2021 දෙසැම්බර් 18 වන සෙනසුරාදා

ඩොලර් රෝගයට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ තිත්ත බෙහෙත

 2021 දෙසැම්බර් 18 වන සෙනසුරාදා, පෙ.ව. 10:00 155

ශ්‍රී ලංකාවේ උද්ගතව ඇති විදේශ විනිමය අර්බුදය මේ වනවිට එහි උච්ඡතම අවස්ථාවට පැමිණ ඇත. ශ්‍රී ලංකා මහ බැංකුව සතුව ඇති අපේ විදේශ විනිමය ප්‍රමාණය අමෙරිකානු ඩොලර් බිලියන 1.6 දක්වා පහළ බැස ඇත. මෙම අගය රන් සංචිතද සමඟ වන අතර රන් සංචිතවල වටිනාකම අඩු කළවිට මුදල්මය වටිනාකම අමෙරිකානු ඩොලර් බිලියන 1.1කි. මේ ප්‍රමාණය ප්‍රමාණවත් වන්නේ සති දෙකක් පමණකට බව පැවසේ. මෙයට පෙර මේ ආණ්ඩුව බලයට පත්වන විට බිලියන 8ක පමණ සංචිත ශ්‍රී ලංකා මහ බැංකුවේ විදේශ ගිණුමේ තිබුණ අතර එය ක්‍රමයෙන් අඩු වී මේ වනවිට මාස දෙකට පහළ බැස තිබේ.

රටක මහ බැංකුවේ විදේශ සංචිත තබාගත යුත්තේ ඇයිද යන්න මුලින් පහදා දිය යුතුය. යම් ලෙසකින් ස්වභාවික ආපදාවකින් හෝ ලෝක යුද්ධයක් වැනි අපට පාලනය කළ නොහැකි වාතාවරණයක් උද්ගත වුවහොත් මෙම සංචිත උපයෝගී කරගෙන රටට අත්‍යවශ්‍ය ආහාර බෙහෙත් ආදිය ආනයනය කිරීමට හැකිවේ. එහෙත් අද පවතින තත්ත්වය අනුව එවැනි වාතාවරණයක් ඇතිවුවහොත් අපට සිදුවන්නේ තොග පිටින් මිය ඇදෙන්නටය.

මෙම ගැටලුව ඇතැමෙක් කොවිඩ් අර්බුදය හා ලඝු කරන්නට අසාර්ථක උත්සාහයක යෙදෙන බව පෙනේ. එසේ වුවද විදේශ විනිමය වටිනාකම පහළ බැසීම හුදෙක් කොවිඩ් වසංගතයේම ප්‍රතිලයක් නොවේ. එය මෙම තත්ත්වය කඩිනම් වීමට එක් හේතුවක් වුවද අනාදිමත් කාලයක සිට මෙරට විදේශ විනිමය අර්බුදය උග්‍ර වෙමින් පැවැති බව පැවසිය යුතුය. මේ පිළිබඳ නිදහසෙන් පසු බලයට පත්වූ විවිධ ආණ්ඩු වගකිව යුතුය. මෙම තත්ත්වයට විවිධ හේතු දැක්විය හැකි නමුත් ප්‍රධානතම ප්‍රශ්නය වන්නේ නිසි ආර්ථික ප්‍රතිසංස්කරණ, නොකර සියල්ල ඉබේ සිදුවනතුරු බලා සිටීමය. ලොව බො‍හෝ රටවල්වල පැවැති යුද්ධ අවසන් වූ පසු ආර්ථික ප්‍රතිසංස්කරණ කෙරෙහි අවධානය යොමු කළද එසේ නොකිරීමේ ප්‍රතිවිපාක අද බුක්ති විඳීමට සිදුව ඇත.

ඉවක් බවක් නැතුව විවෘත ආර්ථිකය දඩමීමා කරගෙන පිටරටින් අවශ්‍ය අනවශ්‍ය විවිධ දේවල් ආනයනය කිරීම නිසා විදේශ විනිමය නිකරුණේ නාස්තිකර දැමීය. කිසිදු පාලනයකින් තොරව ආනයනය සිදුකිරීම නිසා දේශීය කර්මාන්තවලට පහර වැදුණු අතර, රටේ මුදල් පිටරටවලට ඇදීයාමේ අනතුර සිදුවිය. අද ඇතිව ඇති විදේශ විනිමය හිඟය 1995 වසරෙන් පසු ඉතාම සීඝ්‍රව සිදුවූ බව පෙනෙන්නට ඇත. ඒ හැරුණු විට අප විදේශ ආයෝජන ලබා ගැනීමට උනන්දු නොවීම නිසා ස්වර්ණමය අවස්ථා මග හැරී ගියේය. රටට පැමිණෙන විදේශ ආයෝජකයන් අකර්මණ්‍ය කර ඔවුන් පන්නා දැමීමට කටයුතු කළේ අපේ සතුරන් ලෙස සලකමිනි. රටේ දේශපාලන අස්ථාවර භාවය, පැමිණෙන ආයෝජකයන්ට පහසුකම් නොසැලසීම, ඔවුන්ට බදු සහන දිය යුතුව තිබියදී මුල් අවස්ථාවේ සිටම බදු අය කිරීමට කටයුතු කිරීම මෙන්ම රටේ ආර්ථික තීරණවල තිබූ දුර්වලතාද මෙයට හේතු විය. ආයෝජකයන්ට තම කර්මාන්ත ආරම්භ කිරීමේ මූලික අවස්ථාවලදී විවිධ දුෂ්කරතාවලට මුහුණදීමට සිදුවූ අතර නිකරුණේ රාජ්‍ය ආයතනවල රස්තියාදු වීමට සිදුව තිබිණ. පසුගිය සමයේ දේශපාලකයන්ගෙන් ආයෝජකයන්ට විවිධ හිරිහැර සිදුවූ අතර කොමිස් ඉල්ලීම ආදිය නිසා ඔවුන් ආරම්භක අවස්ථාවේදීම කලකිරීම හේතුවෙන් සිය ආයෝජන අදහස අතහැර වෙනත් සුදුසු රටකට යාමට ඔවුන්ට සිදුවිය. එසේම අද වුවද ආයෝජනය බලාපොරොත්තු වූ ව්‍යාපෘතිවලට විදේශ ආයෝජකයන් පැමිණීම දුර්වලය. කොළඹ වරාය නගර ව්‍යාපෘතියට වුවද මුලින් සැලසුම් කළ පරිදි විදේශ ආයෝජකයන් පැමිණියේ නැත.

ඊළඟට අපේ විදේශ විනිමය හිඟයට බලපෑ ප්‍රබල හේතුවක් වූයේ හිතුවක්කාර ලෙස විදේශ ණය ලබාගැනීමට පෙළඹීමය. මෙලෙස ණය ලබාගැනීමට හැකිවීම ජයග්‍රහණයක් ලෙස සලකා ඇතැම් දේශපාලනඥයන් ආඩම්බරයෙන් කතා කළ අවස්ථා අපට මතකය. අද සිදුව ඇත්තේ දැඩි ණය අර්බුදයක වෙලීම නිසා සමස්ත රටවැසියාටම හැඬීමටය. විදේශ රාජ්‍යවලින් ණය ලබාගැනීමට අපහසු වූ අවස්ථාවල විදේශ වාණිජ ආයතන මගින් ඉහළ පොලියට වාණිජ ණය ලබාගැනීම සිදුවිය. ණයගත් ව්‍යාපෘතිවලින් ආදායම නොලැබීම නිසා ණය ගෙවීමට තවත් ණය ගැනීමට සිදුවිය. අද අපේ වාර්ෂික සමස්ත ජාතික ආදායම පවා ණය ගෙවීමට නොසෑහෙන තත්ත්වයට පත්ව ඇත.

අද වනවිට රටට ඩොලර් හිඟයකට මුහුණදීමට සිදුවීම නිසා අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය පවා ගෙන්වීමට දුෂ්කරව ඇත. අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය සහිත කන්ටේනර් 1500ක් පමණ මේ වනවිට නිදහස් කරගත නොහැකිව වරායේ සිරවී තිබෙන අතර මේ හේතුවෙන් නුදුරු අනාගතයේදී රටේ දැඩි ආහාර අර්බුදයකට මුහුණදීමට සිදුවනු ඇත. දැනට රට පත්ව තිබෙන තත්ත්වයට සහනය පතා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට යා යුතු බවට මතයක් මේ වනවිට රජය තුළ නිර්මාණය වී ඇති අතර ඒ පිළිබඳ රජයේ දේශපාලනඥයන් මත දෙකක් දැරීම හේතුවෙන් එය ක්‍රියාත්මක කළ නොහැකි තැනට පත්ව තිබේ. දැඩි මතධාරී ඇතැම් දේශපාලනඥයන් ජාත්‍යන්තර මූලය අරමුදල රාක්ෂයකු බවට ප්‍රකාශ කරමින් මූල්‍ය අරමුදලට යාම බියවිය යුතු කාර්යයක් යැයි සපථ කිරීමට උත්සාහ ගනිමින් පවතී. රජයේ ඇතැම් කොටස් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට යාමට බිය වී ඇත්තේ එහි සහය පැතුවහොත් රටට විවිධ වූ කොන්දේසිවලට නතුවීමට සිදුවනු ඇතැයි බිය පළ කරමිනි. ඇතැම් විට එම කොන්දේසිවලට නතුවීම නිසා තමන්ට දේශපාලන වශයෙන් හානියක් සිදුවේ යැයි යන මතයේ ඔවුන් සිටින බවක් දක්නට ඇත. ජනතාවට දෙන සහනාධාර නැවැත්වීම, රාජ්‍ය සේවයට බඳවා ගැනීම් සීමා කිරීම, රාජ්‍ය සේවක වැටුප් සහ ජීවනාධාර ගෙවීම නැවැත්වීමට සිදුවීම ආදී කොන්දේසිවලට එකඟවීමට සිදුවීමෙන් තම ඡන්ද පදනමට හානි වේ යැයි බියවීම නිසා ඔවුන් මූල්‍ය අරමුදල වෙත යාමට අකැමැතිව සිටින බවක් දක්නට ඇත. රටට උද්ගතව ඇති දරුණු ආර්ථික කඩාවැටීමට දේශපාලන විසඳුමක් දීමට ඔවුන් උත්සුක වනුයේ තමන් රුකීමට මිස රට රුකීමට නොවන බව පෙනෙන්නට තිබේ. කෙසේ වුවද ආණ්ඩුවේ මධ්‍යස්ථ මතධාරී දේශපාලනඥයන් පවසනුයේ මෙම ගැටලුව විසඳා ගැනීම සඳහා මේ අවස්ථාවේ මූල්‍ය අරමුදලට යාම හැර අන් විකල්පයක් නැති බවය.
කෙසේ නමුත් පසුගිය සති අන්තයේ පැවැති කැබිනට් මණ්ඩල රුස්වීමේදී මේ පිළිබඳ අවසන් නිගමනයකට ඒමට බලාපොරොත්තුව සිටියද ඒ අවස්ථාව වනවිට ජනාධිපතිවරයා විදේශ ගතවී සිටි නිසා තීරණයක් ගත නොහැකි වූ බව අමාත්‍ය මණ්ඩල ආරංචි මාර්ග අනාවරණය කරයි.

තත්ත්වය වඩාත් බැරූරුම් වීමට පෙර සිටම විපක්ෂයේ මන්ත්‍රීවරුන් පෙන්වා දී තිබුණේ මේ වැටී ඇති අමාරු අවස්ථාවෙන් ගොඩ ඒමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල හැර වෙන පිහිටක් නැති බවය. හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මෙම අදහස කිහිප විටක්ම පාර්ලිමේන්තුවේදී පැවසූ නමුත් ආණ්ඩු පක්ෂය එයට ප්‍රතිචාරයක් දැක්වූයේ නැත. සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා පාර්ලිමේන්තුවේදී මෙන්ම ඉන් පිටතදීද මේ අවස්ථාවේදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ පිහිට පැතිය යුතු බව තරයේ පැවසීය. ඔහු පැවසුවේ දැනට ගෙවීමට ඇති විශාල ණය ප්‍රමාණය ප්‍රතිව්‍යුහගත කර ගෙවීමට යම් සහන කාලයක් ලබාගත යුතු බවය. එවිට එම කාලය තුළ නිසි අර්ථික කළමනාකරණයකින් කටයුතු කර ගැටලුවෙන් යම් සහනයක් ලබාගත හැකි බව ඔහු අවධාරණය කර තිබුණි. එහෙත් වගකිවයුත්තන් එයට නෑසූ කන් ඇතිව සිටීම නිසා තත්ත්වය තීව්‍ර වී ඇති බව පැවසේ.

ආණ්ඩුවේ සමහර කොටස් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් සහය ලබාගත යුතු යැයි කියද්දී හිටපු මුදල් රාජ්‍ය අමාත්‍ය සහ වර්තමාන මහ බැංකු අධිපති ආචාර්ය අජිත් නිවාඩ් කබ්රාල් දැඩිව පවසන්නේ මූල්‍ය අරමුදලේ සහය නොමැති මෙම ගැටලුවෙන් මිදීමට අපට හැකියාවක් තිබෙන බවය.

මූල්‍ය අරමුදලේ සහය නැතුව අපට මෙම ගැටලුවෙන් මිදෙන්න පුළුවන්. මූල්‍ය අරමුදල සොයා ගියහොත් සහාය ලබාගන්න නම් අපට සිද්ධ වෙන්නේ ඔවුන්ගේ කොන්දේසිවලට යටත් වීමටයි. ඒවා රටටත් ජනතාවටත් අහිතකර කොන්දේසියි. ඒ නිසා කාටවත් නතු නොවී අපේ විසඳුම් අපටම සොයාගත යුතු වෙනවා. ඉදිරියේදී ගෙවීමට ඇති විදේශ ණය වාරික සහ පොලී මුදල් නියමිත දිනට ගෙවන්න හැකි බවට සහතිකයක් දීමට පුළුවන්. ඒ පිළිබඳ සැලසුමක් මහ බැංකුව සකස් කර තිබෙනවා. ඒ ගැන දැඩි විශ්වාසයක් අපට තියෙනවා. ණය ගෙවිය නොහැකි වේ යැයි බිය විය යුතු නැහැ.

පවතින තත්ත්වය පිළිබඳ විග්‍රහයක යෙදෙන ප්‍රකට ආර්ථික විශ්ලේෂකයකු වන මහාචාර්ය සිරිමල් අබේරත්න පවසන්නේ දැනට අප මුහුණ පා ඇති දැඩි ආර්ථික ගැටලුව ඉදිරියේදී තවත් තීව්‍ර විය හැකි බවයි.

&ණය ලබාගැනීම වෙනුවට අප කළ යුතුව තිබුණේ විදේශ ආයෝජන ආකර්ෂණය කර ගැනීමටයි. නමුත් අප කළේ තව තවත් විදේශ ණය ලබාගැනීමයි. 2007 පසුව දැඩි කොන්දේසි මත වාණිජ ණය ගැනීමටද යොමුවුණා. 2007 සිට 2019 දක්වා ලබාගෙන ඇති වාණිජ ණයවල වටිනාකම ඩොලර් මිලියන 17500 පමණ වෙනවා. මේ දක්වා පැවැති ආණ්ඩු ණය පියවීමට තවත් ණය ලබාගත්තා. එයින් තත්ත්වය උග්‍ර වුණා. කොවිඩ් 19 වසංගතය නිසා වඩාත් ආර්ථිකය සංකෝචනය වීමේ ප්‍රතිඵලයක් ලෙස තව තවත් ණය ගැනීමට සිදුව තිබෙනවා. චීනය, ඉන්දියාව, බංග්ලාදේශය වැනි රටවල් සමගද මේ වනවිට විනිමය හුවමාරු ගිවිසුම්වලට එළඹීමට සිදුව තිබෙනවා.

විදේශ විනිමය හිඟයට පිළියමක් ලෙස ආණ්ඩුව ආනයන විෂයේ දැඩි සීමා පවත්වාගෙන යාමට කටයුතු කළද එය සාර්ථක පිළියමක් නොවෙයි. හේතුව වන්නේ එමගින් විශාල විනිමයක් ඉතිරි කර ගත නොහැකි වීමය. ආනයන සීමා මගින් වාර්ෂිකව ඉතිරි කරගත හැක්කේ ඩොලර් බිලියන 10-15 අතර මුදලක්. අපේ වාර්ෂික අපනයන ආදායමද ඩොලර් බිලියන 11ක් වගෙයි. විදේශ ශ්‍රමිකයන්ගෙන් ලැබෙන්නේ බිලියන 6ක් වැනි ප්‍රමාණයක් මෙහිදී අප තේරුම් ගත යුත්තේ වාර්ෂිකව ඩොලර් බිලියන 20-25 වැනි මුදලක් ඉතිරි කරගෙන විදේශ විනිමය ප්‍රශ්නයෙන් ගොඩඒමට නොහැකි බවයි. ජී.එස්.පී. ප්ල්ස් බදු සහනය අපට අහිමි වනවිට එය තදින්ම දැනීමට හේතුවූයේ අප එංගලන්තය හෝ යුරෝපා හවුලේ රටවල් සමඟ නිදහස් වෙළෙඳ ගිවිසුම්වලට එළඹ නොසිටි බැවින්. එවැනි ගිවිසුම්වලට එළඹීමට අපට තිබුණු අවස්ථා අප අහිමි කරගෙන තිබෙනවා. ණය ලබාගැනීම වැනි කෙටිකාලීන පිළියම්වලින් මෙම ගැටලුවට ලැබිය හැක්කේ තාවකාලික විසඳුමක් බව අප සනාථ කරගෙන තිබෙනවා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට ගොස් ණය ගෙවීමට සහනයක් ලබාගත්තත් එය තාවකාලිකයි. කවදා හෝ ණය ගෙවිය යුතු වෙනවා. අවශ්‍ය වන්නේ ස්ථීර සාර විසඳුම් පමණයි. අද පවතින අර්බුදකාරී තත්ත්වය අසීරු ආර්ථික ප්‍රතිසංස්කරණ ගෙන ඒමට අපට හොඳ අවස්ථාවක් කරගත හැකිය යන්න මගේ අදහසයි.

 යසවර්ධන රුද්රිගු