2021 දෙසැම්බර් 11 වන සෙනසුරාදා

දාහක් කැඳවූ හබරාදූව මඟුල් ගේ

 2021 දෙසැම්බර් 11 වන සෙනසුරාදා, පෙ.ව. 10:00 115

කොවිඩ් අවදානම හමුවේ පැනවූ සෞඛ්‍ය මාර්ගෝපදේශ අලුත් කරමින් දෙසැම්බර් 15 වැනිදා දක්වා නව නීති මාලාවක් පැනවීමට සෞඛ්‍ය අමාත්‍යංශය පියවර ගත්තේය. නව මාර්ගෝපදේශ අනුව විවාහ මංගල උත්සව සඳහා සහභාගි කරවා ගත හැක්කේ උත්සව ශාලාවේ උපරිම ධාරිතාවෙන් තුනෙන් එකක පිරිසක් පමණය. එම පුද්ගලයින් සංඛ්‍යාව දෙසීය නොඉක්මවිය යුතුය. එමෙන්ම එළිමහන් මංගල උත්සව සඳහා සහභාගී කරවා ගත හැක්කේ උපරිම පුද්ගලයින් දෙසීය පනහක් පමණි. කෙසේ වෙතත් නව මාර්ගෝපදේශ අනුවද මංගල උත්සවවලදී මත්පැන් සංග්‍රහය තවදුරටත් තහනම්ය.

කොවිඩ් රෝග පාලන නව සෞඛ්‍ය මාර්ගෝපදේශ මේ ආකාරයට නිකුත් කරනු ලැබුවේ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසිනි. මේ තත්ත්වය දෙසැම්බර් පළමුවැනිදා සිට ක්‍රියාත්මක නමුත් සෞඛ්‍ය උපදෙස් නොතකා අති විශාල අමුත්තන් පිරිසක් සහභාගී කරවාගෙන පැවැත්වූ මංගල උත්සවයක මනාල යුවළ අත්අඩංගුවට ගත් සිදුවීම වාර්තාවූයේ හබරාදූව ප්‍රදේශයෙනි. හබරාදූව දූවමලලගම තොටුපළවත්ත ප්‍රදේශයේදී සෞඛ්‍ය නීති උල්ලංඝනය කරමින් පැවැත්වූ මංගල්‍යයේ මනාල යුවළ අත්අඩංගුවට ගැනීමෙන් පසුව බැඳුම්කර ඇපයක් මත මුදාහැරීමට කටයුතු කළ බව හබරාදූව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය පවසයි.

කොවිඩ් අවදානම නිසා නිවෙස්වල විවාහ මංගල උත්සව පැවැත්වීමට තවදුරටත් අවසර නැත. එහෙත් යම් සීමාකිරීම් යටතේ හෝටල්වල එම උත්සව පැවැත්වීමට හැකිය. එවැනි වටපිටාවක හබරාදූව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය වෙත පැමිණි අයකු “මගේ විවාහ මංගල උත්සවයට දින යොදාගෙන තිබෙනවා. ඒකට දෙවැනි දිනයට දෙපාර්ශ්වයෙන් හය හත්දෙනා ගාණේ සම්බන්ධ වෙනවා. උපරිම පහළොස් දෙනෙක් තමයි ඉන්නේ. ඒ සඳහා අවසරය ගන්න අවශ්‍යයි.” යනුවෙන් පවසා ඇත. එහිදී හබරාදූව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයේ මහජන සෞඛ්‍ය පරීක්ෂක අචින්ත සමරසිංහ මහතා ඊට අවසරය ලබාදී දැනුම්වත් කොට ඇත්තේ “පහළොස් දෙනකු රැස්වුණාට කමක් නෑ... කතාබහට අමතරව බෆල් එකක්වත් ඇහෙන්න බෑ” යනුවෙන් ඊට එකඟ වූ පුද්ගලයා පවසා තිබුණේ “උත්සවයක් ගන්න ගෙදර ඉඩමදි. අපේ මාමාගේ ගෙදර තමයි උත්සවය ගන්නේ” යනුවෙනි.

දින නියමකරගත් මනාල යුවළගෙන් මනාලයා ප්‍රසිද්ධ මූල්‍ය ආයතනයක නිලධාරියෙකි. මනාලිය ගාල්ල ප්‍රදේශයේ ප්‍රසිද්ධ රජයේ රෝහලක කළමනාකාර සහකාරවරියකි. මනාලයාගේ මව පියා යහමින් අතමිට සරු මුදල් පොලියට ලබාදෙන ව්‍යාපාරයක නිරතව සිටින්නන්ය. අවසර ලබාගත් පරිදි මංගල උත්සවය පැවැත්වූයේ මාමාගේ නිවෙස තුළය. එම නිවෙස මෙන්ම වටපිටාවද ඉඩපහසු හොඳින් තිබූ තැනකි. තාප්ප, ගේට්ටු හෝ කම්බි වැට මායිම් නොවූ ඉඩම විශාල පරිශ්‍රයකි.

පහළොස් දෙනකු සහභාගි වන චාම් මංගල්‍යයක දෙවැනි දිනය බවට පැවසුවද එදින සවස් යාමයේ සිට අදාළ නිවෙස ආශ්‍රිතව රැස්කමින් සිටි පිරිස දහසක් පමණය. රෑ බෝ වෙද්දී තවත් පිරිස වැඩිවූවා මිස මංගල සිරිය අඩුවූයේ නැත. රාත්‍රිය අති සුන්දර දර්ශනයක් මවමින් ආලෝක ධාරා මැද සංගීත ප්‍රසංගයක්ද ආරම්භ කෙරුණි. ඊට සහභාගී වී තිබුණේ දිවයිනේ ජනප්‍රිය ගායන ශිල්පියකු සහිත දකුණු ලක සුප්‍රසිද්ධ සංගීත කණ්ඩායමකි. එවැනි සංගීත ප්‍රසංගයකට හෝ ශබ්ද විකාශන යන්ත්‍ර භාවිතයට පොලීසියෙන් අවසරයක් හෝ ලබාගෙන නැත. පහළොස් දෙනකු සහභාගී වන උත්සවයකට අවසරය හැර මෙවැනි මහා පරිමාණ ප්‍රසංගයකට සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය අවසර ලබාදී නැත. මේ අතර විවාහ මංගල උත්සවයේ ආහාර පාන සැපයීම සඳහා පැමිණ සිටි කේටරින් ආයතනයකි. ඔවුන්ට ආ ඇණවුම ලබාදී තිබුණේ පුද්ගලයන් 400ක් සඳහා රාත්‍රී කෑම වේලකටය. එළිමහනක ටෙන්ට් හට් හා පුටු අසුරා තිබුණේ තවත් ආයතනයක් මගිනි. උත්සවයේ මල් සැරසිලි ඇතුළු අලංකරණය සඳහා දායකත්වය ලබාදී තිබුණේද ප්‍රසිද්ධ ආයතනයක් මගිනි.

මේ ආකාරයට නීතියට පටහැනි ලෙස සංවිධානය කොට පැවැත්වූ විවාහ මංගල උත්සවය පිළිබඳව හබරාදූව පොලිසිය වෙත තොරතුරු ලැබී ඇත. එහි පොලිස් නිලධාරීන් එම ස්ථානයට ගොස් තිබුණේ රාත්‍රී 9.00 ට පමණය. අනවසර උත්සවය නැවැත්වීමට උපදෙස් ලබාදී පොලිසිය පිටව ගොස් තිබුණි. තව පැය භාගයකින් උත්සවය නිමකරන බවට පොරොන්දුව අනුව පොලිසිය පිටව ගියද උත්සවය නවත්වා නැත. නැවත රාත්‍රී 11.30ට පමණ පැමිණි පොලිසිය යළිත් අවවාද කොට තිබිණ. තාවකාලිකව නැවතුණු ප්‍රසංගය යළිත් ආරම්භ කොට තිබෙන අතර පොලිසිය නැවත අළුයම 1.00 ට පමණ එහි පැමිණෙන විටත් සංගීත ප්‍රසංගය පවත්වමින් සිට ඇතැයි කියති.

පොලිසියේ උපදෙස් නොතකා පොලිසිය නොමග යවමින් පැවැත්වූ උත්සවය පිළිබඳව ඒ මොහොතේ හබරාදූව මහජන සෞඛ්‍ය පරීක්ෂක අචින්ත අමරසිංහ මහතාවද දැනුම්වත් කර මංගල සාදය පවත්වමින් සිටි යුවළ අත්අඩංගුවට ගැනීමට කටයුතු කර ඇත. අනතුරැව අවසරයකින් තොරව ප්‍රසංගයක් පැවැත්වූ මනාල මහතාගේ මාමා අත්අඩංගුවට ගනු ලැබූ අතර ආහාර සැපයූ කේටරින් ආයතනය, ටෙන්ට් සහ පුටු සැපයූ ආයතනය, ප්‍රසිද්ධ සංගීත කණ්ඩායමට හා මල් සැකසුම් ආයතනයට  එරෙහිව නඩු පැවරීමට කටයුතු කර ඇත. හික්කඩුව ප්‍රදේශයේ ප්‍රසිද්ධ සංගීත කණ්ඩායමක හිමිකරු අත්අඩංගුවට ගැනීමට නොසිටි බැවින් ඔහුට සිතාසි මගින් නඩු පැවරීමට කටයුතු කර තිබිණ.

මෙසේ නීති විරෝධී ලෙස කොවිඩ් රෝග පාලන සෞඛ්‍ය මාර්ගෝපදේශ කඩකරමින් මංගල උත්සවය පවත්වා තිබුණේ දැන උගත් වැදගත් රැකියාවන්හි නිරත තරැණ යුවළකි. රටේ නීතියට හිස නමා විනයගරුකව කටයුතු කරන්නට විනයක් නොවූ යුවළ හා ඔවුන්ගේ මවුපියන් අවසානයේ “ඉල්ලන ගණනක් දෙන්නම් නඩුදාන්න එපා” කියමින් ඇතැම් ඉහළ නිලධාරීන් හා දේශපාලනඥයින් හරහා බලපෑම් කරන්නට පෙළඹීම තවත් බරපතළ වරදකි.

තරුණ යුවළගේ ජීවිතයේ වටිනාම දිනය මෙසේ නීති විරෝධීව සැමරීමට උත්සාහ කිරීම විහිළුවකි. ඒ සඳහා සාධාරණය හා නියම ක්‍රමය පෙන්වාදීමට සමත් මවුපියන් හෝ වැඩිහිටියන් නොවීමද ගැටලුවකි. කොවිඩ් වසංගතයේ මගුල් පොකුරක් ඇතිවීමට ඉඩ නොතැබූ නිලධාරීන්ගේ මෙහෙවර ප්‍රශංසනීයය. කොවිඩ් උවදුර හමුවේ තවත් උත්සව ප්‍රසංග සූදානම් කිරීමට සිතන කාටත් මේ කතාව හොඳ පණිවුඩයකි.

 සමන්ත ප්‍රදීප් විල්තෙර