2022 ජනවාරි 01 වන සෙනසුරාදා

ත්‍රිමලේ තෙල් ටැංකි හවුල්කාර සමාගමකට!

 2022 ජනවාරි 01 වන සෙනසුරාදා, පෙ.ව. 10:00 110

ත්‍රිකුණාමලයේ තෙල් ටැංකිවල අයිතිය කාහටද? මෙම පැනයට නිශ්චිතව පිළිතුරක් ලබාගැනීමට පුරවැසියන් සතු අයිතියකි. එහෙත් ඊට නිසි පිළිතුරක් කිසිදු පාර්ශ්වයක් මේතාක් ලබාදී නොමැත. එවන් පසුබිමක් තුළ මේ දිනවල දේශපාලන කරළියේ ත්‍රීමලේ තෙල් ටැංකි හේතුවෙන් ගිනියම්ව තිබේ. ඒ අනුව පෙනී යන්නේ  කලින් කලට නිර්මාණය වන තෙල් ටැංකි පිළිබඳ සාමජ සංවාදය මෙවර උච්චතම අවස්ථාවලට පැමිණි ඇති බව පෙනී යයි. මෙහිදී ඉතිහාසය කුමක්ද? සිදුවෙමින් ඇත්තේ කුමක්ද? සිදුවීමට යන්නේ කුමක්ද? යන ප්‍රශ්න ත්‍රිත්වයට ඔබ වෙනුවෙන් පිළිතුරු සෙවීමට අපි උත්සහා කළෙමු.

සියල්ලට පළමු මෙම තෙල් ටැංකි පිළිබඳ ඉතිහාසය සැකවින් පැහැදිලි කර ගැනීම මෙම සංවාදයේ ලා වැදගත්ය. පළමු ලෝක යුද්ධයෙන් අනතුරුව බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදීන් විසින් නිර්මාණය කරන ලද තෙල් ටැංකි සංකීර්ණය මුලින් ටැංකි 101න් සමන්විත වූ අතර දැන් එයින් ඉතිරිව තිබෙන්නේ 99 ක් පමණි. 1924 වසරේදී පමණ ඉදිකිරීම් වැඩ අරඹා නවසිය තිහේ දශකයේ අගභාගය වනවිට තෙල් ගබඩා සංකීර්ණයේ වැඩකටයුතු අවසන් කර ඇති බව කියැවේ. එසේම බ්‍රිතාන්‍ය අධිරාජ්‍යය යටතේ පැවති, අප්‍රිකානු රටවල්වල කම්කරුවන්ගේ ශ්‍රම දායකත්වය මතින් ගොඩනැඟුණු ත්‍රිකුණාමල තෙල් ටැංකි සංකීර්ණය දෙවැනි ලෝක යුද්ධයේදී බ්‍රිතාන්‍ය අධිරාජ්‍යය භාරයේ පැවති විශාලතම තෙල් ගබඩාව විය. මිත්‍ර හමුදාවන් හා සම්බන්ධ අතිශය තීරණාත්මක සැපයුම් හා මෙහෙයුම් මධ්‍යස්ථානයක් වූ නිසාම දෙවැනි ලෝක යුධසමයේ ජපානයේ මූලික ඉලක්කයක්ද විය.

බ්‍රිතාන්‍ය පාලනයෙන් නිදහස් වූ පසු මෙහි අයිතිය ලංකාවට හිමි වුවත් එහි සම්පූර්ණ ධාරිතාව භාවිත කිරීමට තරම් විභවතාවක් හෝ අවශ්‍යතාවක් ශ්‍රී ලංකාව සතු නොවූ බව පැහැදිලිය. අතරමැදි කාලයේදී ලෝක බලවතුන්ගේ අවධනය ඒ වෙත යොමුවීමට එයද හේතුවක් විය. ත්‍රිකුණාමලයේ භූ දේශපාලනික වැදගත්කමද සලකා ආසියාවේ විශාලතම ඛනිජ තෙල් ආනයනකරුවා වූ ඉන්දියාව මෙය තෙල් ටැංකි සංකීර්ණ සම්බන්ධ අවධානයෙන් පසුවූයේ 70 දශකයේ පමණ සිටය. එම කාලකවානුවේදී සිදුවූ සිදුවීම් සම්බන්ධ සවිස්තරාත්මක වාර්තාවක් ඉදිරිපත් කිරීමට මෙය සුදුසුය අවස්ථාව නොවේ.

කෙසේ වෙතත් ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන සහ ඉන්දීය අගමැති රජීව් ගාන්ධි විසින් 1987දී අත්සන් තබන ලද ඉන්දු-ලංකා ගිවිසුම ප්‍රකාර ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි සංකීර්ණය සම්බන්ධයෙන් ඉන්දියාව හැර වෙනත් කිසිදු රටක් සමග ගනුදෙනු නොකිරීමට ශ්‍රී ලංකාව බැඳී සිටී. ඒ අනුව ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි පිළිබඳ ඉන්දීය නෛතික මැදිහත් වීම ආරම්භ වූ නමුත් වසර 15ක් යනතුරු ඒ සඳහා විධිමත් ක්‍රමවේදයක් සකස් නොවුණි. ඒ අනුව 2003 වසරේදී හවුල් ව්‍යාපාරයක් ලෙස ත්‍රිකුණාමලය තෙල් ගබඩා සංකීර්ණය සම්බන්ධයෙන් ක්‍රියාත්මක වීම ශ්‍රී ලංකාව හා ඉන්දියාව ඇරැඹුවේය.

ඒ අනුව 2003 දී අගමැති රනිල් වික්‍රමසිංහගේ එක්සත් ජාතික පෙරමුණු පාලනය ඉන්දීය ඛනිජ තෙල් (IOC) සමාගම සමග ගිවිසුමකට අත්සන් තැබුවේය. එම ගිවිසුම ප්‍රකාරව ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි 99 වසර 37ක කාලයක් සඳහා බදුදීම මෙන්ම ශ්‍රී ලංකාව තුළ ඛනිජ තෙල් බෙදාහැරීමේ කටයුතුවලින් තුනෙන් එකක් ඉන්දීය සමාගමට පැවරිණි. කෙසේ වෙතත් එවක පටන් IOC සමාගම භාවිත කර තිබෙන්නේද ඒ අතරින් ටැංකි 14ක් පමණි.

ඉතිහාසයේ එසේ වනවිට වර්තමානයේ සිදුවමින් පවතිනේ කුමක්ද යන්න තේරුම් ගැනීම වැදගත්ය. මෙහිදී පළමු අවබෝධ කරගත යුතු යථාර්ථයක් වෙයි. ජාතික සම්පත් විකිණිම යනු දේශපාලන සටන් පාඨයේ ත්‍රිකුණාමලය තෙල් ටැංකි යනු ප්‍රධාන දේශපාලන කරුණකි. ආරම්භයේ පටන්ම මෙම ගිවිසුම් තුළ අර්බුද පැවති බව සැබෑවකි. එහෙත් පැවති සියලු ආණ්ඩු එය විසඳන මුවාවෙන් දේශපාලන වාසි ලබාගැනීමට උත්සාහ කළ අතර සියලු විපක්ෂ කණ්ඩායම් ජාතික සම්පත් විකිණීමක් නම් දේශපාලන පාඨයට මෙම තෙල් ටැංකි භාවිතා කළේය.

කෙසේවෙතත් වර්තමානයේ සිදුවෙමින් පවතින්නේ රටේ පවතින විදේශ විනිමය අර්බුදයෙන් ගොඩ ඒම සඳහා රජය ත්‍රිකුණාමලය තෙල් ටැංකි සංකීර්ණය ඒකාබද්ධව සංවර්ධනය කිරීම සඳහා නව සමාගමක් යටතට පත් කිරීමට සූදානම් වීමයි. “ට්‍රින්කොමලී පෙට්රෝලියම් ටර්මිනල්ස් ලිමිටඩ්” නමැති එම සමාගම ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට සහ ලංකා IOC සමාගම සමග ඒකාබද්ධව පිහිටුවීමට සූදානම් වෙයි. දැනට පැවැති ආරංචි අනුව එහි 49%ක කොටස්වල අයිතිය ලංකා IOC සමාගම වෙත ලබාදීමට යෝජනා වී ඇත. එහෙත් එම අගයන් පිළිබඳ ස්ථිර තීරණයක් ප්‍රකාශයට වත්ව නොමැත.

එසේ නමුත් පසුගියදා ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති නීතිඥ සුමිත් විජේසිංහ පවසා සිටියේ දැනට මෙම යෝජනාව සාකච්ඡා මට්ටමේ පවතින බවයි. ඉදිරි සතිය වනවිට මේ සම්බන්ධයෙන් එකඟතාවකට පැමිණෙනු ඇතැයිද ඔහු කියා සිටියේය. එම එකඟතාව පසුගිය සිකුරාදා වනවිට ඇතිකරගෙන තිබිණි. මේ අතර බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා ගිවිසුම ගැන කරුණු පැහැදිලි කළේය. 

කෙසේ වෙතත් මෙම ගනුදෙනුව පිළිබඳ සාකච්ඡා සිදුවනුයේ ශ්‍රී ලංකාව තුළ පමණක් නොවේ. ඉන්දීය මාධ්‍යයද මේ හා සම්බන්ධ පුවත් වාර්තා කරමින් සිටියි. එම පුවත් හරහා මෙරට දේශපාලන හෙළිදරව් නොකරන ඇතැම් දෑ හෙළිදරව්වීම සුවිශේෂී කරුණකි. ඒ අනුව INDIAN EXPRESS පැහැදිලිව වාර්තා කර ඇත්තේ ශ්‍රී ලංකාව මුහුණ දී සිටින ආර්ථික අර්බුදය හමුවේ නවදිල්ලියේ සහාය පැතීමට ශ්‍රී ලංකාවට සිදුවූ අතර එම නිසා ත්‍රිකුණාමලය තෙල් ටැංකි සංකීර්ණය ඒකාබද්ධව සංවර්ධනය කිරීමට දීර්ඝ කාලයක සිට පැවති සැලැස්ම කඩිනමින්ම ක්‍රියාත්මක කිරීමට කටයුතු කෙරෙන බවයි.

මෙම වර්තාවට අනුව මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා නොවැම්බර් මාසයේ නවදිල්ලියේ සංචාරය කළ අවස්ථාවේ ඔහුට කරුණු හතරකින් සමන්විත පැකේජයක් යෝජනා කර ඇත. එම යෝජනා වනුයේ ඉන්දියාවෙන් පමණක් ඛනිජ තෙල් ලබා ගැනීම සඳහා ණයක් ලබාදීම, ත්‍රිකුණාමලය තෙල් ටැංකි සංකීර්ණය සංවර්ධනය කිරීම සඳහා ශ්‍රී ලංකා - ඉන්දියා එකාබද්ධ සැලැස්ම සම්බන්ධයෙන් කඩිනමින් අවසන් එකඟතාවයකට පැමිණීම, ශ්‍රී ලංකාවේ විදේශ ණය ගෙවා දැමීම සඳහා මුදල් හුවමාරුවක් ලබාදීම, විවිධ අංශවල අයෝජන සඳහා ඉන්දීය ආයෝජකයන්ට පහසුකම් සැලසීම යන යෝජනාවය. එසේ නම් ජනාවරියේ තෙල් ටැංකි නව ගිවිසුම සකස් වන්නේ මෙම යෝජනාවක් අනුව බව අපට පැහැදිලි වෙයි.

එහෙත් අමාත්‍ය උදය ගම්මන්පිල මහතා එය ප්‍රතික්ෂේප කරයි. විපක්ෂය ඇතුළු ඇතැමුන් පවසන පරිදි ඉන්දියාවේ ආර්ථික ආධාර ත්‍රිකුණාමල ගනුදෙනුව සමඟ ගැටගැසී ඇති බව ඔහු තරයේ ප්‍රතික්ෂේප කරයි. “මේ දෙක අතර කිසිදු සම්බන්ධයක් නෑ” යනුවෙන් අවධාරණය කරන ඔහු 'ආර්ථික ආධාර ලබාගැනීමට පෙර අපි මෙම ගිවිසුම ගැන සාකච්ඡා කිරීමට පටන් ගත්තා' යනුවෙන්ද ප්‍රකාශ කර තිබේ. ඉන්දියානු ආර්ථික පැකේජය පිළිබඳ නිල ප්‍රකාශයක් නොමැති පසුබිමක් ඔහුගේ ප්‍රකාශයද එකහෙළා ප්‍රතික්ෂේප කිරීම අපහසුය.

මේ අනුව ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි යනු ආර්ථික දේශපාලන උභතෝකෝටිකයක් බව පමණක් අවසානයේදී පැහැදිලි වේ. දුර්වලයා දුර්වල වනවිට ඔහු සතු දේ පැහැර ගැනීම බලවතුන්ගේ ලක්ෂණයයි. මේ සිදුවෙමින් පවතින්නේ එය නොවේ යැයි කාට කිව හැකිද?

 චමිඳු නිසල් ද සිල්වා