුණු විවේචනයට හා අපහාසයට හේතු වූ බව සඳහන් කළ යුතුය. එයින් අවාසිය රටටය. තීන්දු ගැනීමේදී බාධා ඇති කරයි. ආයෝජන දුර්මුඛ කරයි. අවාසිය පොදු ජනතාවටය. මෑත භාගය තුළ නිලධාරීන්ගේ ප‍්‍රමාද හා වෘත්තීය සමිති විරෝධය මත ආපසු හැරවූ ව්‍යාපෘති දෙස බලන්න. දේශපාලන ගැටුම් මත අහිමි වූ අවස්ථා ගැන සලකා බලන්න. ඒවායෙන් සිදුවූ අවාසි සුළුපටු නොවේ. 

රටට අලුත් අවස්ථා දිනා ගත යුතු අතර අද සිටින නායකයා පමණක් නොව අනාගතයේ බලයට පත්වන නායකයාටද ඔහුගේ ගමන සඳහා බලයක් වන රාජ්‍ය සේවයක් රටට අවශ්‍යය. ප‍්‍රතිපත්ති සකස් කරගැනීම වැදගත්ය. ඇමැතිවරයෙකුගේ උවමනාව, ජනාධිපතිවරයාගේ අධ්‍යාශය නොව රට ඉදිරියට ගෙනයාම ගැන 2022 දී සලකා බැලිය යුතු පැත්තකි. සියලු දෙනා එකතු වී පෙරමුණකට ගමන් කළහොත් අපේ දරුවන්ගේ අනාගතය පැහැදිලිය.

 සාරා කන්දෙගොඩ