
කොරන්ඩම් වර්ගයට අයත් ලොව විශාලතම ස්වභාවික තනි නිල් මැණිකක් රත්නපුර, බටුගෙදර ප්‍රදේශයේ මැණික් පතලකින් හමුවී තිබේ. එය නම්කර ඇත්තේ ක්වීන් ඔෆ් ඒෂියා හෙවත් ආසියාවේ රුජන ලෙසය. එහි බර කිලෝග්‍රෑම් 310ක් හෙවත් කැරට් පසළොස් ලක්ෂ පනස් දහසක් පමණ වන බවට ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය ප්‍රකාශ කර තිබේ.
මීට මාස තුනකට පමණ ඉහත හමු වූ මෙම නිල් මැණික දිග පළල උස සෙමී. 66.04, 60.96 සහ 48.26 යන පරිමාණයෙන් යුක්තය. මේ වනවිට එය හොරණ ප්‍රදේශයේ තැන්පත් කර ඇති අතර පසුගියදා පළමුවරට මාධ්‍යයට අනාවරණ කිරීමට එහි හිමිකරු කටයුතු කළේය. පිරිත් සජ්ජායනය මැද නිරාවරණය කෙරුණු මෙම නිල් මැණික අලුමිනියම් ඔක්සයිඩ්, ටයිටේනියම්, යකඩ සහ නිකල් එකතුවී නිර්මාණය වී ඇතැයි සැලකේ. මෙවැනි පාෂාණයක් පිළිබඳව මැණික් පිළිබඳ වාර්තාවන්හි මින් පෙර සඳහන් වී නොමැත.
මැණිකේ හිමිකාරීත්වය ඇත්තේ මැණික් පිළිබඳ ගවේෂණ කටයුතු සිදුකරක චමිල සුරංග මහතාටය. වසර 15ක පමණ කාලයක සිට මැණික් පිළිබඳ ගවේෂණයේ යෙදෙන ඔහුට එම ගවේෂණවලදී හමුවූ විශාලතම කොරන්ඩම් ඛණිජය මෙම නිල් මැණිකය. මෙම පාෂාණයේ තැනින් තැන නිල්වර්ණය තිබෙනවා. මෙහි එක පැත්තක් බ්ලූ සෆායර්. අනික් පැත්ත ගෙවුඩ. ගෙවුඩ පිළිස්සුවම නිල් පැහැය ගන්නවා. මෙහි බර කිලෝ 310ක්. අපි හිතමු මේකෙ අවම වශයෙන් බ්ලූ සෆායර් කිලෝ එකක් තියෙනවා කියලා. එතකොට ඩොලර් මිලියන 100ක පමණ වටිනාකමකට ඒ කිලෝ එක දෙන්න පුළුවන්. මේකෙ කිලෝ එකකට වැඩිය තිබුණොත් විශාල වටිනාකමක් ලබාගන්න පුළුවන්. මෙවැනි විශාල ප්‍රමාණයේ කොරන්ඩම් සෆායර් ලැබෙන්නේ ලංකාවෙන් පමණයි.

නිල් මැණික් වැඩිපුර භාවිත වෙන්නේ ආභරණ සඳහායි. ඒවාට අවශ්‍ය කුඩා මැණික් ඕන තරම් ලැබෙනවා මෙය ලොව ලොකුම ගල නිසා කපන්නේ නැතිව මේ විදිහටම ආරක්ෂා කළ හැකිනම් වැදගත්. අපිට බොහෝ යෝජනා ආවා මෙය කපා ඇතුළෙ තත්ත්වය බලන්න කියලා. මෙම මැණික වඩාත් වටින්නේ කෞතුකාගාරවලට සහ මැණික් එකතුකරන්නන්ටයි... කපා කුඩා ගල් වෙන්කරගන්නවාට මෙවැනි විශාල ගලක් කෞතුකාගාරයක තැබීමයි අපේ අරමුණ.. අපිට ආර්ථික ප්‍රශ්න නිසා මෙය විකිණීමට සිදු වුවත් විදේශයක හරි කෞතුකාගාරයක තැන්පත් කරල තියෙනව නම් ඒක ගොඩක් වටිනවා. මේක ගිනස් පොතට යා යුතු කරුණක්. දැනට ලංකාවේ පවතින ආර්ථික ප්‍රශ්නවලින් ගැලවීම සඳහා වැඩිම ඉල්ලුමක් ලබාදෙන ගැනුම්කරුවකුට අලෙවි කිරීමට අපි තීරණය කළා. මෙවැනි විශාල කොරන්ඩම් ස්ඵටිකයක් මෙතෙක් කිසිවකු දැක නැහැ. ලංකාවෙන් ලැබෙන මැණික් සම්පත අපි විකුණන්නේ ඉතා අඩු මුදලකටයි. අපේ මැණික්වලට මීට වඩා වැඩි මිලක් ලබාගත හැකියි. ජී.අයි.ආර් ලංකා හෙවත් ජෙමොලොජ් ඉන්ස්ටිටියුට් ඔෆ් රත්නපුර කියන්නේ මැණික් පිළිබඳ පර්ෙය්ෂණ කරන, මැණික් සඳහා සහතික නිකුත් කරන, මැණික් පිළිබඳ ගවේශනය කරන මගේ ආයතනයයි. මෙම මැණික දැන් තියෙන්නේ අප ආයතනය සතුවයි. යනුවෙන් චමිල සුරංග මහතා සඳහන් කළේය.
මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ සභාපති තිලක් වීරසිංහ මහතා සඳහන් කරන පරිදි මෙම ගල පිළිබඳව තව දුරටත් පරීක්ෂණ පැවැත්විය යුතුය. මෙය තුළ පිරිසිදු ගල් එකක් දෙකක් මතුපිටින් පෙනෙන්නට ඇති බවද, තනි ගලක් වශයෙන් මෙවැනි කොරන්ඩම් ගලක් ලොව මින් පෙර හමු වී නොමැතිa බවද සඳහන් කළ සභාපතිවරයා මෙම ගල සම්බන්ධයෙන් මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ මැණික් පිළිබඳ රසායනාගාර පරීක්ෂණ සිදුකරන නිලධාරීන් දෙපළක් මගින් පරීක්ෂණ පවත්වා මෙය නිල් මැණිකක් ලෙස තහවුරු කර තිබෙනවා. මෙම මැණික කොරන්ඩම් හෙවත් කුරුවින්ද සහ සෆායර් පවුලට අයත් එකක්. මේක ඇතුලේ තව පිරිසිදු ගල් තියෙන්න පුළුවන්, මේ ගලේ වටිනාකම තවම ප්‍රකාශ කළ නොහැකියි. මෙය මේ සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පැවැත්වීමෙන් පසු තවත් විස්තර සැපයිය හැකියි. යනුවෙන් ඔහු සඳහන් කළේය.
ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය විසින් මෙම මැණික පරීක්ෂා කර සහතිකයක්ද නිකුත් කර ඇත. මෙම සුවිශේෂී මැණික සඳහා මේ වනවිටත් රටවල් කිහිපයකින් ඉල්ලුම් ලැබී ඇති අතර එය ලෝක වෙළෙඳ පොළට ඉදිරිපත් කිරීමට තීරණය කර තිබේ.
කොරන්ඩම් යනු ඇලුමිනියම් ඔක්සයිඩ් සංයුතිය සහිත ඛනිජයකි. සුදු, නිල් සහ කහ පැහැති සෆායර් මෙන්ම රතු පැහැති රෑබි වැනි මැණික් වර්ග එයට අයත්ය. ආරනූල් (ස්ටාර් සෆායර්) රවුම් මතුපිටක් ලැබෙන සේ කපා ඔප දැමූ විට රේඛා 6 ක තරු ලකුණක් දැකිය හැක. මෙවැනි ස්ඵටිකවල ඇලුමිනියම් ඔක්සයිඩ්වලට අමතරව රෑටයිල් කෙඳි ද පවතී. රූටයිල් තට්ටු තුනක් පවතින විට තරු ලකුණ හොඳින් දිස්වේ. මැණිකක පාරදෘශ්‍ය භාවය (ඇතුළත පෙනෙන) පිරිසිදු කම හා පලුදු නොමැතිවීම අනුව හා වර්ණය අනුව ඒවායේ මිල තීරණය කෙරේ. ආලෝකය ගල තුළින් ගමන් නොකරන්නේ නම් එය මැරුණු ගලක් ලෙස සැලකේ.
පසුගිය ජූලි මාසයේදී ලොව විශාලතම ස්ටාර් සෆායර් (ආරනූල්) වර්ගයට අයත් මැණිකක් සොයා ගැනුණු අතර එය තනි ගලක් නොව මැණික් පොකුරකි සෙරන්ඩිපිටි සෆායර් ලෙස නම් කෙරුණු එහි බර කිලෝ ග්‍රෑම් 510ක් හෙවත්. කැරට් මිලියන 2.5කි. මේ වන විට එය ස්විට්සර්ලන්තයේ ගුල්බ්ලිං නමැති රසායනාගාරයේ පරීක්ෂණ පවත්වා අලෙවි කිරීම සඳහා සූදානම් කර ඇතැයි මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය පවසයි. ඒ සඳහා සැලකිය යුතු ලන්සුවක් ලැබී ඇති අතර මෙතෙක් වෙන්දේසියකට ඉදිරිපත් කර නොමැත. පසුගියදා බලංගොඩ ප්‍රදේශයෙන් බේරුවල මැණික් ව්යාපාරිකයකුහට නැචුරල් පෙනකයිට් වර්ගයට අයත් මැණිකක් සමු විය. එහි බර කැරට් 616කි. මෙතෙක් හමුවී තිබූ විශාලතම නිල් මැණික වූයේ 2016 රත්නපුරයෙන් හමුවූ කැරට් 1404.49ක් බර ආදම් ගේ තාරකාව නමැති නිල් මැණිකය. නිල් මැණික් ශ්‍රී ලංකාවේ ප්‍රධානතම අපනයනයක් වන අතර ඒවා අලෙවියෙන් වාර්ෂිකව අවම වශයෙන් අමෙරිකානු ඩොලර් මිලියන 100 කට අධික ආදායමක් උපයා ගනී.
ලබන ජනවාරියේ ඩොලර් මිලියන 100ක අවම ලංසුවකින් ඩුබායි හිදී ආසියාවේ රුජන වෙන්දේසි කිරීමේ සූදනමක් ඇති බව පැවසේ. ඩුබායි හි සමාගමක් මෙම වෙන්දේසිය සඳහා මුල්වී ඇති බවත් වෙන්දේසියට ඉදිරිපත් කිරීම වෙනුවෙන් ඩොලර් මිලියන 10 අත්තිකාරමක් එහි හිමිකරැට ලබා දීමට කැමැත්ත පල කර ඇති බවත් මැණික මිලට ගැනීමට චීනයෙන් හා ඇමෙරිකාවෙන්ද ඉල්ලුම් ලැබී ඇති බවත් වාර්තා වේ.
ප්‍රියන්ජන් සුරේෂ් ද සිල්වා