
ලෝක පූජිත ආර්ජන්ටිනියානු වෘත්තීය පාපන්දු ක්‍රීඩකයකු හා කළමනාකරුවකු වූ දියෙගෝ ආර්මෙන්ඩෝ මැරඩෝනාගේ වත්කම් සහ සිහිවටන රැසක් ඔහුගේ මරණින් වසරකට පසු පසුගිය 19 වැනිදා වෙන්දේසි කිරීමට ඔහුගේ පවුලේ සමීපතයෝ පියවර ගත්හ. මෙම වෙන්දේසිය පැවැත්වුණේ ඔන් ලයින් ක්රමයටය.
මැරඩෝනා සතුව තිබූ භාණ්ඩ 90ක් පමණ වෙන්දේසියට තබා තිබිණි. ඒ අතර බුවනෝස් අයර්ස් හි විලා ඩෙවෝටෝ ප්‍රදේශයේ පිහිටි මැරඩෝනා 1980 ගණන්වල තම දෙමාපියන්ට පරිත්‍යාග කළ මන්දිරය ද ඇතුළත් විය. එහි ආරම්භක ලන්සුව තබා තිබුණේ ඩොලර් 900,000ක් ලෙසිනි. ඒ හැර මැරඩෝනා භාවිත කළ ඩොලර් 225,000ක් හා ඩොලර් 165,000ක් වටිනා BMW වර්ගයේ මෝටර් රථ දෙකක් සහ ඩොලර් 38,000ක් වටිනා හුන්ඩායි වෑන් රථයක්, මුහුදු වෙරළේ පිහිටි මහල් නිවාසයක්, ඔහු සතු වූ කියුබානු සුරුට්ටු පෙට්ටි කිහිපයක් මෙන්ම ඔහුගේ වෘත්තීය දිවියේ සිහිවටනවලට අමතරව, ඔහුගේ පෞද්ගලික එකතුවෙන් ටයි, සපත්තු ක්‍රීඩා ඇඳුම්, රූපවාහිනී හයක්, ගෘහ භාණ්ඩ, ජිම්නාස්ටික් උපකරණ, සිතුවම් තොප්පි, ඡායාරූප සහ නැසී ගිය කියුබානු නායක ෆිදෙල් කැස්ත්‍රෝ ඔහුට ලියන ලද ලිපියක් ඇතුළු සිහිවටන රැසක්ද වෙන්දේසියට ඉදිරිපත් කර තිබිණි. එහෙත් කියුබානු නායකයා විසින් එවන ලද ලිපියේ ඇති භාවාත්මක අගය සලකා පසුව එය වෙන්දේසියෙන් ඉවත් කර ගැනිණි.
දියෙගෝගේ රසිකයන් අවම වශයෙන් 10,000ක්, 15,000ක් හෝ 20,000ක් පමණ පිරිසක් මෙම වෙන්දේසියට අන්තර්ජාලය ඔස්සේ සම්බන්ධ වනු ඇතැයි විශ්වාස කරන බවත්, දියෙගෝගේ සිහිවටන සාමාන්‍ය භාණ්ඩ නොවන අතර, ඒවා පුරාවෘත්තයක් බඳු දේපලක් බවත් ඒවා සිහිවටනයක් ලෙස තම නිවෙස්වලට රැගෙන යෑමට රසිකයන්ට හැකි වනු ඇති බවත්, මෙම වෙන්දේසිය සංවිධානය කළ ඒඩ්‍රියන් මර්කාඩෝ මාධ්‍යයට පවසා තිබිණි.

“දියෙගෝගේ දරුවන් පස්දෙනා ඔවුන්ගේ නීතිඥයන් මාර්ගයෙන් මෙම වෙන්දේසියට එකඟ වුණා. මැරඩෝනා පිළිබඳ භාවාත්මක මතකයන් සහිත සිහිවටන කිහිපයක් ඔවුන් තමන් වෙත තබා ගත්තා. මෙම වෙන්දේසිය මැරඩෝනාගේ ණය ගෙවීම සඳහා මුදල් එකතු කිරීම පිණිස සංවිධානය කරන්නනක්. මෙය සංවිධානය කිරීම වෙනුවෙන් මම කිසිම මුදලක් අය කරන්නේ නැහැ.” යනුවෙන් ඔහු පවසා තිබේ.
පාපන්දු පිටියේ “ගෝල්ඩන් බෝයි” යන නමින් හැඳින්වුණු මැරඩෝනා ලොව පුරා සිටින පාපන්දු ලෝලීන්ගේ ඉමහත් ආදරයට පාත්රව සිටියේය. ඔහු මියගියේ 2020 වසරේ නොවැම්බර් 25දාය. ඒ වන විට ඔහු 60 වැනි වියේ පසුවිය. 20 වැනි සියවසේ FIFA ක්‍රීඩකයා සම්මානය දිනූ ක්‍රීඩකයන් දෙදෙනාගෙන් කෙනකු වූ මැරඩෝනා ජාත්‍යන්තර පාපන්දු පිටියේ ගෝල 34ක් සහ වර්ණලාභී හිස්වැසුම් 91ක් ලබාගෙන තිබිණි. ආර්ජන්ටිනියානු පාපන්දු කණ්ඩායමට නායකත්වය දුන් ඔහු 1986 මෙක්සිකෝවේ පැවැත්වුණු ලෝක පාපන්දු ශූරතාවලියේදී නැගෙනහිර ජර්මනිය පරදවා ආර්ජන්ටිනාවට ලෝක කුසලානය දිනා දීමට සමත් විය. පසුකාලීනව මත්පැන් හා මත්ද්‍රව්‍ය භාවිතයට ඇබ්බැහි වීම හේතුවෙන් පාපන්දු පිටියෙන් ඉවත්වීමට ඔහුට සිදු විය. පාපන්දු පිටියෙන් ඉවත් වූ ඔහු විවිධ ආර්ථික අපහසුකම්වලට මුහුණ දුන් අතර ණය කන්දක්ද ඔහු පිට පැටවිණි. මත්පැන් හා මත්ද්‍රව්‍ය නිසා ඔහුගේ සෞඛ්‍යයද පිරිහිණි. එම ණය කන්ද පියවීම සඳහා විනිසුරු ලුසියානා ටෙඩෙස්කෝගේ නියෝගය අනුව මෙම දේපොල විකිණීමට තීරණය විය. මැරඩෝනාගේ අවමංගල්‍ය උත්සවයේදී අනෙකුත් ක්‍රීඩකයන් විසින් තෑගි කරන ලද ටීෂර්ට් වැනි භාවාත්මක වටිනාකමක් ඇති සිහිවටන වෙන්දේසියෙන් ඉවත් කර තිබේ. වෙන්දේසියෙන් ලැබෙන ආදායම මැරඩෝනාගේ ණය ගෙවීම සඳහා පමණක් යොදාගැනෙන අතර ඔහුගේ උරුමක්කාරයන්ට කිසිවක් නොලැබෙනු ඇත.
පසුගිය 19දා වෙන්දේසිය පැවැත්වුණු අතර වෙන්දේසිකාර ඒඩ්‍රියන් මර්කාඩෝ අපේක්ෂා කළ පරිදි විශාල පිරිසක් වෙන්දේසියට සහභාගී නොවූහ. ලතින් අමෙරිකාව, ඉතාලිය, ප්‍රංශය, එංගලන්තය, රුසියාව සහ ඩුබායි යන රටවල ලංසුකරැවන් 1,500 ක් පමණ පිරිසක් වෙන්දේසියට සහභාගී වී සිටියහ. මුහුදු වෙරළේ මහල් නිවෙස, BMW මෝටර් රථවලට සහ මැරඩෝනා තම මව්පියන්ට තිළිණ කළ සුඛෝපභෝගී නිවෙසට හෝ රූපවාහිනී යන්ත්‍ර හයට සහ ජිම් උපකරණවලට කිසිදු ලංසුවක් ලැබුණේ නැත. පැය තුනක පමණ කාලයක් පැවැති වෙන්දේසිය අවසන් වන විට ලැබී තිබුණේ ඩොලර් 26,000ක් පමණි. ඩොලර් මිලියන 1.4කට වැඩි වත්කම් සඳහා කිසිදු ලංසුවක් තැබුණේ නැත. වැඩිම ලංසුව හිමි වූයේ චිත්‍ර ශිල්පී ලු සෙඩෝවා විසින් අඳින ලද ‘Between Fiorito and the Sky’ නම් වූ මැරඩෝනාගේ සිතුවමටය. එය ඩොලර් 2,150කට අලෙවි විය. ඩුබායි හි ගැනුම්කරුවකු විසින් නැසී ගිය කියුබානු නායක ෆිදෙල් කැස්ත්‍රෝ සමඟ මැරඩෝනා සිටින ඡායාරුපයක් ඩොලර් 1,600කට මිලදී ගෙන තිබිණි. ඒ හැර මැරලින් මොන්රෝගේ සිතුවමක් ඩොලර් 1,500 කටද, මැරඩෝනාගේ සුප්‍රකට “අංක 10” සහිත ජැකට්ටුවක් ඩුබායිහි පාපන්දු ලෝලයකු විසින් ඩොලර් 1,500 කට ද, මැරඩෝනා පුහුණුවීම් සඳහා භාවිත කළ කලිසමක් ජර්මන් ජාතිකයකු විසින් ඩොලර් 270කට මිලට ගත් අතර ආජෙන්ටිනියානුවකු විසින් කියුබානු සුරුට්ටු පෙට්ටියක් ඩොලර් 550කට මිලට ගෙන තිබිණි..
මැරඩෝනාගේ ණය ගෙවීම සඳහා මෙම වෙන්දේසිය උසාවි නියෝගයක් මත සිදු වුවද අපේක්ෂිත මුදල සොයා ගැනීමට නොහැකි වූ බැවින් නොවිකුණුනු භාණ්ඩ සඳහා කළ යුත්තේ කුමක්දැයි අධිකරණය මගින් තීරණය කෙරෙනු ඇතැයි වාර්තා වේ.
ප්‍රියන්ජන් සුරේෂ් ද සිල්වා