2021 දෙසැම්බර් 25 වන සෙනසුරාදා

2021 දිනුම් සහ පැරදුම්

 2021 දෙසැම්බර් 25 වන සෙනසුරාදා, පෙ.ව. 10:00 91

මෙරට වැසියන් නගරයක් නගරයක් පාසා කිරිබත් පිසූ කාලයක් තිබිණ. මේ දිනවල එය මතක් කරන ආකාරය දැන් සෑම තැනකින්ම ඇසෙයි. 2021 වසරේ ලංකාව හමුවේ ඇතිවූ අර්බුද සහ රටක් ලෙස අප ලද ජයග්‍රහණ සම්බන්ධයෙන් වසර අවසන් වන මෙම මොහොතේ නැවත අමතක මතක සිහිකර ගැනීම වටී. මේ උත්සාහය වැරදි හඳුනාගෙන ඉදිරියට යාමට විනා පරණ මතක සිහි කරමින් එකතැන් වීමට නොවන බවද කිව යුතුමය.

ගෙවුණු මාස 12ක කාලය තුළ මෙරට සිදුවූ අර්බුදකාරී සිදුවීම් අතර කොවිඩ්-19 ඩෙල්ටා ප්‍රභේදය හඳුනා ගැනීම, තෙල් නැවේ ගින්නෙන් අපේ මුහුදු තීරයට වූ හානිය සහ එයින් ධීවර කර්මාන්තයට වූ සුවිසල් අලාභය කියා නිම කළ නොහැකිය. එසේම හිඟ වැටුප් ඉල්ලා ගුරු විදුහල්පතිලා පාරට බැස්සෝය. එය වර්ජන රුල්ලක ආරම්භයක් විය. හරිත කෘෂි ප්‍රතිපත්තිය ක්‍රියාවට නැංවීමේදී කාබනික පොහොර වගා ක්‍රමය අරඹන්න රසායනික පොහොර තහනමෙන් රට පුරා ගොවීහු වීදි බැස්සහ. එලෙසම ඉහමොළ රත් කරමින් තැන තැන ගෑස් පිපිරීම්වලට තවමත් විසඳුමක් නැත. එයින් වන ජීවිත දේපළ හානි පිළිබඳ වග කියන්න සිදුවී ඇත්තේ ජනතාවටමය. දේශීය කර්මාන්ත රැසක් වළපල්ලට යමින් තිබේ. ඒ අලකලංචි අතරතුර පැන්ඩෝරා පෙට්ටිය දිග හැරිණ. අත්‍යවශ්‍ය සේවා කොමසාරිස්වරයකු පවා පත් කර සිටින සමයක හාල්, සීනි, සුදු ලූනු, ඖෂධ, දත්ත මැකීම වැනි මහා පරිමාණ වංචා පිළිබඳ හෙළිදරව් වීම් රුසක් කරළියට පැමිණියේය. ජනතාවගේ බඩේ පහර වැදී බත් පතවත් නොමැතිව සිටින කාලයක දියවන්නාවේ මන්ත්‍රීලාට අලුත් කාර් ඉල්ලා ඇතැයි වාර්තා විය.

අමෙරිකා එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය මෙම වසර පුරාම විවිධ අවස්ථාවල පල්ලම් බැස්සේය. මෙම වසරේ ගත වූ කාලයේදීම රුපියල අවප්‍රමාණ වීම පාලනය කිරීම සඳහා පවතින රජය මෙන්ම පැවති රජය තාවකාලික පැලැස්තර දමනවා විනා ස්ථිර සාර්ථක විසඳුමකට යාමට අපොහොසත් වී තිබේ. කාලයෙන් කාලයට බලයට පත්වන ආණ්ඩුවෙන් ආණ්ඩුව අනෙක් ප්‍රශ්න සේම මෙම ප්‍රශ්නයේදීත් බෝල පාස් කිරීමේ සෙල්ලම ජයටම කළේය. මහ බැංකුව සතු විදෙස් සංචිතවලින් කොටසක් රුපියල් බවට පත් කිරීම සාර්ථක විසඳුමක් නොවන බව පැහැදිලිය. බාල්දු වන රුපියල අවප්‍රමාණය යථා තත්ත්වයට ගෙන ඒමට ඇති තරම් සංචිත මහ බැංකුවේ නොමැතිවීමෙන් අතීසාරයට අමුඩය ගහන මෙම ප්‍රශ්නයට විසඳුමක් පේන මානයක ක්‍රියාවේ නැත. 

කටුනායක - කොළඹ මාර්ගයේ පවතින අධික රථවාහන තදබදයට විසඳුමක් වශයෙන් ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට අධි තාක්ෂණික කේබල් මත ඉදි කළ නව කැලණි පාලම නොහොත් කල්‍යාණි රන් පිවිසුම උත්සවශ්‍රීයෙන් ඉකුත් දා විවෘත විය. ජපන් අන්තර්ජාතික සහයෝගීතා ආයතනයේ මූල්‍ය අනුග්‍රහයෙන් මෙම පාලම ඉදි කෙරිණි. එසේම එවන් රටක යන එන මං නොමැතිව දහදුක් විඳි කින්නියාවේ පාලම් ඔරුවක් ගඟට පෙරුලී සිදුවූ ඛේදවාචකය අමතක නොවේ. කින්නියාහි පාලම් පාරුවක් පෙරුලීමෙන් පාසල් යමින් සිටි සිසුන් සය දෙනකු මිය ගොස් තවත් පිරිසක් තුවාල ලැබූහ. තිරසර සංවර්ධනයේ අග්‍ර ඵලය ලබාගත හැකිවනුයේ කොළඹට කිරි ගමට කැකිරි වීමෙන් නොව සෑම ප්‍රදේශයකටම සමාන අයුරින් පහසුකම් සැලසීමෙන් බව අවබෝධ කර ගැනීම අත්‍යවශ්‍යය. 

1970 වසරේ සිරිමාවෝ මැතිනියගේ පාලන කාලය සිහියට නංවමින් වර්තමානයේත් එවැනි වූ පෝලිම් ක්‍රමයකට අඩිතාලම වැටුණේය. එදා තිබූ පාන් පෝලිම් මෙන්ම වර්තමානයේ ද කිරිපිටි, සීනි, සිමෙන්ති, ගෑස්, ඉන්ධන ලබාගැනීමට රටේ ජනතාව දිවා රූ නොබලා පෝලිම් ගැසුණහ. වර්තමානයේ අපේ රට මුහුණ දෙන තවත් එක් අර්බුදයක් ලෙස ඩොලර් හිඟයත් සමග ආනයන සීමාවීමෙන් ඉල්ලුමට සරිලන ලෙස භාණ්ඩ නොමැති වී ජනතාව කබලෙන් ලිපට වැටී සිටිති. ධාන්‍ය ධනය නෙක මල් පළතුරු පිරි ජය භූමිය වන් ලංකාවේ මේ වනවිට කනකර පමණක් නොව ගෙදර ඔප්පුව පවා උගසට තබමින් කන්න හොයන රටක් බවට මේ වනවිට පත්ව තිබේ. 

අපේ රට මහා නිධානයකි. අපට කලින් ඒ ඉව වැටුණේ පිටරුටියන්ටය. ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි සංකීර්ණයට ඉන්දියාවේ බැල්ම වැටී අවසානය. ඔවුහු මෙරටට ලබාදීමට නියමිත ආධාර පැකේජයට පෙර ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි පෙන්වා සහතිකයක් ඉල්ලති. එලෙසම කෙරවළපිටිය යුගදනවි බලාගාරය අමෙරිකාවේ උකුලට වැටිණ. කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තයත් ඔඩොක්කුවකට වැටෙන්නට ගිහින් අනූ නවයෙන් බේරුණු බවට මතකය. කොළඹ වරාය නගර ගිවිසුම චීනයට ලියැවිණි. විදෙස් බලවේග රටට ණය දෙන මුවාවෙන් කරන ආක්‍රමණ හේතුවෙන් මේ වනවිට ලංකාවට වී ඇත්තේ හිත හොඳ ගෑනිට වෙන දේමය. 

ඉකුත් වසරක කාලය තුළ අප රට මුහුණ දුන් දේශපාලනික අර්බුද රාශියකි. දේශපාලන සූදුවක තුරුම්පුව බවට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පත් වූ රටක දේශපාලනික මතිමතාන්තර කාලයෙන් කාලයට වෙනස් වෙයි. ඉකුත්දා එළිදැක්වූ 2022 අයවැය සම්බන්ධයෙන් විවිධ පිරිස්වලින් විවිධ මත පළ විය. මෙය ජනතාවාදී නොවන අයවැයක් බවට ජනතාවගෙන් චෝදනා එල්ල විය. මුදල් අමාත්‍යවරයා ඉදිරිපත් කළ අයවැය කරුණු සම්බන්ධයෙන් බරපතළ අර්බුදකාරී තත්ත්වයක් දේශපාලන වේදිකාවේ පවා මතු විය. රාජ්‍ය ආයතනවල අනවශ්‍ය වියදම් කප්පාදුව ආදී වූ යෝජනා රටක සාර්ථකත්වය කෙරෙහි වැදගත් යෝජනා වෙයි. දේශපාලන වේදිකාව මෙම වසරේ ගෙවුණු වකවානුවේ හැලහැප්පිලි මැද ගෙවී ගියේය. ඒ ඇතුළෙත් ගැට පිටත් ගැට වගේය. රටේ පවතින තත්ත්වය සමනයට බැසිල් රාජපක්ෂ මහතා බෙල්ල තැබීය. ඒ ඔහු මුදල් අමාත්‍යවරයා ලෙස දිවුරුම් දීමෙනි. 

දේශපාලන වේදිකාවේ මතු වී තිබෙන තවත් අර්බුදයක් වනුයේ වර්තමානයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ පොදුජන පෙරමුණ අතර ඇති වී තිබෙන මත ගැටුමයි. පරිසර අමාත්‍ය මහින්ද අමරවීර වරෙක පැවසූයේ ඔවුන් ආණ්ඩුවේ වැරදි අඩුපාඩු හමුවේ පක්ෂයක් ලෙස විරුද්ධ වන බවත් ආණ්ඩුව ඇතුළේ රෑකඩ වගේ නොසිටින බවත්ය. ශ්‍රීලනිප සහ ආණ්ඩුවේ හවුල්කාර පක්ෂවල පිරිස සහ පොදුජන පෙරමුණේ කලකිරුණු පිරිස එළියට ගියහොත් ආණ්ඩුවට තුනෙන් දෙක පමණක් නොව බහුතරයත් නොමැති වන බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය. ආණ්ඩුවේම අමාත්‍යවරයකු වන විදුර වික්‍රමනායක වැනි අමාත්‍යවරුන් පවා පවසා තිබුණේ මේ රට යන විදිහට ආණ්ඩුවේත් ආයුෂ අඩු යැයි සැක බවයි. 

සිංහාවලෝකනයේ මෙන් සුදු මහත්වරුන්ටත් උණ ගැනෙන්න ක්‍රිකට් ගැසූ ලාංකේය ක්‍රිකට් පිටිය තණ නිල්ලක් වන් පැහැදිලිය. වර්තමාන ක්‍රිකට් පිටියේ දක්ෂ පුහුණුකරුවකු වන මහේල ජයවර්ධන ලෝක ක්‍රිකට් ඉතිහාසයේ ශ්‍රේෂ්ඨතම ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ ලැයිස්තුවට ඇතුළත් කිරීමට අන්තර්ජාතික ක්‍රිකට් සභාව ඉකුත්දා පියවර ගත්තේය. එය අපේ රට ලැබූ ජයග්‍රහණයකි. මහේල ජයවර්ධනට පෙර මෙරට ක්‍රිකට් වංශකතාවේ නිහඬ පරිච්ඡේද වන කුමාර් සංගක්කාර සහ මුත්තයියා මුරලිදරන් ද මෙම ශ්‍රේෂ්ඨතමයන්ගේ ලැයිස්තුවට එක් වීමට එකල වරම් ලැබූහ. 

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවති විස්සයි 20 ලෝක කුසලාන තරගාවලියේ දැක්වූ දස්කම් අනුව අන්තර්ජාතික ක්‍රිකට් සභාව නම් කළ පාකිස්තානු නායක බාබර් අසාම්ගේ නායකත්වයෙන් සැදුම්ලත් විස්සයි 20 ලෝක ක්‍රිකට් වටිනාම ක්‍රීඩක කණ්ඩායමට අපේ රටේ චනිඳු හසරංග සහ චරිත් අසලංක යන ක්‍රීඩකයෝ තේරීපත් වූහ. එය ක්‍රිකට් ඉතිහාසයේ අප රට ලැබූ ඓතිහාසික ජයග්‍රහණයකි. එවන් දක්ෂයන් සිටින පිටියේම පිටරට ගිහින් නම කැත කළ ක්‍රීඩකයන් ද සිටි බව පසුගිය කාලයේ අපි දුටුවෙමු. එංගලන්ත තරග සංචාරයකදී ජෛව බුබුළේ නීති කඩ කරමින් ඩරම් වීදියක සැරිසරමින් පෙන්වූ නොමනා හැසිරීම හේතුවෙන් ක්‍රීඩකයන් තිදෙනකුට එරෙහි බරපතළ විනය චෝදනා එල්ල විය. එම හැසිරීම ශ්‍රී ලංකාව ජාත්‍යන්තරය ඉදිරියේ අර්බුදකාරී තත්ත්වයකට තුඩු දීමට සමත් විය. එය සමාජයේ දැඩි කතාබහට ලක් වූ කරුණක් බවට පත්වූයේ කොරෝනා පහව ගොස් නැති වටපිටාවක එම ක්‍රීඩක තිදෙනාගේ වගකීම් විරහිත හැසිරීම හේතුවෙනි. වගකීමෙන් සහ වගවීමෙන් කටයුතු කිරීම අප කාටත් හොඳය.

ගත වූ වසරක කාලය තුළ රටක් ලෙස අප ලැබූ ජයග්‍රහණ ඕනෑ තරම් තිබේ. ලංකාවට කීර්තියක් අත්කර දීමට වෙර දැරෑ ජයග්‍රාහකයන්ට කෙරෙන ගෞරවයක් ලෙස සලකා මේ මොහොතේ අර්බුද පසෙකලා එකී ජයග්‍රහණ සිහි කිරීම වටී.

කොවිඩ්-19 වසංගතය හමුවේ මෙරට එන්නත්කරණ ක්‍රියාවලිය සම්බන්ධයෙන් ජාත්‍යන්තර ඇගයීමට ලක්වීමට අපේ රට සමත් විය. එය ලාංකේය අපටද නිහතමානී ආඩම්බරයකි. කොරෝනාවට ගොදුරු වන අවස්ථාවේදී රටේ ණය වාරික පවා ගෙවාගැනීම අභියෝගයක්ව තිබියදී එන්නත්කරණය වෙනුවෙන් අපේ රටට සෙවණැල්ලක් වූයේ චීනයයි. මෙරටට අවශ්‍ය පරිමාණයට එන්නත් ලබා දීමට ඔවුහු නොපැකිලිව කටයුතු කළහ. ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය ටෙඩ්‍රෝස් ඇඩෙනම් මහතා ලංකාවේ එන්නත්කරණ ක්‍රියාවලිය විශේෂ ඇගයීමකට ලක් කළේය. එය අප වැනි රටකට මහමෙරක් තරම් වටිනේය.

 සසංක චලන ගිම්හාන