2021 දෙසැම්බර් 11 වන සෙනසුරාදා

ඩොලර් අර්බුදය අස්සේ අලුත් කාර් ඉල්ලන මන්ත්‍රීලා

 2021 දෙසැම්බර් 11 වන සෙනසුරාදා, පෙ.ව. 10:00 59

දශක කිහිපයක් පුරා මෙරට මැති මැති ඇමතිවරුන්ට වැළඳෙන ලේසියෙන් සුව නොවන රෝගයක් වන රථගාය මේ දිනවලදී නැවතත් උත්සන්න වී ඇති බවට තොරතුරු ලැබෙමින් පවතී. පසුගියදා වාහනයක් මිලදී ගැනීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට නිකුත් කෙරෙන තීරු බදු රහිත බලපත්‍රය (පර්මිට්) ලබාදීමට කටයුතු කරන්නැයි පසුපෙළ මන්ත්‍රීවරුන් පිරිසක් නැවතත් කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගෙන් ඉල්ලා තිබේ. මාධ්‍ය වාර්තා කිහිපයක්ම මේ පිළිබඳව පළවූ නිසාවෙන් අපි මෙහි සත්‍ය අසත්‍යතාව සොයා බැලීමට උත්සුක වීමු.

ලැබී ඇති තොරතුරු නිවැරුදි නම්  ප්‍රථමවරට පාර්ලිමේන්තුවට තේරී පත්වූ මන්ත්‍රීවරු 79 දෙනකු හට තීරුබදු රහිත වාහන බලපත්‍ර නිකුත් කිරීම මේ වනවිට නතර වී තිබේ. ඒ අනුව කතානායකවරයාගෙන් මෙම ඉල්ලීම සිදුකර ඇත්තේ මෙම පිරිස අතරින් කණ්ඩායමකි. විශේෂයෙන්ම පොදුජන පෙරමුණ නවක මන්ත්‍රීවරු මෙම ඉල්ලීම පිටුපස සිටින බව දැනගන්නට ලැබේ. කෙසේ වෙතත් මෙම කණ්ඩායමට අයත් පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරු සිය අනන්‍යතාව හෙළි කිරීමට මැලිවූ බව පෙනී යයි.

කොරෝනා ව්‍යාප්තියත් සමඟ ඇතිවූ ආර්ථික තත්ත්වය හේතුවෙන් මන්ත්‍රීවරුන්ට මෙන්ම රාජ්‍ය නිලධාරීන්ටද තීරුබදු රහිත වාහන බලපත්‍ර නිකුත් කිරීම අත්හිටුවීමට රජය තීරණය කළේය. එම තීරණය ජනාධිපතිවරයාගේ නියෝගයක් අනුව ක්‍රියාවට නංවා තිබුණි. ආරම්භයේදී තීරුබදු රහිත වාහන ආනයනයට පමණක් සීමා පනවා තිබුණද පසුව සාමාන්‍ය මහජනතාවටද බලපාන පරිදි අදාළ සීමා පුළුල් කිරීමට රජය කටයුතු කළේය. ඒ අනුව රට තුළ පවත්නා ඩොලර් හිඟයට පිළියමක් ලෙස අනවශ්‍ය වියදම් කපා හැරීමේ බලාපොරොත්තුව සහිතව මේ වනවිට සියලුම ආකාරයේ වාහන ආනයන අත්හිටුවීමට රජය පියවරගෙන තිබේ.

මෙම මන්ත්‍රී කණ්ඩායම අදාළ ඉල්ලීම විවිධාකාරයෙන් පසුගිය වසර පුරා ඉදිරිපත් කර ඇති බවට තොරතුරු ඇත. ඉකුත් ඔක්තෝබර් මාසයේදී මේ සම්බන්ධ විශාල කතිකාවක් නිර්මාණය විය. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම ඔක්තෝබර් 24 දින රාත්‍රියේ ජනාධිපති මන්දිරයේදී හමුවූ අවස්ථාවේදී මේ සම්බන්ධ සාකච්ඡාවට වූ බව වාර්තා වුණි. ඒ හා සම්බන්ධ දැඩි ආන්දෝලනයක් ඇතිවූ අතර පසුව ආණ්ඩුව පාර්ශ්වයෙන් ප්‍රකාශයක් පවා නිකුත් කෙරිණි. 

පොදුජන පෙරමුණු ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් මහතා මෙලෙස ප්‍රකාශ කොට තිබුණි.
නැවත වාහන ගෙන්වන්න තීරණයක් නෙවෙයි. කලින් වාහන ගෙන්වන්න හදපු වෙලාවේ මන්ත්‍රීවරුම ඉල්ලීමක් කළා මේ රටේ තියෙන ආර්ථික ප්‍රශ්න උඩ මන්ත්‍රීවරුන්ට වාහන ගෙන්වන එක කල්දාන්න කියලා. හැබැයි ඊයේ එම ඉල්ලීම නැවත සලකා බලන්න දැන් කාලය එළඹෙමින් තියෙනවා කියන කාරණය ගැන විතරක් කතා වුණා. නමුත් එහිදී තීන්දුවක් තීරණයක් ගැණුනේ නෑ...”

තත්ත්වය එසේ වුවද ඉකුත් ගුරු වර්ජනය පැවති සමයේ නැවත නැවත මන්ත්‍රී වාහන කතාව කරළියට පැමිණියේය. අවසානයේ අධිකරණ හමුවට පවා මෙම ගැටලු රැගෙන යෑමට ආණ්ඩු විරෝධී පාර්ශව කටයුතු කළේය. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා සුඛෝපභෝගී වාහන 227ක් ආනයනය කිරීමට ආණ්ඩුව ගෙන ඇති තීරණය මඟින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සහ මෙරට ජනතාවගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වන බවට තීන්දුවක් දෙන ලෙස ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් විය. කොවිඩ් වසංගතය හේතුවෙන් මෙරට ආර්ථිකය දැඩි පසුබෑමකට ලක්ව සිටින අවස්ථාවක ජනතා මුදල් වැයකර ආනයනය කරන මේ වාහන ප්‍රසිද්ධ වෙන්දේසියේ අලෙවි කර එම මුදල් රජයට අය කර ගන්නා ලෙස මුදල් අමාත්‍යාංශ ලේකම්වරයාට නියම කරන්නැයිද එම පෙත්සමෙන් ඉල්ලා තිබුණි. අදාළ පෙත්සම ලංකා ගුරු සේවා සංගමයේ ප්‍රධාන ලේකම් මහින්ද ජයසිංහ මහතා විසින් ඉදිරිපත් කෙරිණි.

අප කළ සොයා බැලීමට අනුව සාමාන්‍ය තත්ත්වයක් යටතේ තීරුබදු සහන බලපත්‍ර ක්‍රමය යටතේ එක් මන්ත්‍රීවරයකුට රුපියල් ලක්ෂ 65ක පමණ බදු සහනයක් සහිත බලපත්‍රයක් හිමිවෙයි. ඔවුහු එම බලපත්‍ර අධික මිල ගණන්වලට විකුණා දැමීම සිදුකරති. සාමාන්‍යයෙන් මන්ත්‍රීවරයකුට ලබාදෙන වාහන බලපත්‍රයක් අලෙවි කිරීමෙන් එම මන්ත්‍රීවරයාට රුපියල් ලක්ෂ දෙසිය විස්සත් දෙසිය පනහත් අතර මුදලක් ලබා ගත හැකි බව මෝටර් රථ වාහන අලෙවිකරුවෝ පවසති. මන්ත්‍රිවරුන්ට අමතරව රාජ්‍ය සේවයේ තීරුබදු රහිත වාහන බලපත්‍රලාභීන්ටද මෙලෙස බලපත්‍ර නිකුත් කෙරේ. රජයේ සේවකයන්ට එකී බලපත්‍ර යටතේ රුපියල් ලක්ෂ 36ක බදු සහනයකට යටත්ව වාහනයක් මිලදී ගත හැකිය. ඔවුහුද එම බලපත්‍ර අධික මිලකට විකිණීමට කටයුතු කරති.

මේ හා අතීත පුවත් කිහිපයක්ම අපි සොයා බැලුවෙමු. 2016 වසර සඳහා වන අයවැය ඉදිරිපත් කරමින් මන්ත්‍රීවරුන් සහ රජයේ නිලධාරීන්ට වාහන බලපත්‍ර ලබාදීම අහෝසි කිරීමට ආණ්ඩුව යෝජනා කළේය. බදු සහන ලබාදීම මගින් එකල රජයට වාර්ෂිකව රුපියල් කෝටි හාරදහසක ආදායමක් අහිමිවන බව එයට හේතු වශයෙන් ඔවුන් ආණ්ඩුව සඳහන් කළේය. කෙසේ නමුත් මන්ත්‍රීවරුන්ගෙන් හා රජයේ නිලධාරීන්ගෙන් එයට එරෙහිව එල්ල වූ දැඩි විරෝධය හමුවේ යළිත් ඔවුන් වෙත තීරුබදු රහිත වාහන බලපත්‍ර ලබාදීමට ආණ්ඩුව කටයුතු කළේය.

කෙසේ වෙතත් මේ වනවිට වාර්තා වන ආකාරයට මන්ත්‍රීවරුන් පිරිසක් වාහනයක අවශ්‍යතාව සම්බන්ධයෙන් අගමැතිවරයා ප්‍රමුඛ ආණ්ඩුවේ ප්‍රධානීන්ටද සිය දුක් ගැනවිලි ඉදිරිපත් කර ඇතැයි කියැවේ. තීරු බදු රහිත වාහන ආනයනය තහනම් කිරීම හරහා දැඩි අසාධාරණයක් සිදුවූයේ තමන්ට බව පාර්ලිමේන්තුවට අලුතින් පත්වූ නවක මන්ත්‍රීවරු කිහිප ප්‍රකාශ කර ඇතැයිද කියැවේ. තමන් අද පාර්ලිමේන්තුවට පැමිණෙන්නේ කුලියට ගත් වාහනවලින් බව ඔවුන් වැඩිදුරටත් සඳහන් කර ඇත. පසුගිය සතියේදී පුවත්පත් කිහිපයක්ම මේ පිළිබඳව වාර්තා තිබුණි.

සමස්තය දෙස බලන විට මන්ත්‍රීවරුන්ගේ මෙම ඉල්ලීම හුදෙක්ම ජාතියට විහිලු සැපයීමක් පමණි. මුළුරටම ආර්ථික අර්බුදයකට මැදි වී සිටින අවස්ථාවකදී මහජන නියෝජිතයන් ලෙස කැපකිරීම් සිදුකිරීමට ඔවුන් උගත යුතුය. එපමණක් නොව අප වැනි ආර්ථික අර්බුද රැසකින් පීඩා විඳින රාජ්‍යයක මහජන නියෝජිතයන්ට මෙතරම් වරප්‍රසාද කුමකටද යන්නද නැවත නැවත ප්‍රශ්න කිරීමට මේ සුදුසු කාලයි.

චමිඳු නිසල් ද සිල්වා