
මහාචාර්ය විමල් දිසානායක ඉහළම මට්ටමින් ජාත්‍යන්තර සම්මානයට පාත්‍ර වූ මේ අවස්ථාවේ ශ්‍රී ලාංකීය ජනමාධ්‍යවේදීන්, විද්වතුන් සහ සමස්ත ශ්‍රී ලාංකිකයන් ඔහු වෙනුවෙන් සුභාශිංශන පිරිනමද්දී ඔහුගේ නිර්මාණත්, මෙහෙවරත්, ජයග්‍රහණත් ආවර්ජනය කිරීම අපගේද යුතුකමකි.
මහනුවර ත්‍රිත්ව විද්‍යාලයෙන් පාසල් අධ්‍යාපනය ලැබූ මහාචාර්ය විමල් දිසානායක, ශ්‍රී ලංකා විශ්වවිද්‍යාලයෙන් ප්‍රථමයෙන්ම ලබා ගන්නේ සිංහල ගෞරව උපාධියයි. එකී ප්‍රථම උපාධිය උදෙසා සිංහල, සංස්කෘත හා ඉංග්‍රීසි විෂයන් ගැඹුරින් හදාරණ ඔහු පෙන්සිල්වේනියා විශ්වවිද්‍යාලයෙන් ශාස්ත්‍රපති උපාධියත්, අනතුරුව එංගලන්තයේ කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයෙන් ආචාර්ය (PhD) උපාධියත් දිනාගනී. ඉන්පසු කැලණිය විශ්වවිද්‍යාලයේ ජනසන්නිවේදන අංශයේ පළමු අංශාධිපතිවරයා වන්නේ එතුමාය. 1979දී ඇමෙරිකාවේ හවායි විශ්වවිද්‍යාලයට පත්වීමක් ලබන ඔහු හවායි විශ්වවිද්‍යාලයේ නිර්මාණාත්මක මාධ්‍ය ඇකඩමියේ අනුබද්ධ මහාචාර්ය පදවිය උසුලයි. ඊට අමතරව එතුමාට හොංකොං විවෘත විශ්වවිද්‍යාලයේ සම්මානිත මහාචාර්ය පදවියද පිරිනැමේ. කැලණිය විශ්වවිද්‍යාලයේ (DLitt) සාහිත්‍ය දර්ශනශූරී උපාධියද එතුමාට පිරිනැමේ. මේ වනවිට මහාචාර්ය විමල් දිසානායක ආසියානු සිනමාව සහ ආසියානු සන්නිවේදන න්‍යාය පිළිබඳ ප්‍රමුඛ පෙළේ විද්වතෙකි.
සිනමා, සාහිත්‍ය හා සන්නිවේදන ක්ෂේත්‍රයන්ට අදාළ පර් යේෂණ ග්‍රන්ථ රාශියක් මහාචාර්ය විමල් දිසානායක අතින් ලියැවී තිබෙන අතර ඒවා බොහොමයක් ප්‍රකාශයට පත්කර ඇත්තේ ලොව පරසිඳු විශ්වවිද්‍යාල විසිනි. ආසියානු සිනමාව පිළිබඳ ඔහුගේ ග්‍රන්ථය සහ චීන සිනමාව පිළිබඳ ඔහුගේ ග්‍රන්ථය කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයේ ප්‍රකාශනයන්ය. ආසියා සිනමාවේ යටත් විජිතවාදය හා ජාතිකවාදය පිළිබඳ කෘතිය පළකොට ඇත්තේ ඉන්දියානා විශ්වවිද්‍යාලය විසිනි. හොංකොං සිනමාව පිළිබඳව විග්‍රහ කෙරෙන ඔහුගේ කෘතිය හොංකොං විශ්වවිද්‍යාලයේ ප්‍රකාශනයකි.
යුරෝපාකරයේත්, ආසියාවේත්, අමෙරිකාවේත් සන්නිවේදන ක්ෂේත්‍රයට අදාළ විද්වත් සමුළු බොහෝවක ප්‍රධාන ආරාධිත දේශනය පවත්වා ඇත්තේ මහාචාර්ය විමල් දිසානායකයි.
ගෝලීය මට්ටමේ සන්නිවේදන සඟරා සහ ප්‍රකාශන රාශියක සංස්කරණ කටයුතුවලට ඔහු දායක වී තිබීමද විශේෂ ලක්ෂණයකි. සන්නිවේදනය සඳහා වූ අන්තර්ජාතික විශ්වකෝෂය ඉන් එකකි. ඊස්ට් වෙස්ට් ෆිල්ම් ජර්නල්හි ප්‍රාරම්භක කතුවරයා වූයේ මහාචාර්ය විමල් දිසානායකයි. මේ හැරුණු කොට ෆ්‍රේම් වර්ක්, ඩීප් ෆෝකස්, World Englishers, Journal of South Asian Popular Culture යන සඟරාවල සංස්කරණ කටයුතු ඔහු ඉටුකර තිබේ. මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රගේ ශිෂ්‍යයකු වූ ඔහු 1960 ගණන්වල පේරාදෙණියෙන් බිහිවූ (කාව්‍ය ඇතුළු) විද්වත් ගුරුකුලයට අයත්ව සිටි අයෙකි. 1960 ගණන්වල පේරාදෙණි ගුරු කුලයෙන් බිහිවූ කාව්‍යකරණය 1970 ගණන්වලින් මෙපිට කාලයත් සමඟ අනුගත වෙමින් ඉදිරියට ගියේ නැත. එහෙත් මහාචාර්ය විමල් දිසානායක පේරාදෙණි ගුරුකුලයේ මතවාදවල එල්බගෙන නොසිට ඉන් මිදී කාලීන සාහිත්‍ය දර්ශන සමඟ ඉදිරියට ඇදුණේය. පසුගිය පනස් වසර තුළ පශ්චාත් නූතනවාදී අදහස්වලින් සාහිත්‍ය හා කාව්‍යකරණය පෝෂණය වූ අයුරු ඔහු පැහැදිලිව විග්‍රහ කර තිබේ.
අපි පාසල් යන අවධියේදී ඔහු ලියූ ගිරිකුල හා සඳමඬල කාව්‍ය ග්‍රන්ථය කියවූයෙමු. අනතුරුව ඔහු සංස්කරණය කළ නව කවි සරණියෙන්, පාසල් ශිෂ්‍ය පරම්පරාවන් කිහිපයක් සිංහල කාව්‍යකරණයේ පසුගිය දශක 6ක පමණ විකාශනය සිදුවූ අයුරු හඳුනාගත්හ. ඔහු කාව්‍යකරණය තුළ පවා සිංහල භාෂාව තුළ සිරවී නොසිට ඉංග්‍රීසියෙන්ද කාව්‍ය ග්‍රන්ථ පළ කළේය. තමන්ගේ දෙවැනි භාෂාවෙන් කාව්‍යකරණය කළ නොහැකි බවට ටී.එස්. එළියට් කළ ප්‍රකාශය සාධාරණ නොවන බව ඔහු කාව්‍යකරණයෙන්ම සනාථ කර පෙන්වූයේය. ටී.එස්. එළියට්ගේ එම කියමන පිළිබඳව පුවත්පත් සම්මුඛ සාකච්ඡාවකදී ඔහුගෙන් විමසූ විට වෙනත් භාෂාවකින් කාව්‍යකරණයේ යෙදීම අභියෝගයක් බව කී ඔහු එම කාර්යය මැනවින් ඉටුකළ කවියන් කිහිපදෙනෙකු ගැනම උදාහරණ දක්වා තිබේ. චෙක් බසින් මුලින් කවි ලියූ මිලාන් කුන්දේරා පසුව ප්‍රංශ බසින් කවි ලියූ අයුරුත්, නොබෙල් ත්‍යාග ලාභී ජෝසෆ් බ්‍රොඩිස්කි මුලින් රුසියන් බසිනුත් පසුව ඉංග්‍රීසි බසිනුත් කාව්‍යකරණයේ යෙදුණු අයුරුත් ඔහු විස්තර කරයි.
මහාචාර්ය විමල් දිසානායක සිය ළමා වියේ අත් දැකීම් කාව්‍යයන්ට පාදක කරගත් අතර ස්වභාවධර්මයට අදාළව සංසිද්ධිද මහත් ලැදියාවකින් ඒවාට එක්කරගත් සෙයක් පෙනේ. ඔහු සිය ළමාවිය ගත කළේ වයඹ පළාතේය.
කවියට අදාළ නිර්වචනයන් පිළිබඳව විමසීමේදී තමා කවිය, භාෂාත්මක වික්‍රමයක් සේ දකින බවත් එය භාෂාව ඔස්සේ ලබන ජයග්‍රහණයක් බවත් හෙතෙම පවසා ඇත. ඊට අමතරව කාව්‍ය නිර්වචනයන් සම්බන්ධයෙන් කවීන් දෙදෙනකුගේ අදහස් ඔහු වෙසෙස්කොට දකී. ඉන් පළමුවැන්න, කොලරිජ් (Coleridge) ගේ අදහසකි. ඉන් කියැවෙන්නේ හොඳම අනුපිළිවෙළට පෙළගැස්වූ හොඳම වචන එකතුව කාව්‍ය බවයි. දෙවැනිව භාවයන් ඔස්සේ සොයා යන සිතුවිලි සහ සිතුවිලි ඔස්සේ සොයාගනු ලැබූ වචන* යන අමෙරිකානු කවියකු වන රොබට් ෆ්‍රොස්ට් දී ඇති නිර්වචනයි.
හවායි රිවිව්, කායිමන්නා බැම්බු රිජ්, කේම්බ්‍රිජ් රිවිව්, Pawn ඔහුගේ ඉංග්‍රීසි කාව්‍ය සංග්‍රහ කිහිපයකි. කාව්‍ය සංග්‍රහයකට නම් යෙදීම වඩාත් නිර්මාණාත්මකව සිතා බලා කළයුතු කාර්යයක් බව කියා සිටින මහාචාර්ය විමල් දිසානායක, ඔහුගේ එක් කාව්‍ය සංග්‍රහයකට Kingfisher යන නම යෙදීම ගැන මෙසේ කියයි.
දියෙන් ඉහළ තැනක රුඳී ජලය විනිවිද බලා හිඳ මසකු ඩැහැගන්නා පිළිහුඩුවා මෙන් කවියා තමාට උචිත, නිසි රෑපක තෝරාගත යුතුය.*
පෞද්ගලික අත්දැකීම් මත කවි ලියන රචකයකුට සමාජ ප්‍රශ්න අලලා කවි ලිවිය හැකි බව ඔහු එක් සම්මුඛ සාකච්ඡාවකදී මැනවින් පැහැදිලි කර තිබේ. එහිදී ඔහු උදාහරණයට ගෙන ඇත්තේ පැබ්ලෝ නෙරෑදාය. පැබ්ලෝ නෙරෑදා පෞද්ගලික අත්දැකීම් මත කාව්‍ය ලියන අතරතුර දේශපාලන තේමා ඇසුරු කරගෙනද කාව්‍ය රචනයේ යෙදී ඇති බව ඔහු පෙන්වා දෙයි.
අකල් වැස්ස, නර රකුසා, කල්ප විනාශය, ඉන්ද්‍රචාපය, රුව් පිළිරුව්, දුරු රට සිට යන කාව්‍ය සංග්‍රහ ඔහු සිංහලෙන් ලියූ කාව්‍ය සංග්‍රහ කිහිපයකි. ගිරිකුල හා සඳමඬල ඇතුළු කාව්‍ය කෘති කිහිපයකට ඔහු රාජ්‍ය සම්මාන හිමිවී තිබේ.
ඔහු තාත්තාගේ මරණය නම් කව අරඹන්නේ මෙසේය.
ගණ අඳුරෙහි මැණිකක් සොයන ලෙස
තාත්තාගේ සිරුරෙහි
හුස්ම කළඳක්
කොහේ හරි සැඟවී ඇද්දැයි
සොයාබලන තුරු දොස්තර
බියපත් වූ නෙත් දල්වා
බලා සිටිමු අප නිහඬව...
එම කව නිමාවන්නේ මෙසේය.
අස්වසන්නට අඳුරු ලෝකය
පෑව්වා මල් වඩම් දේදුණු
දේශ දේශාන්තරයේ විද්වතුන්ගේ දැනුමට සරිලන පර් යේෂණ ග්‍රන්ථ ලියන ඔහුට, ජාත්‍යන්තර බසක් වූ ඉංග්‍රීසි බසින් ජාත්‍යන්තර රසිකයාට කවි ලියූ අතරම, මෙරටේ පොදු ජනයාගේ හදවතට දැනෙන්නට ඔවුන්ගේ බසින් මනා ලෙස කවි පද බැඳීමේ හැකියාව ඇති බවට තාත්තාගේ මරණය කාව්‍යය සාක්ෂි දෙයි.
සිනමාවට අදාළ විවිධ පර් යේෂණ ග්‍රන්ථ අතර, පොදු ජනයාගේ හදවත දිනූ, ඉන්දීය සිනමාවේදී රාජ් කපූර් ගැන වෙනම ග්‍රන්ථයක් තිබීමද විශේෂ කරුණකි.
ඔහු සැබවින්ම භාෂාව ජයගත්තෙකි. භාෂාව තුළින් ජාත්‍යන්තරයේ වික්‍රම පෑ විද්වතෙකි.
සමන් පුෂ්ප ලියනගේ