2021 දෙසැම්බර් 25 වන සෙනසුරාදා

ඩොලර් අර්බුදයට කළ යුත්තේ කුමක්ද?

 2021 දෙසැම්බර් 25 වන සෙනසුරාදා, පෙ.ව. 10:00 79

කොරෝනා තත්ත්වය රට සම්පූර්ණයෙන් කනපිට හැරවූ බව අමුතුවෙන් කිව යුතු නැත. එසේ කීවත් කොරෝනා තත්ත්වය නිසා තවත් දෙයක් අනාවරණය වූ බවද කිව යුතුමය. ඒ අපේ රටේ පිළිවෙළක් නැති ආර්ථික ක්‍රමවේදයයි. ඇත්තටම අපි ණය ගෙවමින්, ණය ගනිමින් ඉදිරියට ඇදී ගියා මිස අපිට අනන්‍ය වූ ආර්ථික ප්‍රතිපත්තියක් ගැන කිසිදු සැලැස්මක් නොතිබුණු බව වර්තමාන තත්ත්වයත් සමඟ පෙනෙන දෙයකි.

රටේ සල්ලි අඩු වූ විට මුදල් අච්චු ගසන්නත්, ණය ගෙවාගන්නට බැරි වූ පසුව ණයක් ගැනීමත් හැර වෙන සැලසුමක් නොතිබිණි. කෙසේ වෙතත් අද වනවිට විනයක් නැති ආර්ථික සැලැස්මේ උපරිම ඵලයන් නෙලා ගනිමින් සිටින්නේ අවුරුදු 72ක දේශපාලනයට දෙස් දෙවොල් තබමිනි. එය පිළිතුරක් නොවන බව කිව යුතුය.

විශේෂයෙන් වර්තමානයේ ඇතිව තිබෙන ඩොලර් අර්බුදයේ උච්චතම අවස්ථාව උදාවන්නේ ජනවාරි 18 වැනිදාය. එදිනට අපේ ණය වාරික ගෙවූ පසුව ඩොලර් සංචිතය දැනට පවතින ගණන් සමගින් ඩොලර් මිලියන 1000කට වඩා අඩු වනු ඇත. ඒ මුදලින් ආනයන කීරීම්, මිලදී ගැනීම්, සංවර්ධන ක්‍රියාවන් සිදුවුවහොත් සැබැවින්ම මේ රටට ඩොලර් නැතිවනු ඇත. තෙල්, බෙහෙත්, ගෑස් මිලදී ගැනීමට නොහැකි වනවා පමණක් නොව අඳුරේ සිටීමටද, කර්මාන්තශාලා වසා දැමීමට ද සිදුවනු ඇත. එසේ සිදුවුවහොත් එය ජනතාවට දරාගත නොහැකි වනු ඇත.

කෙසේ වෙතත් මෙම අමාරු තත්ත්වයෙන් ගොඩ ඒම සඳහා අවශ්‍ය සැලසුම් ඇති බව ආණ්ඩුවේ අය පමණක් නොව මහ බැංකු අධිපතිවරයා ද කියයි. විපක්ෂය ඇතුළු ආණ්ඩුවේ පිරිසක් පවසන්නේ කෙසේ හෝ ලෝක බැංකුව සමඟ ගනුදෙනුවකට යන ලෙසය. ඔවුන් එසේ කීවද තවත් අය කියන්නේ චීන, ඉන්දියා වැනි රටවලින් ණයක් ලබාගන්නා ලෙසය. ඇත්තටම කළ යුත්තේ කුමක්ද? කවුද හරිද යන්න අපි ඔවුන්ගෙන්ම ඇසුවෙමු. මේ ඔවුන්ගේ අදහසයි.

හොඳම දේ අයි.එම්.එෆ්. යන එකයි
පොදුජන පෙරමුණ පාර්ලිමේන්තු මන්ත්‍රී - ඩිලාන් පෙරේරා

ඔය ප්‍රශ්නයෙදී විසඳුම් හොයද්දී පැති දෙකක් තියෙනවා. එකක් අපි ඉක්මනින් අයිඑම්එෆ් එකත් එක්ක ගනුදෙනුවට යන්න ඕන. දෙක අපිට ද්වීපාර්ශ්වික ගනුදෙනු තියෙන චීනය සහ ඉන්දියාව සමඟ ගනුදෙනු කරන්න ඕන. මෙන්න මේ අන්ත දෙකේ ඉඳලා තමයි අපි මේ සම්බන්ධයෙන් විසඳුම් හොයන්න ඕන. එහෙම නැතුව බෑ.

අයිඑම්එෆ් එකත් එක්ක ගනුදෙනුවලට යනකොට කොන්දේසි වැඩියි. විශේෂයෙන් ඒ අය සල්ලි දෙන්නේ විශේෂ අවධානය යොමු කරලා විනිවිදභාවය එක්ක. ඒ වගේම මානව හිමිකම් සම්බන්ධයෙන් සැලකිලිමත් වෙනවා. තව රජයේ වියදම්, රජයේ රුකියා කප්පාදුවක් පවා වෙන්න පුළුවන්. ඒත් මම හිතනවා කොරෝනා පූර්ව සමයෙදී දාපු ඇතැම් නීතී රීති දැන් වෙනස්වෙලා ඇති. ඒ නිසා මගේ මතය වෙන්නේ  අපි අයිඑම්එෆ් එකත් එක්ක ගනුදෙනුවට යන එක තමයි හොඳම දේ.

ඒ වගේම අපි ඉන්දියාව චීනය සමඟ ගනුදෙනුවට යන එකත් ගැටලුවක් නෑ. ඒත් ඒ අය අපිට උදව් කරන්නේ අර කතාවට කියන්නේ, මීයක් කඩන්නේ අත ලෙවකන්න නෙමෙයි, වගේ දෙයක්. ඒ නිසා ඒ අය යම් වාසියක් බලාපොරොත්තු වෙනවා. එහෙම දෙයක් වෙනකොට රටේ මතයක් එනවා දේපළ විකුණනවා වගේ දේවල්. එතකොට ජන විරෝධයක් ඇතිවෙන්න පුළුවන්. කොහොම වුණත් මම හිතන්නේ මේ වෙලාවේ අපි මේ උත්තර දෙකෙන් එකක් හොයාගන්න ඕන. එහෙම නැති වුණොත් ඉදිරිය අමාරු වෙනවා.

හැබැයි කියන්න ඕන අපේ පැත්තෙන් කරන්න පුළුවන් උපරිම දේවල් අයවැයෙන් කළා. විශේෂයෙන් අපනයනය වැඩි කරලා, රජයේ වියදම් කප්පාදු කරලා, මේ සියල්ල කළේ අපේ පැත්තෙන් කරන්න පුළුවන් දේවල් එක්ක. ඒ නිසා බලමු ඉදිරිය.

එකම විසඳුම හොරකම - දූෂණය නැවැත්වීමයි
ජනතා විමුක්ති පෙරමුණ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී - සුනිල් හඳුන්නෙත්ති

ඇත්තටම ඩොලර් ප්‍රශ්නයට විසඳුමක් නෑ. කරන්න තියෙන්නේ හොරකම දූෂණය නවත්‍තන එක. කට්ටිය කියනවා අයිඑම්එෆ් එකට යන්න කියලා. ඒකට ගියොත් වෙන්නේ බෙල්ල මිරිකන එක. කප්පාදු කරන එක. ඊට වඩා හොඳ නැද්ද හොරකම දූෂණය නවත්තන එක. ඒ නිසා මේ එක එක කතා කියලා ජනතාව රවට්ටන එක නෙමෙයි. ඇත්තටම වෙන්න ඕන මේ රටේ ඉහළ හොරකම දූෂණය නවත්තන එක.

දැන් අයිඑම්එෆ් එකට ගියාම කප්පාදු කරන්න කියන්නේ රජයේ සේවකයගේ රජයේ වියදම් කප්පාදුව. ඒත් පාලකයෝ හොරකම් කරන එක අඩු වෙනවද? නෑ. ඒ නිසා ඩොලර් ප්‍රශ්නයට විසඳුම ඇත්තම හොරකම දූෂණය නවත්තන එක. ඒක කරන්න පුළුවන් අපිට. අපි ඒක කරනවා. 

වංචා - දූෂණ නවත්වන්න බැරි නිසා ආණ්ඩුව විසඳුමකට බයයි
සමගි ජනබලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී - තිස්ස අත්තනායක

ඇත්‍තටම කරන්න ඕන ගෙවුම් ශේෂය තුලනය කරන එක. අපේ රටේ ප්‍රේෂණයේ ඩොලර් මිලියන 400ක අඩුවක් තියෙනවා. අපේ අපනයන වියදමට වඩා ආනයන වියදම වැඩියි. මේ සියල්ලට උත්තරය අයිඑම්එෆ් එකත් එක්ක ගනුදෙනුවට යන එක. ඒත් ආණ්ඩුව කැමැති නෑ. ඒකට හේතුව හොරකම දූෂණය වංචාව අඩු කරන්න බෑ. ඇත්තටම අයිඑම්එෆ් ණය ලබාගැනීම ගැන ආණ්ඩුව ලොකු බිල්ලෙක් මවනවා. විශේෂයෙන් රැකියා කප්පාදුව වගේ දේවල් පෙන්නලා. ඒත් ඒ දේවල් සාකච්ඡා කරලා විසඳගන්න පුළුවන්. ආණ්ඩුව ඇත්තටම බය මේ සියල්ලට වඩා දූෂණය වංචාව නවත්තන්න බැරිකම.

අපිට චීනයෙන් ණය ලබාගන්න ලේසියි. මොකද ඒ අය අපේ වියදම් ගැන වාර්තා ඉල්ලන්නේ නෑ. ඒ නිසා ඕනෑම විදිහකට ඒ සල්ලි යොදවන්න පුළුවන් ආණ්ඩුවට. ඒ නිසා දූෂණය වංචාව ඇතිවෙන එක නතර කරන්නත් බෑ. අන්න ඒ හේතුව පාලකයන්ට වාසියි. ඒ නිසා මේකට කෙටිකාලීන, මධ්‍යකාලීන සහ දිගුකාලීන විසඳුමකට යන්න ඕන. එහෙම නොවුණොත් විශාල අර්බුදයකට යනවා. රටේ ජනතාවට මේක ගැන මහා අවබෝධයක් නෑ. ඒ නිසා මම කියන්නේ සියලු දෙනා එකතුවෙලා විසඳුම් සෙවීම අත්‍යවශ්‍යයි. ඒත් ආණ්ඩුවේ තියෙන්න ඕන විනිවිදභාවයක්.

අපට දුක ජනතාව ගැනයි
සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී - ආචාර්ය  හර්ෂ ද සිල්වා

ඇත්තමයි ඔය ගැන කතා කරලා වැඩක් නෑ. මම මාස 14ක ඉඳලා මේ ගැන කියන්නේ. ගණන් ගත්තේ නෑ. අපිට සමච්චල් කළා. මඩ ගැහුවා. අපි කියද්දී ඒ අය කිව්වේ අපිට පුළුවන් මේ ප්‍රශ්නය විසඳගන්න කියලා. දැන් විසඳගනී ඒ අය.
ඇත්තටම කලකිරිලා තියෙන්නේ මේ ආණ්ඩුව මොකක්ද කරන්නේ කියලා. හිතාගන්න බෑ ඇයි මේ දේවල් මෙහෙම කරන්නේ කියලා. තවම සැලසුමකට යන තත්ත්වයක් පේන්න නෑ. මේ රටේ මිනිස්සු ඇත්තටම පව්. ඒ මිනිස්සු මේවා දන්නේ නෑ. බලන්න ත්‍රීවිල් ගාස්තුව 60‍%කින් වැඩි කරලා. කොහොමද මිනිස්සු මෙහෙම ජීවත් වෙන්නේ. මේ අයට කිව්වට කිසිම දෙයක් අහන්නෙත් නෑ පිළිගන්නෙත් නෑ.

අයි.එම්.එෆ්. බිල්ලෙක් කියන එක අමු බොරුවක්
බතික් අත්යන්ත්‍ර රෙදි හා දේශීය ඇඟලුම් නිෂ්පාදන රාජ්‍ය අමාත්‍ය - දයාසිරි ජයසේකර

මේ වෙලාවේ වෙන විකල්ප නෑ. අපි ඉක්මනින් අයිඑම්එෆ් එක සමඟ ගනුදෙනුවට යන්න ඕන. මොකද අනෙක් රටවල්වල වගේ කොන්දේසි දාලා එහෙම බලකිරීම් නෑ. ඒ අයට අවශ්‍ය වෙන්නෙ විනිවිදභාවය. මම හිතන්නේ ඒක හොඳයි. අපේ ආර්ථිකය අධ්‍යයනයට පවා ඒක වගකීමක් වෙනවා.

සමහර අය පෙන්නන්න යනවා අයිඑම්එෆ් එක්ක ණය සහනයකට යන එක මහා බිල්ලෙක් හැටියට. ඒවා සම්පූර්ණයෙන් බොරු. මම කියන්නේ ලෝක බැංකුව එක්ක ණය සඳහා ගියොත් අපේ ආර්ථිකයට හික්මීමක් එනවා. ඒ නිසා අපිට පුළුවන් අපේ අත්‍යවශ්‍යම දේවල් සඳහා ඒ මුදල් යොදවලා මේ ආර්ථිකය නගා සිටුවන්න.

ආණ්ඩුව දැන්වත් රතු කොඩි බස්සලා කොළ කොඩි උස්සන්න ඕනෑ
සමගි ජන බලවේය පාර්ලිමේන්තු මන්ත්‍රී - පාඨලී චම්පික රණවක

මම හැමදාම කියනවා වගේ මේ ආණ්ඩුව ඔසවලා තියෙන රතු කොඩි ටික පහළ දාලා කොළ කොඩි ටික උස්සන්න ඕන. ඔය රතු කොඩි ටික තමයි වෙළෙඳපොළේ මහා ධනකුවේරයන්ට දුන්න බදු සහන ඉවත් කරන්න ඕන. සහනදායී පොලී අනුපාත මත ක්‍රියාත්මක වුණු ව්‍යාපෘති නවතා දැමීම නතර කරන්න ඕන. අන්තර්ජාතික මූල්‍ය අරමුදල හරි විශ්වාස කටයුතු රාජ්‍ය තාන්ත්‍රික ගනුදෙනුවකින් ඇරෙන්න දේශපාලන මිත්‍රකම්වලට ණය ගන්න එක නවත්තන්න ඕන. මිලිටර් පාලන ක්‍රමය නවත්තන්න ඕන. දේශීය ව්‍යපාරිකයට දේශීය වෙළෙඳපොළේ සමබිම දීලා වංචාකරුවන්ට දඬුවම් දෙන්න ඕන.

මෙම පහට අමතරව ඉදිරියටවත් අපේ මූලික වියදම් ආහාර සහ බෙහෙත් සඳහා වැය කරලා තරුණ නවෝත්පාදකයන් හරහා ඩොලර් ගෙනෙන නව නිපැයුම් බිහිකරන්න ඕන. මේ සියල්ල ඉටු කළොත් මේ අවුලෙන් නැගිටින්න පුළුවන්.

 ගයාන් ගාල්ලගේ