
අමෙරිකාවේ වයස්ගතම ජනාධිපතිවරයා වන ජෝ බයිඩන් තවදුරටත් ඒ තනතුර දැරීමට සුදුසු කායික නිරෝගීතාවයෙන් පසුවෙයිද? ඔහුගේ තනතුර අමෙරිකානු ඉතිහාසයේ ප්‍රථම වතාවට කාන්තාවකට හිමිවේවිද? මේ ඉකුත් දින කිහිපය තුළ අන්තර්ජාතික මාධ්‍ය කළඹවමින් කතාබහට ලක්වූ මාතෘකාවයි.
ජනාධිපති බයිඩන් සිය 79 වැනි උපන්දිනය නොවැම්බර් 20දා සැමරූ අතර ඉන් දින කිහිපයකට පසු හදිසියේ රෝහල් ගත විය. ඒ සිද්ධිය මාධ්‍ය කළඹවාලූයේය. මිනිත්තු 85කට අමෙරිකාවේ ජනාධිපති වන්නට ඉන්දීය සම්භවයක් සහිත උප ජනාධිපතිනි කමලා හැරිස් සමත් වූයේද බයිඩන් එලෙස හදිසියේ රෝහල් ගතවීම නිසාය. ඒ අනුව ඇය අමෙරිකාවේ ජනාධිපති ධුරයේ බලතල හොබවන්නට හැකි වූ පළමු කාන්තාව බවට පත්වූවාය.
අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් වෛද්‍ය පරීක්ෂණයක් සඳහා නිර්වින්දනය කිරීම හේතුවෙන් මිනිත්තු 85 කට සිය ධුරය අත්හළ හෙයින් ඒ අවස්ථාව ඇයට ලැබුණි. ඔහු ජනාධිපති ධුරයට පත්වීමෙන් පසු වෛද්‍ය පරීක්ෂණයකට යොමු වූ පළමු අවස්ථාව මෙය විය. කොලනොස්කොපි පරීක්ෂණයට මුහුණදීම සඳහා ජනාධිපති බයිඩන් මේරිලෑන්ඩ්හි වෝල්ටර් රීඩ් වෛද්‍ය මධ්‍යස්ථානය වෙත එදා ඇතුළත් වී තිබුණි.
අමෙරිකානු ඉතිහාසයේ ඉහළම තනතුරකට පත් පළමු කාන්තාව ලෙසටත්, අමෙරිකාවේ උප ජනාධිපති තනතුරටත් පත් පළමු කාන්තාව, මෙන්ම අමෙරිකාවේ උප ජනාධිපති තනතුරට පත් පළමු අප්‍රිකානු - අමෙරිකානුවා ලෙසටත්, පළමු ආසියානු - අමෙරිකානුවා හැටියටත් එදා කමලා හැරිස්ගේ නම ඉතිහාසයට එක්විය.
මේ සිද්ධිය හේතුවෙන් මතුවූ ආන්දෝලනය සමනය කරන්නට 2009 සිට බයිඩන්ගේ ප්‍රධාන වෛද්‍යවරයා ලෙස සැලකෙන වෛද්‍ය කෙවින් ඕ කෝනර් හට පිටු 06ක පූර්ණ වෛද්‍ය වාර්තාවක් ඉදිරිපත් කරන්නටද සිදුවිය. බයිඩන් වයස්ගත වීම නිසා සෑදෙන සුළු අසනීප තත්ත්ව කිහිපයක් හැරුණු විට සිය ධුරයේ වගකීම් දරන්නට සුදුසු කායික මානසික නිරෝගීතාවයකින් පසුවන බව මේ වාර්තාව තහවුරු කර තිබුණි.
මේ වාර්තාව ගැන ලෝකයේම ඇස් කන් දැඩිව යොමුව තිබුණි. ලෝකයේ ලොකුම රටේ ලොකුම ලොක්කාගේ සෞඛ්‍ය පැටිකිරිය ගැන අවධානය යොමුවන්නට වූයේ ඔහු ජනාධිපති ධුරයට එන්නට පෙරමුණ ගත් 2019 දී පමණ සිටය. ඉතින් මේ ජනාධිපති වූ පසු ඉදිරිපත් වූ මුල්ම වෛද්‍ය පරීක්ෂණයට විශේෂ අවධානයක් යොමුවීම සාධාරණය.
බයිඩන් ස්නායු පරීක්ෂාවකට යොමුකර තිබූ අතර පාර්කින්සන් වැනි දරුණු ආබාධ ගැන වාර්තා නොවූවත් ඔහුට දියවැඩියා රෝගීන් අතර බහුල රෝග තත්ත්වයක් වන පෙරිපරල් නියුරොපති ලක්ෂණ ඇති බව සොයාගෙන තිබුණි. එහෙත් ඔහු දියවැඩියාවෙන් පෙලෙන්නකු නොවන බවද එම වාර්තාව කියයි. බයිඩන් වයසට ගැලපෙන මහත දෙහෙතක් සහිත බව පෙණුනද ජෛවස්කන්ධ දර්ශක අගයන්ට අනුව මඳ වශයෙන් බර වැඩි තැනැත්තකු ලෙස වර්ග කෙරී ඇත. බයිඩන්ගේ කොලෙස්ටරෝල් මට්ටමද යහපත්ය.
වෛද්‍ය ඕ කොනර්ගේ වාර්තාව අනුව බයිඩන්ට සිදුකළ කොලොනොස්කොපි පරීක්ෂාවේදී මිලිමීටර් 3ක පමණ මස්දළුවක් හඳුනාගෙන ඉවත්කර ඇති අතර ඒ ගැන දැන් පරීක්ෂාවට ලක්කෙරෙයි. සාමාන්‍යයෙන් පාමසියෙන් ගන්නා ගෑස් පෙති සහ රුධිර කැටි නසන ඖෂධ කිහිපයක් හැරුණු කොට වෙනත් දීර්ඝකාලීන ඖෂධ ඔහු නොගන්නා අතර බයිඩන් දුම්පානය හෝ මත්පැන් පානය හෝ නොකරන්නෙකි. එසේම සතියකට දින පහක් හොඳින් ව්‍යායාමවල යෙදෙන්නෙකි. මේ නිසා කොලින් කියනා ආකාරයට බයිඩන් රටේ මහ පුටුව දැරීමට හොඳටම “ෆිට්”ය.
එසේ වුවද රටපුරා මෙන්ම ලොව පුරාද කනින් කොනින් කටකතා පැතිර යන්නට වූයේ බයිඩන් තවදුරටත් ජනාධිපතිධුරය දරන්නට සුදුසු සෞඛ්‍ය තත්ත්වයක නොසිටින බවටය. මේ කතාව තහවුරු කරන්නට මෙන් පසුගිය සතියේ තවත් රාවයක් පැතිරෙන්නට වූයේ බයිඩන් කොරෝනාවෙන් ආතුර වී ඇති බවටය.
මේ අලුත් ගොසිප් රාවයට හේතුවූයේ පසුගියදා බයිඩන් වයිට් හවුසිය තුළ කළ කතාවකදී ඔහුගේ කටහඬ බැරුණ්ඩි වී ඇති බවක් කාට - කාටත් ප්‍රසිද්ධියේම දක්නට අසන්නට ලැබුණු හෙයිනි. බයිඩන්ට කිහිපවරක්ම කැස්සක්ද ආවේය. ඒ ගැන ඒ තැනදීම වාර්තාකරුවන් ප්‍රශ්න කරන්නට යෙදුනි. ”බයිඩන්ට කොරෝනා වත්ද?” යන සැකය කාගේත් සිත්තුළ තිබුණි. නමුත් බයිඩන් මේ සැකය වැඩි ගණනකට ගත් බවක් පෙන්වූයේ නැත.
“මම කොවිඩ් සඳහා පරීක්ෂාවන්ට නිතරම ලක්වෙනවා. මට අවුරුදු එකහමාරක පුංචි මුණුබුරෙක් ඉන්නවානේ. එයාට මේ දවස්වල හෙම්බිරිස්සාව. ඒ වුණාට එයාට තමන්ගේ සීයා පප්පාව හැමවිටම ඉඹගන්න ඕනෑ.” බයිඩන් මෙ අවස්ථාවේ කරුණු පැහැදිලි කර තිබුණි.
“මේක මේ, නිකං හෙම්බිරිස්සා කැස්සක්!” බයිඩන් ඒ තැන සිටි පිරිසට කියා තිබුණි. වෛද්‍ය ඔ කොනර් ද මේ ගැන තහවුරු කර තිබුණේ ඒ සතියේ ඔහු වාර 3ක් ම කොවිඩ් සහ වෙනත් වෛරස් රෝග 19ක් සඳහා පරීක්ෂාවන්ට ලක්ව සිටි බවත්, ඒ හැමකක්ම ඔහු නිරෝගී බව තහවුරු කර ඇති බවත් කියමිනි.
බයිඩන්ගේ ශරිර සෞඛ්‍ය ගැන මේ තරම් උනන්දුවක් කා තුළත් ඇතිවන්නට ප්‍රධාන හේතුවක් වී ඇත්තේ යම් හෙයකින් බයිඩන්ට ධුරයෙන් අතරමඟ සමුගන්නට සිදුවුවහොත් ඒ තනතුර නිබඳවම හිමිවන්නේ කාන්තාවකට නිසාය. ඒ දැනටමත් ඉතිහාස ගත වාර්තා කිහිපයක්ම තබා ඇති කමලා හැරිස්ය.
සුගත් පී. කුලතුංගආරච්චි