2021 දෙසැම්බර් 18 වන සෙනසුරාදා

ගිය අවුරුද්දේ රුපියල් දාහට ගිය නත්තල් ගහ මේ සැරේ රුපියල් හාරදාහයි

 2021 දෙසැම්බර් 18 වන සෙනසුරාදා, පෙ.ව. 10:00 229

 නත්තල් සාප්පු සවාරි මැදින් 

නත්තලට තව ඇත්තේ සතියකට අඩු කාලයකි. කොවිඩ් හේතුවෙන් පසුගිය නත්තල නිදහසේ සැමරීමට කිතුණු බැතිමතුන්ට නොහැකි වුවද මෙවර යම් මඳ අස්වැසිල්ලක් සහිතව නත්තල සැමරීමට අවස්ථාව උදා වී ඇත. නමුත් ගෙවෙන හැම මොහොතක්ම තීරණාත්මක වන අතර ජනතාවගේ හැසිරීම් ක්‍රියා කලාපය හේතුවෙන් එය වෙනස් වීමටද හැක. සිංහල හින්දු අලුත් අවුරුදු සමයේදී ඇතැමුන්ගේ නොසැලකිලිමත්කම හේතුවෙන් සිදු වූයේ නැවත වතාවක් (අවුරුදු පොකුරක්) සේ කොවිඩ් රැල්ලක් බිහිවීමය. මේ හේතුවෙන් මේ ගෙවෙන දින ගණන තුළ ජනතාවගේ හැසිරීම අනුව (නත්තල් පොකුරක්) බිහිවීමටද ඉඩ තිබේ.

කෙසේ වෙතත් වෙනත් වසරවල මෙන් මෙවර නත්තල සැමරීමට ජනතාවගේ උනන්දුවක් නොමැති බව පෙනී යයි. මීට වසර දෙකකට පමණ පෙර පිටකොටුව ජනාකීර්ණ නගරයේ නත්තල් සැරසිලි භාණ්ඩ සහිත තාවකාලික වෙළෙඳසල් බොහොමයක් පැවතියද මේ වන විට දක්නට ඇත්තේ ඉතා අඩු සංඛ්‍යාවකි. ඒවායින් බොහොමයක ඇත්තේ පෙර වසරවල ඉතිරි වූ සැරසිලිය.

''මේ පාරත් නත්තල් සැරසිලිවලට හොඳ සේල් එකක් තියෙනවා. වරදක් නැහැ. හැබැයි එහෙම විකුණන්න තරම් සැරසිලි ලංකාවට ආවේ නැහැ. අපි අවුරුදු විස්සක් තිස්සේ මෙතන බිස්නස් කරනවා. මේ අවුරුද්දේ. පිටරටවලින් බඩු ලංකාවට ආවේ නැහැ. ඒ නිසා විකුණන්න අපිට බඩු නැහැ. දැන් මේ බඩු වුණත් ගණන්. ගිය අවුරුද්දේ අඩි පහේ නත්තල් ගහ අපි රුපියල් දාහට වික්කේ. දැන් ඒ අඩි පහේ නත්තල් ගහ රුපියල් හාරදාහයි පන්දාහයි. පොඩි නත්තල් ගහක් අපි ගිය අවුරුද්දේ හාරසීයට විකුණුවා. මේ අවුරුද්දේ ඒ නත්තල් ගහ රුපියල් එක්දාස් අටසීයයි. ඒකටත් දැන් බඩු නැහැ.” යැයි මොහොමඩ් වාහිම් මහතා දේශයට පැවසීය.

ප්ලාස්ටික්වලින් නිපදවූ නත්තල් ගසට මේ වනවිට විශාල ඉල්ලුමක් පැවතියද මීට වසර කිහිපයකට පෙර සිට කිතුණු බැතිමතුන් පමණක් නොව අනෙකුත් ආගමිකයන් පවා නත්තල් ගස සඳහා යොදාගනු ලැබුවේ පයිනස් ගස පමණි. තවමත් පයිනස් ගසේ කොටසක් නත්තල් ගසක් සේ සරසන නිවෙස් නැතුවාම නොවේ. කිතුණුවන් පමණක් නොව අනෙකුත් ආගමිකයෝ ද නත්තල් කාලයට නත්තල් සැරසිලිවලට මුල් තැනක් දෙති. කුඩා සීනු, දිලිසෙන තරු, ‍වෛවර්ණ විසිතුරු භාණ්ඩ, නත්තල් සීයා පමණක් නොව කුඩා ගව ලෙන්වල ආකෘති නිර්මාණවලටද මේ කාලයේදී වැඩි ඉල්ලුමක් පවතී. වෙනදා තරම් නොවුණද තැනින් තැන කුඩාවට හෝ අටවාගත් තාවකාලික කූඩාරම්වල මෙම සැරසිලි විකිණීමට තිබෙන අයුරු අපිට දක්නට ලැබිණි. නමුත් ඒවායේ මිලද ඉතා අධිකය.

“මෙතනට ආවේ නත්තල් ගහ සරසන්න සැරසිලි ටිකක් ගන්න. හැබැයි ඉතින් මේවා ගිනි ගණන්. පුතාට ඕන කිව්ව නිසා මේ පොඩි සැරසිලි පැකට් එකක් ගත්තා. අපි බෞද්ධ. ඒත් අපි අවුරුදු දෙකකට උඩදි පොඩි නත්තල් ගහක් සල්ලි දීල ගත්තා. ඒක සරසන්න තමයි මේවා ගෙනියන්නෙ. මේ ආර්ථිකයත් එක්ක ජීවත් වෙන්නෙත් බොහොම අමාරුවෙන්. එදා වේල හොයා ගන්නෙත් බොහොම අමාරුවෙන්. හැබැයි ඉතින් දරුවන්ගේ ආසාවනේ. දරුවන්ට මේ අමාරුකම් තේරෙන්නෙ නැහැ. අනේ මන්දා.. මෙහෙම ගියොත් මොනව වෙයිද කියල කියන්න තේරෙන්නෙ නැහැ.” යැයි දියගම හේමන්ත අල්විස් මහතා පැවසීය.

නත්තල් සමයේදී නත්තල් සුබ පැතුම් පත් වෙළෙඳාමට ප්‍රමුඛ ස්ථානයක් හිමිවේ. එම වෙළෙඳාමේ වර්ධනයක් සිදු වූයේ මීට වසර කිහිපයකට පෙරය. එකල සුබ පැතුම් පත් අලෙවිසල් තාවකාලිකව ඉදි කරනු ලැබුවේ දෙසැම්බරයට මාස දෙකකට පමණ පෙර සිටය. එකල ඒ සඳහා විශාල ඉල්ලුමක් පැවතිණි. නත්තල් සමයේදී මෙන්ම අලුත් අවුරුදු සමයේදීද තැපැල් සේවයට විශාල රාජකාරියක් පැවරිණි. නත්තල් සුබ පැතුම් පත් රැගෙන තැපැල් මහතා එනතුරු දරුවන් මග බලා සිටි කාලයක් ද විය. නමුත් මේ වන විට ඒ සියල්ලම අභාවයට යමින් පවතී. සුබ පැතුම් පත් යවමින් නත්තලට සුබ පැතීම වෙනුවට නව තාක්ෂණය භාවිත කරමින් ජංගම දුරකථනය ඔස්සේ නත්තලට සුබ පැතීමට මේ විට බොහෝ දෙනෙක් පුරුදු වී සිටිති. එපමණක් නොව වීඩියෝ ඇමතුමක් ගෙන සුබ පැතීමට ද ඇතැමෙක් පුරුදු වී සිටිති. මේ හේතුවෙන් සුබ පැතුම් පත් අලෙවිකරුවන්ට සිදුව ඇත්තේ පාළුවට ගොස් ඇති තම වෙළෙඳසල් දෙස බලා සිටීමට පමණි.

“අපි නුගේගොඩ කාඩ් විකුණන රස්සාව පටන් අරගෙන දැන් අවුරුදු පහක් විතර වෙනවා. පසුගිය අවුරුදු දෙකේම බිස්නස් කර ගන්න බැරි වුණා. මේ පාර කොවිඩ් අඩු වෙයි කියල හිතල අපි මේ බිස්නස් එක පටන් ගත්තා. ඒත් හිතන තරම් වෙළෙඳාමක් නැහැ. දැන් ගොඩක් අය දුරකථනයෙන් තමයි සුබ පතන්නෙ. පාස්කු ප්‍රහාරයේ සිට මේ දක්වා අපිට බිස්නස් එකක් කරන්න නැහැ. අවුරුදු තුනකට උඩදි ගත්ත සමහර සුබ පැතුම් පත් පවා අපිට විකුණන්න ලැබුණේ නැහැ. මේවා අවුරුද්දක් තිස්සෙ පරිස්සම් කරන එකත් ලේසි නැහැ. කල් ගියාම කාඩ් එකේ පාට වෙනස් වෙනවා. එතකොට මිනිස්සු ගන්නෙ නැහැ. මේ නිසා අපි හරිම අසරණ වෙලයි ඉන්නෙ.” යැයි සුබ පැතුම් පත් වෙළෙඳාමේ නිරත ගාමිණී මහතා දේශයට පැවසීය. 

කෙසේ වුවද පවතින ආර්ථිකයත් සමඟ නත්තල් භාණ්ඩ වෙළෙඳාමෙන් පෙර වසරවල මෙන් මෙවර ආදායමක් නොලැබෙනු ඇත. එමෙන්ම වසර දෙකක් නත්තල උත්සවශ්‍රීයෙන් සමරන්නට නොහැකි වීම හේතුවෙන් මෙවර ලද මඳ ඇසිල්ලෙන් නත්තල සමරන්නට බොහෝ දෙනා උත්සාහ කළද පවතින ආර්ථිකයත් සමඟ සෑම භාණ්ඩයකම මිල ඉහළ යමින් පවතී. වියදමට සරිලන ආදායම්ක නොලැබීමෙන් රටේ ජනතාව සිටින්නේ පසුතැවීමෙනි.

“නත්තල් බඩු ගන්නවාට වඩා අද මේ රටේ මිනිස්සුන්ට ප්‍රශ්න කෝටියයි. බඩු මිල ඉහළ යනවා. දරු පැටවුන්ට බොන්න කිරිපිටි නැහැ. රට වටින් ගෑස් පුපුරනවා. ඉතින් කොහොමද නිදහසේ මේ රටේ මිනිස්සු නත්තල සමරන්නෙ. හොඳම දේ තමයි දරුවන්ගේ අනාගතය ගැන හිතලවත් වෙන රටකට ගිහින් අනුන්ගේ කුණු හෝදලා හරි සල්ලි ටිකක් එකතු කර ගන්න එකයි. එහෙම වුණොත් දවසක අපිට නැතත් අපේ දරැවන්ට නිදහසේ නත්තල සමරන්න පුළුවන් වේවි. මේක දැන් ඉන්න හිතෙන රටක් නෙමෙයි. යන්න හිතෙන රටක්.” යැයි මොරටුව චාලක ප්‍රනාන්දු මහතා දේශයට පැවසීය.

දිශානි ජයමාලි කරුණාරත්න
සේයාරූ - සුමුදු හේවාපතිරණ