2021 දෙසැම්බර් 25 වන සෙනසුරාදා

විමල්-උදය-වාසු සාමූහික වගකීම කැඩුවාද?

 2021 දෙසැම්බර් 25 වන සෙනසුරාදා, පෙ.ව. 10:00 97

යුගදනවි බලාගාර ගිවිසුම වත්මන් දේශපාලනයේ උණුසුම් මාතෘකා අතුරින් එකක් බවට පත්ව තිබේ. කෙරවළපිටිය යුගදනවි බලාගාරය යනු මෙරට තිබෙන දෙවැනි විශාලම තාප විදුලි බලාගාරයයි. එම බලාගාරයේ රජයට අයත් 40%ක කොටස් අමෙරිකානු සමාගමක් වන නිව් ෆෝට්රස් එනර්ජි සමාගමට පැවරීමට කැබිනට් මණ්ඩලය තීරණය කළේය

එහෙත් එම තීරණයට විරුද්ධව අවස්ථා කිහිපයක දී කැබිනට් අමාත්‍යවරුන් තිදෙනකුගෙන් ප්‍රමුඛ කණ්ඩායමක් දේශපාලන වේදිකාවල අදහස් දැක්වූහ. ඉකුත් ඔක්තෝබර් මස ආණ්ඩුව නියෝජන කරන පක්ෂ කිහිපයක නායක ආදීහු ජනතා සභා යනුවෙන් සමුළුවක් ද පවත්වමින් යුගදනවි බලාගාරයේ කොටස් පැවරීම පිළිබඳව විරෝධය පෑහ. මීට නායකත්වය සැපයුවේ විමල් වීරවංශ, උදය ගම්මන්පිල සහ වාසුදේව නානයක්කාර යන කැබිනට් අමාත්‍යවරුන්ය. තමන්ගේ අමාත්‍ය ධූර අහිමි වුවද යුගදනවි ගිවිසුම අහෝසි කරන තෙක් ඊට එරෙහිව සටන් කරන බව ඔවුහු අවධාරණය කළහ. එම සමුළුවට අමාත්‍ය දයාසිරි ජයසේකර, ඒ.එල්.එම්. අතවුල්ලා, පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමි, ටිරාන් අලස්, ප්‍රේමනාත් දොළවත්ත යන අය ද එක්ව සිටියහ.

යුගදනවි බලාගාරය විදේශ සමාගමට පැවරීමට ගෙන ඇති කැබිනට් තීරණය බල රහිත කරන ලෙස ඉල්ලමින් මූලික අයිතිවාසිකම් පෙත්සම් පහක් පාර්ශ්ව කිහිපයක් විසින් ඉදිරිපත් කොට තිබුණි. එම මූලික අයිතිවාසිකම් පෙත්සම් දෙසැම්බර් 16 පංච පුද්ගල විනිසුරු මඬුල්ලක් ඉදිරියේ විභාගයට ගැනුණි. එම පෙත්සම්වලට සහාය දක්වමින් යුගදනවි සම්බන්ධයෙන් විරෝධය පාමින් සිටි කැබිනට් අමාත්‍යවරු ද දිවුරුම් ප්‍රකාශ ඉදිරිපත් කළහ. කැබිනට් අමාත්‍යවරුන්ගේ දිවුරුම් ප්‍රකාශ ව්‍යවස්ථා විරෝධී බව ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහතා අධිකරණය හමුවේ කියා සිටියේය. 

එම අමාත්‍යවරුන් කැබිනට් සාමූහික වගකීම් කඩ කර ඇති බවත් ඔවුන් අමාත්‍ය ධූරවලින් ඉවත් කළ යුතු බවත් පෙන්වා දෙමින් සාලිය මහතා වැඩිදුරටත් කියා සිටියේ ඔවුන්ගේ පෙත්සම පිළි නොගන්නා ලෙසය. 1947 වසරේ රජයේ අයවැය විවේචනය කළ එවකට අමාත්‍ය එම්.ඩී.එච්. ජයවර්ධන අමාත්‍ය ධූරයෙන් ඉවත් කළ බවත්, දිවංගත හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතාගේ ප්‍රතිපත්ති විවේචනය කළ ලලිත් ඇතුළත්මුදලි, ගාමිණී දිසානායක සහ ජී.එම්. ප්‍රේමචන්ද්‍ර ඇමැතිවරුන් ඔවුන්ගේ ධූරවලින් ඉවත් කළ බවටත් දේශපාලන ඉතිහාසයේ කරුණු ඇති බවද ජනාධිපති නීතිඥවරයා පෙන්වා දුන්නේය. සාමූහික වගකීම කඩ කළ අමාත්‍යවරුන් එම ධූරවලින් ඉවත් කළ යුතු බවද ඔහු අවධාරණය කළේය. කෙසේ නමුත් මෙරට දේශපාලන ඉතිහාසයේ අමාත්‍ය මණ්ඩලයට විරුද්ධව ඇමැතිවරුන් තිදෙනකු අධිකරණයට ගිය පළමු අවස්ථාව මෙය වෙයි.

අමාත්‍ය මණ්ඩල සාමූහික වගකීම යනු රජයක අඛණ්ඩ පැවැත්මට මහජන විශ්වාසය රුකගැනීමට අතිශය වැදගත් පාර්ලිමේන්තු සම්ප්‍රදායකි. අමාත්‍ය මණ්ඩලයේ සාමූහික වගකීම වෙස්මිනිස්ටර් ආණ්ඩු ක්‍රමයට ආවේණික ලක්ෂණයකි. මෙහිදී විධායකය විසින් ගනු ලබන තීන්දු තීරණ පිළිබඳව අමාත්‍ය මණ්ඩලය සාමූහිකවත් ඇමැතිවරුන් පෞද්ගලිකවත් පාර්ලිමේන්තුවටත් ජනතාවටත් වගකිව යුතුයි. අප රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 43(1) වගන්තියේ සඳහන් වන්නේ අමාත්‍ය මණ්ඩලය පාර්ලිමේන්තුවට වගකීමට සහ උත්තර දීමට බැඳී සිටින්නේය යනුවෙනි. එමෙන්ම අමත්‍ය මණ්ඩල සාකච්ඡා තීරණ ආදිය පිළිබඳ රහස්‍යභාවය රුකීමත් සාමූහික වගකීමේ එක් කොටසකි. ශ්‍රීමත් අයිවෝ ජෙනින්ස්ට අනුව අමාත්‍ය මණ්ඩලයේ සාකච්ඡා රහසිගතය, එහි සිදුවන සෑම දෙයකම රහස්‍යභාවය රුකිය යුතුය යනුවෙනි. රාජ්‍ය ප්‍රතිපත්ති පිළිබඳව සාමූහිකව වගකීමට මුළු අමාත්‍ය මණ්ඩලයම බැඳී සිටිති. බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු සම්ප්‍රදායට අනුව ආණ්ඩුවට විරුද්ධව විශ්වාසභංග යෝජනාවක් සම්මත වූ විට මුළු අමාත්‍ය මණ්ඩලයම ඉල්ලා අස්විය යුතුය. විධායක ජනාධිපති ක්‍රමය ශ්‍රී ලංකාවේ ස්ථාපිත කිරීමෙන් පසුව අමාත්‍ය මණ්ඩලයේ තත්ත්වය, ශක්තිය සහ බලය පිරිහීමකට පත්විය. ඒ සමඟම සාමූහික වගකීමේ සම්ප්‍රදායද දියාරු වීමක් සිදු විය. 

සාම්ප්‍රදායික වශයෙන් සෑම අමාත්‍ය මණ්ඩල තීරණයක්ම සාමූහිකව සහ ඒකමතිකභාවයෙන් ගනු ලැබේ. තීරණයක් ගත් පසු සෑම ඇමැතිවරයකුම එයට සාමූහිකව වගකිව යුතුය. අමාත්‍ය මණ්ඩල තීරණ පිළිබඳව ප්‍රසිද්ධියේ ප්‍රතිවිරුද්ධ අදහස් පළ කිරීම සපුරා තහනම්ය. අමාත්‍ය මණ්ඩල තීරණයක් පිළිබඳ ඇමැතිවරයකුට එකඟ විය නොහැකි නම් ඔහු අමාත්‍ය මණ්ඩලයෙන් ඉල්ලා අස්විය යුතුය. 1986 දී එවක කෘෂිකර්ම ඇමැති ගාමණි ජයසූරිය මහතා ඉන්දු ලංකා ගිවිසුමට විරෝධය දක්වා ඇමැති මණ්ඩලයෙන් ඉල්ලා අස්විය. 1979 දෙසැම්බර් අයවැය විවාදයේ දී රොනී ද මෙල් මහතාගේ අයවැය විවේචනය කරමින් පාර්ලිමේන්තුවේ කතාවක් කළ වැවිලි කර්මාන්ත ඇමැතිවරයා ලෙස කටයුතු කරමින් සිටි එම්.ඩී.එච්. ජයවර්ධන මහතාව ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිවරයා විසින් එම අමාත්‍ය ධූරයෙන් නෙරපා හරින ලදී. 2003 වර්ෂයේ දී බ්‍රිතාන්‍යයේ අමාත්‍ය මණ්ඩලය විසින් ඉරාකය ආක්‍රමණය කිරීමට තීරණය කළ අවස්ථාවේ දී එයට විරෝධය දක්වමින් ඇමැතිවරුන් කිහිප දෙනෙක් ඉල්ලා අස්වූහ. 

පසුගිය දශක තුනක පමණ කාලය තුළ අප රටේ සාමූහිකව වගකීමේ සම්ප්‍රදාය කිහිප වතාවක්ම අමු අමුවේ ඝාතනය කර තිබුණ ද කිසිම ඇමැතිවරයකු ඉල්ලා අස් වී නොමැත. තනතුරෙන් ඔවුන් නෙරපා හැරීමක් ද සිදුව නොමැත. සාමූහික වගකීම රාජ්‍ය පාලනයක ගෙන යාමේ දී අතරමග අවුල් නොවී, පත් වූ අවුරුදු පහම ගෙන යාම එක්තරා උපක්‍රමයකි. එබැවින් සාමූහික වගකීම තිබෙන රටවල සම්පූර්ණ ධූර කාලයම ආණ්ඩු පවතී. අප රටේත් සාමූහික වගකීම අලුතින් පටන් ගත් දෙයකි. සමානුපාතික මැතිවරණ ක්‍රමය ක්‍රියාත්මක කිරීමෙන් පසු රජයක් ස්ථාවරව පැවතීම අපහසු වීමත් සමඟ සාමූහික වගකීම විසඳුමක් ලෙස යොදවනු ලැබුණි. සාමූහික වගකීම නොරුකීමෙන් මහා අවුල් වියවුල් ඇතිවිය හැකිය. ආණ්ඩුවක් සමතුලිතතාවයකින් ගෙන යා නොහැකි තත්ත්වයක් මතුවිය හැකිය. (හිටපු ජනාධිපති ලේකම් කේ.එච්.ජේ. විජයදාස මහතා සමඟ කළ සාකච්ඡාවේ කොටසක්, 2017 මැයි 13, දේශය)

අමාත්‍ය විමල් වීරවංශ ඇතුළු පිරිස යුගදනවි ගිවිසුම සම්බන්ධයෙන් කටයුතු කළ ආකාරය නිසා ඔවුන් අමාත්‍ය ධූරවලින් ඉවත් කළ යුතු යැයි ආණ්ඩුවේ ප්‍රධාන හවුල්කාර පක්ෂය වන පොදුජන පෙරමුණ තුළ හඬක් මතුව ඇතැයි ද සඳහන් වේ. ඉදිරියේ දී අමාත්‍ය මණ්ඩල සංශෝධනයක් සිදුවීමට නියමිත බවත් එම සංශෝධනයේ දී මෙම කණ්ඩායම කැබිනට් අමාත්‍ය ධූරවලින් ඉවත් කිරීමට ඉඩ ඇතැයි ද සඳහන්ය. නමුත් අමාත්‍ය මණ්ඩල සාමූහික වගකීම ජනතා අභිලාෂයන්ට යටත් යැයි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා නීතිය පිළිබඳ විශේෂඥ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ව්‍යාපාර නීතිය පිළිබඳ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය තුසිත අබේසේකර මහතා පෙන්වා දෙයි.

“කැබිනට් අමාත්‍යවරයෙක් පත්වන්නේ ජනතා නියෝජිතයන් අතුරින්. ජනතා නියෝජිතයෙක් නොවන කෙනකුට කැබිනට් මණ්ඩලයට පත්වන්න පුළුවන්කමක් ලැබෙන්නේ නෑ. ජනතා නියෝජිතයෝ විදිහට පළමුවෙන් වගකීමට බැඳී සිටින්නේ ජනතාවට. ආණ්ඩුව රුකීමට බැඳෙන්නේ දෙවනුවට. තමන් නියෝජනය කරන කැබිනට් මණ්ඩලය ජනතාවට අහිතකර යමක් කරන මොහොතක තමන්ගේ හෘද සාක්ෂියට එකඟව ජනතාව වෙනුවෙන් තීරණ ගැනීමේ සහ කටයුතු කිරීමේ අවකාශය ජනතා නියෝජිතයන්ට තිබිය යුතුයි. මොකද ජනතා නියෝජිතයෝ නැවත මැතිවරණ කාලයක් එළඹෙද්දි ජනතාව වෙතම යා යුතු වනවා. එනිසා ආණ්ඩුව රුකීමේ වුවමනාවෙන් සාමූහික වගකීම පිළිබඳ සංකල්පය අනුව ජනතාවට අහිතකර තීන්දුවලට එකඟ විය යුතුයි කියන්න බෑ. කිසියම් සම්ප්‍රදායක් ගොඩනැගෙන්නේ විද්‍යාත්මක පදනමකින් තොරව නම් ඒ සම්ප්‍රදාය අභියෝගයකට ලක් වනවා. ආණ්ඩුව විවේචනය කිරීම අමාත්‍ය ධූරයෙන් ඉවත් කිරීමට හේතුවක් යැයි කීම විද්‍යාත්මක නෑ.”

අමාත්‍ය මණ්ඩල සාමූහික වගකීම පිළිබඳ සම්ප්‍රදාය මෙරට භාවිත වන්නේ අවස්ථාවාදී ස්වරෑපයකින් යැයි පැෆරල් සංවිධානයේ අධ්‍යක්ෂක රෝහණ හෙට්ටිආරච්චි මහතා පෙන්වා දෙයි. “අපේ රටේ පොදුවේ නීතී රීති සම්ප්‍රදායන් රුකෙන්නේ නෑ. ඒ හැම දෙයක්ම ආණ්ඩු පක්ෂයත් විපක්ෂයත් සිය වාසියට භාවිත කර ගන්නවා. වත්මන් ආණ්ඩුව පමණක් නෙවෙයි පහුගිය කාලෙ පත්වූ සියලු ආණ්ඩු කටයුතු කළේ මේ විදිහටමයි. සමහරවිට මේ පිටින් මතුවන විරෝධය නැති කරන්න එම කණ්ඩායම අධිකරණයට ගියා වෙන්නත් පුළුවන්. මොකද මේ පිරිස 20 වැනි ව්‍යවස්ථා සංශෝධනයටවත් අයවැයටවත් විරුද්ධ වුණු පිරිස් නෙවෙයි. ඒ අයගේ භාවිතය පිළිබඳව මහජනතාව හොඳින් දන්නවා. මේ මොහොතේ රට දරුණු ආර්ථික වියවුලකට තල්ලුවෙලා. ඔවුන්ගේ සාමූහික වගකීම තියෙන්න ඕන රට පත්වෙලා තිබෙන මේ තත්ත්වය පිළිබඳවයි.”

යුගදනවි ගිවිසුම සම්බන්ධව කිසිවක් කැබිනට් මණ්ඩලය තුළ සාකච්ඡා නොවූ බැවින් ඒ ගැන සාමූහික වගකීමක් දැරිය නොහැකි යැයි අමාත්‍ය විමල් වීරවංශ මහතා කියයි. එය කැබිනට් මණ්ඩලය තුළ නියමිත ආකාරයට සාකච්ඡා නොකර රහසේ සම්මත කළ ගිවිසුමක් නිසා ඊට එරෙහි වීම අමාත්‍ය මණ්ඩල සාමූහික වගකීම කඩවීමක් නොවන බව අමාත්‍යවරයාගේ අදහසයි. නමුත් කැබිනට් මණ්ඩලය තුළ සාකච්ඡා වූ කිසිවක් පිළිබඳව තමන් අකැමැත්තෙන් හෝ ඊට අනිවාර්යයෙන් වගකියන බව ද අමාත්‍යවරයා කියා සිටියේය. එහෙත් අමාත්‍ය මණ්ඩල ලේකම්වරයාට මේ සම්බන්ධයෙන් කැබිනට් පත්‍රයක් ලැබුණු බවද සඳහන්ය. මේ සම්බන්ධයෙන් ඉදිරිපත්ව තිබෙන පෙත්සම් ශ්‍රේෂ්ඨාධිකරණයේ විභාග වෙමින් තිබෙන අතර එහි වැඩිදුර නඩු විභාගය ජනවාරි 10 වැනිදා නැවත කැඳවීමට නියමිතය.

 සකීෆ් සාම්