
ජාත්‍යන්තර ණය ශ්‍රේණිගත කිරීමේ ප්‍රකට ආයතනයක් වන ෆිච් රේටින්ස් (Fitch Ratings) ආයතනය විසින් ශ්‍රී ලංකාවේ විදේශ විනිමය ගෙවීම් පැහැර හැරීමේ (issuer Default / IDR) ශ්‍රේණිගත කිරීම මෙතෙක් පැවැති CCC මට්ටමේ සිට CC දක්වා පසුගියදා පහළ හෙළුවේය. එයට හේතු වශයෙන් ඒ අය දක්වා ඇත්තේ ඉදිරි මාසවලදී ශ්‍රී ලංකාවේ විදේශ ණය ගෙවීම් පැහැර හැරීමට ඇති හැකියාව වැඩිවනු ඇතැයි අපේක්ෂා කිරීමට කරුණු ඇති බවකි.
ෆිච් රේටින්ස් ආයතනය පවසනුයේ ශ්‍රී ලංකාවට විශාල වශයෙන් විදේශ ණය ගෙවීමට සිදුව තිබෙන අතර, ලංකාවට ලැබෙන විදේශ විනිමය මුදල් සීමාවීම සහ රටේ විදේශ සංචිත පහත වැටීම නිසා විදේශ විනිමය ද්‍රවශීලතාව අයහපත් අතට හැරෙමින් තිබෙන බවය. සිය අවසන් සමාලෝචනයේදී බලාපොරොත්තු වූවාට වඩා වැඩි වේගයකින් ශ්‍රී ලංකාවේ විදේශ විනිමය සංචිත පහත වැටී ඇති බවත් ඒ සඳහා ඉහළ ආනයන වියදම් දැරීමට සිදුවීම හා රුපියල ආරක්ෂා කර ගැනීම සඳහා මහ බැංකුව විසින් විදේශ විනිමය වෙළෙඳ පොළට සිදුකරන මැදිහත්වීම් හේතු වී තිබෙන බවද පෙන්වා දී ඇත.
පසුගිය අගෝස්තු මාසයේ සිට ඇමෙරිකානු ඩොලර් බිලියන දෙකකින් පමණ විදේශ සංචිත පහත වැටී නොවැම්බර් මස අගභාගය වනවිට ඩොලර් මිලියන 1.6 දක්වා අඩු වී ඇති බවද ආයතනය සඳහන් කරයි. ඔවුන් වැඩිදුරටත් අවධාරණය කරනුයේ එය ප්‍රමාණවත් වන්නේ මසකටත් වඩා අඩු කාලයක ආනයන වියදම් පියවා ගැනීමට පමණක් වන බවය.
පිච් රේටින්ස් ආයතනය සඳහන් කරන්නේ 2020 වසරේ අග සිට මෙරට අමෙරිකානු ඩොලර් බිලියන 4ක පමණ විදේශ විනිමය සංචිත පහළ වැටී ඇති බවය. එම වාර්තාවේ මෙසේද දැක්වේ.
2022 සහ 2023 වසරවලදී නව විදේශ මුදල් ප්‍රභවයන් නොමැති නම් ශ්‍රී ලංකා රජයට විදෙස් ණය ගෙවීම් සපුරාලීමට නොහැකි වනු ඇතැයි යන්න අපේ විශ්වාසය වෙයි. මේ ණය පියවීම්වලට 2022 ජනවාරි මස ගෙවිය යුතු ඇමෙරිකානු ඩොලර් මිලියන 500ක සහ 2022 ජූලි මාසයේ ගෙවිය යුතු අමෙරිකානු ඩොලර් බිලියනයක ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කර පියවීම් ඇතුළත් වේ. 2022 වසරේදී අමෙරිකානු ඩොලර් බිලියන 6.9ක විදේශ ණයවාරික හා පොලී ගෙවීමට තිබෙන අතර එය නොවැම්බර් මස අගදී පැවැති විදේශ සංචිත මෙන් සියයට 430ක විශාල වටිනාකමකි. එසේම වර්ෂ 2022 සිට 2026 දක්වා ශ්‍රී ලංකාවට රුපියල් බිලියන 26ක සමස්ත විදේශ ණය වාරික සහ පොලී ගෙවීමට ඇත.
ෆිච් රේටින්ස් ආයතනය ශ්‍රී ලංකාව ශ්‍රේණිගත කිරීමෙන් පහළ හෙලීම ගැන රජය දැඩි විරෝධය ප්‍රකාශ කර සිටී. සමස්ත ලෝකයම කොවිඩ් වසංගතයෙන් පීඩාවට පත්වී ඇති අවස්ථාවක ශ්‍රී ලංකාව එයට එරෙහිව සටන් වදිමින් සිදුකරන ධනාත්මක වර්ධනය හඳුනාගැනීමට ෆිච් ආයතනය අසමත් වී ඇති බවට නිවේදනයක් මගින් ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති අජිත් නිවාඩ් කබ්රාල් ප්‍රකාශ කර සිටී. ශ්‍රී ලංකාවේ ණය ශ්‍රේණිගත කිරීම පහත හෙලීම 2022 සඳහා වූ අයවැය වාර්තාව ප්‍රකාශයට පත් කිරීමට දින කිහිපයකට පෙර මූඩිස් ආයෝජන ආයතනය කළ අසාධාරණ ණය ශ්‍රේණිගත කිරීම හා සමාන බව ශ්‍රී ලංකා මහබැංකුව වැඩිදුරටත් අවධාරණය කරයි.
විශේෂයෙන් ආර්ථිකයේ සියලු අංශවල නව ප්‍රවණතා හා නුදුරේදී ලැබීමට නියමිත විදේශ විනිමය ප්‍රවාහ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා බලධාරීන් ෆිච් ආයතනය වෙත නිරන්තරයෙන් කළ යාවත්කාලීන කිරීම් පිළිබඳ සැලකිල්ලට ගත් විට ශ්‍රී ලංකා ශ්‍රේණිගත කිරීම පහත හෙළීම සඳහා ජාත්‍යන්තර පිළිගත් ශ්‍රේණිගත කිරීමේ නියෝජිත ආයතනයකට මතු වූ හදිසි අවශ්‍යතාව තේරුම් ගත නොහැකියැයි මහ බැංකු අධිපතිවරයාගේ නිවේදනයේ සඳහන් වේ. 2022 වසර සඳහා වූ අය-වැය වාර්තාව මගින් හඳන්වා දුන් මූල්‍ය ප්‍රතිසංස්කරණ සඳහා නිසි පිළිගැනීමක් දීමට යථොක්ත ආයතනය අසමත් වී තිබෙන බවද නිවේදනයේ සඳහන්ය.
නව බදු හඳුන්වා දීමත්, බදු පරිපාලන පද්ධතියේ වැඩිදියුණු කිරීම් සමඟ ආර්ථිකයේ පුනර්ජීවනය තුළින් 2022 වසරේදී රජයේ ආදායමේ සැලකිව යුතු වර්ධනයක් අපේක්ෂා කරයි. ඉදිරි මාසවලදී ණය ගෙවීම් පැහැර හැරීමට ඇති සම්භාවිතාව ඉහළ ගොස් ඇත. ෆිච් ශ්‍රේණිගත කිරීම් ආයතනය කරන ප්‍රකාශය පදනම් විරහිත වන අතර ඉදිරි කාලයේදී ගෙවුම් ශේෂ පීඩනය සමනය කිරීමට හැකිවන අතර, සාර්ව ආර්ථික සහ මූල්‍ය පද්ධති ස්ථායිතාව සහතික කිරීම සඳහා ඉදිරිපත් කළ සය මාසික පෙරදැක්ම මගින් 2021 වසරේ දෙසැම්බර් මස වනවිට සහ 2022 මාර්තු මස වනවිට අපේක්ෂිත මුදල් ප්‍රවාහ ගලා ඒම පිළිබඳවද පැහැදිලි කර ඇති බව දැක්වේ.
2021 දෙසැම්බර් 31 තෙක් නොසිට ශ්‍රී ලංකා ශ්‍රේණිගත කිරීම පහත හෙලීම නිසා ආයතනයේ නොසැලකිලිමත් බව පෙන්නුම් කරන අතර එයින් සිදුවන්නේ ශ්‍රී ලංකාවට පැමිණීමට අපේක්ෂිත ආයෝජකයන්ට හානියක් බවද පෙන්වා දෙයි. එසේම ඉදිරි කාල පරිච්ඡේදය තුළ ශ්‍රී ලංකාව සියලු ණය සේවාකරණ ගෙවීමට කටයුතු කරන බවට පැහැදිලි සහතිකයක් දී ඇති අතර මෙතෙක් කිසිදු ණයවාරිකයක් නොගෙවා පැහැර හැර නැති බවද මහ බැංකු අධිපතිවරයා අවධාරණය කරයි.
කෙසේ වුවද ජාත්‍යන්තර ශ්‍රේණිගත කිරීම් ආයතන දිගින් දිගටම අපේ රටට මූල්‍ය ශක්තියෙන් පහළට ඇද දැමීම නිසා අපට විදේශ ආයෝජකයන් කැඳවා ගැනීමේ දුෂ්කරතාවක් මතුවේ. එසේම රට ණය ගෙවීමට අපහසු තත්ත්වයට පත්ව ඇතැයි පුරෝකථනය කිරීම නිසා අපට ඉදිරියේදී ණය ලබා ගැනීමට නුපුළුවන් වෙනවා ඇත. එසේම එම නිසා අපට ණය දී ඇති ආයතන ස්වකීය ණය ඉක්මණින් අයකර ගැනීමේ දැඩි පිළිවෙතක් අනුගමනය කිරීමට පෙළඹේ. මෙම තත්ත්වය සමස්ත වශයෙන් රටටම අහිතකර වන අතර අපේ අනාගත ආර්ථික ඉලක්කවලට මෙමගින් පහර වදී. එනිසා මේ අවස්ථාවේදී සිදුකළ යුත්තේ එම ආයතන සමඟ තර්ක කිරීම නොව ඒවායින් පෙන්වා දී ඇති දුර්වලතා මගහරවා ගැනීමට කටයුතු කිරීමයි.
කොළඹ විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යයන අංශයේ මහාචාර්ය විජිතපුරේ විමලරතන හිමියන් පවසන්නේ ජාත්‍යන්තරව පිළිගත් මෙවැනි විගණන ආයතනවලින් ඉදිරිපත් කරන නිරීක්ෂණ වැරදි බවට එකවරම පැවසීමට අපට සුදුසුකම් නැති බවය. ඒ නිසා සිදුවිය යුතුව ඇත්තේ එම නිරීක්ෂණ වැරදි බවට තර්ක කිරීම නොව වැටී ඇති පහළ තත්ත්වයෙන් ගොඩඒමට කටයුතු කිරීම බවය.
මෙම ආයතන, රටවල්වල ආර්ථිකය ගැන මෙන්ම විශාල ව්‍යාපාරික ආයතන පිළිබඳවද පුරෝකථන ඉදිරිපත් කරනවා. මේවා ආවට ගියාට කියනවා නොවෙයි. මෙම කීර්තිමත් ආයතන පිළිගත් නිර්ණායක මත පදනම් වෙලා අධ්‍යයනය කරලයි නිරීක්ෂණය ඉදිරිපත් කරන්නේ. එසේ නැතිව කිසිම රටකට හෝ ආයතනයකට පහර ගැසීමේ චේතනාවක් ඒ අය තුළ නැහැ. එලෙස කටයුතු කළොත් ඒ අයට පැවැත්මක් නැහැ.
අපේ රටේ මෙන්ම වෙනත් ප්‍රජාතන්ත්‍රවාදී රටවල ආණ්ඩු විවිධ දේශපාලන පක්ෂ හා කණ්ඩායම්වලින් සැදුම්ලත් ඒවායි. මේවා බොහෝ විට ජනතාව හා ලෝකය ඉදිරියේ තමන් නිවැරදි යැයි පැවසීමට උත්සුක වෙනවා. කිසිදු වරදක් පිළිගන්න සූදානම් නැහැ. බොහෝ විට ලොව බොහෝ දියුණුවෙමින් පවතින රටවල් තම වැරදි වසා නිවැරදි කරුවන් ලෙස පෙනී සිටීමටයි උත්සුක වන්නේ. මෑත කාලයේදී ශ්‍රී ලංකාවද ජාත්‍යන්තරයට සියල්ල වහලයි කටයුතු කරන්නේ. මෙය හරියට රෝගියකු දොස්තරට ලෙඩ සඟවනවා වැනි ක්‍රියාවක්. රෝගය සඟවා කටයුතු කළ විට දොස්තරට වුවත් රෝගය සොයාගැනීමට අපහසු වෙනවා. අපේ ආර්ථික ලෙඩ සඟවන විට ලෙඩ සඟවන රෝගියකුට සිදුවන දේ තමා අපටත් වෙන්නේ.
අද වනවිට ජාත්‍යන්තර ආයතනවල වාර්තා නොසලකා මෙන්ම ආණ්ඩුව කියන දෙයද නොසලකා ඕනෑම කෙනෙකුට රට පත්ව ඇති තත්ත්වය නිර්ණය කිරීම අපහසු නැහැ. රටේ භාණ්ඩ හා සේවා මිල අහස උසට නැගීම උද්ධමනය විශාල ලෙස ඉහළ යාම, ආනයන සීමා කිරීමට සිදුවීම, විශාල ලෙස ණය ගැනීමට සිදුවීම, විදේශ ණය නියමිත දිනවලට ගෙවීමට දුෂ්කරතා ඇතිවීම, ණයවලින් කළ සංවර්ධන ව්‍යාපෘති සුදු අලි බවට පත්වීම, කොවිඩ් වසංගතය නිසා සිදුවූ ආර්ථික හානිය අවම කරගත නොහැකි වීම, ආදී ප්‍රතිඵල නිසා විශාල ගැටලුවක් තිබෙන බව ඕනෑ කෙනෙකුට පෙනෙනවා. වර්තමානයේ විදේශ සංචිත ප්‍රමාණය ඉතිහාසයේ වාර්තාගත ලෙස බිලියන 1 ½ටත් අඩු බවට පත්වෙලා තියෙනවා. ඩොලර් හිඟය නිසා ආනයනය කළ ආහාර බහාලුම් වරායේ හිරවී තිබෙනවා. රුපියලේ විදේශ අගය විශාල ලෙස පහළ බැසලා.
අද අපේ විදේශ සංචිත අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනය කිරීමට කොහොමත් මදි. ණය ගෙවන්නට ප්‍රමාණවත් නැහැ. රටට විදේශ විනිමය ලැබෙන සියලුම මාර්ග වැසී තිබෙනවා. ඩොලර් විශාල ලෙස සංසරණය වෙන්නේ මහ බැංකුවේ නොව කළු කඩයේයි. මහ බැංකු අධිපති අලුතෙන් පත්වූවාට පසු රටට විදේශ විනිමය ගෙන්වන බව පැවසුවා. ඒත් ලැබී නැහැ. එසේම මුදල් මුද්‍රණය කිරීමෙන් රට තුළ උද්ධමනය ඇති නොවන බවට අමුතුම න්‍යායයක් ප්‍රකාශ කරනවා. විදේශ ණය ගෙවීමට ඕනෑතරම් ඩොලර් තියෙන බව කියනවා. මේ අන්දමට සත්‍ය තත්ත්වය සඟවා කතා කිරීම තුවාලය ඔඩු දිවීමට හේතු වෙනවා.
දැනට දිගටම කරගෙන එන ස්වෛරී බැඳුම්කර යොදාගෙන විවෘත වෙළෙඳ පොළෙන් විදේශ ණය ගැනීම හරියට ගිනි පොලීකාරයන්ගෙන් ණය ගැනීමට සමාන වෙනවා. මේවා කොන්දේසි රහිතව දෙන ණයයි. මෙලෙස ගන්නා ණය ඕනෑම දේකට පාවිච්චි කළ හැකියි. ඵලදායී නොවන දේවලට යොදවන්න පුළුවන්. එහෙත් එයින් රට තවත් අමාරුවේ වැටෙනවා.
අපේ අය පෙන්වා දෙන වැරදි හදා නොගෙන එම ආයතනවලට අභියෝග කරනවා. එහෙත් ලෙඩ නැති යැයි බොරු කියන රෝගියකුගේ ශරීර ලක්ෂණවලින් රෝගය පෙන්නුම් කරනවා වගේ අපටත් දුර්වලතා නැහැයි පුරසාරම් දෙඩුවත් රටේ පවතින ලක්ෂණ නිසා ආර්ථික පරිහානිය ඕනෑම කෙනකුට අවබෝධ කරගන්න පුළුවන්. දොස්තරට බොරුකරන රෝගියා අමාරුවේ වැටෙනවා වගේ ප්‍රතිඵලයක් මෙයින් වෙන්නේ. කොතරම් කල් මෙසේ සඟවා ගෙන සිටිය හැකිද යන්නයි ගැටලුව.
මේ වනවිට ආණ්ඩුවේ ප්‍රතිපත්ති ගැන මහ බැංකු අධිපති කබ්රාල් වැනි නිලධාරීන් කතා කරනවා. මෙයට පෙර රාජ්‍ය නිලධාරීන් එවැනි දේ ගැන කතා කළේ නැහැ. අද ඔහු දේශපාලනඥයකු බවට පත් වී තිබෙනවා. ඔහු සියල්ල කරන්නේ දේශපාලන ඇසින් බලලයි. ස්වාධීන තීරණ ගන්නේ නැහැ. රටේ මූල්‍ය තත්ත්වය ගැන ඔහු කරන ප්‍රකාශත් එහෙමයි. මහ බැංකු අධිපති දේශපාලන තීන්දු ගන්නා විට රටේ මූල්‍ය විනය පරිහානියට පත් වෙනවා.
අද රටේ ආර්ථික වෘද්ධිය පහළ බැහැලා. ජනතාව අමාරුවේ වැටිලා. හැම අතින්ම ගැටලු ඇතිවෙලා. මේ වනවිට ප්‍රශ්න ගණනාවක් සංකීර්ණ බවට පත්වෙලා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට යනවාද නැද්ද කියන එක තීරණය කළ යුතු වන්නේ මහ බැංකු අධිපතිවරයා නොව රටේ ආණ්ඩුවයි. ඔහු ඔහුගේ සීමාව ඉක්මවා යන තීරණ නොගත යුතු වෙනවා. ග්‍රීසිය, සයිප්‍රසය, ආර්ජන්ටිනාව වැනි රටවල ආර්ථික පසුගාමීත්වය නිවැරදි කර ගත්තේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහය ලබාගෙනයි. අපේ රටටද මුලදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ ලෝක බැංකුව විශාල වශයෙන් ආධාර කළා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කොන්දේසි රටකට හිතකර ඒවා මිස අහිතකර ඒවා නොවෙයි. ලෙඩකට බෙහෙත් ගන්නා විට මුල් අවස්ථාව ටිකක් කටුක විය හැකියි. ඒත් පසුව හරියනවා. දේශපාලන තීන්දු මෙහිදී ගතයුතු නැහැ. ජාත්‍යන්තර ආයතන අපේ රටට ආර්ථික වෘද්ධියෙන් පහළට යොමා ඇත්තේ පසුගිය කාලයේ අප ගත් තීරණවල අහිතකරභාවය නිසා මිස ඒවා අප සමඟ අමනාපයෙන් කටයුතු කිරීම නිසා නොවෙයි. දැන් ඒ වැරදි නිවැරදි කිරීමේ අවස්ථාව ලැබී තිබෙනවා.
යසවර්ධන රුද්රිගු