2021 දෙසැම්බර් 25 වන සෙනසුරාදා

පැය 12ක් මහමුහුදේ පිහිනා දිවි ගලවාගත් මැඩගස්කර ඇමැති

 2021 දෙසැම්බර් 25 වන සෙනසුරාදා, පෙ.ව. 10:00 56

මැඩගස්කර රජයේ පොලිස් ඇමැතිවරයා පසුගිය සතියේ අන්තර්ජාතික මාධ්‍ය තුළ වීරයෙක් වූයේය. අනතුරට ලක්වූ මුහුදු යාත්‍රාවක පිරිසකගේ දිවි ගලවා ගැනීමේ මෙහෙයුමක් අතරතුර ඇමැතිවරයාගේ හෙලිකොප්ටරය මුහුදට කඩා වැටීමෙන් පසු ඔහු  පැය 12ක් මුහුද හරහා පිහිනා ආරක්‍ෂා වූ බව මාධ්‍ය වර්ණනාත්මකව වාර්තාකර තිබුණි.

මෙය මට මැරෙන්නට කාලය නොවේ, දෙවියන්ටත්, මහම්බෝ ගම්මුන්ට සහ ධීවරයින්ටත්  ස්තූතියි, තව පැය 24 ක් ඇතුළත මට නැවත සේවයටත්  යාමට හැකියි,”. පැය 12ක සිය අඛණ්ඩ දුෂ්කර ප්‍රයානයෙන් දිවි ගලවාගෙන දැඩි වෙහෙසට පත්ව ස්ට්‍රෙචරයක් මත වැතිර සුවය ලබනා පොලිස් ඇමති සර්ජ් ගෙලේ කීවේය.  තමාට කිසිදු තුවාලයක් නොමැති බව පැවසූ ඔහු තමාට සීතලක් නම් දැනෙන බව කියා තිබුණි. 

57 හැවිරිදි ඇමැතිවරයා මාධ්‍ය අමතා පැවසුවේ තමන් ගිය හෙලිකොප්ටරය සුළඟට හසුවීමෙන් ඇදවැටුණ බවත්, අනතුරට ලක් වූ සඳුදා රාත්‍රී 7:30 සිට පසුදා උදෑසන 7:30 දක්වා* මහම්බෝ වෙත තමන් පිහිනා ගිය බවත්ය. මම කැමතියි ඔබ මෙම වීඩියෝව මගේ පවුලේ අයට දැකීමට, මගේ සගයන්ට බැලීමට, රජයේ සාමාජිකයින්ට දැකීමට විකාශනය කරනවාට. මම ජීවතුන් අතර හොඳින් ඉන්නවා,* ඇමැති සර්ජ් ගෙලේ සිය දිවි ගලවා ගැනීමට උපකාරී වූ මහම්බෝහි ප්‍රදේශවාසීන් සමඟ සිටියදී මාධ්‍ය අමතා  කියා තිබුණි.

ජෙන්ඩර්මරී අභ්‍යන්තර ආරක්ෂක සේනාවේ හිටපු ජෙනරාල්වරයෙකු වන 57 හැවිරිදි  අමාත්‍යවරයා මේ අනතුරින් දිවි ගලවාගත් දෙදෙනාගෙන් කෙනෙකි. ඔහු සමඟ හෙලිකොප්ටරයේ ගමන් ගත් ආරක්ෂක නිලධාරියකුද අනතුරින් දිවි ගලවා ගත්තේය. තවත් පුද්ගලයන් දෙදෙනෙක්, ආරක්ෂක නිලධාරියෙක් සහ ගුවන් නියමුවා තවමත් අතුරැදහන් වී ඇති අතර ඔවුන් මියගිය බවට බිය සැක පළව තිබේ.

නැගෙනහිර මැඩගස්කරයේ ප්‍රධාන වරාය නගරය වන ටොමාසිනාවට කිලෝමීටර් 75ක් පමණ උතුරින් මහම්බෝ වෙරළ තීරයේ ජීවිත බේරා ගැනීමට සටන් කරමින් සිටි  ඇමැතිවරයා සහ ආරක්ෂකයා ප්‍රදේශවාසීන් විසින් වෙන වෙනම සොයාගත් බව එරට සමුද්‍ර අධිකාරියේ අධ්‍යක්ෂ ජීන්-එඩ්මන්ඩ් රැන්ඩ්‍රියානන්ටෙනයිනා කියා තිබුණි.

ඇමැතිවරයා ඇතුළු මෙම කණ්ඩායම සඳුදා රාත්‍රියේ දිවයිනේ ඊසානදිග ප්‍රදේශයේ මුහුදු යාත්‍රාවක් අනතුරට ලක් වූ ස්ථානයක් පරීක්ෂා කිරීමට පියාසර කරමින් සිට ඇත. හෙලිකොප්ටරය ඇන්ට්සෙරාකා නම් කුඩා නගරයක් වෙත ගමන් කරමින් තිබුණි.

සඳුදා දිනයේ මගීන් 130 දෙනෙක් සමඟ මුහුදුබත්ව තිබූ නාවුක යාත්‍රාවේ සිටි 50 දෙනෙකු පමණ බේරාගන්නට හැකියාව ලැබී තිබුණි. අඟහරැවාදා උදෑසන ඒ මරණ සංඛ්‍යාව මගීන් 21ක් වූ අතර බදාදා දින තවත් මළ සිරැරැ සොයා ගැනීමෙන් පසු එම අනතුරින් මියගිය පුද්ගලයින්ගේ සංඛ්‍යාව 85 දක්වා ඉහළ ගොස් ඇති ජෙන්ඩර්මරි ජෙනරාල් සෆිසම්බාත්‍රා රාවෝවි කියා තිබුණි.

මෙම යාත්‍රාව මගීන් ප්‍රවාහනය කිරීමට අවසර නොමැති භාණ්ඩ ප්‍රවාහන නෞකාවකි.    අනතුරට ලක්වන විට එහි අධික ලෙස මගීන් සහ බර පටවා තිබී ඇත. යාත්‍රාවේ එන්ජිමට ජලය ගලා ගොස් ඇති බව සමුද්‍ර ඒජන්සියේ නිලධාරියෙක් මාධ්‍ය වෙත කියා තිබුණි.

රටේ ජනාධිපති  ඇන්ඩ්‍රි රාජෝලිනා මියගිය අයට ශෝකය පළ කළ අතර, වෙන වෙනම සිය ජීවිත බේරා ගනිමින් මුහුදු වෙරළේ පිහිටි මහම්බෝ නගරයට පැමිණි ඇමැතිවරයාට සහ අනෙක් නිලධාරියාට උපහාර දැක්වීය.

පොලිස් ඇමැති වන ජෙනරල් සර්ජ් ගෙලේ සමඟ වසර ගණනාවක් සේවය කළ ජෙනරාල් රාවෝවි ඔහුව විස්තර කළේ දැඩි චරිත ශක්තියකින් යුත් හමුදා මිනිසෙකු ලෙසය. “ඔහු කවදත් විඳදරාගැනීමේ හැකියාව ක්‍රීඩාව තුළින්  ප්‍රගුණ කළ, ඇමතිකමේ සිටියදීත් අවුරැදු 30ක පමණ තරැණයෙකු මෙන් ජවය - රිද්මය රුකගත්, හොඳ මොරාල් එකක් සහිත, හාදයෙකු බව ජෙනරාල් රාවෝවි හඳුන්වා දෙයි.

මහ සයුරට ඇද වැටීමෙන් පසු දැඩි රළ පහරට හසුවී අතරමංව සිටියද සිය උත්සාහය අත් නොහැරිය, ඇමැතිවරයා හෙලිකොප්ටරයේ කුෂන් ආසන කොටසක් ජීවිතාරක්ෂක ආධාරක උපකරණයක් ලෙස භාවිතා කර පිහිනා ඇති බව ඔහු පැවසීය.
සර්ජ් ගෙලේ අගෝස්තු මාසයේදී අමාත්‍යවරයා ලෙස පත්වීමට පෙර දශක තුනක් පොලීසියේ සේවය කර ඇති පළපුරැදු දක්ෂ නිලධරයෙකි.

 සුගත් පී. කුලතුංගආරච්චි